ස්වාධීන මැතිවරණ කොමිසම මරා දැමීම

August 10, 2003
Publication:
Ivan argues that neither government nor opposition wants an independent Elections Commission: the President withholds approval of the Constitutional Council's nominees and the Supreme Court declined to resolve the Elections Commissioner's petition about his personal liability. Further sections criticise a campaign to build up Justice Shirani Bandaranayake as a future Chief Justice despite her role in the order restraining Parliament's impeachment, and the President's obstruction of Rajitha Senaratne's scheme to issue freehold deeds for state land.

බල ලෝභය හැරුණු විට ආණ්ඩු පක්ෂයට හෝ විපක්ෂයට දේශපාලන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරිමේ වුවමනාවක් ඇත්තේම නැති තරම්ය.

හැමදාමත් මේ දෙපක්ෂයට හොරගල් අල්ලමින් සිටිය නොහැකිය. බලය උරගා බලන මැතිවරණයකට යාමට සිදුවේ. එහිදි මැතිවරණයක් පවත්වන්නට සිදුවනු ඇත්තේ ද ස්වාධීන මැතිවරණ කොමිසමක් රහිතවය.

ස්වාධීන මැතිවරණ කොමිසම ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් සඳහා තිබිය යුතු අවශ්‍යතාවකි. දැන් මැතිවරණ කොමසාරිස්වරයෙකු සිටින බව හා ඒ මැතිවරණ කොමසාරිස්වරයාට ස්වාධීන මැතිවරණ කොමිසම සතු සියලු බලතල තිබෙන බව සත්‍යයකි. එහෙත් පවතින නෛතික තත්ත්වය අනුව මැතිවරණ වලදි සිදුවන ඕනෑම වරදක වගකීම යන්නේ පෞද්ගලිකව මැතිවරණ කොමසාරිස්වරයා වෙතය.

මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණය ඉදිරියට ගියේ මැතිවරණ කොමිසම නොපිහිටුවා තිබෙන තත්ත්වයක් යටතේ තමන්ට විශ්‍රාම යාමට නොහැකි වී තිබෙන නිසා පමණක් නොවේ. ඒ තත්ත්වය යටතේ අනාගතයේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි සිදුවන වරදකට තමන්ට පෞද්ගලිකව වගකීමට සිදුවී තිබෙන තත්ත්වය අධිකරණයේ අවධානයට යොමු කිරීම සඳහාය.

එහෙත් අධිකරණය ඒ ප්‍රශ්නය මුළු එකක් වශයෙන් දකිනවා වෙනුවට දැක්කේ ප්‍රශ්නයේ එක් කොටසක් පමණය. එනම් මැතිවරණ කොමිසම නොපිහිටුවා තිබෙන තත්ත්වයක් තුළ මැතිවරණ කොමසාරිස්වරයාට විශ්‍රාම යාමේ අයිතිය අහිමි වී තිබෙන්නේය කියන ප්‍රශ්නය පමණය. ඒ තත්ත්වය නිසා ඇතිවන ඕනෑම වරදකදි මැතිවරණ කොමසාරිස්වරයාට පෞද්ගලිකව වගකියන්නට සිදුවී තිබීමේ ප්‍රශ්නය අධිකරණය සැලකිල්ලට නොගත්තේය.

අවසානයේ අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයාට කීවේ කණගාටුයි, අපට කරන්නට දෙයක් නැත. මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් ඔබට ඒ තනතුරේ රැඳී සිටින්නට සිදුවනවා කියාය.

මැතිවරණ කොමිසමක් පිහිටුවීමට නොහැකි වී තිබෙන්නේ ව්‍යවස්ථා සභාව මැතිවරණ කොමිසමට නම් කළ නාමලේඛනයට ජනාධිපතිනිය අනුමැතිය ලබානොදිම නිසාය. ව්‍යවස්ථා සභාවක් ඇති කිරිමේ අරමුණ වූයේ ජනාධිපතිනියට මෙවැනි ආයතන වලට හිතුවක්කාරි ලෙස පුද්ගලයන් පත්කිරිමේ බලය සීමා කිරීමට අවශ්‍ය වූ නිසාය. එහෙත් ජනාධිපතිනිය ව්‍යවස්ථාවට පටහැනිව යමින් තමන්ගේ නොසතුටට හේතුවන පුද්ගලයින්ට අනුමැතිය ලබාදිමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එය ව්‍යවස්ථා විරෝධී වන නිසාම ඒ තත්ත්වය නිවැරදි කිරීමට හේතුවන අර්ථ නිරූපණයකට යාමේ වගකීමක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණ ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වගකීම ඉටු නොකොට ජනාධිපතිනියට තවදුරටත් මේ කාරණයේදි අත්තනෝමතික ලෙස ක්‍රියාකිරීමට ඉඩ ලැබෙන පරිසරයකට ඉඩ හැරියේය.

