දැන් යුද්ධය අවසන්ය. එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කෙරුණේ කැලෑගත වීමට කවර ඉඩක්වත් නොලැබෙන ආකාරයටය. වෙනදා සංවිධානයේ රහස් රැකීමට අත්අඩංගුවට ගන්නා ලද එල්ටීටීඊ අනුගාමිකයන් සයනයිඩ් කා දිවි නසාගත්තේය. අද අත්අඩංගුවේ සිටින එල්ටීටීඊ අනුගාමිකයෝ තමන් දන්නා සියලු දේ පාපෝච්චාරණය කරති. ඒ නිසා සඟවා තිබෙන අවි ආයුධ පමණක් නොව, එල්ටීටීඊ ලියවිලි ද තොග ගණනින් සොයාගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවී තිබේ. නැවත මතුවිය හැකි ගරිල්ලා යුද්ධයක් පිළිබඳ ඇතිකර ගන්නා බියකින් තොරව ඉදිරියට යෑමේ හැකියාව රටට ලැබී තිබේ. යුද්ධ කාලයේ පනවන ලද විවිධ සීමා තිබුණි. ඒ සීමා තුළ සිදුවූ අශෝභන සිද්ධීන් ද තිබුණි. යුදමය පරිසරයක් තුළ එවැනි දේ සිදුවිය හැකිය. දැන් යුද්ධය අවසන් වී ඇති බැවින්, යුද්ධය වෙනුවෙන් ඇති කරන සීමා හා සම්බාධක ඉක්මනින් ඉවත් කළ යුතුය. නීතියට පටහැනි නොවන සීමා තුළ නිදහස උපරිම ලෙස භුක්ති විඳීමේ අයිතිය භේදයකින් තොරව සියලුදෙනාට හිමිවිය යුතුය.
මුහුදු යන ධීවරයන්ට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. දෙහිවල සිට වත්තල දක්වා එක කලාපයකට පනවා තිබෙන සීමාද ලිහිල් කළ යුතුය. මාර්ග බාධක ප්‍රතිපත්තිය ද ලිහිල් විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ඍජු ලෙස හෝ අනියම් ලෙස පදනම් වී තිබුණු සීමා කිරීම් ද ඉවත් කළ යුතුය. විදේශ සංචාරකයන් සඳහා විවිධ රටවල් පනවා තිබුණු සීමා කිරීම් මුළුමනින් තවමත් ඉවත් කර නැතත්, එක්සත් රාජධානිය බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් සඳහා පනවා තිබුණු සීමා කිරීම් ඉවත් කර තිබේ. අනෙකුත් රටවල් පනවා තිබෙන සීමා කිරීම් ද ඉවත් කරවා ගැනීම සඳහා ක්‍රියාකළ යුතුය. අවතැන්වූවන් සඳහා ඩොලර් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව එකඟ වී තිබෙන අතර, එක්සත් රාජධානිය පවුම් මිලියන 380ක ප්‍රමාණයක් ලබාදීමට එකඟ වී තිබේ. පවුම් මිලියන 380ක් ඩොලර් බිලියනයකට කිට්ටුය. නිල නොවන ආරංචි මාර්ගවලින් කියවෙනුයේ චීනය ද උතුරේ සංවර්ධන කටයුතු සඳහා හා අවතැන්වූවන්ගේ අවශ්‍යතා සඳහා ඩොලර් බිලියන 1.2ක් ලබාදීමට එකඟ වී ඇති බවය.
එවිට මෙම රටවල් තුනෙන් පමණක් ලැබෙන ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 2.5ට සමානය. එය දැවැන්ත මුදල් ප්‍රමාණයක් වන අතර, සාම සාකච්ඡාවකදී පවා ආධාර කණ්ඩායමෙන් අවුරුදු තුනක කාලය සඳහා වෙන් කෙරුණේ ඩොලර් බිලියන 4.5කට සමාන මුදලකි. රටේ ගෙවුම් ශේෂ තත්ත්වය ද යහපත් තත්ත්වයට පත්ව තිබෙන අතර, මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය මුදල වන ඩොලර් බිලියන 1.2ද දැන් අවහිරයකින් තොරව රටට ලැබෙනු ඇතැ”යි අපේක්ෂා කළ හැකිය. මේ හැම දෙයින්ම පෙනීයන්නේ රටේ ආර්ථික චිත්‍රය ද යහපත් අතකට හැරෙමින් තිබෙන බවය. උතුරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ දෙක උදාවී ඇති නිදහසේ ප්‍රමාණය උරගා බැලෙන වැදගත් කඩඉමක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය. දැන් එල්ටීටීඊයත් නැති නිසා ආරක්ෂාව සඳහා ආයුධ අතට ගෙන සිටි එල්ටීටීඊ විරෝධී දෙමළ දේශපාලන පක්ෂ ද ආයුධ නැතිව දේශපාලනය කරන තැනකට යායුතුය.
එසේ කිරීමට තමන්ට හැකියාවක් ඇති බව උතුරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ දෙකේ ද ඔවුන් රටට පෙනෙන්නට සැලැස්විය යුතුය. එක් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් වෙනුවට තවත් ආකාරයක ප්‍රචණ්ඩත්වයක් දෙමළ ජනතාවට අවශ්‍ය නැත. යුද්ධයෙන් ලබා තිබෙන ජයග්‍රහණය ආණ්ඩුවේ පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවී තිබෙන අතර, ඒ තත්ත්වය තුළ ආණ්ඩුව වැඩි වැඩියෙන් නිහතමානීව ක්‍රියාකරන තැනකට යා යුතුය. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ සම්බන්ධයෙන් සාධාරණ ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකළ යුතුය. විරුද්ධ පක්ෂය ද මේ මොහොතේ රටේ පවතින දේශපාලන යථාර්ථය තේරුම් ගනිමින් රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ දිනාගැනීම සඳහා ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට ආ යුතුය. මෙය රටක් වශයෙන් අපට නැගී සිටීමට ලැබී තිබෙන බලවත් අවස්ථාවක් වන අතර, එම අවස්ථාව ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සියලු දේශපාලන පක්ෂවල සේ ම සමාජයේද වගකීමකි.
රට යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කිරීමට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට රට යායුතුව තිබේ. ඥාණාන්විතව හා සමගි සම්පන්නව ක්‍රියාකරන තැනකට යා හැකි නම් මේ රට මේ කලාපයේ තිබෙන දියුණුම හා පොහොසත්ම රට බවට පත් කළ හැකිය.