අත්හරීන්නට සිදුවේද?

October 29, 2026
Publication:
The president and the JVP have come to the end of the distance they can travel together. Each needed the other — the president for the election, the JVP against the challenge from the UNP — and each knew the other could not be pulled all the way. Ivan's forecast is that after a parliamentary election the president will end up in some form of national government with the UNP, or will take a large piece of it into his own.

ජනාධිපතිට ජවිපෙ දිගය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජවිපෙ සමග ද ජවිපෙට ජනාධිපති සමග ද එකට යාහැකි අවසාන දුර වෙත දැන් පැමිණ තිබෙන බව පෙනේ. මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ජවිපෙ සමග වැඩ කිරීම වැදගත් වූවා සේ ම, ජවිපෙට එජාපයෙන් එල්ල වී තිබුණු අභියෝගය ඉදිරියේ ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කිරීම වැදගත් විය. ජනාධිපතිවරයාට සහයෝගය දුන් පමණකින් මුළුමණින් තමන් කැමති දිසාවකට ජනාධිපතිවරයා ගෙනයා නොහැකි බව ජවිපෙ දැන සිටියා සේ ම ජවිපෙද මුළුමනින් තමන් කැමති දිසාවකට ගෙනයා නොහැකි බව ජනාධිපතිවරයා ද දැන සිටියේය. ඒ මොහොතේ ඇති කරගන්නා එකගතාවන් දෙපාර්ශ්වයටම වැදගත් හා වාසිදායක විය.

එක් විශේෂ මොහොතක එකට වැඩ කළ මිතුරු බලවේග දෙකක් වෙන්වීම දෙපාර්ශ්වයටම වේදනා ගෙන දෙන කරුණක් විය හැකි වුවත්, වෙන්වීමක් දෙපාර්ශ්වයටම අවශ්‍ය වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ වෙන්වීමෙන් පසු කොයි මොහොතේ හෝ එකිනෙකාට එරෙහිව චෝදනා කරගනිමින් තරග කරන තැනකට තල්ලුවීම නොවැළැක්විය හැකිය.

නෝර්වේ රාජ්‍යයට ලැබී තිබෙන භූමිකාවෙන් ඔවුන් ඉවත් කළ යුතු බවට ජවිපෙ කරන ලද ඉල්ලීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ නැත. ආණ්ඩුවෙන් පිටස්තරව සිටින බලවේගයකට එවැනි ඉල්ලීමක් කිරීම අපහසු නැතත්, රාජ්‍ය පාලකයකුට එවැනි ඉල්ලීමකට අවනත වීම පහසු නැත.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට දෙන සහාය අත්හරින්නේ නම් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති කරගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවනු ඇත්තේය. පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා කෙරෙන දේශපාලන පෙරහුරුවක් ලෙස සැලකිය හැකිය. ආත්ම විශ්වාසයකින් යුතුව පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිවනු ඇත්තේ මෙම පළාත් පාලන මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි නම් පමණය. අනෙක් අතට ජවිපෙට ද ආත්ම විශ්වාසයකින් යුතුව අනාගතයට මුහුණ දිය හැකිවනු ඇත්තේ මහජනයාගේ විශ්වාසයට හේතුවන හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට සමත් වේ නම් පමණය. තුන්කොන් තරගයක වැඩි වාසිය ලබාගැනීමේ හැකියාව තිබුණේ එජාපයට වුවත්, පාක්ෂිකයින් ආත්ම විශ්වාසයකින් යුතුව ක්‍රියා කරන තැනක තබාගැනීමට එජජාප සමත් වී නැත.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජවිපෙ නැතිකමේ අඩුව ශ්‍රීලනිපයට දැනෙනු ඇතත්, අනෙක් අතට තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය හා හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය එකතු කරගැනීම මගින් ශ්‍රීලනිපයට ඒ අඩුව පිරීමසා ගැනීමට හැකිවනු ඇතැයි සිතිය හැකිය. එක්සත් ජාතික පක්ෂයට එවැනි මැතිවරණයකට තරග කිරීමට සිදුවනු ඇත්තේ හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයේ හෝ තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසයේ සහාය නැතිවය. එය එජාපයේ අවාසියට බලපානු නොවැළැක්විය හැකිය. එසේම අනෙක් අතට ජවිපෙට තරග කරන්නට සිදුවනු ඇත්තේ ද තනිවමය. එම තත්ත්වය ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය දුර්වල කිරීමට හේතුවිය හැකිය.

පවතින අනුපාතික ඡන්ද ක්‍රමය තුළ ජයග්‍රාහකයාට කැපී පෙනෙන බහුතර බලයක් ලබාගැනීමේ හැකියාවක් නැත. ඒ තත්ත්වය යටතේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයෙන් පසුව එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට එජාප සමග ජාතික ආණ්ඩුවක් ඇති කරගන්නා තත්ත්වයකට යන්නට සිදුවනු ඇත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ වී තිබෙන බව පෙනෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ මහතා හිර කරන තැනකට යාමය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර සුළු අනුගාමික පිරිසක් සිටියත් දේශපාලන චිත්‍රයේ වෙනසක් ඇති කිරීමට තරම් ඔවුන් බලවත් නැත. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයක් මන්ත්‍රීවරුන් අතර චන්ද්‍රිකාට තිබෙන සුළු බල පදනම පවා දුර්වල කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර බලවත් වූයේ විශාලතම පක්ෂයේ නායකයා වනවා හැරුණු කොට සුළු ජාතික පක්ෂ අතර ඔහුට තිබුණු පිළිගැනීම නිසාය. ඒ පිළිගැනීම කෙරෙහි එල්ටීටීඊ ය සමග තිබුණු හොඳ හිත ද ප්‍රධාන කොට බලපෑවේය. එහෙත් වර්තමානයේදි ඔහුට තම පක්ෂය තුළ තිබුණු පිළිගැනීම දුර්වල වී තිබෙනවා සේ ම එල්ටීටීඊය සමග තිබුණු හොඳ හිත ද නැවත යා කළ නොහැකි ලෙස බිඳ වැටී තිබේ. එම තත්ත්වය තුළ අතීතයේ මෙන් බලවත් භූමිකාවක් රගපෑමේ හැකියාවක් ඔහුට නැත.

එස්.බී. දිසානායක මහතා රගපාන්නට යන භූමිකාව ද නොපැහැදිලිය. ජිනීවා නඩුව ඔහුගේ වාසියට තීන්දු විය හැකිය. ඊට පෙර අවශ්‍ය නම්, ඔහු කෙරෙහි බලපා තිබෙන තහනම ඉවත් කිරීමේ බලය ජනාධිපති සතුය. ඔහුට එජාපය තුළ ලොකු චරිතයක්වීමේ හැකියාව තිබෙනවා සේ ම, ආණ්ඩුවට එකතු වී එහි ලොකු චරිතයක් රගපෑමේ හැකියාව ද ඔහු සතුය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාප ලබන ප්‍රතිඵලය යහපත් නොවේ නම්, එය රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි බලපායි. ඒ සමග ඔහුට තවදුරටත් පක්ෂ නායකත්වයේ එල්ලී සිටීමේ හැකියාව අහිමි විය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව ජනාධිපතිවරයාට එජාප සමග ජාතික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ හැකියාව තිබෙනවා සේ ම, එජාපයෙන් කිසියම් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමේ හැකියාව ද පවතී.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් යහපත් ප්‍රතිඵලයක් නෙළා ගැනීමට ජවිපෙ සමත් වුවහොත් ඊළග යුගයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමේ වාසනාව හිමිවනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටය.