උරුමය, කරුමයක් නොවිය යුතුය

October 29, 2026
Publication:
The UNP had said it would leave the All Party conference if the work was not finished by 15 August, and the conference was sitting continuously to meet the date when the Jathika Hela Urumaya complained to the president and the president asked for it to be suspended. Seventy per cent of the contested questions had been decided. Ivan says the answer is not further delay but refusing to let extremist organisations set the timetable.

සර්ව පාක්ෂික සම්මේලනය සිය කටයුතු අගෝස්තු 15 වැනිදා අවසන් නොකරන්නේ නම්, තම පක්ෂය සර්ව පාක්ෂික සම්මේලනයෙන් ඉවත් වන බව එජාපය මීට පෙර දැනුම් දී තිබුණි. ඒ අනුව සර්ව පාක්ෂික සම්මේලනය නොකඩවා රැස්වෙමින් අගෝස්තු 15 වැනිදා වන විට සිය කටයුතු අවසානයට ගෙන ඒමට ප්‍රබල උත්සාහයක යෙදී සිටියේ ය.

මේ අතර ජාතික හෙළ උරුමය පක්ෂය සර්ව පාක්ෂික සම්මේලනයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ඊට එරෙහිව ජනාධිපතිවරයාට කරන ලද පැමිණිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් අනුව නැවත දන්වන තුරු තාවකාලිකව සිය කටයුතු නැවතීමට 14 වැනිදා සර්ව පාක්ෂික සමුළුවට සිදුවිය.

සර්ව පාක්ෂික සමුළුවේ කටයුතු ඉක්මණින් අවසන් කරනවා දැකීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබුණ ද, පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා හෙළ උරුමය කොටස්කරුවකු ලෙස තබා ගැනීම අත්‍යවශ්‍ය වී තිබෙන තත්ත්වයක් ඉදිරියේ හෙළ උරුමය සතුටු කිරීම සඳහා මෙම තීරණය ගන්නට සිදුවී තිබෙන බව පැහැදිලි ය. එහෙත් අවසානයේ එමගින් ඇති කරන්නට යන ප්‍රතිඵලය ඉතා අවාසනාවන්ත විය හැකි ය.

ජනවාර්ගික අර්බුදයක් ඇති බව හෙළ උරුමය පිළි නොගනී. සර්ව පාක්ෂික සමුළුවේ එක් ප්‍රධාන අරමුණක් වනුයේ වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම ය. ජනවාර්ගික අර්බුදයක් ඇති බව හෙළ උරුමය නො පිළිගන්නේ නම්, එම පක්ෂය කළ යුතුව තිබුණේ තමන් නො පිළිගන්නා අර්බුදයකට විසඳුම් සොයන සම්මේලනයට සහභාගි නොවී එය ඉදිරිපත් කරන විසඳුම ජනමතවිචාරණයකට ඉදිරිපත් කරන අවස්ථාවේදී එය පරාජය කිරීම පිණිස ක්‍රියා කිරීම මිස, සර්ව පාක්ෂික සම්මේලනය තුළට රිංගා ගෙන එය කඩාකප්පල් කිරීම නොවේ.

හෙළ උරුමය පක්ෂය පළල් මහජන පදනමක් නිසා පුංචි ව්‍යාපාරයකි. තමන් කැමති අදහස් දැරීමේ හා එය රටට ප්‍රකාශ කිරීමේ අයිතිය හෙළ උරුමයට ඇතත්, තමන් දරන අන්තවාදී මතවාද බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමේ අයිතියක් එම පක්ෂයට නැත.

සම්මේලනයේ කටයුතු තාවකාලිකව අත්හිටුවන අවස්ථාව වන විට විවාදයට හේතුවන කාරණාවලින් 70%ක් පිළිබඳව තීරණයන්ට එළඹීමට සර්ව පාක්ෂික සම්මේලනය සමත්ව තිබුණි. බලය බෙදාහැරිය යුතු ඒකකය පිළිබඳව රාජ්‍යයේ ස්වභාවය පිළිබඳවත් විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් තීරණයක් ගෙන තිබුණි.

දැන් සිදුවිය යුත්තේ අවසාන වශයෙන් තීරණය කිරීම තව තවත් ප්‍රමාද කිරීම නො ව, අන්තවාදී මතවාදයන් මත පිහිටා ක්‍රියා කරන සංවිධානවලට ඔවුන්ගේ තීරණ ගන්නට ඉඩ හැර සෙසු පක්ෂ පොදු එකඟතාවකින් ක්‍රියා කරන තැනකට ඒම ය.

ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග රණ්ඩු කරන තැනක සිටියත්, සර්ව පාක්ෂික සම්මේලනයේ කටයුතුවලට එම පක්ෂය උනන්දුවෙන් දායක වූ බව ආණ්ඩුව අමතක නො කළ යුතු ය. මෙම විෂයට අදාළව පොදු තීරණ ගැනීමේ දී එම පක්ෂයේ එකඟතාව අත්‍යවශ්‍ය බව ද ආණ්ඩුව අමතක නොකළ යුතු ය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය සඳහා හෙළ උරුමයේ සහාය අත්‍යවශ්‍ය විය හැකි වුවත්, ඒ වුවමනාව වෙනුවෙන් ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා ගැනීමේ උත්සාහය පාවා දිය යුතු නැත. එවැනි අන්තවාදී පිරිසක් සතුටු කිරීම සඳහා ඔවුන්ගේ අන්තවාදී න්‍යාය පත්‍රවලට අනුකූලව ක්‍රියා කරන තැනකට ආණ්ඩුව තල්ලු විය යුතු නැත. •