දේශප්‍රේමී පෝස්ටර් හා දේශද්‍රෝහී පාප්ප

May 1, 2005
Publication:
The JVP has the country's best poster machine and spends more on posters than anyone. Ivan mocks its latest campaign, then turns to the question of who the alliance's presidential candidate will be: the President will not give up her wish to avoid irrelevance, but in a close contest between Mahinda Rajapaksa and Ranil Wickremesinghe, Rajapaksa is more likely to win.

ශ්‍රී ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොඳම යාන්ත්‍රණය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටය. හැමදාමත් පක්ෂයේ පූර්ණකාලීනයන් වෙත පැවරි තිබෙන එක් ප්‍රධාන වගකීමක් වනුයේ ද පෝස්ටර් ඇලවීමය. ඒ අර්ථයෙන් පෝස්ටර්, පූර්ණකාලීනයන් වැඩ කරන තත්ත්වයක තබාගැනීමට උපකාරි වේ. අනෙක් අතට පිටස්තරයන්ට ශක්තිය පෙන්වන මාර්ගයක් වනවා සේ ම පාක්ෂිකයින් ස්වයංමෝහන තත්ත්වයක තබාගැනීමට ද උපකාරි වේ.

ශ්‍රී ලංකාවේ පෝස්ටර් සඳහා වැඩිම වියදමක් දරන පක්ෂය හා ආයතනය ලෙස සැලකිය හැක්කේ ද ජනතා විමුක්ති පෙරමුණය. එය හැම සතියකටම අඩුම වශයෙන් එක් පෝස්ටරයක් හෝ දෙකක් පළ කරයි. පසුගිය සතියේ (අප්‍රේල් 25 වැනිදායින් ආරම්භ වන) පළ කරන ලද පෝස්ටර් ගණන 10කි. එක් පෝස්ටරයක් කපුගේ සඳහාය. තවත් පෝස්ටරයක් අනගාරික ධර්මපාල සඳහාය. තුන්වැනි පෝස්ටරය හෝමාගම අමුණක් ගැනය. හතරවැනි පෝස්ටරය ඝාතනයට ලක්වූ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් ගැනය. පස්වැනි පෝස්ටරය ගුරු සංගමය වෙනුවෙන් ගුරු ඉල්ලීම් සඳහාය. මැයි දිනය වෙනුවෙන් ද පෝස්ටර් 05කි.

එක පෝස්ටරයක් මුද්‍රණය කෙරෙන සංඛ්‍යාව ලක්ෂයක් ලෙස සහ එක් පෝස්ටරයක වියදම රුපියල් 10ක් ලෙස සැලකුවහොත් එක් පෝස්ටරයක් සඳහා මුද්‍රණ වියදම රු. ලක්ෂ 10කි. අප්‍රේල් අවසාන සතියේ පෝස්ටර් වියදම රුපියල් කෝටියකට ආසන්න විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකාවට පමණක් නොව තරිගු පිටිවලට ද (ඇමරිකන් පිටි) විරුද්ධය. තිරිගු පිටිවලින් තනන ආහාර පරිභෝජනය අඩු කොට සහල් පිටිවලින් තනන ආහාර වැඩියෙන් පරිභෝජනය කොට වී ගොවීන්ට ආධාර කරන ලෙස එම පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටී. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ සිය දේශප්‍රේමී පෝස්ටර් අලවන්නේ සහල් පිටිවලින් තැනූ දේශප්‍රේමී පාප්ප වලින් නොව, තිරිගු පිටිවලින් තැනූ දේශද්‍රෝහී පාප්ප වලිනි. එක් පිටි කිලෝවකින් ඇලවිය හැකි ලොකු පෝස්ටර් ගණන 50ක් ලෙස සලකතොත්, එක් පෝස්ටර් ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය පිටි කිලෝ ගණන කිලෝ 200කි. අප්‍රේල් අවසාන සතියේ පෝස්ටර් 10 සඳහා පරිහරණය කරන්නට ඇති පිටි ප්‍රමාණය පිටි මෙට්‍රික් ටොන් 02කි. පෝස්ටර් සඳහා මසක පිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 04ක් ලෙස සලකතොත් දේශප්‍රේමී පෝස්ටර් සඳහා ජනතා විමුක්ති පෙරමුණ වසරකට පාවිච්චියට ගන්නා දේශද්‍රෝහී පිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 48කි. සහල් පිටිවලින් පාන් තනන ක්‍රමයක් අත්හදා බලන්නට පෙර සහල් පිටිවලින් පාප්ප හදන ක්‍රමවේදයක් සොයාගත හැකි නම් දේශද්‍රෝහී නොවී දේශප්‍රේමී පෝස්ටර් අලවන ක්‍රමයක් ඔවුන්ට ඇති කරගත හැකිය.

