ඉන්දියාවේ පවතින දූෂණයට එරෙහිව මහජන ඔම්බුඩ්ස්මන්වරයකු යටතේ ක්‍රියාත්මක දූෂණ මර්දන ස්වාධීන ආයතන ක්‍රමයක් දිනාගැනීම සඳහා ඉන්දියාවේ දූෂණ විරෝධී මහජන ව්‍යාපාරය හා එම අරගලය තර්කානුකූල අවසානයක් ඇතිකර ගැනීම සඳහා අන්නා හසාරේ ක්‍රියාවට නගන ලද සත්‍යග්‍රහ සටන කෙළවර වූයේ ඔවුන් අපේක්ෂා කළ අරමුණ ජයගැනීමෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් තරමේ සංවාදයට ලක්වී නැතත් එය ගාන්ධිගේ විප්ලවයෙන් පසුව ඉන්දියාවේ සිදුවූ ලොකුම මහජන විප්ලවය ලෙස සැලකිය හැකිය. එය නැවත ඉන්දියාව සිය මුල් දේශපාලන උරුමය ලෙස සැලකිය හැකි ගාන්ධිවාදය වෙත රැගෙන ගිය විප්ලවයක් ලෙසද සැලකිය හැකිය. දැන් ඉන්දියාවේ ඇත්තේ පරණ ඉන්දියාව නොව, අලුත් ඉන්දියාවකි. එය එහි සිදුවූ අවසාන විප්ලවය නොවන අතර සාමකාමී ස්වරූපයකින් සිදුවන්නට නියමිත විප්ලව රැල්ලක ආරම්භයක් ලෙසද සැලකිය හැකිය.
ශ්‍රී ලංකාවද ඉන්දියාව තරම්ම සමහරවිට ඊටත් වඩා දූෂණයෙන් ඉහ වහා ගිය රටකි. රටේ පවතින දේශපාලන ක්‍රමය දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වළකා දූෂණයේ පැවැත්ම ශක්තිමත් කොට වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන්නේයැ”යි ද කිව හැකිය. දේශපාලන ක්‍රමය සකස් වී තිබෙන්නේ පාලක පක්ෂයන්ට අයථා ලෙස වස්තුව උපයා ගැනීමේ අයිතිය හා බලය ලැබෙන ආකාරයටය. එම තත්ත්වය දූෂණයට සම්බන්ධ වැරදිවලදී පාලක පක්ෂයට සම්බන්ධ දූෂිත පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම වැළකීමෙන් නොනැවතී පොදුවේ දූෂණ වැරදිවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීම අඩපණ කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි ද කිව හැකිය.
වත්කම් බැරකම් නීතිය
දූෂණ මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන නීති සම්පාදනයන් අතර සමහර සීමාසහිතකම් තිබියදීත් තිබෙන බලවත්ම නීති සම්පාදනය ලෙස සැලකිය හැක්කේ 1988 අංක 77 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතියයි. එය මේ දේශපාලන ක්‍රමය තුළ විවිධ අංශවල බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටින දූෂිත පුද්ගලයන් උපායික වශයෙන් කොටු කිරීමේ අරමුණින් ඇති කර තිබෙන නීතියක් වනවා පමණක් නොව, බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටින එවැනි පුද්ගලයන් රැස් කරගෙන තිබෙන ධනය පිළිබඳව තොරතුරු ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදෙන විප්ලවකාරී නීතියක් ලෙස ද සැලකිය හැකිය.
මෙම නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින අය මෙසේය.
1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
2. ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විනිශ්චයකාරවරුන් හා රජයේ නිලධාරීන්.
3. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධාරීන්.
4. අධිකරණ සේවා කොමිසම විසින් පත් කරනු ලබන අධිකරණ නිලධාරීන් හා උප ලේඛනගත රජයේ නිලධාරීන්.
6. රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්.
7. පළාත් පාලන ආයතනවල සාමාජිකයන්.
8. ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන්.
9. ජනමාධ්‍ය ආයතනවල අයිතිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩලවල සාමාජිකයන්.
10. ලියාපදිංචි දේශපාලන පක්ෂවල නිලධාරීන්.
11. වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි වෘත්තීය සමිතිවල නිලධාරීන්.
මේ සියලුදෙනා වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. තමන්ගේ පමණක් නොව බිරිඳගේ හෝ ස්වාමි පුරුෂයාගේ ද, යැපෙන දරුවන්ගේ ද වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය.
