2002.07.30
සභාපති
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව
කොළඹ.
මහත්මයාණෙනි,
1994 අංක 14 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශන
කොමිෂන් සභා පනත හා 1994 අංක 20 දරන අල්ලස් පනත යටතේ මහේස්ත්රාත් ලෙනින් රත්නායක හෙවත් ලේකම්ගෙදර රත්නායක බණ්ඩාර හා
අගවිනිසුරු සරත් නන්ද සිල්වා යන පුද්ගලයන් දෙදෙනාට එරෙහිව
ඉදිරිපත් කරන පැමිණිල්ලකි.
1. කොළඹ 10 ආනන්ද මාවතේ අංක 85 දරන ස්ථානයේ පදිංචි ලෙනින් රත්නායක හෙවත් ලේකම්ගෙදර රත්නායක බණ්ඩාර 1987 ජූනි 01 වන දා ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස දිවුරුම් දි ඇත්තේද නැවත 1995 ජනවාරි 01 වන දා මහේස්ත්රාත්වරයකු ලෙස අධිකරණ සේවයට බැඳී ඇත්තේ ද මුදල් වංචා චෝදනාවක් මත තමා ශ්රී ලංකා රක්ෂෂණ සංස්ථා සේවයෙන් පහකර තිබුණේ යන කරුණ හිතාමතා ම වසන් කරමිනි. මුදල් වංචා චෝදනාවක් මත රාජ්ය සේවයෙන් පහකළ පුද්ගලයකුට නීතිඥයකු ලෙස දිවුරුම් දිමේ හෝ අධිකරණ සේවයට එකතුවීමේ හැකියාවක් නැත. මේ අනුව මේ පුද්ගලයා සංශෝධිත අල්ලස් පනතේ 4 වැනි වගන්තියට අදාළ සාපරාධී වැරදි දෙකක් කර තිබේ. රජයේ සේවකයකු ලෙස තමන්ට ලැබී තිබුණු නිල බලය අයථා ලෙස ප්රයෝජනයට ගනිමින් රජයට අලාභයක් වන ලෙස පොදු මුදල් වංචා කිරිමේ හා මුදල් වංචා චෝදනාවක් මත රජයේ සේවයෙන් පහකර තිබිය දි එය වසන් කොට නීතිඥයකු ලෙස දිවුරුම් දිම හා තවදුරටත් සිය අතීතය හිතාමතා වසන් කොට අධිකරණ සේවයට ඇතුළත්වීම යන සාපරාධී වැරදි දෙක සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පරික්ෂෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.
පැමිණිල්ලේ සඳහන් චෝදනා සනාථ කිරීම සඳහා පහත විස්තර කෙරෙන ලේඛන මෙම පැමිණිල්ලට අමුණමි.
ඡ-1 – තුන්වැනි ශ්රේණියේ ලිපිකරුවකු වශයෙන් රක්ෂෂණ සංස්ථා සේවයට බඳවා ගැනීමේ ලිපියේ පිටපත
ඡ-2 – ව්යාජ තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචා චෝදනා මත සංස්ථා සේවයෙන් වැඩ තහනම් කරන ලද බව දැනුම් දෙමින් සංස්ථාවේ සේවක මණ්ඩල හා ආයතන කළමනාකරු ලෙනින් රත්නායක වෙත ලියාපදිංචි තැපෑලෙන් 1984 ඔක්තෝබර් 01 වැනි දින යවන ලද ලිපියේ පිටපත.
ඡ-3 – ලෙනින් රත්නායකට එරෙහිව තිබෙන චෝදනා පත්රය ඔහු වෙත ඉදිරිපත් කරමින් දින 14ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සේවක මණ්ඩල හා ආයතන කළමනාකරු 1985 පෙබරවාරි 06 වැනි දින ඔහු වෙත ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියේ පිටපත
ඡ-4 – යවන ලද චෝදනා පත්රයට නිදහසට කරුණු ඉදිරිපත් නොකර සිටින තත්ත්වයක් තුළ ඉදිරිපත් වී තිබෙන චෝදනා ගැන පැවැත්වෙන විනය පරික්ෂෂණයට සහභාගී වන ලෙස දැනුම් දෙමින් සේවක මණ්ඩල හා ආයතන කළමනාකරු ඔහු වෙත 1985 මාර්තු 15 වන දින ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියේ පිටපත.