පෝස්ටර් හා පාප්ප ගැන ලියන්නට අවශ්‍ය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ එන්ජීඕ පැටිකිරිය ගැන නිර්මාණය කළ පෝස්ටරයක් පසුගිය සතියේ කොළඹ නගරයේ ඇලවීමෙන් ලද අපූරු අත්දැකීමක් නිසාය. එය රාවය පුවත්පත ගැන ඇලවුණු පෝස්ටරයකි. “ජවිපෙ එන්ජීඕ පැටිකිරිය ගැන දැනගන්න රාවය කියවන්න” යන්න ඊට ඇතුළත් පණිවුඩය විය. පෝස්ටරය ඇලවූයේ මහ රෑ ය. පෝස්ටර් ඇලවූ කණ්ඩායමට කිසිම තර්ජනයක් ගර්ජනයක් එල්ල වූයේ නැත. එහෙත් එළිවන විට දෙතුන් පොළක හැර අන් කිසිම තැනක පෝස්ටර් තිබුණේ නැත. සියල්ල තාප්ප වලින් ඉවත් කොට තිබුණු අතර, ඉරන ලද පෝස්ටර්වල පොඩි කැබැල්ලක්වත් බිම නොදමන තරම් ශිෂ්ටසම්පන්න ආකාරයකට ඒ කාරිය කර තිබුණි. ජනතා විමුක්ති පෙරමුණට පෝස්ටර් අලවන්නට පමණක් නොව, තමන් අකමැති පෝස්ටර් ගලවන්නට ද කාර්යක්ෂම යාන්ත්‍රණයක් තිබෙන බව ඉන් පෙනී යයි.

පෝස්ටර් ඔස්සේ හෝ වෙනත් ආකාර වලින් අදහස් පළකිරීමේ අයිතිය තිබිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් නොවේ. අන් අයට ද ඒ අයිතිය තිබිය යුතුය. එහෙත් තමන් හැර තමන් අකමැති මිනිසුන් ඒ අයිතිය භුක්ති විඳිනවාට ජනතා විමුක්ති පෙරමුණ කැමති නැති බව ඉන් පෙනේ. අදහස් පළකිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදි නිදහසේ අත්තිවාරම වන අතර, ජනතා විමුක්ති පෙරමුණ දැන හෝ නොදැන පහරදෙමින් තිබෙන්නේ ඒ අත්තිවාරමටය.

ජනාධිපති අපේක්ෂකයා කවුද?

