පළාත් පාලන මැතිවරණයෙන් පෙනෙන ප්‍රවනතා

October 29, 2026
Publication:
Written on 1 April with the results out but the national vote totals not yet published. Turnout has fallen, and part of the fall is UNP voters staying at home. Ivan works from the registered vote and the JVP's vote in four districts — Colombo, Galle, Hambantota and Kurunegala — to a national JVP share of about 9.35 per cent, and reads the UNP's defeat as a public impeachment of its leadership.

මෙය ලියන අවස්ථාව වන විට (අප්‍රේල් 01) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ වී ඇතත්, ප්‍රතිඵල විශ්ලේෂණයක් සඳහා අවශ්‍ය ඇතැම් තොරතුරු ද ඒ ඒ පක්ෂ ජාතික වශයෙන් ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව ද ප්‍රකාශයට පත්වී නැත. ඒ නිසා මෙම විග්‍රහය කරන්නට සිදුවී තිබෙන්නේ තිබෙන දත්ත පදනම් කොටගෙනය.

මෙම පළාත් පාලන මැතිවරණයේදි ඡන්ද පාවිච්චි කරන්නන්ගේ අනුපාතයේ පහත වැටීමක් සිදුවී තිබෙන බව පෙනෙන්නට තිබේ. එජාපයට ඡන්දය දෙන ඡන්දදායකයන්ගෙන් කිසියම් පංගුවක් ඡන්දය පාවිච්චි කිරිමෙන් වැළකී සිටීම ඒ තත්ත්වය කෙරෙහි බලපා තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

ජවිපෙ මෙම පළාත් පාලන මැතිවරණය සඳහා වැඩියෙන්ම ශක්තිය යෙදූ හා වැඩියෙන්ම වියදම් කළ පක්ෂය ලෙස සැලකිය හැකිය. පෝස්ටර්, කොඩි, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළකළ ප්‍රචාරක දැන්වීම් පොත්පත් හා පත්‍රිකා සඳහා ලක්ෂ 500 ක පමණ මුදලක් වැය කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. මුළු රට පුරා ඇලවීමට එක් පෝස්ටර් වර්ගයකින් පෝස්ටර් ලක්ෂ 2 කින් මුද්‍රණය කළේ යැයි උපකල්පනය කළහොත් වර්ණ පෝස්ටරයක් සඳහා යන වියදම රුපියල් 10 ක් ලෙස ගණන් බැලුව ද එක් පෝස්ටරයක් සඳහා පමණක් කඩදාසි හා මුද්‍රණ වියදම පමණක් ලක්ෂ 20 කි. මුද්‍රණය කළ වර්ග ගණන 5 ක් ලෙස සැලකුව ද පෝස්ටර් වියදම පමණක් ලක්ෂ 100 කි. ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 5 ක් වෙතොත්, එක ඡන්දයක් සඳහා වියදම රුපියල් 100 කි. ලක්ෂ 10 ක් වෙතොත්, එක ඡන්දයක් සඳහා රුපියල් 50 කි. එය පළාත් පාලන මැතිවරණයකදි පක්ෂයකට වැය කළ හැකි ඉහළම වියදම වියහැකි අතර, ඕනෑම පක්ෂයක් එක් ඡන්දයක් සඳහා වැය කළ ඉහළම වියදම ද විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක වැඩපිළිවෙළ ඉතාමත් ආකර්ෂණීය තත්ත්වයක පැවතුණි. රට මහින්දට භාරදි ඇති බැවින් ගම තමන්ට බාර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. තමන් දිරිය පුරවරය බවට පත්ව තිබෙන තිස්සමහාරාමය මෙන් ගම් නගා සිටුවන බව ද කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ කතා කළ දේවල ඇත්තක් තිබුණා සේ ම ඔවුන් කතා කරන දේවල් මහජන පිළිගැනීමට හේතුවීමට ද ඕනෑතරම් සාධාරණ හේතු තිබුණි. පක්ෂයක් වශයෙන් ගත් කල, ජවිපෙ සම්ප්‍රදායක දේශපාලන පක්ෂ දෙක තරම් දූෂිත තත්ත්වයකට පත්ව නොතිබුණි. ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂකයෝ ද දූෂිත ඉතිහාසයකට හිමිකම් නොකියන නවකයන් වූහ. මේ තත්ත්වය යටතේ රට විශ්මයට පත් කිරීමට හේතුවන ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ජවිපෙ කල්පනා කළ බව පෙනෙන්නට තිබේ.

මූල්‍ය බලය පමණක් නොව, කදිම සංවර්ධන ශක්තියක් ද ජවිපෙට තිබුණි. ඔවුන්ට වැඩ කිරීමට පූර්ණකාලීනයන් 2000 ක් තරම් විශාල බලකායක් සිටියේය. ප්‍රධාන පක්ෂවලටත් පූර්ණකාලීනයන් 10 දෙනෙකුවත් සිටිනවා යැයි කිව නොහැකිය. එහෙත් ලැබුණු ප්‍රතිඵලය රට විශ්මයට පත්කරනවා වෙනුවට ජවිපෙ විශ්මයට පත්කිරීමට හේතුවී තිබෙන බව පෙනේ.