ඡ-5 – ලෙනින් රත්නායක විනය පරීක්ෂෂණයට සහභාගී නොවන තත්ත්වයක් තුළ ඔහුගේ සහභාගිත්වයෙන් තොරව පැවති විනය පරීක්ෂෂණයේ වාර්තා
ඡ-6 – විනය පරික්ෂෂණයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ චෝදනා 6ටම ඔහු වැරදිකරු කර ඇති බව හා ඒ අනුව ඔහු සංස්ථා සේවයෙන් පහකර ඇති බව ඔහු වෙත දැනුම් දෙමින් සංස්ථා නියෝජ්ය ප්රධාන අධිකාරිවරයා ඔහු වෙත 1985 ඔක්තෝබර් 29 දින ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපියේ පිටපත
ඡ-7 – ලෙනින් රත්නායක සංස්ථා සේවයෙන් පහ කිරිමෙන් පසුව ඔහු අතින් නිරාකරණය වූ ගනුදෙනුවල දි තවත් වංචා සිදු වී ඇත්දැයි දැනගැනීම පිණිස ඔහු නිරාකරණය කරන ලද තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් ලිපිගොනු අතරින් 25ක් තෝරා ඒ ආශ්රයෙන් කරන ලද පරීක්ෂෂණයක දි ඉන් ගනුදෙනු 07ක් ම වංචා සහගත ආකාරයෙන් සිදු වී ඇති බවට ප්රධාන අභ්යන්තර විගණන නිලධාරියා ලියන ලද වාර්තාවේ පිටපත.
ඡ-8 – ලෙනින් රත්නායක තමන් මීට පෙර රැකියාවක් කළ බව වසන් කෙරෙන ආකාරයට අධිකරණ සේවයට ඇතුළත් වීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පතේ පිටපත
2. අගවිනිසුරු ධූරය දරන හා ඊට පෙර නීතිපති ධුරය දැරූ කොළඹ 05, මුහන්දිරම්, ඊ.ඩී. දාබරේ මාවතේ අංක 18/17/දරණ ස්ථානයේ පදිංචි සරත් නන්ද සිල්වා
සාපරාධී වැරදි ගණනාවකට සම්බන්ධ තමන්ගේ සමීප ඥාතියෙකු වූ මහේස්ත්රාත් ලෙනින් රත්නායක ආරක්ෂා කිරීම සඳහාත්,
එම දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කිරීම නිසා තමන්ට චෝදනා එල්ල වන්නට වූ විට තමන්ගේ ආරක්ෂාව සඳහාත්
මතු විස්තර කරන අවස්ථාවලදි නීතිපති වශයෙන් හා අගවිනිසුරු වශයෙන් තමන්ට ලැබී තිබුණු නිල බලය අයථා ලෙස යොදා ගැනීම මගින් අල්ලස් පනතේ 7 වැනි වගන්තියෙන් කියවෙන දූෂණ ගණයට වැටෙන සාපරාධී වැරදි ගණනාවක් කර ඇති බැවින්, ඒ පිළිබඳව ද අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ද පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.
I ලෙනින් රත්නායක පිළිබඳව හිතා මතා විකෘති කරන ලද කරුණු ඇතුළත් රහස්ය වාර්තාවක් මගින් අධිකරණ ඇමතිවරයා නොමග යැවීම හා එම මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්රියාත්මකවීම වැළැක්වීම
“රාවය” පුවත්පත මහේස්ත්රාත්වරයාට එරෙහිව ප්රසිද්ධ ස්ත්රී දූෂණ චෝදනාවක් එල්ල කළ අවස්ථාවේදි මහේස්ත්රාත්වරයා නීතිපති සරත් නන්ද සිල්වාගේ උපදෙස් පරීදි සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා පුවත්පතට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව “රාවය” පුවත්පතේ කර්තෘ වශයෙන් මගෙන් කටඋත්තරයක් ලබාගන්නා ලද අතර, ස්ත්රී දූෂණ සිද්ධිය පිළිබඳව මට දැනගන්නට ලැබී තිබුණු සියලු තොරතුරු විස්තර කොට ඊට අතිරේක වශයෙන් මෙම පුද්ගලයා අධිකරණ සේවයට එකතුවන්නට පෙර රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කර ඇති බවත්, එහිදි තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචාවක් මත සංස්ථා සේවයෙන් නෙරපා හරිනු ලැබූ පුද්ගලයෙකු බවත් ප්රකාශ කර ඒ කරුණ සනාථ කිරීම සඳහා මා ළග තිබූ ලේඛන දෙකක (වැඩ තහනම් කරන ලද ලිපියේ පිටපතක් ඡ-2 හා චෝදනා 6ටම වරදකරු කොට සේවයෙන් නෙරපා හරින ලිපියේ පිටපතක් ඡ-6) පිටපත් ලබා දුන්නෙමි.
