තවත් මැතිවරණයක් අවශ්‍ය ද?

August 11, 2002
Publication:
The editorial argues that the 1978 Constitution breeds endless crises because it ignores the possibility of the presidency and Parliament being held by different parties. Two decades of experience show that the presidency must be amended or abolished, including the arbitrary powers of dissolution and over the cabinet. An election now would damage the peace process and the economy; instead the parties should agree on reform, and the President should accept that her rivals hold the mandate.

මැතිවරණවලදි තමන් අකමැති පාලක පක්ෂයක් ඉවත් කොට කැමති පාලක පක්ෂයක් බලයට පත්කිරීමට මහජනයාට හැකියාවක් තිබීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකට ආවේණික මූලික ලක්ෂණයකි. එහෙත් 78 ව්‍යවස්ථාව නිර්මාණය කොට ඇත්තේ ඒ අවශ්‍යතාව නොසලකා ය. අපේ ව්‍යවස්ථාව කෙළවරක් නැති තරමින් ව්‍යවස්ථා අර්බුද ඇති කිරීමට තුඩු දෙන ව්‍යවස්ථාවක් බවට පත්ව ඇත්තේ ද ඒ නිසා ය.

විධායක ජනාධිපති ක්‍රමයක් රටට අවශ්‍ය ම නම්, විධායක ජනාධිපති බලය හා පාර්ලිමේන්තු බලය එකම පක්ෂයකට යන අවස්ථාවලදි පමණක් නොව, එසේ නොවන අවස්ථාවලදි ද එම බල මණ්ඩල දෙක අතර සහයෝගයෙන් ක්‍රියාකළ හැකි තත්ත්වයක් තිබිය යුතු ය. එසේ නොවේ නම්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට, තිබෙන පාර්ලිමේන්තු ක්‍රමයට හෝ ඒ දෙක අතර ඇති අතරමැදි ක්‍රමයකට යා යුතු ය.

විධායක ජනාධිපති ක්‍රමයේ ශ්‍රී ලාංකික ආකෘතිය දශක දෙකක් තිස්සේ උරගා බැලීමකට ලක් කර තිබෙන අතර, එය සංශෝධනය කළ යුතු ය යන්න හෝ වෙනස් කළ යුතුය යන්න එම උරගා බැලීම විසින් රටට උගන්වා තිබෙන පාඩම ලෙස සැලකිය හැකි ය. විධායක ජනාධිපතිට තබා කිසිම පුද්ගලයෙකුට නීතියට ඉහළින් සිටීමට ඉඩදිය යුතු නැත. අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හා කැබිනට් මණ්ඩලය කෙරෙහි ජනාධිපතිට ලැබී තිබෙන අත්තනෝමතික බලය ද සංශෝධනය කළ යුතුය නැතිනම් ඉවත් කළ යුතුය යන්න මතුවී තිබෙන ප්‍රධාන කාරණා ලෙස සැලකිය හැකි ය.

මෙය මැතිවරණයකට සුදුසු අවස්ථාවක් ලෙස සැලකිය නො හැකි ය. එය සාම ක්‍රියාවලිය සේ ම, ආර්ථිකය ද අඩපණ කිරීමට හේතු වේ. දිගින් දිගට මේ ආකාරයේ මැතිවරණ පැවැත්වීමේ ආර්ථික ශක්තියක් ද රටට නැත. දෑන් විය යුතුව තිබෙන්නේ එක්කෝ තිබෙන විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම සඳහා හෝ මුළුමනින් ඉවත් කිරීම සඳහා හෝ විපක්ෂය හා ආණ්ඩු පක්ෂය එකගත්වයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවකි. ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබෙන බලතල මොනවා වුවත්, ප්‍රතිවිරුද්ධ පක්ෂයකට ජනවරමක් ලැබී තිබෙන බව ජනාධිපතිනිය අමතක නො කළ යුතු ය. රටේ රාජ්‍ය නායිකාව ලෙස පෙනී සිටින අතර, විරුද්ධ පක්ෂ නායකයාගේ භූමිකාවත් රගපෑමේ ඉඩක් ඇයට නැති බව ද ජනාධිපතිනිය අමතක නො කළ යුතු ය.