යාංගල් මෝදර දුම්රිය – බස් ගැටුම අහඹු සිද්ධියක් ලෙස සැලකිය නො හැකි ය. මහපාරේ කටයුතු සිදුවෙමින් තිබුණේ එවැනි ඛේදවාචකයන්ට අනුබල ලැබෙන ආකාරයට ය. පෞද්ගලික බස්රථ සඳහා අධීක්ෂණයට යටත් කාලසටහන් ක්රමයක් ක්රියාත්මක වෙන්නේ නැත. මේ නිසා එකම මාර්ගයේ බස්රථ අතර බිහිසුණු තරගයක් පවතී. බස් රියැදුරුට දුම්රිය එන බව පෙනි පෙනී දුම්රිය හරස්මග පසුකරන්නට අවශ්ය වූයේ තරගය ජයගැනීම සඳහා ඒ දුෂ්කර කඩුල්ල ජයගැනීම අත්යවශ්ය වේ යැයි කල්පනා කළ නිසා ය. එය කෙළවර වූයේ දැවැන්ත ඛේදවාචකයකිනි.
නීතියේ පාලනයක් නැත්තේ මහපාරේ පමණක් නො වේ. එය හැමතැන ම පවතින තත්ත්වයකි. රටේ රාජ්ය නායිකාව නීතියට ගරු නො කරයි නම්, විපක්ෂ නායකයා නීතියට ගරු නො කරයි නම්, නීතිය පසිඳලන ආයතන ක්රමයේ නායකයා නීතියට ගරු නො කරයි නම්, මහපාරේ පමණක් නීතියේ පාලනයක් තිබිය හැක්කේ කෙසේ ද?
ආණ්ඩුක්රම ව්යවස්ථාව රටේ මූලික නීතියයි. එහෙත් වර්තමානයේ බලයේ සිටින රාජ්ය නායිකාව දක්වා වන සියලු දෙනා කිසිම බියකින් තොර ව ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනිව ක්රියාකර ඇත්තේ ය. 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ව්යවස්ථා සභාවේ නිර්දේශ මත ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ස්ථාපිත කිරීම ජනාධිපතිනියගේ වගකීමකි. එහෙත් ඇය එය අද දක්වා ස්ථාපිත කර නැත. ඊට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා ශ්රේෂ්ඨාධිකරණයට ගිය විට අගවිනිසුරුවරයා කීවේ “කණගාටුයි, මට කරන්න දෙයක් නැහැ” කියාය.
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව පක්ෂ මාරු කරන මන්ත්රීවරුන්ගේ මන්ත්රීකම් අහිමි විය යුතු ය. එහෙත් විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්රීවරුන්ගේ මන්ත්රීකම් අධිකරණයෙන් ආරක්ෂා කර දෙන ක්රමයක් රටේ ක්රියාත්මක වේ.
අධිකරණයේ ප්රධානියාට එල්ල වී තිබෙන චෝදනා අනුව ඔහු සිටිය යුත්තේ අධිකරණයක නො ව හිරගෙදර ය.
පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන ආයතනය ලෙස ක්රියා කරයි. එය තමන් හදන නීතිවත් පිළිපදින්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත වාහන විකිණීම හෝ අන්සතු කිරීම නීති විරෝධි ය. එහෙත් එය සාමාන්ය දෙයක් ලෙස රටේ ක්රියාත්මක වේ.
රටේ පවතින නීතිය අනුව බලය සඳහා තරග කරන දේශපාලන පක්ෂ එම පක්ෂවල නිලධාරින් මගින් පක්ෂවල වත්කම් බැරකම් හෙළිකළ යුතු ය. එහෙත් කිසිම පක්ෂයක නිලධාරියෙක් එම පක්ෂවල වත්කම් බැරකම් හෙළිකරන්නේ නැත. වත්කම් බැරකම් නීතිය අනුව එසේ නො කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් වුවත්, කිසිම දේශපාලන පක්ෂයකට එරෙහිව නීතිය ක්රියාත්මක වන්නේ නැත.
පාසල් අධ්යාපන ක්රමයේ පවතින තත්ත්වයත්, මහමග පවතින තත්ත්වයට දෙවැනි නැත. තමන්ගේ තරාතිරමට ගැළපෙන සුදුසු පාසලක් තම දරුවන්ට ලබාදිම සඳහා ඊට ගැළපෙන හොර සහතික ඉදිරිපත් කරන ක්රමයක් මහා පරිමාණයෙන් රටේ ක්රියාත්මක වූයේ දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ය. අවශ්ය හොර සහතික තනන ෆැක්ටරි ක්රමයක් ද රටේ තිබුණි. මේ ක්රමය රටේ පාලකයන්ට රහසක් නො වූ අතර, ඔවුහු ද එම වැරදි ක්රමය ආරක්ෂා කරමින් පෝෂණය කළහ. දැන් අර්බුදය පිටාර ගලන්නට වූ විට මුවහම බවට පත් කොට සිටින්නේ විදුහල්පතිවරුන් ය. නීතියට පටහැනි ව හොඳ පාසල් ලබාගෙන ඇත්තේ සාමාන්ය මිනිසුන් පමණක් නො වේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වැඩි පිරිසකගේ ළමුන්ට හොඳ පාසල් ලැබී ඇත්තේ ද නීති විරෝධී ආකාරයකට ය.
රට නීතියක් නැති අයුක්තිය රජ කරන රටක් බවට පත්ව තිබේ. එහෙත් ඊට වගකිවයුත්තේ දේශපාලකයින් පමණක් නො වේ. සමාජය ද වගකිව යුතු ය.
නීතියේ පාලනයක් ඇති කළ හැකිවනු ඇත්තේ වැරදි කරන හාල්මැස්සන්ට එරෙහිව අකුරට ම නීතිය ක්රියාත්මක කිරිමෙන් නො ව, වැරදි කරන තෝරුන්, මෝරුන්ට එරෙහිව නීතිය අකුරට ම ක්රියාත්මක කරන තත්ත්වයක් ඇති කිරිමෙනි. එහෙත් එවැනි තත්ත්වයක් දිනාගැනීමට සමාජය සමත් වනු ඇත්තේ පටු පක්ෂබේද ඉක්මවා පොදු යහපත වෙනුවෙන් ක්රියාකරන තත්ත්වයකට සමාජය යොමුවේ නම් පමණ ය.