පරීක්ෂණ භාරව ක්රියා කළ නිලධාරියා සංස්ථාවේ මුදල් වංචා චෝදනාව ගැන සොයා බැලීමක් කර තිබුණු අතර, ඔහු තෙවන පාර්ශ්වයේ මුදල් වංචා කිරිමේ සිද්ධියක් මත සේවයෙන් පහ කරන ලද පුද්ගලයෙකු බව ඒ මගින් සනාථ විය. ස්ත්රී දූෂණයට අදාළ කාන්තාවගෙන් ද කටඋත්තරයක් ලබාගෙන තිබුණු අතර, මහේස්ත්රාත්වරයා තමා ගම්පොළ තානායමට රැගෙන ගොස් දූෂණ කළ බව ඇය එම කටඋත්තරයෙන් පිළිගෙන තිබුණි. ඉන්පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා පරීක්ෂණ ලිපිගොනුව නීතිපති වෙති යොමු කළේය. එකල නීතිපති ලෙස ක්රියා කළේ සරත් නන්ද සිල්වාය.
නීතිපති ආණ්ඩුවේ ප්රධාන නීති උපදේශකයා ද, නීතිඥ මණ්ඩලයේ ප්රධානියා ද, මානව හිමිකම් හා පොදු වැදගත්කමක් ඇති කරුණුවලදි ප්රධාන ආරක්ෂකයා ද වේ. එවැනි වැදගත් තනතුරක් දරන පුද්ගලයෙකු වශයෙන් ඔහු එහිදි අධිකරණයට අතිවිශාල හානියක් හා අගෞරවයක් ඇති කිරීමට හේතුවී සිටින මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබුණි. එහෙත් ඔහු ඒ වෙනුවට කළේ පරික්ෂණ වාර්තාව යට ගසාගෙන සිය ඥාති මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය.
නීතිපතිගේ මෙම නීති විරෝධී ක්රියා කලාපයට එරෙහිව අධිකරණ ඇමති වෙත පැමිණිලි කිරීමට මට සිදුවූ අතර ඒ අනුව අධිකරණ ඇමතිවරයා 1998 අගෝස්තු 14 වැනි දින ඒ ගැන නීතිපතිගෙන් ලිඛිත විමසීමක් කළේය. එම ලිඛිත විමසීමෙන් පසුවවත් මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය අකුරටම ක්රියාත්මක කරන පිළිවෙතකට යනවා වෙනුවට නීතිපති කළේ අධිකරණ ඇමතිවරයා වෙත යවන රහස්ය වාර්තාවක් මගින් සිද්ධියට අදාළ කරුණු විකෘති කොට තවදුරටත් මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කිරීමය. (නීතිපති අධිකරණ ඇමතිවරයා වෙත 1998 සැප්තැම්බර් 9 වැනි දින යවන ලද එම රහස්ය වාර්තාවේ පිටපත ඡ-9 ලෙස සලකුණු කරමි.)
මෙම රහස්ය වාර්තාවෙන් සරත් නන්ද සිල්වා මහේස්ත්රාත්වරයාට අදාළ කරුණු විකෘති කොට අධිකරණ ඇමතිවරයා නොමග යවන අතර මහේස්ත්රාත්වරයාට එරෙහිව නීතිය ක්රියාත්මක වීම වැළකුවේ මෙසේය.
(අ) මෙම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයට එන්නට පෙර ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවයේ යෙදි සිටියදි තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචාවක් මත වැඩ තහනම් කොට පරීක්ෂණයකින් පසුව සේවයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු බව දැන දැනම හා ඒ බව පිළිගතහොත් සිය ඥාතියා අධිකරණ සේවයෙන් වහාම ඉවත් කිරීමට සිදුවන නිසා ඊට අදාළ ඇත්ත තත්ත්වය අධිකරණ ඇමතිවරයාට වසන් කරනු පිණිස “රක්ෂණ සංස්ථාවේ ඔහුගේ සේවය 1984/85 වකවානුවල අවසන් වී ඇති බව පෙනේ යයි” එම වාර්තාවේ සඳහන් කර තිබේ.