වත්කම් ප්‍රකාශ කිරීමෙන් වැළකීම, වත්කම් ප්‍රකාශනයේදී කරුණු සැඟවීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය යුතු අපරාධ ගණයට වැටෙන වරදකි. අඩුපාඩුකම් ඇතත්, මෙම නීති සම්පාදනයට ආවේණික ඉතාමත් විප්ලවකාරි ලක්ෂණය වනුයේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින මේ ඕනෑම පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල පිටපත් නියමිත ගාස්තුවක් ගෙවා ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදී තිබීමය.
සී.වී. හා ඇතුලත්මුදලි
මෙම නීතිය ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් තේරී පත්වීමෙන් පසුව එජාපයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට පෙර සම්මත කරගන්නා ලද නීතියක් බව පෙනී යයි. ඒ කෙරෙහි රටේ පැවති ලේ වැගිරෙන වාතාවරණයද බලපෑවා විය හැකිය. ඉතාමත් වැදගත්ම දේ මේ නීතිය සම්පාදනය කර තිබෙන්නේ නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයාද අනියම් ලෙස හෝ ඊට ඇතුළත් වන ආකාරයටය. ජනාධිපති ධුරයට පත්වන්නකුට තේරී පත්වන මැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නට සිදුවන අතර ඉන්පසු දෙවැනි ධුර කාලයක් සඳහා තරග කරයි නම් ජනාධිපති ධුරයෙහි සිටියදීමත් වත්කම් බැරකම්, ප්‍රකාශ කරන්නට සිදුවන්නේය. මෙය 78 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසු තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගන්නා ලද නීතියක් වන නිසා ජනාධිපතිවරයාට තිබෙන මුක්තිය මෙම විෂයේදී අහිමි කරන නීතියක් ලෙසද සැලකිය හැකිය. මෙය බලවත් පුද්ගලයන්ට තමන්ගේ වත්කම් ප්‍රකාශ කිරීමට බල කැරෙන හා ඒ තොරතුරු ලබාගැනීමට මහජනයාට අයිතිය ලබාදෙන විප්ලවකාරී නීතියක් ලෙස සැලකිය හැකි වුවත් මෙම නීතිය බලාත්මක වනවා දකින්නට දූෂිත පුද්ගලයන් පමණක් නොව, දූෂණයට එරෙහිව හා තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාගැනීමට උනන්දුවක් දක්වන අයද එක සේ අකමැත්තක් දක්වන බවද පෙනෙන්නට තිබේ. ඒ ඇයි ද කියන ප්‍රශ්නය සලකා බලන්නට පෙර මෙම නීතියේ භාවිතය පිළිබඳව මට තිබෙන අත්දැකීම්වලින් මෙම විශ්ලේෂණය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි.
මේ නීතිය කෙරෙහි මා තුළ උනන්දුවක් ඇති කිරීමට බලපෑවේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරයකු වූ සී.වී. ගුණරත්නට එරෙහිව එජාපයේ ප්‍රබල ඇමතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි විසින් පවරන ලද අපහාස නඩු විභාගයයි. සී.වී. ගුණරත්නගේ සාක්ෂි ලේඛනයට, ඇතුලත්මුදලිගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් ඇතුළත් කර තිබූ අතර එය ඔහුට ලැබී තිබුණේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙනි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස හා ලලිත් ඇතුලත්මුදලි අතර තිබූ භේදය නිසා ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම නඩුවේදී සී.වී. ගුණරත්නට රහසේ ආධාර කරන පිළිවෙතක් පවත්වාගෙන ගියේය. ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ පිටපතක් මා ලබාගත්තේ සී.වී. ගුණරත්නගෙනි. ලලිත්ගේ මෙම වත්කම් බැරකම් ප්‍රකාශය මේ නීතිය ගැන මා තුළ උනන්දුවක් ඇති කළ පළමු හේතුව ලෙස සැලකිය හැකිය. ඉන්පසු මෙම නීතිය රටේ ක්‍රියාත්මකවෙමින් තිබූ ආකාරය ගැන සාමාන්‍ය සොයා බැලීමක් කරන තැනකට මම යොමුවුණෙමි.
වත්කම් බැරකම් නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශන ලබාදීමට නීතියෙන් බැඳී සිටින රාජ්‍ය නිලධාරීන් සියලුදෙනාම පාහේ අදාළ බලධාරීන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන තත්ත්වයක් රටේ තිබුණි. එහෙත් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනවල පිටපත් ලබාගැනීමට උනන්දුවක් ඇති මහජනතාවට ඒවාහි පිටපත් ලබාදෙන තත්ත්වයක් රටේ නොතිබුණි. ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට අදාළව මෙම නීතිය ක්‍රියාත්මක වූයේ නීතිය එක පැත්තකට පමණක් බර තැබෙන ආකාරයටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරය තරමක් ඊට වෙනස්ය. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ලේකම්වරයා වෙත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළද එසේ කිරීමෙන් වැළකී සිටින සැලකිය යුතු තරම් විශාල පිරිසක් ද පාර්ලිමේන්තුවේ සිටියෝය.
