පොදු පෙරමුණේ ජනාධිපතිනිය හා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුව අතර ඇතිවී තිබෙන ආරාවුල අවසන් වන්නට යන්නේ කෙසේද?
මෙය ආණ්ඩුක්රම ව්යවස්ථාව මුල් කොටගෙන ඇතිවී තිබෙන අර්බුදයකි. ජනාධිපතිනිය අගමැතිවරයා පහකිරීම සඳහා දියත් කරන්ට ගියේ යැයි කියන කුමන්ත්රණය වැටෙන්නේ ද ව්යවස්ථා කුමන්ත්රණ ගණයටයි.
රට ආණ්ඩු කිරීමට මහජන වරමක් ලැබී තිබෙන්නේ තමන්ට බැවින් නව වැඩපිළිවෙළ බාධාවකින් තොරව ඉදිරියට ගෙනයෑමේ අයිතියක් තමන්ට ඇතැයි අගමැතිවරයා කල්පනා කරයි. ජනාධිපතිනිය කල්පනා කරන බව පෙනෙන්නේ ද ව්යවස්ථාව අනුව රාජ්ය නායිකාව තමා බැවින් ව්යවස්ථාවෙන් තමන්ට ලැබී තිබෙන බලතල ක්රියාත්මක කිරිමේ අයිතියක් තමන්ට තිබෙන බවය.
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ආණ්ඩුක්රම ව්යවස්ථාවක් යන්නෙන් ආණ්ඩු ක්රමයක් සඳහා වන පවත්නා පොදු සම්මුතියක් අදහස් වේ. රටක ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඒ රටේ ජනයාගේ දේශපාලන ශිෂ්ටාචාරයේ මට්ටම පෙන්නුම් කරන කැටපතක් ලෙස ද සැලකිය හැකිය. මොනම රටක්වත් රටේ අනාගත අවශ්යතා නොසලකා ඒ මොහොතේ අවශ්යතා පමණක් සැලකිල්ලට ගෙන ආණ්ඩුක්රම ව්යවස්ථා ඇති කරගන්නේ නැත. රටක් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් නිර්මාණය කරගන්නේ වසර සිය ගණනක් සඳහා මිස, කෙටි වසර කිහිපයක් සඳහා නොවේ. එහෙත් මේ විෂයේදි ශ්රී ලංකාව පුදුමාකාර රටක් ලෙස සැලකිය හැකිය. එය හැම දහ පහළොස් වසරකට වරක් ම ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරගන්නා රටක් බවට පත්වී තිබේ.
ලෝකයේ තිබෙන කෙටිම ආණ්ඩුක්රම ව්යවස්ථාව තිබෙන්නේ ඇමරිකාවටය. ඊට ඇතුළත් වගන්ති ගණන 07කි. අවුරුදු 200කටත් වැඩි කාලයක් තුළ එය සංශෝධනය වී ඇත්තේ 27 වතාවක් පමණය. දිගම ආණ්ඩුක්රම ව්යවස්ථාව තිබෙන්නේ ඉන්දියාවට ය. එහි තිබෙන වගන්ති ගණන 395කි. දශක 5ක තරම් කාලයක් තුළ එය සංශෝධනය වී ඇත්තේ 78 වාරයක් පමණ ය. සෘජු ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් වෙනුවෙන් පෙනී සිටින, 1848 දි ඇති කරගත් ස්විට්සර්ලන්ත ආණ්ඩුක්රම ව්යවස්ථා දිගින් අතරමැදි ගණයට වැටෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. එයට ඇතුළත් වගන්ති ගණන 123කි. අවුරුදු 400කටත් වැඩි කලක් තුළ එකම අවස්ථාවක්දිවත් එය සංශෝධනය වී නැත.
ශ්රී ලංකාව නිදහසේ සිට මෙතෙක් 1947 සෝල්බරි ව්යවස්ථාව, 1972 ජනරජ ව්යවස්ථාව හා 1978 සමාජවාදි ප්රජාතන්ත්රවාදි ජනරජ ව්යවස්ථාව යනාදි වශයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථා තුනක් ඇතිකරගත් රටකි. අවසානයේ ඇතිකරගත් ව්යවස්ථාවට මේ කෙටි කාලය තුළ ඉදිරිපත් කර තිබෙන සංශෝධන සංඛ්යාව 17කි. එයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්රී ලංකා සමාජ දේශපාලන සවිඥානත්වයේ ඇති පටු බවේ හා බාල බවේ තරම නොවේද?
ඕනෑම ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ආගමික, වාර්ගික, භාෂාමය, සංස්කෘතික වශයෙන් බෙදි සිටින සියලු ජන කණ්ඩායම්වල පිළිගැනීමට හේතුවිය යුතු ය. එහෙත් මේ ආණ්ඩුක්රම ව්යවස්ථා තුන අතුරින් ඒ සියලු දෙනාගේ පොදු පිළිගැනීමට හේතු වූයේ තෑගි වශයෙන් ලැබුණු සෝල්බරි ආණ්ඩුක්රම ව්යවස්ථාව පමණ ය. 72 ජනරජ ව්යවස්ථාවට දෙමළ පක්ෂෂවල අනුමැතිය ලැබුණේ නැත. 78 ව්යවස්ථාවට දෙමළ පක්ෂෂවල පමණක් නොව ප්රධාන විරුද්ධ පක්ෂෂය වූ ශ්රිලනිපයේ ද අනුමැතිය නොලැබුණි.
