රෝගීන් ගසා කෑම

August 28, 2011
Publication:
The health minister has ordered that laboratory tests for patients at government hospitals with laboratory facilities may not be sent out to private hospitals. If the decision was taken with all the other problems it may create in mind, it can be called a very important step for the health service.

රසායනාගාර පහසුකම් ඇති රජයේ රෝහල්වල රෝගීන්ගේ රසායන පරීක්ෂණ පෞද්ගලික අංශයේ රෝහල් මගින් කරවා ගැනීම වළකන නියෝගයක් සෞඛ්‍ය ඇමතිවරයා විසින් කර තිබේ. මෙම තීන්දුව ගෙන ඇත්තේ ඒ නිසා ඇතිවිය හැකි අනෙකුත් සියලු ප්‍රශ්නද සැලකිල්ලට ගෙන නම් එය සෞඛ්‍ය සේවයට අදාළව ගෙන තිබෙන ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙය රජයේ රෝහල්වලින් පමණක් නොව, පෞද්ගලික රෝහල්වලින් ද ප්‍රතිකාර පිණිස යන රෝගීන්ට පොදුවේ මුහුණ දෙන්නට සිදුවී තිබෙන ඔවුන් පීඩාවට පත් කිරීමට හේතුවී තිබෙන ගැටලු අතර ඉතා වැදගත් ප්‍රමුඛ ගැටලුවක් ලෙස සැලකිය හැකිය. රජයේ බොහෝ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නට යන රෝගීන්ට ඔවුන්ගේ රසායන පරීක්ෂණ වාර්තා ලබාගන්නට සිදුවී තිබෙන්නේ පෞද්ගලික අංශයෙනි. ඒ සඳහා රෝගීන්ට ඔරොත්තු නොදෙන තරම් විශාල වියදමක් දරන්නට සිදුවී තිබේ.

මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු ගණනාවක් ඇති බව පෙනේ. රජයේ බොහෝ රෝහල්වල රසායනාගාර පහසුකම් ඇතත් ඒ සඳහා යොදා ගැනෙන යන්ත්‍ර මොන මොන හේතු නිසා හෝ තිබෙන්නේ පාවිච්චි කළ නොහැකි තත්ත්වයකය. එවැනි යන්ත්‍රවල කාර්මික දෝෂ ඇතිවූ විට ඒවා අප්‍රමාදව යථා තත්ත්වයට පත් කරන කාර්යක්ෂම ක්‍රමයක් රජයේ රෝහල්වලට නැත. සමහර වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් සමග පවත්වාගෙන යන ගජමිතුරු සම්බන්ධකම් ද මේ තත්ත්වයට හේතුවී තිබේ. ඔවුහු පෞද්ගලික අංශයට ආදායම් උපයා ගැනීමට අවස්ථාවක් ලබාදීම මගින් ඍජු ලෙස හෝ අනියම් ලෙස ප්‍රතිලාභ උපයා ගනිති. රසායනාගාරවල වැඩ කරන කාර්මිකයන්ට පෞද්ගලික අංශය සමග තිබෙන ගනුදෙනු නිසා රජයේ රෝහල්වල මේ අංශය අක්‍රිය තත්ත්වයක තබා ගැනීමට උනන්දුවක් දක්වන බවද පෙනෙන්නට තිබේ. මේ කෙරෙහි බලපා තිබෙන විවිධ හේතු නිසා අවසානයේ බැට කන්නට සිදුවී තිබෙන්නේ අසරණ රෝගීන්ටය.