ඒ පිළිබඳව එදා පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් නිදර්ශනයක් මෙසේය.
1990 වසරේ හෝ 1991 වසරේදී මම දුරකතනයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අමතා කතා කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමේ උනන්දුවක් මට තිබෙන බවත්, ඒවා ලබාගත යුතු ආකාරය දැනගැනීමට මට අවශ්‍ය වී තිබෙන බවත් කියා සිටියෙමි. මගේ එම ඉල්ලීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පුදුමයට හේතුවූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන සීල් කොට තබාගෙන සිටින බවත්, ඒවා ලබාගත හැක්කේ උසාවි නියෝගයකින් පමණක් බවත් කියා සිටිමින් ඔහු දුරකතන ඇමතුම විසන්ධි කළේය. මා පාර්ලිමේන්තු ලේකම්වරයාට කතා කළේ වත්කම් බැරකම් නීතිය ගැන යථා අවබෝධයක් ඇතිවිය. නීතිය අනුව මා කළයුතුව තිබුණේ ඒවා ලබාගැනීමට උසාවි නියෝගයක් ලබාගැනීම නොව එම විෂය භාර බලධාරියා ලෙස පාර්ලිමේන්තු ලේකම්වරයා වෙත කතා කිරීම හෝ ලිඛිතව ඒ සඳහා වන විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පමණය.
කඩවුණු පොරොන්දුව
මෙම විෂය අරබයා පාර්ලිමේන්තුවේ පැවති අශෝභන තත්ත්වය පිළිබඳව එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ක්‍රියා කළ මහාචාර්ය ජී.එල්. පීරිස් ද දැනුවත් කළෙමි. ඒ වන විට ඔහු දේශපාලන උනන්දුවක් ඇති පුද්ගලයකුගේ තත්ත්වයට පත්ව සිටි අතර උපකුලපතිකමෙන් ඉවත් වී විරුද්ධ පක්ෂ දේශපාලනයට එකතුවීමේ බලාපොරොත්තුවක් ඇති බවක් ද පෙනෙන්නට තිබුණි. ඒ කාලයේදී මාගේ දේශපාලන විශ්වාසය වී තිබුණේ බලයේ සිටි එජාප පරාජය කොට ගොඩනගන නව ආණ්ඩුවක් මගින් මේ සියලු ප්‍රශ්න විසඳා ගතයුතු බව හා එම සියලු ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවනු ඇති බවය. ඒ නිසා කේන්ද්‍රීය වැදගත්කමක් ඇති මෙම ප්‍රශ්නය ගැන විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ නායකයන් දැනුවත් කිරීම වැදගත්වේයැ”යි මම විශ්වාස කළෙමි. ඒ වන විට විරුද්ධ පක්ෂ බලවේගයන්ට අතිරේකව දූෂණ විෂය ගැන හෝ තොරතුරු ලබාගැනීමේ අයිතිය පිළිබඳ විෂය ගැන උනන්දුවක් දක්වන වෙනත් ස්වාධීන ව්‍යාපාර රටේ නොතිබුණි.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විරුද්ධ පක්ෂ ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් බවට පත්වීමෙන් පසු වත්කම් බැරකම් නීතිය ක්‍රියාත්මක වන අවලස්සන ස්වරූපය ගැන ඇය ද දැනුවත් කිරීමට උත්සාහ කළෙමි. ඇය ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වන බවද පෙන්නුවේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කළ යුතු බව ඇය දරන ලද මතය වූ අතර, ඒ මතය 1994 මැතිවරණ ප්‍රකාශනයට ද වැදගත් කරුණක් ලෙස ඇතුළත් කර තිබුණි. 1994 මැතිවරණයට පොදු පෙරමුණේ අපේක්ෂකයන් නාමයෝජනා භාරදීමෙන් පසු බණ්ඩාරනායක සමාධිය වෙත ගොස් කරන ලද දිවුරුම්දීම මගේ අදහසක් අනුව කරන ලද්දක් වූ අතර එහිදී කියවීමට මා විසින්ම සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශනයට තමන් බලයට පැමිණි පසු වත්කම් බැරකම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව හා මැති ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කරන බව ඇතුළත්ව තිබුණි.
