මේ අවුරුදු සමයයි. මෙවරද කඩපිල්, වෙළෙඳපොළ හා සුපිරි වෙළෙඳ සල් මහජනතාවගෙන් වැසී ගොස් තිබුණ ද බඩු මිල අධික ම අවුරුදු සමය මේ බව බොහෝ පාරිභෝගිකයන්ගේ මතය වී තිබේ.
ඇතැම් අත්යවශ්ය ආහාර ද්රව්ය මිල ඉකුත් කාලය තුළ අහස උසට නැග තුබුණු අතර අවුරුදු සමයේ එම මිල ගණන් විකෘති අන්දමින් ඉහළ ගොස් ඇති බව පෙනේ. මෙය ඇතැම් වෙළෙඳුන්ගේ නොහික්මුණු හා දඩබ්බරකම් ඔස්සේ සිදුවන්නක් වියහැකි වුව ද එය පාලනය කිරිමේ අවශ්යතාවක් හෝ හැකියාවක් ආණ්ඩුවට නොමැති නම් එම අනර්ථකාරි බවේ වගකීම ආණ්ඩුව බාරගත යුතුය.
පසුගිය දශක දෙක තුළ බලයට පත් හැම ආණ්ඩුවකම පාලන උපාය වූයේ යුද්ධයට කෝටි ගණනක් වියදම් කිරීමට සිදුවී ඇති නිසා බඩුමිල, රැකී රක්ෂෂා හා අනිකුත් අත්යවශ්ය ජනතා සේවා සඳහා වියදම් කිරීමට මුදල් නොමැති බව කියා ජනතාව අස්වැසීමය. අවි ආයුධ ඇතුළු අනිකුත් යුද වියදම් පිළිබඳව ජනමාධ්ය හා වෙනත් සන්නිවේදන ක්රම මගින් ජනතාව දැනුවත්ව සිටි නිසා යුද්ධය පවතිද්දි ආහාර මිල හෝ අනිකුත් ජනතා අවශ්යතා පිළිබඳව දැඩි බලකිරීමකට හෝ විරෝධතාවකට යෑමට ජනතාව පෙළඹුණේ ද නැත. ඇතැමෙකුගේ දේශපාලන අවශ්යතා මත සිදුකෙරුණු උද්ඝෝෂණවල දි වුවද ජනතා ඉල්ලීම වූයේ නිස්කාරණ යුද්ධය නතර කර එම මුදල් ජනතා අවශ්යතා සඳහා යොදවන ලෙස ය.
නමුත් දැන් යුද්ධයක් කෙරෙන්නේ නැත. ස්ථීරසාර සාමයකට එළඹ නැති වුවද පවත්නා සටන් විරාමය නිසා යුද වියදම් අවම වී ඇත. සටන් විරාම කාලය ද වසරකුත් මාස කිහිපයකි. එමෙන්ම ජනමාධ්ය වාර්තාකරන අන්දමට විදේශාධාර ලැබීම පිළිබඳවද උදාවී ඇත්තේ වසන්ත කාලයකි. එසේ නම් නැගී එන ජීවන වියදම හා ජනතාවගේ අනිකුත් දැවෙන ප්රශ්නවලට අතගැසීමට ආණ්ඩුවට ඇති නොහැකියාව කුමක් ද? යුද්ධය නැතත් යුද සූදානමින් සිටිය යුතු නිසා ඊට ද අති විශාල ධනයක් වැය කෙරෙතැයි ඇතැම් ආණ්ඩු පාක්ෂිකයෝ මෙයට නිදහසට කාරණා ලෙස කියා සිටිති. එය ද නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් තව ටිකක් යන්නට නොදෙවෙනිය. ස්ථීර සාර සාමයක් ඇති වුවද අති විශාල හමුදාව හා එම අංශ නඩත්තු කළ යුතු නිසා එය ද නිදහසට කාරණයක් ලෙස ගෙන ජනතා ප්රශ්නවලින් පළායෑමට ආණ්ඩුවකට ඉඩකඩ තිබේ.
එසේ නම් සිදුවී ඇත්තේ කුමක්ද යන්න මෙහිදි නිතැතින්ම පැන නැගේ. යුද්ධය පවතිද්දිට වඩා එය නතරව තිබියදි ජනතාවට වඩා අපහසුතාවන්ට මුහුණ දිමට සිදුවී ඇත්නම් ඊට ද හේතුවක් තිබිය යුතුය. එය ආණ්ඩුවේ නොහැකියාවද? වුවමනාවක් නැති කමද? කළමනාකරණයේ දුර්වලතාවද? යන්න පැහැදිලි කරගත යුතුය.