රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරයේ කිසියම් විහිලූසහගත බවක් පවතී.
ජනවාරී 28 වැනිදා ජනාධිපතිනිය නිව්ටන් ගුණරත්න සමග කරන ලද රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පෙබරවාරී 03 වැනිදා රාත්රී නැවත වරක් විසුරුවා හරීනු ලැබීය.
අපේ රටේ කැබිනට් ඇමතිවරයකුට ලැබෙන වැටුප බැංකු රීයැදුරෙකුට ලැබෙන වැටුපටත් වඩා අඩු බව මහජනතාවට දෑනගන්නට ලැබුණේ මෙම සම්මුඛ සාකච්ඡාව නිසාය.
ජනාධිපතිනිය කියන ආකාරයට රටේ අපරාධවල වර්ධනයක් නොපවතී. ඒ වෙනුවට සිදුවී ඇත්තේ වෙනදා රටේ සිදුවන අපරාධ වාර්තා නොකළ පත්තරකාරයන් දැන් සිදුවන අපරාධ මහත් අභිරුචියකින් යුතුව වාර්තා කිරීමයි.
පළාත් පාලන මැතිවරණය කල් දමන්නේදෑයි එම සම්මුඛ සාකච්ඡාවේදි අසන්නෙක් ජනාධිපතිනියගෙන් ප්රශ්න කළේය.
ජනාධිපතිනිය ඊට දෙන ලද ක්ෂණක පිළිතුර වූයේ පළාත් පාලන මැතිවරණය එකම දිනකින්වත් කල් දෑමීමට තමා සූදානම් නැති බවත්, මැතිවරණය පැවැත්විය යුතු නියමිත දිනයට එය පැවැත්වෙනු ඇති බවත් ය.
රාත්රී ප්රවෘත්ති විකාශය කිරීම සඳහා ජනාධිපතිනියගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීම ස්වල්ප වේලාවකට කල් තබන්නේය. ප්රවෘත්ති විකාශයෙන් පසුව එය නැවත විකාශය කෙරෙන බව ද නිවේදනය කෙරේ.
ප්රවෘත්ති විකාශයට ඇතුළත් ප්රධානම ප්රවෘත්තිය වූයේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වසරකින් කල් දෑමීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවය. ජනාධිපතිනිය පළාත් පාලන මැතිවරණය ගැන කරන ලද හරබර ප්රකාශයට කිසිම ගරු සරුවකින් තොරව, අමූලික බොරුවක් බවට පත් කෙරිණි.
පෙබරවාරී 03 වැනිදා ජනාධිපතිනිය ජාතිය අමතා කතා කරමින් ප්රකාශ කළේ ප්රජාතන්ත්රවාදී නිදහස සම්පූර්ණ කර ඇති බවය. තවදුරටත් සම්පූර්ණ කිරීමට ඉතිරිවී ඇත්තේ ආර්ථික නිදහස සම්පූර්ණ කරන අතර, ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක්ලබාදිම පමණක් බවත් ය.
ජනාධිපතිනිය ශ්රී ලංකාවේ සම්පූර්ණ කර ඇති ප්රජාතන්ත්රවාදී නිදහස ගැන මෙම පූචානම් කතාව කරන අවස්ථාව වනවිටත්, ජාත්යන්තර පුවත්පත් ආයතනය 26 වැනිදා නවදිල්ලි නගරයේ පැවති සිය සමුළුවේදි පුවත්පත් නිදහස පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු පරික්ෂණ ලැයිස්තුවට ශ්රී ලංකාවේ නම ද එකතු කළේය. ජාත්යන්තර පුවත්පත් ආයතනය පරික්ෂණ ලැයිස්තුවට ඇතුළත් කරන්නේ පුවත්පත් නිදහස මර්දනය කරන රටවල්ය.
පොදු පෙරමුණු ආණ්ඩුව එන්න යන්නේ මොකාටද යන්න පෙන්නුම් කරන අපූරු ප්රකාශයක් අගමැති රත්නසිරී වික්රමනායක මහතා විසින් කර තිබුණි. ඔහුගේ ප්රකාශයට අනුව රටේ ඇතිවී තිබෙන පිරිහීමට මූලික හේතු වී තිබෙන්නේ රටේ පවතින ප්රජාතන්ත්රවාදී නිදහසයි. නොපැරදි ඡන්ද කරන ක්රමය ජනාධිපති ජේආර්. ජයවර්ධනගෙන් තමන් ඉගෙන ගෙන ඇති නිසා ඉදිරියේ පැවැත්වෙන හැම ඡන්දයකින්ම පොදු පෙරමුණ ජයගනු ඇති බව මීට කලකට පෙර ප්රකාශ කළේ ද රත්නසිරී වික්රමනායක මහතාය.