ඒ සියල්ල මැතිවරණ ජයග්‍රහණයක් සඳහා වැදගත්වන්නට ඇතත් ලබාගත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව එය නොසලකා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
ඒ තත්ත්වය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් සරල නිදර්ශනයක් මෙසේය.
පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව අලුත් ඇමති මණ්ඩලයක් පත් කොට එම ඇමති මණ්ඩලය රැස්වූ පළමු දිනයේදීම එම රැස්වීමෙන් පසු සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ ඇමති ලක්ෂ්මන් ජයකොඩි මහතා දුරකතන ඇමතුමක් ගෙන මට කතා කළේය.
පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී පොරොන්දු වූ පරිදි ඇමති මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරන බවට දී තිබෙන පොරොන්දුව ඉටුකළ යුතුද නැද්ද යන ප්‍රශ්නය සාකච්ඡා කළ බවත්, එසේ කිරීම අවශ්‍ය නොවන බව වැඩිදෙනාගේ මතය වූ බවත් ඔහු කියා සිටියේය. මහජනයාට පොරොන්දුවක් දුන්නේ නම් එය ඉටුකළ යුතු බව තමාගේ මතය වන බවත් මෙම අදහස කෙරෙහි බලපෑ පුද්ගලයා මා වන නිසා මගේ දැනගැනීම සඳහා ඔහු විසින් භාරදෙන ලද වත්කම් බැරකම් ප්‍රකාශනයේ පිටපතක් මාගේ දැනගැනීම සඳහා මා වෙත එවන බවත් ඒ සම්බන්ධයෙන් මා කැමති ප්‍රතිපත්තියක් අනුගමනය කළ හැකි බවත් ඔහු කියා සිටියේය. පොරොන්දු වූ පරිදිම ඔහු ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ පිටපතක් මා වෙත එවන ලදි.
මෙම විෂයේදී නැව ගමන් ගනිමින් තිබුණු අත තේරුම් ගැනීම අමාරු නොවීය. ඉන් ටික කලකට පසුව මා ජනාධිපති ලේකම්වරයා අමතා ලියාපදිංචි තැපෑලෙන් ලියා යවන ලද ලිපියක් මගින් පොදු පෙරමුණු ආණ්ඩුවේ ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල පිටපත් විධිමත් ලෙස ඉල්ලා සිටියෙමි. පිළිතුරක් නොලැබුණු විට ඒ ගැන කරන සිහිකැඳවීම් ගණනාවක්ද යැව්වෙමි. ඒ කිසිවකට පිළිතුරක් නොලැබුණු විට හැම වසරකටම එක් වරක් හෝ දෙවරක් ජනාධිපතිනිය ඇතුළු ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා ලියාපදිංචි තැපෑලෙන් ලියුම් යැවීම සිරිතක් කොට ගත්තෙමි. ඒ හැම ලිපියකම, වත්කම් බැරකම් නීතිය යටතේ සහතික පිටපතක් ලබාගැනීමට නීතියෙන් මට තිබෙන අයිතියත් ඒවා ඉල්ලා සිටින කවර පුද්ගලයකුට හෝ ඒවා ලබා නොදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් පෙන්වා දුන්නෙමි.
එහෙත් පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය පෙර පැවති තත්ත්වයට වඩා තරමක් වෙනස් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන සම්බන්ධයෙන් කතානායක රත්නායක මහතා අමතා ලියා යවන ලද ලිපියකට ඔහු වහාම පිළිතුරු එව්වේය. වත්කම් බැරකම් ප්‍රකාශන ලබාදී තිබෙන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් ද ඊට ඇතුළත් කර තිබුණි. ප්‍රකාශන ලබාදී තිබුණු අයගේ ප්‍රමාණය 10%ක්වත් නැති තරම් විය. එම නාමලේඛනයට ඇතුළත් ඕනෑම මන්ත්‍රීවරයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල සහතික පිටපත් ඒ සඳහා නියමිත ගාස්තුව ගෙවා ලබාගන්නා ලෙසත් ඒ ගැන තමා පාර්ලිමේන්තු මහලේකම්වරයාද දැනුවත් කර තිබෙන බවත් එහි සඳහන් විය. ඒ සමග වත්කම් බැරකම් ප්‍රකාශන භාර නොදුන් මන්ත්‍රීවරුන් ගැනද එහි කෙටි සඳහන් කිරීමක් තිබුණි. මෙම ප්‍රශ්නය ගැන තමන් දැනුවත් කිරීම ගැන මට ස්තූතිය පළ කරන අතර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැති මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා තමා ක්‍රියාකරන බවද එහි සඳහන්ව තිබුණි.
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය
1999 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වත්කම් බැරකම් නීතිය මතක් කර දෙන ලිපියක් මැතිවරණ කොමසාරිස්වරයාවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැව්වෙමි. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාට බව පෙන්වාදෙමින් මෙම ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර මීට පෙර තරග කර ඇති එහෙත් නීතියෙන් නියම කර තිබෙන ආකාරයට වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති ජනාධිපති අපේක්ෂකයෝ වෙත් නම් ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලෙස ද ඉල්ලා සිටියෙමි. ඒ ලිපියේ පිටපත් ජනමාධ්‍යවලටද ලබාදෙන ලද අතර සමහර ජනමාධ්‍ය ඊට ලබාදෙන ලද ප්‍රසිද්ධිය නිසා පළමුවරට 1999 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම (ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ) සිය නාමයෝජනා සමග ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශනද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දුන්නේය.
ඉන්පසු පැවති මහ මැතිවරණයේදී නැවත මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියක් මගින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කරන අතර ඒ සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක නොකරන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව අධිකරණයට පැමිණිලි කරන බවද දැනුම් දුන්නෙමි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් පළමුවරට මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් නීතිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් කෙරෙහි බලපාන ආකාරය ඔවුන්ට දැනුම් දීම සඳහා ප්‍රසිද්ධ දැන්වීමක් ජනමාධ්‍යවල පළකරන ලදි. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශන භාර නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව ඔහු නීතිය අනුව ක්‍රියා නොකළේය. තමන් වෙත පැවරී තිබෙන වගකීම පැහැර හැරීමට ඔහු නීතියේ ඇති සිදුරක් සොයා ගත්තේය. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදෙන අය සම්බන්ධයෙන් තමන් ක්‍රියාකළ යුතු ආකාරය වත්කම් බැරකම් නීතියේ විස්තර නොකැරෙන නිසා ඔවුන්ට එරෙහිව තමන්ට කළ හැකි කිසිවක් නැති බව මැතිවරණ කොමසාරිස්වරයා පුවත්පතකට කියා තිබුණි.
මෙම විෂයට අදාළව මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පැවරීමක් කිරීමට මට අවශ්‍යව තිබුණද ඒ වන විට මා වෙනත් විෂයක ලොකු නෛතික අරගලයක පැටලී සිටීම නිසා ඒ දේ කිරීමට මට නොහැකි විය. දූෂණ විෂය ගැන හා තොරතුරු ලබාගැනීමේ අයිතිය ගැන උනන්දුවක් දක්වන වෙනත් අය ලවා ඒ දේ කරවා ගැනීමට මා බලවත් උත්සාහයක යෙදුණු මුත් මොන මොන හේතු නිසා හෝ දූෂණයට එරෙහිව හඬ නගන හා තොරතුරු ලබාගැනීමේ අයිතිය ගැන හඬ නගන නාමධාරීහු ඊට අත ගැසීමට කැමති නොවූහ.