මීළග ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2005 අවසානයේ ද, නැතිනම් 2006 අවසානයේද යන මූලික ප්‍රශ්නයට තවමත් හරි විසඳුමක් ලැබී නැත. ඒ ගැන ව්‍යාකූලතාවක් ඇති කිරීමට හේතුවී තිබුණේ අගවිනිසුරු ඉදිරියේ දෙවැනි වරටත් ජනාධිපතිනිය හොර රහසේ දිවුරුම් දී ඇත්තේය කියන කතාවය. ජනාධිපතිවරණය 2005 වසර අවසානයේ පැවැත්විය යුතු බවත්, එසේ නොවේ නම්, තමන් වීථි බසින බවත් එක්සත් ජාතික පක්ෂය කියා තිබුණි. ඊට පිළිතුරු වශයෙන් මංගල සමරවීර කීවේ ජනාධිපතිවරණය 2006 වසර අවසානයේදි මිස, 2005 වසරේ නොපැවැත්වෙනු ඇති බවය. ඒත් දැන් ඒ ගැන ඉන් ඔබ්බට ගිය වාදයක් රටේ ඇති බවක් පෙනෙන්නට නැත. කාලය වේගයෙන් ගෙවී යමින් ඇතත්, ක්‍රමය වෙනස් කිරීමට හෝ ඒ සඳහා වන ජනමත විචාරණයක් කරළියට ගැනීමට හෝ ආණ්ඩුව සමත් වී නැත. එවැනි දෙයක් කරන්නට හැකිවනු ඇතැයි ද සිතිය නොහැකිය.

තමාගේ අවලංගුවීම වළකා ගැනීමේ ආශාව ජනාධිපතිනිය අවසාන මොහොත දක්වා අත්නොහරිනු ඇතත්, ඇයට ඒ අරමුණ ජයගත හැකිවනු ඇතැයි සිතිය නොහැක. ඊළග ජනාධිපතිවරණයට සන්ධානයෙන් තරග කරන ජනාධිපති අපේක්ෂකයා ඇය නොවේ නම් ඒ අවස්ථාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලැබේද? සන්ධානය ඉදිරියේ ඇති පහසුවෙන් විසඳගත් නොහැකි දුෂ්කරම ගැටලුව වනු ඇත්තේ ද එයයි.

සන්ධාන ආණ්ඩුව මහජනයාගේ අප්‍රසාදයට හේතුවී ඇතත්, ඊළග ජනාධිපතිවරණයේදි සන්ධානයේ පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ වේ නම් එජාපයෙන් තරග කරන රනිල් වික්‍රමසිංහ සමග කරන තරගයකින් ජයගැනීමේ වැඩි හැකියාවක් ලැබෙනු ඇත්තේ මහින්දටය. සන්ධාන ආණ්ඩුවේ ශීඝ්‍ර පිරීහීමක් ඇතත්, කලකිරීමට පත්ව සිටින සිය පාක්ෂිකයන් තුළ නව උද්යෝගයක් මතුකර ගැනීමේ හැකියාව මහින්ද සතුය. එහෙත් එක්සත් ජාතික පාක්ෂිකයින් අතර එවැනි උද්යෝගීමත් ආවේගයක් මතුකර ගැනීමේ හැකියාව රනිල්ට නැත. මේ තරගයේදි රනිල්ට ලැබෙන ලොකුම වාසිය වනු ඇත්තේ අපේක්ෂකයකු පිළිබඳ පොදු එකගතාවක් ඇති කරගැනීමට සන්ධානය සතු නොහැකියාවයි.

තමන්ට තරග කළ නොහැකි නම් අඩුම වශයෙන් තමන්ට පාලනය කළ හැකි පුද්ගලයකු ජනාධිපති අපේක්ෂකයකු කිරීමට ජනාධිපතිනිය හැම උත්සාහයක්ම දරනු නොවැළැක්විය හැකිය. අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ සිතනු ඇත්තේ ද ඊට සමාන ආකාරයකටය. එනම් තමන්ට අනියම් ලෙස පාලනය කළ හැකි පුද්ගලයෙකු ජනාධිපති අපේක්ෂකයා කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ද උපරිම උත්සාහ දරනු ඇත. එහෙත් ජනාධිපතිනිය හෝ ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ සිය අපේක්ෂකයා කරගැනීමට කැමති වනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපතිවරයෙකුට ලැබෙන බලය අතිවිශාල බව ජනාධිපතිනිය සේ ම ජනතා විමුක්ති පෙරමුණ ද දනී. ඉතාමත් නිවට මිනිසෙකු වුවත්, එම තනතුරට පත්වීමෙන් පසු ඔහු කිසිවකුගේ දාසයෙකු ලෙස ක්‍රියාකරනු ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිනියගේ අනුග්‍රහය ඇතිව තරග බිමට පැමිණෙන, ඇයට ඉතාමත් කීකරු පුද්ගලයෙකු වුවත් බලයට පැමිණි පසු ඇයට කීකරු වනු ඇතැයි සිතිය නොහැකිය.

