ඡන්ද බලය හා පරමාධිපත්‍ය බලය

December 12, 2009
Publication:
Sovereignty is exercised at elections, Ivan writes, and Sri Lanka's record of holding them on time is better than its record of holding them freely. He sets out why no elections commission was ever appointed under the 17th Amendment, names who advised against it, and tells voters to make the commissioner keep his back straight.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය පාලකයා සේ ම රාජ්‍ය පාලනයේ ප්‍රධාන ආයතනය ලෙස සැලකිය හැකි ව්‍යවස්ථාදායකය සඳහා වන නියෝජිතයන් තේරීපත්වන්නේ උරුමයෙන් නොව, මහජන ඡන්දයෙනි. ජනතාව සතු පරමාධිපත්‍ය බලය ලෙස සැලකෙනුයේ එම බලයයි. ජනතාව සිය පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්නේ මැතිවරණවලදී තමන් කැමති අපේක්ෂකයකුට ඡන්දය පාවිච්චි කිරීමෙනි. එජාපයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම සඳහා 1982 පැවති ජනමතවිචාරණයේදී හැර අන් හැම අවස්ථාවකදීම නියමිත කාලවලට මැතිවරණ පවත්වා තිබේ. එය යහපත් වාර්තාවක් ලෙස සැලකිය හැකි වුවත් වචනයේ පුළුල් අර්ථයෙන් ගත්විට බොහෝ මැතිවරණ නිදහස් හා සාධාරණ තත්ත්වයක නොපැවතුණි. හැම ආණ්ඩුවක්ම මැතිවරණවලදී රාජ්‍ය බලය සේ ම රාජ්‍ය සම්පත් යොදාගන්නා සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කිරීමේ අරමුණ වූයේ එම විසම තත්ත්වය වැළකීමය. එහෙත් දැන් කාලයක පටන් මැතිවරණ පැවැත්වෙන්නේ ව්‍යවස්ථාපිතව තිබිය යුතු මැතිවරණ කොමිසම නැතිවය. මැතිවරණ කොමිසමේ සියලු බලතල මැතිවරණ කොමිසම ඇති කරන තෙක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී ඇතත්, එම බලතල මැතිවරණ කොමසාරිස්වරයා ද ප්‍රශස්ථ ලෙස පාවිච්චි කරන බවක් පෙනෙන්නට නැත. මේ දේශපාලන ක්‍රමය තුළ නීතිය අකුරටම ක්‍රියාත්මක කළ නොහැකි අසරණ තත්ත්වයකට මැතිවරණ කොමසාරිස්වරයා වැටී සිටින බවත්, හැම මැතිවරණයකදීම පාහේ පෙනෙන්නට තිබුණි. මැතිවරණ කොමිසම පිහිටුවන තෙක් විශ්‍රාම යා නොහැකි අසරණ තත්ත්වයකට මැතිවරණ කොමසාරිස්වරයා පත්ව සිටී. ඔහු ඊට විසඳුමක් ලබාගන්නට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියත්, ඔහුගේ ආරාවුල විසඳාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වූයේ නැත. ඊළඟට ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී නිල ප්‍රතිඵල ප්‍රකාශ කරන උත්සවයේදී සිය දුක්ගැනවිල්ල අභිනවයෙන් තේරී පත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළේය.

ඔහුගේ දුක්ගැනවිල්ලට විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වුවත් ජනාධිපතිවරයා අතින් ද එම ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත. මැතිවරණ කොමිසම නොපිහිටුවන තත්ත්වයක් ඇති කිරීම කෙරෙහි වර්තමාන ජනාධිපතිවරයා පමණක් නොව, හිටපු ජනාධිපතිනිය ද වගකිව යුතුය. ජනාධිපතිනියට මැතිවරණ කොමිසම පත් නොකරන්නට අවශ්‍ය උපදෙස් දුන් පුද්ගලයා ලෙස එදා ක්‍රියා කළේ අද 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසට හඬ නගන මංගල සමරවීර මහතාය. ජවිපෙ අනුගමනය කළේ ද ජනාධිපතිනියගේ එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව අනියම් ලෙස අනුමත කරන ප්‍රතිපත්තියකි. එජාපය ද ඊට එරෙහිව බලවත් ලෙස නැගී නොසිටි බව කිවයුතුය. මෙම විෂයේදී හැම කෙනකුගේම තුරුම්පුව අයහපත්ය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කළ මැතිවරණ කොමිසම ද හොඳ නිර්මාණයක් ලෙස සැලකිය නොහැකිය. එයද දඩිබිඩි වැඩපිළිවෙළක ප්‍රතිඵලයකි.

ඉන්දියානු මැතිවරණ කොමිසම සමග සසඳන විට අපේ මැතිවරණ කොමිසම තිබෙන්නේ ඉතාමත් පසුගාමී තැනකය. තිබෙන ඉතාමත් යහපත් නීති පවා තිබෙන්නේ බාගෙට මළ තත්ත්වයකය. මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයෝ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටිති. ඉන්දියාවේ නම් සියලු අපේක්ෂකයන් නාමයෝජනා පත්‍රය සමග වත්කම් බැරකම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතුය. එහෙත් අපේ රටේ මේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවනවා පමණක් නොව, මැතිවරණ කටයුතුවලදී ඒ විෂයට සිටින බලධාරියා ලෙස සැලකිය හැකි මැතිවරණ කොමසාරිස්වරයා පවා එම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. මැතිවරණ කොමසාරිස්වරයාට අවශ්‍ය නම් ඉදිරියේ පැවැත්වෙන්නට නියමිත සියලු මැතිවරණවලදී අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවට නියෝග කළ හැකිය. නීති නැතිවිට රීති ඇති කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය.

එහෙත් මොන මොන හේතු නිසා හෝ මැතිවරණ කොමසාරිස්වරයා ද නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. කොන්ද කෙළින් කොට තබාගෙන වැඩ කරන ලෙස ඡන්දදායක ජනතාව මැතිවරණ කොමසාරිස්වරයාට බල කළ යුතුය.