මෙම නීතිය සජීවී කිරීමට අවශ්‍ය වී තිබුණේ අධිකරණ අර්ථ නිරූපණයක් පමණය. නීතිය කෙටුම්පත් කර තිබූ ස්වරූපයේ අඩුපාඩුකම් තිබුණි. ඒ අඩුපාඩුකම් සියල්ල අර්ථ නිරූපණයකින් ජයගැනීමේ හැකියාව තිබුණි. නිදර්ශනයක් වශයෙන් මෙහි වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු අයගේ ගණයට දේශපාලන පක්ෂවල නිලධාරීන් හා වෘත්තීය සමිතිවල නිලධාරීන් ද ඇතුළත් කර තිබුණි. ඒ මගින් අපේක්ෂා කළේ ඔවුන්ගේ වත්කම් බැරකම් පමණක් නොව ඔවුන් භාරයේ තිබෙන පක්ෂවල හා වෘත්තීය සංගම්වල ද වත්කම් හා බැරකම් හෙළිදරව් කරගැනීමය. එහෙත් සාමාන්‍යයෙන් සිදුවූයේ එවැනි අය කලාතුරකින් හෝ වත්කම් බැරකම් ප්‍රකාශ කරන අවස්ථාවලදී පවා පුද්ගලිකව තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පමණය. පක්ෂවල හෝ වෘත්තීය සංගම්වල ඇති වත්කම් හා බැරකම් හෙළිදරව් නොකරන ලදි. මෙම නීතියෙන් අපේක්ෂා කළ අරමුණ වී තිබුණේ වත්කම් බැරකම් ප්‍රකාශ කළයුතු තත්ත්වයක සිටින සියලුදෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරවා ගන්නා අතර ඒ සියලු තොරතුරු මහජනයාට ලබාදෙමින් ඒ තොරතුරුවල ඇති හරි වැරැද්ද පරීක්ෂා කිරීමේ බලය මහජනයා අතට පත්කිරීමය. වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදී තිබුණේ ඒ සඳහාය. එහෙත් එම පිටපත් මහජනයාට ලබාදීම සඳහා ඇතිකර තිබුණු ක්‍රමවේදය එදා පැවති තත්ත්වයට ගැළපුණා විය හැකි වුවත් නූතන තත්ත්වයට ගැළපුණේ නැත. මේ නීතියේ අරමුණ මේ සියලු තොරතුරු මහජනතාවට ලබාදීම නම් වර්තමාන කාලයේ ඒ සඳහා යොදාගත හැකි හොඳම ක්‍රමය වන්නේ වත්කම් බැරකම් නීතිය යටතට වැටෙන සියලුදෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ඒ වෙනුවෙන්ම පවත්වාගෙන යන වෙබ් අඩවියකට යොමු කිරීමය. එවිට ඒ සියලුදෙනා පහසුවෙන්ම මහජන පරීක්ෂාවට ලක්වන්නෝය. එය දූෂණය පාලනය කිරීමට යොදාගත හැකි ක්‍රම අතර තිබෙන එක් ශක්තිමත් ක්‍රමයකි. ඒ වෙනස පවා අධිකරණ අර්ථ නිරූපණයකින් දිනාගත හැකිව තිබූ වෙනසක් ලෙස සැලකිය හැකිය.
තොරතුරු පනත
ශ්‍රී ලංකාව සඳහා තොරතුරු පනතක් පළමුවෙන්ම කෙටුම්පත් කරන ලද්දේ 1997දී නීති කොමිසම විසිනි. එකල නීති කොමිසමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ මහතාය. ඉන්පසු කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ඒකාබද්ධව 2001 වසරේදී තොරතුරු පනතක් කෙටුම්පත් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ සමග තිබුණු හිතවත්කම් මත කෙටුම්පත නීති ගතකරවා ගැනීම මෙම ව්‍යාපාරයේ අභිලාෂය විය. තොරතුරු පනතක් නීතිගත කරනවාට මගේ කැමැත්තක් තිබුණද බලවත් පුද්ගලයන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදී තිබෙන වත්කම් බැරකම් නීතිය ආරක්ෂා කරගැනීමට හා බලාත්මක කරගැනීමට මේ ව්‍යාපාරවලට කිසිදු උනන්දුවක් නැතිකම මගේ විවේචනයට හේතුවී තිබුණි. මගේ මතය වූයේ දැනට ලැබී තිබෙන දේ රැක ගනිමින් අලුත් අයිතිවාසිකම් සඳහා සටන් කළ යුතු බවය. එහෙත් මොන හේතුවක් නිසා හෝ තොරතුරු පනතක් ගැන මිස වත්කම් බැරකම් නීතිය ගැන ඔවුන් තුළ උනන්දුවක් නොතිබුණි. කෙටුම්පත් කර තිබෙන තොරතුරු පනත පිළිබඳව ෆ්‍රෙඩ්‍රික් ඊබට් පදනම විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී තොරතුරු පනත කෙටුම්පත් කළ රොහාන් එදිරිසිංහ විෂය ගැන කතා කරන විට මා කතා කළේ වත්කම් බැරකම් නීතිය ගැනය.
වත්කම් බැරකම් නීතිය බලවත් පුද්ගලයන්ගේ වත්කම් පිළිබඳව මහජනයාට තොරතුරු ලබාගැනීමේ අයිතිය ලබාදී තිබෙන නීතියක්ව තිබියදී එම නීතිය ක්‍රියාකාරී තත්ත්වයකට ගැනීමට උනන්දු නොවී තොරතුරු පනතක් ගැන පමණක් සිහින දැකීම ප්‍රායෝගික නොවන බව මම එහිදී කියා සිටියෙමි.