සාමාන්‍ය චිත්‍රයක් ඇති කරගැනීමට තෝරාගත් දිස්ත්‍රික්ක 04 ක ප්‍රතිඵල මෙසේ පිඬු කොට දැක්විය හැකිය. දිස්ත්‍රික්කවල ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව හා ජවිපෙ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණ පැවති ආසනවලට අදාළව පමණය. නිදර්ශනයක් වශයෙන් කොළඹ මහ නගර සභා ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කයේ දත්තවලට ඇතුළත් නැත. ගාල්ල නගර සභාව ගාලු දිස්ත්‍රික්කයේ දත්තවලට ඇතුළත් නැත.

ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය පැවති කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 9.88% ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ 7.56% ක් ද, සිය දේශපාලන බලය ලැබුණු ප්‍රදේශය ලෙස සැලකිය හැකි හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 14.12% ක් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 6.36% ක් ද ලබාගෙන තිබේ. දිස්ත්‍රික්ක හතරේ (පළාත් පාලන මැතිවරණය පැවති ලියාපදිංචි මුළු ඡන්ද දායක සංඛ්‍යාව 3,047,737 කි. ඉන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව ඡන්ද 285153 ක් හෙවත් එම දිස්ත්‍රික්ක හතරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 9.35% කි.)

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදි ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු විය හැකි ප්‍රවණතාවක් ගොඩනැගී තිබෙන බව ඒ අනුව පෙනී යයි.

ජනතා විමුක්ති පෙරමුණට පක්ෂපාතව ඡන්දය පාවිච්චි කිරීමට කොතෙකුත් සාධාරණ හේතු තිබියදිත්, ඒ සියල්ල නොසලකා ජනතා විමුක්ති පෙරමුණට ඇණ ගසන තැනකට ජනතාව ගොස් ඇත්තේ ජවිපෙ අන්තවාදි මතවාදවල ඇති භයානකත්වය ජනතාව තේරුම් ගෙන තිබෙන නිසා විය හැකිය. මෙය ජවිපෙ තමන්ගේ අන්තවාදි මතවාද හා ක්‍රියාකාරකම් ගැන ආපසු හැරි බැලීමට මහජනතාව විසින් දෙන ලද දේශපාලන සංඥාවක් ලෙස ද සැලකිය හැකිය.

අවසාන විග්‍රහයේදි රටේ ජනතාව ජාතිවාදි බලවේග දෙකකට ලැබී තිබුණු කෘත්‍රිම ශක්තිය හීන කළේය. හෙළ උරුමයට තිබුණු පිළිගැනීම මුළුමනින් බිඳ වැටී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු යෝධ පෙනුම අහිමි කොට ඔවුන් අගුටුමිටි තත්ත්වයකට පත්කර තිබේ.

තුන්කොන් තරගයක වැඩි වාසි ලබාදිමේ හැකියාව තිබුණේ එජාපයට වුවත්, එජාප ඇද වැටී තිබෙන ජරාජීර්ණ තත්ත්වය නිසා ඒ වාසිය අත්පත් කරගැනීමට එම පක්ෂය අසමත් විය. ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ කරට කර තරගයකින් පසුව ප්‍රභාකරන්ගෙන් එල්ල වූ අභියෝගය නිසා වුවත්, එම පක්ෂයට ඡන්දය දුන් ජනතාව ආත්ම විශ්වාසයකින් ක්‍රියා කරන තත්ත්වයක තබාගැනීමට එම පක්ෂය සමත් නොවීය. ජනාධිපතිවරණයෙන් ලද පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් නායකත්වයේ එල්ලී ගෙන සිටින පිළිවෙතක් අනුගමනය නොකර, පක්ෂ නායකත්වය අත්හැර ගියේ නම් නව නායකයකු පක්ෂයට ඒමෙන් පක්ෂය ජවසම්පන්න වන්නට ඉඩ තිබුණු අතර, නව නායකයා අසාර්ථක වී නම් සමහරවිට පක්ෂය නැවත විශ්‍රාම ගිය නායකයා පක්ෂ නායකත්වයට කැන්දාගෙන එන පිළිවෙතක් ක්‍රියාත්මක වී පක්ෂයේ ගමන් මග ශක්තිමත් වන්නට ඉඩ තිබුණි. එම අර්ථයෙන් එජාපයට ලැබුණු පරාජය එම පක්ෂ නායකත්වයට එල්ල වූ මහජන දෝෂාභියෝගයක් ලෙස ද සැලකිය හැකිය.

දිස්ත්‍රික්කය ලියාපදිංචි ජවිපෙ ලබාගත් % වශයෙන්

ඡන්ද සංඛ්‍යාව ඡන්ද සංඛ්‍යාව

කොළඹ 987,713 114,093 9.88%

ගාල්ල 623,454 47,219 7.56%

හම්බන්තොට 423,024 59,775 14.12%

කුරුණෑගල 1,013,546 64,066 6.36%

3,047,737 285,153 9.35%