එජාපයේ පාද යාත්රාවට කිසිදු හිරීහැරයක් නොවන අන්දමින් කටයුතු කළ යුතු බවට ජනාධිපතිනිය පොදු පෙරමුණේ ආසන සංවිධායකයන්ට හා ආරක්ෂක අංශවලට උපදෙස් දි ඇති බව ජනමාධ්ය වාර්තා කළේය. එහෙත් ඒ උපදෙස් නොසලකා පහරදිම් ගණනාවක් එල්ල විය. ඉන්පසු ජනාධිපතිනිය පහරදිම්වලට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට උපදෙස් දෙනවා වෙනුවට ඇතිවූ සිද්ධීන් පරික්ෂා කොට බලා තමා වෙත වාර්තා කරන ලෙස පොලිස්පතිවරයාට දෑනුම් දේ. එම පහරදිම් පිටුපස සිටින ප්රාදේශීය දේශපාලන බලවතා කව්දෑයි තේරුම් ගැනීමට බැරී තරමට ජනාධිපතිනියට ප්රාදේශීය දේශපාලන කටයුතු ගැන අවබෝධයක් නොතිබෙනවා විය නොහැකිය. පළාත් සභා මැතිවරණයේදි, පාර්ලිමේන්තු මැතිවරණයේදි හා ජනාධිපතිවණයේදි කෑගල්ල දිස්ත්රික්කයේ සමහර ප්රදේශවල මැතිවරණ කටයුතු සිදුවූ ආකාරය හා මහීපාල හේරත් මහතා ඊට කවර ප්රමාණයකට වගකිවයුතුද යන්න ජනාධිපතිනිය නොදැන සිටියා විය නොහැකිය. ආචාර්ය ජගත් බාලසූරිය වැනි උගත්කමක් ඇති ජේයෂ්ඨ පුද්ගලයකු නොසලකා මහීපාල හේරත් වැනි පුද්ගලයකු තෝරා ගැනීමෙන් ම පෙනීයන්නේ උගත්කමක් ඇති, තැන්පත්කමක් ඇති පළපුරුදු මිනිසුන්ට වඩා චණ්ඩි පහේ මිනිසුන්ට පොදු පෙරමුණු ආණ්ඩුව කැමති බවය.
මහජනතාව වෙත නොකඩවා බර පටවන තත්ත්වයක් ඉදිරියේ ඇමතිවරුන්ට ලබාදි තිබෙන සුර සැප ගැන මහජනයා කතා කරන විට ජනාධිපතිනිය කළේ මේ වසරේ නිල වාහන මිලදි ගැනීමෙන් ඇමතිවරුන් වැළකී සිටිය යුතු බවට ඔවුන්ට උපදෙස් දිමය. එහෙත් උපදෙස් දෙන අවස්ථාව වනවිට අලුත් නිල වාහන අවශ්ය සියලු ඇමතිවරුන් නිල වාහන මිලදි ගැනීම හමාර කොට තිබුණි. ජනාධිපතිනිය ඉස්තාලය වසන ලද්දේ අශ්වයා ගියාට පසුවය. එයින් වැඩිම වුවහොත් කළහැකි වනු ඇත්තේ මහජනයා රැවටීම පමණය.
ඇමතිවරුන්ට හා මන්ත්රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබාදිම සඳහා කරන වියදම් අත්හරීන බවට තමන් මහජනතාවට පොරොන්දු වී ඇති බව දැන් පොදු පෙරමුණට අමතකය. 94 ජනාධිපතිවරණයට පෙරාතුව එජාප ආණ්ඩුවේ ඇමතිවරුන් පාවිච්චි කළ සුඛෝපභෝගී වාහන ප්රසිද්ධියේ වෙන්දේසි කිරිමෙන් මහජනයාට පෙන්වන්නට උත්සාහ කළේ ද අප ඔවුන් මෙන් මැති, ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී වුවමනාවන් සඳහා මහජන මුදල් වියදම් කිරීමට සූදානම් නැති බවය. එහෙත් එසේ කරන ලද්දේ ද අවංක අදහසින් නොව, ජනාධිපතිවරණය සඳහා අවශ්ය ඡන්ද ලබාගැනීම සඳහාය. ඉන්පසු වාහන සඳහා රටට ඔරොත්තු දෙන පිළිගත් ප්රතිපත්තියකට යනවා වෙනුවට වඩා වියදම් අධික වඩා සුඛෝපභෝගී වාහන වලට මාරුවන මජර ප්රතිපත්තියක් අනුගමනය කළේය. සමහර ඇමතිවරුන්ට ලබාදි තිබෙන වෙඩි නොවදින වාහනයක මිල රුපියල් ලක්ෂ 800කි.
බොරුවෙන් ජනතාව රැවටිය හැකි වුවත්, එය හැමදාමත් කළ නොහැකිය. තමන් ප්රියජනකසේ සැලකූ නායකයන් තමන් ඉතාමත් නරක ලෙස රවටා ඇති බව ජනතාව තේරුම් ගත්විට තමන් රවටනු ලැබූ නායකයන්ට එරෙහිව ජනතාව නැගී සිටින තත්ත්වයකට තල්ලු වීම ද නොවැළැක්විය හැකිය. දැන් රට ගමන් ගනිමින් තිබෙන්නේ ද එතැනටය.