තොරතුරු පනත කෙටුම්පත් කළ පුද්ගලයා සමගද මම වත්කම් බැරකම් නීතිය ගැන කතා කර ඇත්තෙමි. ඔහු එක එල්ලේම මට කීවේ එම නීතියෙන් වත්කම් හෙළිදරව් කිරීමට බැඳී සිටින පුද්ගලයන් ඔවුන්ගේ බිරිඳ හා දරුවන්ගේ ද වත්කම් ප්‍රකාශ කිරීමට බැඳී සිටින නිසා තමන් එම නීතියට කැමති නැති බවය. දූෂණය මර්දනය කිරීමට හා තොරතුරු ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් හඬනගන සමහර ජනමාධ්‍යවේදීන්ද තොරතුරු පනතට මිස වත්කම් බැරකම් නීතියට කැමති නැතිකම කෙරෙහි ඔවුන් මෙම නීතිය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට බැඳී සිටීම බලපෑවේය. නැතහොත් ඔවුන් එම නීතියට කැමති නොවූයේ ඒ නීතියට ඔවුන් ද ඇතුළත් වූ නිසාය. තමන්ගේ වත්කම් සඟවා ගැනීමේ අයිතිය ආරක්ෂා කරගනිමින් අනුන්ගේ වත්කම් පමණක් මහජන පරීක්ෂාවට ලක් කරන ක්‍රමයක් සඳහා සටන් කිරීම සාධාරණ විය හැක්කේ කෙසේද? මා මේ ප්‍රශ්නය දූෂණ හා තොරතුරු ලබාගැනීමේ අයිතිය ගැන හඬ නගන නීතිඥ මහතුන් බොහෝ දෙනකු සමග සාකච්ඡා කර ඇත්තෙමි. එයින් සමහරකුට ඒ විෂය පිළිබඳව මා හුවමාරු කරගෙන තිබෙන ලිපිගොනුව දෙන ලදුව ඔවුන් එය කියවා තිබුණේයැ”යි ද කිව හැකිය. මොන හේතුවක් නිසා හෝ ඒ වෙනුවෙන් සටන් කරන්නට බොහෝ දෙනකු කැමති නොවූ බව කනගාටුවෙන් යුතුව වුවද කිව යුතුය. ඒ ගැන විශේෂ උනන්දුවකින් මා සමග අවංක අදහස් හුවමාරුවක් කරගෙන ඇත්තේ සුරංජිත් හේවාමාන්න පමණය. මෙම නීතියට අධිකරණයෙන් ලබාගන්නා අර්ථ නිරූපණයක් මගින් නීතිය වඩා පරීපූර්ණ හා බලවත් නීතියක් බවට පත් කළ හැකි බව ඔහු පිළිගත්තේය. එහෙත් මා වඩා විශාල නෛතික ආරාවුලක පැටලී සිටි තත්ත්වය ඉදිරියේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව තිබූ අයහපත් වෙනස්කම් නිසා මෙම ප්‍රශ්නය වෙනුවෙන් නෛතික අරගලයක් ආරම්භ කරනවාට ඔහු විරුද්ධ විය. වෙනත් පුද්ගලයකු හෝ පුද්ගල පිරිසක් ලවා එය කරවා ගැනීමට දරන ලද උත්සාහය ද අසාර්ථක විය. දූෂණ මර්දනය හා තොරතුරු ලබාගැනීමේ අයිතිය දිනාගැනීම සඳහා ඇත්ත උනන්දුවක් දක්වන අය සිටී නම් ඵලදායී ආරම්භයක් සඳහා තාමත් එය තෝරාගැනීමට තිබෙන ශක්තිමත් මාර්ගයක් වේයැ”යි කිව හැකිය.
කරු ජයසූරිය
වැඩි ඈතක නොවන දිනකදී අවංකකමේදී ගෞරවයට හේතුවන පුද්ගලයකු ලෙස සැලකිය හැකි කරු ජයසූරිය මහතා තොරතුරු පනතක් සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර විරුද්ධ පක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා එම උත්සාහය අසාර්ථක විය. දූෂණ මර්දනයේදී හා ඊට අදාළ තොරතුරු ලබාගැනීමේ අයිතියේදී තිබෙන බලවත් නීතියක් අකාලයේ මැරෙන්නට ඉඩහැර අලුත් නීතියක් ගැන සිහින දකින්නේ ඇයිද යන්න මට ඒ මොහොතේ ඇතිවූ ප්‍රශ්නයක් විය. තොරතුරු පනතක් සරල වැඩි ඡන්දයකින් වුවත් නීතිගත කළ හැකිය. එහෙත් වත්කම් බැරකම් නීතිය තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කරවා ගත යුතුව තිබුණු තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කරවා ගනු ලැබූ නීතියකි. එම නීතිය දූෂණ මර්දනයට ශක්තිමත් පදනමක් ලබාදෙන නීතියක් වනවා පමණක් නොව බලවත් පුද්ගලයන්ගේ වත්කම් තොරතුරු ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදී තිබෙන නීතියකි. එම නීතියෙන් ආවරණය වී තිබෙන විෂය තොරතුරු පනතකින් ආවරණය වන්නේ නැත. ඒ දෙක අතර තිබෙන වෙනස හඳුනා ගැනීමට මේ සියලුදෙනා අසමත් වූයේ ඇයි?
පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සේ ම එම දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේද හෘදය සාක්ෂිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළ විටින් විට උරගා බැලීමකට ලක්වන්නේයැ”යි කිව හැකිය. හැම ප්‍රජාතන්ත්‍රවාදී රටකම පාහේ දේශපාලන පක්ෂවල ආදායම් වියදම් පිළිබඳ විස්තර මැතිවරණ බලධාරියාට හා ඔඩිටර් ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුය. එහෙත් එවැනි ක්‍රමයක් ලංකාවේ නොපවතී. එවැනි ක්‍රමයක් ඇතිකර ගැනීම සඳහා වන යෝජනාවක් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කළ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කළේය. තේරීම් කාරක සභාව තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ එකතු වී සිටියෝය. එහෙත් ඒ සියලුදෙනා භේදයකින් තොරව එකට එකතු වී මැතිවරණ කොමසාරිස්වරයාගේ එම යෝජනාව යටපත් කළෝය. එයද තොරතුරු ලබාගැනීමේ අයිතියට අදාළ කේන්ද්‍රීය ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එවැනි සරල යෝජනාවකට පවා එක පොදියට විරුද්ධ වන පිරිසක් අතරින් කිසිවකු ඉඳහිට තොරතුරු පනතක් ගැන කැරෙන කතා බැ?රුම් ලෙස සැලකිය යුත්තේ ඇයි?
මට මෙහිදී පෙන්වාදීමට අවශ්‍යව ඇත්තේ මෙම විශේෂ විෂයයන් දෙකේදී අප රට මුහුණදී තිබෙන අවුලේ සංකීර්ණ හා දෙබිඩි ස්වරූපයයි. සිරිතක් වශයෙන් විරුද්ධ පක්ෂ, ආණ්ඩු පක්ෂයේ දූෂණවලට එරෙහිව කෑමොර ගසති. සටන් කරති. එහෙත් විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය බවටත්, ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය බවටත් පත්වූ විට විරුද්ධ පක්ෂයේ සිටියදී දූෂණයට එරෙහිව සටන් කළ සටන්කාමීන් දූෂිතයන් බවටත්, ආණ්ඩු පක්ෂයේ සිටියදී දූෂිතයන් ලෙස ක්‍රියා කළ අය දූෂණ විරෝධී සටන්කරුවන් බවටත් පත්වෙති. මෙම දෙබිඩිකම පාර්ලිමේන්තු දේශපාලනයට පමණක් සීමාවී නැත. ඉන් පිටස්තර හැම වැදගත් අංශයකමත් පොදුවේ දක්නට ඇති ලක්ෂණයකි. ජනමාධ්‍යවේදීහු ද තමන්ගේ ලෝකයේ සිදුවන දූෂණ ගැන කතා නොකරති. එහෙත් අනුන්ගේ ලෝකවල සිදුවන දූෂණ ගැන මහත් උනන්දුවෙන් කතා කරති. ජනමාධ්‍යවේදීන් තමන්ගේ ලෝකයේ ඇත්ත තොරතුරු මහජනයාට දෙන්නේ නැත. එහෙත් පිටස්තර ලෝකවල තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරති. ජනමාධ්‍යවේදීහු එක මොහොතක අන්ත දූෂිත පුද්ගලයකු ලෙස නම් කරන පුද්ගලයකු තවත් මොහොතකදී දූෂණයට එරෙහිව සටන් කරන වීරයකු බවට පත්කරන්නෝය. අපේ රටේ දක්නට තිබෙන මෙම දෙබිඩි ලක්ෂණය රටේ දේශපාලන ලෝකයට හා ජනමාධ්‍ය ලෝකයට පමණක් සීමාවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය. එය අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ, වෘත්තීයවේදීන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, කලාකරුවන්ගේ හා ආගමිකයන්ගේ ලෝකවල ද පොදුවේ දක්නට තිබෙන ලක්ෂණයකි.
එය එසේ වී ඇත්තේ ඇයි? එම තත්ත්වය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද යන ප්‍රශ්න දෙකට අප පළමු කොට හරි උත්තරයක් සොයාගත යුතුය. නිරවුල් ගමනක් ආරම්භ කළ හැකිවනු ඇත්තේ එවිටය.