ජනාධිපතිනිය තුළ හැමදාමත් මහින්ද රාජපක්ෂ කෙරෙහි බයක් සේ ම සැකයක් ද තිබුණි. මහින්ද වැනි පුද්ගලයෙකු බලයට පත්වුවහොත් පක්ෂය කෙරෙහි බණ්ඩාරනායකවරුන්ට තිබෙන ආධිපත්‍යය අතුගා දමනු ඇතැයි කියන බියක් ජනාධිපතිනිය තුළ හැමදාමත් තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ දකින්නේ ද විශ්වාස නොකළ යුතු වර්ගයේ පුද්ගලයෙකු ලෙසය. සමහරවිට මහින්දට එරෙහිව ජනාධිපතිනිය හා ජනතා විමුක්ති පෙරමුණ පොදු එකගතාවකින් යුතුව ක්‍රියාකරනු ඇතැයි ද සිතිය හැකිය. එහෙත් මහින්ද දැනටමත් මතුවී තිබෙන ප්‍රමාණය අනුව ඔහු මුළුමනින් නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් ද මේ දෙපක්ෂයටම නැත. අනෙක් අතට මහින්ද පොදු අපේක්ෂකයා කරගැනීමේ හැකියාවක් ද මේ දෙපක්ෂයටම නැත.

මහින්ද අපේක්ෂකයා වීම වැළකිය නොහැකි නම්, මහින්දට තරග කරන්නට ඉඩදි කොබ්බෑකඩුව සම්බන්ධයෙන් බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් මහින්ද පරාජය කොට ශ්‍රීලනිප තවදුරටත් තමන් යටතේ තබාගත යුතුය යන ආකල්පයක පිහිටා ක්‍රියාකරන තැනකට ද ජනාධිපතිනිය යොමුවිය හැකිය. ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙවැනි වනවා නම් දෙවැනි වන්නේ රටේ ජනාධිතිකමටය. එහෙත් මහින්දට ඉඩදි කකුලෙන් අදින ක්‍රමයක් කොබ්බෑකඩුවට වලංගු වුවත්, මහින්දට වලංගුවන්නේ නැත. කොබ්බෑකඩුවට තරග කරන්නට සිදුවී තිබුණේ ජේ.ආර්. ජයවර්ධන සමගය. බණ්ඩාරනායක මැතිනිය කොබ්බෑකඩුවගේ කකුලෙන් නොඇද මුළු හදවතින් උපරිම ලෙස ආධාර කළත්, ඒ මොහොතේ ජේ.ආර්. ජයවර්ධන පරාජය කිරීමේ හැකියාවක් කොබ්බෑකඩුවට තිබුණේ නැත. අනෙක් අතට මහින්දට තරග කරන්නට සිදුවී තිබෙන්නේ ශක්තිමත් ජේ.ආර්. ජයවර්ධන කෙනෙකු සමග නොව, දුර්වල රනිල් වික්‍රමසිංහ කෙනෙකු සමගය. අපේක්ෂකත්වය ලැබී ජනාධිපතිනිය කකුලෙන් අදින ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, එය මහින්දගේ ඉදිරි ගමනට බාධාවක් වන්නේ නැත.

ජනාධිපති තරගය පවතින්නේ මහින්ද හා රනිල් අතර නම් ළග ළග තරගයකින් ජයගැනීමේ වැඩි හැකියාව ලැබෙනු ඇත්තේ මහින්දටය. එහෙත් මහින්ද අපේක්ෂකයා නොවී, ඒ නිසා සන්ධානය තුළ බිඳවීමක් ඇතිවේ නම්, අපේක්ෂකයා කවුරුන් වුවත්, ජය ලැබෙනු ඇත්තේ රනිල්ටය.