මෙම විෂයයේදී පෞද්ගලික රෝහල් තිබෙන්නේද ලස්සණ තැනක නොව අවලස්සණ තැනකය. රසායන පරීක්ෂණ මගින් පෞද්ගලික රෝහල් උපයන ආදායම එම රෝහල් ලාභ උපයන වැදගත්ම අංශයක් වී තිබේ. පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා යන රෝගීන්ට සාධාරණ හේතු ඇතිව පමණක් නොව සාධාරණ හේතු නැතිවද කෙළවරක් නැති තරමට රසායන පරීක්ෂණ වාර්තා ලබාගැනීමට සිදුවී තිබේ. ඒ සඳහා දරන්නට සිදුවන වියදම ද විශාලය. පෞද්ගලික රෝහල් රසායනාගාර යන්ත්‍ර සඳහා විශාල වියදමක් කර තිබෙන අතර එම වියදම පියවා ගැනීම හා ලාභ උපරිම කරගැනීම සඳහා තමන් වෙත එන රෝගීන් සාධාරණ හේතු ඇති අවස්ථාවල පමණක් නොව සාධාරණ හේතු නැති අවස්ථාවලද රසායන පරීක්ෂණවලට යොමු කරන සම්ප්‍රදායයක් පවත්වාගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මෙම තත්ත්වය කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත්ම සාධකයක් වනුයේ රජයේ රෝහල්වල සේවය කරන රසායනාගාර කාර්මිකයන් එකවිට පෞද්ගලික රෝහල්වල ද සේවය කරන තත්ත්වයක් ඇතිව තිබීමය. ඔවුන්ට රජයේ සේවයෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීම ඊට හේතුවී තිබෙනවා විය හැකි වුවත් එය පවත්වාගෙන යායුතු යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. එක විට ආයතන ක්‍රම දෙකක වැඩකරන තත්ත්වයට පත්වූ විට තමන්ට වැඩියෙන් ප්‍රතිලාභ ලබාදෙන ආයතන ක්‍රමයේ ප්‍රවර්ධනයට ආධාර කරන්නන් ලෙස ක්‍රියාකරන්නට ඔවුන්ට සිදුවන්නේය. ඒ ගැටුමේදී අඩපණ වන්නේ නොමිලේ සේවය ලබාදෙන රජයේ රෝහල් ක්‍රමයයි. වෛද්‍යවරුන්ට එය වරදක් නොවන්නේ නම් එය අපට පමණක් වරදක් වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුකිරීමේ හැකියාව ඔවුන්ට ඇත්තේය. ඒ තර්කය රසායනාගාර කාර්මිකයන්ට පමණක් නොව, වෛද්‍යවරුන්ටද එක සේ අදාළය. මෙම අවුල්සහගත තත්ත්වය එක විෂයක පමණක් නොව හැම විෂයකම දක්නට තිබෙන තත්ත්වයකි. එය ක්‍රමය විසින්ම පවත්වාගෙන යන අවුල්සහගත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

එම තත්ත්වය විසින් පෙන්වා දෙන එක වැදගත්ම කරුණක් වන්නේ රජයේ රෝහල් සේවයට හා පෞද්ගලික රෝහල් සේවයට අවශ්‍ය තරම් වෛද්‍ය රසායන කාර්මික ශිල්පීන් පිරිසක් රටේ නැති බවය. ඒ තත්ත්වය ජයගැනීමට මේ අංශ දෙකටම අවශ්‍ය තරම් වෛද්‍ය රසායන කාර්මික ශිල්පීන් නිපදවන තැනකට රට යායුතුය. මේ තත්ත්වය වෛද්‍ය රසායන කාර්මිකයන්ට පමණක් නොව, ඖෂධවේදීන්ටද අදාළය. ඖෂධ විකුණන ෆාමසි 14,000ක් පමණ රටේ ඇතත්, සහතිකලාභී ඖෂධවේදීන් ඉන්නේ 4000කටත් වඩා අඩු සංඛ්‍යාවකි. මේ නිසා ඖෂධවේදීන්ට එක ආයතනයක වැඩ කරන අතර සහතිකයක් නැති ආයතනයකට සැලකිය යුතු මුදලකට කුලියට දීමට හැකිවී තිබේ. සාමාන්‍ය ෆාමසි වැඩි හරියක් පමණක් නොව, සුපර් මාර්කට්වල ඇති ඖෂධ ශාලා පවත්වාගෙන යන්නේ ද සහතිකලාභී ඖෂධවේදීන් නැතිවය. රක්ෂාවක් සොයා ගැනීම අපහසු අංශවලට අධ්‍යාපනය බර තබා ඇතත්, රක්ෂාවක් සොයාගැනීම පහසු අංශවලට අධ්‍යාපනය බර තබා නැත.