1946 දි ඩිගොල් ප්රංශ ආණ්ඩුක්රම ව්යවස්ථාව සම්පාදනය කළේ තමන්ගේ වුවමනාවන් මුල් කොටගෙන ය. ජේ.ආර්. ජයවර්ධන 78 ව්යවස්ථාව සකස් කළේ ද තමන් ද ඩිගොල් කෙනෙකු ලෙස සලකා ය. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ ප්රතිපක්ෂෂ දෙකක් අතර බලය හුවමාරු වීමේ ඉඩක් තිබිය යුතු ය. එහෙත් ප්රංශයේ ඩිගොල් ප්රංශ ව්යවස්ථාව සේ ම ශ්රී ලංකාවේ ජේ.ආර්. ශ්රී ලංකා ව්යවස්ථාව ද සම්පාදනය කර ඇත්තේ ඒ මූලික මූලධර්මය නොසලකා ය.
ජේ.ආර්. ජයවර්ධනට 77 මැතිවරණයෙන් හයෙන් පහක බලයක් ලැබුණි. ජනාධිපතිවරණයකට නොගොස් ජනාධිපති වීමෙන් නොනැවතී දෙවැනි ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව පිළිගත් ප්රජාතන්ත්රවාදි මූලධර්ම වලට පටහැනිව ජනමත විචාරණයකට ගොස් හයෙන් පහේ බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දිර්ඝ කර ගත්තේ ය. ඒ නිසා ම ඒ පාලන කාලය තුළ ලේ වැගිරිම් වලට මිස ව්යවස්ථා අර්බුදයකට ඉඩ නොතිබුණේ ය. ඉන්පසු ලේ වැගිරෙන පසුබිමක් තුළ පැවති තුන්වැනි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂෂයේ ඊළග ජනාධිපති අපේක්ෂෂකයා ජය ගත්තේ ය. ඉන්පසු පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද ප්රේමදාස ජනාධිපතිවරයා නියෝජනය කළ එජාපයට බහුතර බලයක් ලැබෙන තත්ත්වයක් තුළ ව්යවස්ථාමය අර්බුදයක් ඇති වීමට ඉඩක් නැති තත්ත්වයක් ඇති විය.
එහෙත් 1994 පාර්ලිමේන්තු මැතිවරණය එතෙක් පැවති චිත්රය වෙනස් කළේ ය. එජාප විධායක ජනාධිපතිවරයකු බලයේ සිටිය දි පාර්ලිමේන්තු බලය පොදු පෙරමුණට හිමි විය. ජනාධිපති ඩී.බී. විජේතුංග මහා උගතෙකු නොවුව ද පොදු පෙරමුණට පක්ෂෂව ලැබී තිබුණු ජනවරමට එරෙහිව බලය පාවිච්චි කරන ප්රතිපත්තියකට නොගොස් තමන් ජනාධිපති ධූරයේ සිටි කෙටි කාලය තුළ පොදු පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුවට නිදහසේ ක්රියාකරන්නට ඉඩ දෙන ප්රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ව්යවස්ථා අර්බුදයක් ඇති නොවී ය.
ඉන්පසු පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පොදු පෙරමුණ ජයගැනීම නිසා ජනාධිපති බලය හා පාර්ලිමේන්තු බලය නැවත එකම පක්ෂෂයක් අතට යන තත්ත්වයක් ඇති විය. ඉන්පසු ජනාධිපතිනිය සිය ධූර කාලය අවසන් වීමට දිර්ඝ කාලයක් තිබිය දි මතු ආරක්ෂෂාව සලකා 1997 දි ජනාධිපතිවරණයකට යමින් එය ද ජය ගත්තා ය. ජනාධිපති බලය අතේ තබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට යමින් එය ජයගැනීම ඇගේ අභිලාෂය වූවා විය යුතු ය. 2000 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබුණු ජයග්රහණය යාන්තමකට ලැබූ ජයග්රහණයක් වුවත් එය ඇතිවන්නට නියමිතව තිබූ ව්යවස්ථා අර්බුදය මතුවීම කල් දැමුවේ ය. එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුද්දක් ගෙවෙන්නටත් ප්රථම ආණ්ඩු පක්ෂෂයේ පිරිසක් විපක්ෂෂයට එකතුවීම නිසා ආණ්ඩු පක්ෂෂයට තිබූ බහුතර බලය අහිමි වී නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට සිදුවිය. එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට ජය ලැබෙන තත්ත්වයක් තුළ විවිධ ආකාර වලින් දිර්ඝ කාලයක් තිස්සේ යටපත් කරනු ලැබ තිබූ ව්යවස්ථා අර්බුදය වඩා බලවත් ආකාරයකින් මතුවන තත්ත්වයක් ඇති විය.
රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය කෙරෙහි විනාශකාරි ලෙස බලපාමින් තිබෙන මෙම කේන්ද්රීය ගැටලුව දිග්ගැස්සෙන්නට ඉඩහැර බලා සිටීම ගැන රටේ හැම දේශපාලන පක්ෂෂයක් ම වගකිව යුතු ය. 94 දි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට අවේ 78 ව්යවස්ථාව ගැන අති විශාල විවේචනයක් ද අතේ ඇතිව ය. එහෙත් විධායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව එය ජනිත කළ බලයට රස වැටී එය කෑදර ලෙස බුක්ති විඳින්නියක් බවට පත්වූවාය. මේ ක්රමය තම පක්ෂෂයේ හිටපු නායකයන්ගේ නිර්මාණයක් වුවත් එය තමන් කෙරෙන් පවා බරපතල ප්රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව කල් තියා තේරුම් ගනිමින් එම ක්රමය සංශෝධනය කරවා ගැනීම සඳහා ක්රියාකිරිමේ වගකීමක් එජාපයට තිබුණත් එජාපය ද එම වගකීම ඉටුකළේ නැත.
ජනාධිපතිනිය ඥනාන්විත නායිකාවක් වී නම් 2001 මැතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසුව වුවත් මෙම කේන්ද්රීය ප්රශ්නය දෙපාර්ශ්වයේ ම ගෞරවයට හේතුවන ලෙස විසඳගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක් තුළ එක් මැතිවරණයකින් ලැබෙන ජනවරමක් ඊට පසුව ලැබෙන මැතිවරණ ප්රතිඵලයක් නිශේධ කළ හැකි ය. 2001 පැවතියේ ජනාධිපතිවණයක් නොවුවත් ජනාධිපතිනිය පොදු පෙරමුණේ මැතිවරණ ව්යාපාරය මෙහෙයවූ ප්රධාන චරිතය වී තිබුණු තත්ත්වයක් තුළ එජාපයට ලැබුණු ජනවරම විසින් තමන්ට ලැබුණු ජනවරම නිශේධ කරන ලද බව ජනාධිපතිනිය තේරුම්ගත යුතුව තිබුණ. එහි දි පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් නොවන නිසා තනතුරෙන් ඉවත් වන ප්රතිපත්තියක් අනුගමනය නොකළත් ජනවරම ලැබූ ප්රතිපාර්ශ්වයට බාධාවකින් තොරව ආණ්ඩු කිරීමට ඉඩ දෙන පිළිවෙතක් අනුගමනය කළේ නම් හා ඊට ව්යවස්ථාවෙන් තිබෙන බාධා ඉවත් කරන ක්රමයකට ගියේ නම් ව්යවස්ථා අර්බුදයක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම ජනාධිපතිනියගේ දේශපාලන පැවැත්ම ද ආරක්ෂාවන්නට ඉඩ තිබුණි.
ප්රංශය මේ ප්රශ්නය විසඳගන්නේ ඊට සමාන ආකාරයකටය. සමාජවාදි මිතරොන් ජනාධිපති ධුරයේ සිටියදි 1986 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඩිගොල්වාදින් ජයගෙන ජැක් ශිරාක් අගමැති ධුරයට පත්විය. එය ප්රංශයට නවමු අත්දැකීමක් විය. එහිදි මිතරෝන් අපේ ජනාධිපතිනිය මෙන් මහජන මතයට එරෙහිව යමින් ප්රතිපක්ෂ නායකයාට එරෙහිව පෙනය පුප්පන තත්ත්වයකට ගියේ නැත. එය එසේ වී නම්, ප්රංශය ද විශාල ව්යවස්ථා අර්බුදයකට තල්ලුවන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට මිතරෝන් කළේ අභ්යන්තර පාලනයේ පූර්ණ විධායක බලය අගමැතිවරයාට ලබාදෙමින් ගොරහැඬි ව්යවස්ථාවට මටසිලුටු බවක් ලබාදිමය. ජනාධිපති බලය එක් පක්ෂයකටත්, පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් යන අවස්ථාවල පවා ව්යවස්ථා අර්බුදයකින් තොරව ප්රංශයට ඉදිරියට යා හැකිවී ඇත්තේ මිතරෝන් ආරම්භ කළ ඒ සම්ප්රදාය නිසාය.
දැන් ශ්රී ලංකාවේ විය යුත්තේ ද එයයි. එවැනි වෙනසකට ඉඩහැරිමට තරම් ජනාධිපතිනිය මටසිලුටු නොවෙතොත්, ඒ සමග දෙපාර්ශ්වයම අතර ඇතිවන අරගලය දෙපාර්ශ්වයටම තුවාල ඇති කිරිමෙන් හා රට අවුල් කිරිමෙන් නොනැවතී ජන බලයෙන් ජනාධිපතිනිය බලයෙන් ඉවතට විසි කරන තත්තවයක් පවා ඇතිවිය හැකිය. එහෙත් එවැනි තත්ත්වයක් පටු දේශපාලන අර්ථයෙන් මිස රටේ පොදු යහපතට හේතුවිය නොහැකිය.