ස්වාධීන මැතිවරණ කොමිසමකට ජනාධිපතිනියට පමණක් නොව, අගමැති පවා කැමැත්තක් දක්වන බව පෙනෙන්නට නැත. නැත්නම් ඒ වරද නිවැරදි කරගැනීම සඳහා වන උනන්දුවක් ආණ්ඩු පක්ෂය කෙරෙන් පළවිය යුතුය.

ඉදිරි මැතිවරණය දෙපක්ෂයටම තීරණාත්මක බැවින් හොඳින් හෝ නරකින් ජයගත හැකි පරිසරයක් තියනවා දැකීමට දෙපක්ෂයේම අභිලාෂය වී තිබෙනවා විය යුතුය. ඒ නිසා ස්වාධීන මැතිවරණ කොමිෂන් අපට අවශ්‍ය නැතැයි කියා සිතන තැනකට මේ දෙපක්ෂයම පැමිණ ඇති බව පෙනේ.

ආචාර්ය ශිරානි බණ්ඩාරනායක හා මානව හිමිකම්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට ගාම්භීරත්වයක් ආරෝපණය කිරිමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. යම් හෙයකින් අගවිනිසුරු ධුරය දරන සරත් නන්ද සිල්වා මහතාට එම තනතුර අහිමි වුවහොත් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඒ තැනට ගැනීමේ අරමුණින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවක් ද පෙනෙන්නට තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ශිරානි බණ්ඩාරනායක මහත්මියට සම්මාන උපාධියක් ලබාදිම සඳහා විශාල උත්සාහයක යෙදුණේය. දෙන්නට උත්සාහ කළේ ද එසේ මෙසේ උපාධියක් නොව, වීරමන්ත්‍රී, නඩේසන්, මාර්ක් ප්‍රනාන්දු වැනි හා නීති විෂය ක්ෂේත්‍රයට සුවිශේෂ දායකත්වයක් ලබා දුන් ඉතාමත් සම්භාවනීය පුද්ගලයින් කිහිපදෙනෙකුට පමණක් ලබාදෙන ලද වර්ගයේ උපාධියකි. සනාතන සභාවේ බහුතර පිරිසක් මේ ක්‍රියාමාර්ගයට එරෙහිව නැගී සිටීම නිසා ඒ ගැන ඡන්ද විමසීමකට යන්නට උපකුලපතිවරයාට සිදුවූ අතර, ඡන්ද විමසීමේදි බහුතරයකගේ තීරණය වූයේ එවැනි සම්මානනීය උපාධියක් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට ලබාදිම නුසුදුසු බවයි.

ඉන්පසු විද්‍යාභිවර්ධන සංගමය අගෝස්තු 4 වැනිදා පැවැත්වෙන මානව හිමිකම් වැඩමුළුවක ප්‍රධාන දේශකයා වශයෙන් ආරාධනා කර ඇත්තේ ද ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියටය. දේශනයේ තේමාව වී ඇත්තේ “මානව හිමිකම් ආරක්ෂා කිරිමෙහිලා අධිකරණය සතු කාර්යභාරය” යන්නයි. මානව හිමිකම් විෂයෙහි ලා ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය අතින් කීර්තිමත් කාර්යභාරයක් ඉටුවී නැත. සිදුවී ඇත්තේ එහි අනෙක් පැත්තය.

මානව හිමිකම් ආරක්ෂා කිරිමෙහිලා ශ්‍රේෂ්ඨාධිකරණය කීර්තිමත් කාර්යභාරයක් ඉටුකරමින් තිබුණු අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ගමන් මග අගවිනිසුරු ධුරයට පත් සරත් නන්ද සිල්වා මහතා විසින් ආපසු හරවනු ලැබීය. ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ගමන් මග ආපසු හැරවීමේ ක්‍රියාවලියට දායක වූවෙකි.

මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ප්‍රධාන වගකීම පැවරි ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එහෙත් සරත් නන්ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනයක් වෙනුවට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන් ආරක්ෂා කරන ආයතනයක් බවට හරවා තිබෙන අතර, ඒ මගින් සිදුවී තිබෙන මහා පාපකර්මයට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ද වගකිව යුතුය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ දෝෂාභියෝගයේදි පාර්ලිමේන්තුවට වාරණ නියෝගයක් නිකුත් කළ විනිශ්චය මණ්ඩලයට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියද ඇතුළත්ව සිටියාය. ව්‍යවස්ථානුකූලව මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග නිකුත් කළ හැක්කේ විධායක ක්‍රියාවක් හෝ පරිපාලන ක්‍රියාවක් සම්බන්ධයෙන් පමණය. පාර්ලිමේන්තු බලතල මූලික අයිතිවාසිකම් විෂයය ක්ෂේත්‍රයට වැටෙන්නේ නැත. ඒ බව ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නොදැන සිටියා විය නොහැකිය.

එම තහනම් නියෝගය නිකුත් කළ අවස්ථාවේ නම්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව, චොක්සි, මාරපන වැනි අය පවා ප්‍රසිද්ධියේ කීවේ පාර්ලිමේන්තුවට වාරණ නියෝගයක් පැනවූ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනාට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් කරන බවය. එහෙත් දැන් ඒ සියලුදෙනාට ඒ කිසිවක් මතක නැත. ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට තමන් දරන තනතුරේ රැඳී සිටීමට හැකිවී ඇත්තේ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන එවැනි වැරදි ක්‍රියා පිළිබඳව සොයා බලන ක්‍රමයක් රටේ නැති නිසාය.

ආඳ මාලූ ඉරටෙන් කෑම

ගොවිජනපද ව්‍යාපාර යෝජනා ක්‍රම යටතේ හා ආණ්ඩුවේ වෙනත් යෝජනා ක්‍රම යටතේ ආණ්ඩුවේ ඉඩම් ලබාගෙන තිබෙන ජනතාවට ඒ ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු නිකුත් කිරීම සඳහා ඇමති රාජිත සේනාරත්න මහතා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළට ජනාධිපතිනියගෙන් එල්ල වී තිබෙන විරෝධය නිසා ඒ වැඩපිළිවෙළ අවුල් සහගත තත්ත්වයකට ඇද වැටී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය ඉඩම් ප්‍රදානය කිරිමේදි හෝ පවරාදිමේදි ඒ සඳහා වන ප්‍රධාන පැවරිම් පත්‍රවල රාජ්‍ය මුද්‍රාව තබා අත්සන් කිරිමේ බලය ඇත්තේ ජනාධිපතිටය. ඒ අයිතිය ඉඩම් ඇමතිවරයාට දිය නොහැකි බව ජනාධිපතිනියගේ තර්කය වී තිබේ. ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට හෝ සංශෝධනය කරන්නට සුදානම් නැත. ඒ සමග ඒ ක්‍රමය පවත්වාගෙන යමින් ව්‍යවස්ථාවෙන් ජනාධිපති සතු කර තිබෙන බලතල භුක්ති විඳීමට ද උත්සාහ කරයි. මේ ආකල්පය පරස්පර විරෝධීය.

එක්කෝ ජනාධිපති ක්‍රමයට ආවේණික අයහපත් අංග ඉවත් කොට එය සංශෝධනය කරන තැනකට ආණ්ඩුව යායුතුය. ආණ්ඩුවේ අදහස කිසිම සංශෝධනයකින් තොරව එය පවත්වාගෙන යාම නම්, ව්‍යවස්ථාවේ ඇති ජනාධිපති සතු බලතල ජනාධිපතිට භුක්ති විඳීමට ඉඩදිය යුතුය. විධායක ජනාධිපති ක්‍රමය රටට ඇති කර තිබෙන විනාශය සුළුපටු නැත. එහෙත් අවාසනාවකට රාජ්‍ය නායකත්වය අපේක්ෂා කරන කිසිවෙක් එය අහෝසි කරනවා තබා එහි තිබෙන නොමනා අංග සංශෝධනය කිරීමටවත් කැමති නැත. දැන් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමයට හුළං ගසන තැනකය.