(ආ) මහේස්ත්රාත්වරයා වෙතින් දූෂණයට ලක්වී ඇත්තේ යයි කියන මෙම කාන්තාව මහේස්ත්රාත්වරයා තමා දූෂණයට ලක් කළේ යැයි කියන කථාව “රාවය”ට එරෙහිව ලෙනින් රත්නායකගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණයේදි හැර ඊට පෙර කිසිවකුට පැමිණිලි කර නොතිබුණු බව ද, එම රහස්ය වාර්තාවේ සඳහන් වේ. එය ද සත්යයෙන් තොරය. මෙම සිද්ධිය “රාවය” වාර්තා කළේ 1997 අගෝස්තු 17 වැනිදාය. ඒ වන විට මෙයට අදාළව මානව හිමිකම් කොමිෂන් සභාවේ පරික්ෂෂණයක් ආරම්භ වී තිබුණු අතර 1997 අගෝස්තු 14 වැනි දින නීතිඥ කල්යානන්ද තිරාණගම විසින් මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව එම කාන්තාවගෙන් හා ඇගේ ස්වාමි පුරුෂයාගෙන් ලබාගන්නා ලද දිවුරුම් ප්රකාශය ඇතුළත් වන ලෙස හා ඒ වනවිටත් මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ගැන ආරම්භ කර තිබූ පරික්ෂණයේ වාර්තාවන් ද ඇතුළත් වන ලෙස විධිමත් පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිසම වෙත ද ශ්රේෂ්ඨාධිකරණය වෙත ද ඉදිරිපත් කර තිබුණ. ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලද බව ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයා 1997 අගෝස්තු 27 වැනි දින කල්යානන්ද තිරාණගම වෙත ලිඛිත දැනුම් දිමක් ද කර තිබුණි. (කල්යානන්ද තිරාණගමගේ පැමිණිල්ල ඡ-10 ලෙස ද, ශ්රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාගේ ලිපිය ඡ-10 ලෙස ද සලකුණු කරමි.)
මහේස්ත්රාත්වරයා අතින් දූෂණයට ලක්වූවේ යැයි කියන කාන්තාව ඊට පෙර මහේස්ත්රාත්වරයාට එරෙහිව පැමිණිල්ලක් නොකර තිබුණා වුවද ඇගෙන් ලබාගන්නා ලද කටඋත්තරයේදි මහේස්ත්රාත්වරයා තමා දූෂණයට ලක් කළ බව පිළිගෙන තිබුණේ නම් හා ඇය මහේස්ත්රාත්වරයාගේ ඉදිරියේ ඇසෙන නඩුවක විත්තිකරුවකුගේ බිරිඳ වන නිසාම එය බැරෑරුම් ලෙස සලකා ඒ ගැන වැඩිදුර කරුණු සොයා බැලීමේ වගකීමක් නීතිපතිට තිබුණි. මහේස්ත්රාත්වරයකු තමා විසින් රක්ෂිත බන්ධනාගාරයට යවන ලද චූදිතයකුගේ බිරිඳක් සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව තානායම් කාමරයක රාත්රියක් ගතකිරීම බැරෑරුම් දෙයක් ලෙස නීතිපතිට නොපෙනුණේ සිය ඥාති මහේස්ත්රාත්වරයා ආරක්ෂා කිරිමේ අවශ්යතාව නිසා නොවේද?
(ඇ) ස්ත්රී දූෂණ සිද්ධිය පිළිබඳව “රාවයේ” පළවූ වාර්තාවේද, නීතිඥ කල්යානන්ද තිරාණගම ඒ ගැන කරන ලද පැමිණිල්ලේ ද නැවත දූෂණයට ලක්වූ කාන්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරයේ ද එච්.පී.බී. තෙන්නකෝන් හා ජිනදාස ලේකම්ගේ යන නීතිඥයන් දෙදෙනා ගැන සඳහන් වන්නේ කාන්තාව මහේස්ත්රාත්වරයාට පාවාදිම සඳහා අතරමැදියන් ලෙස ක්රියා කළ මහේස්ත්රාත්වරයාගේ සහචරයන් දෙදෙනකු ලෙසය. එහෙත් නීතිපති සිය රහස්ය වාර්තාවෙන් මේ දෙදෙනා කාන්තාව තමන්ට පක්ෂපාත සාක්ෂිකරුවන් දෙදෙනෙකු වශයෙන් දක්වා ඇති බව සඳහන් කොට ඇත්තේ “එම්.පී.බී. තෙන්නකෝන්, ජිනදාස ලේකම්ගේ යන නීතිඥයන් දෙදෙනාගේ නම් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස සඳහන් කර ඇති මුත් මෙම සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බැව් මෙම දෙපළ විසින් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කර ඇත යනුවෙනි.
(ඈ) “රාවය” මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිව නගන ලද ප්රසිද්ධ චෝදනා පරික්ෂා කිරීම සඳහා අධිකරණ සේවා කොමිසමට 1998 නොවැම්බර් වලදි අභියාචනා විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් (අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝකා ද සිල්වා හා ඩී.බී. වීරසූරිය යන විනිසුරුවරුන්ගෙන් එය සමන්විත විය.) පත්කිරීමට සිදුවිය. පරීක්ෂණ කමිටුව සිද්ධීන්ට අදාළ සියලු පුද්ගලයන් ද පරික්ෂණ කමිටුව හමුවට කැඳවන ලද අතර, තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචාවට අදාළ සියලු ලිපි ලේඛන ද පරික්ෂණ කමිටුව හමුවට ගෙන්වා පරික්ෂා කළේය. ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවේ ඒකමතික තීරණය වූයේ “රාවය” ලෙනින් රත්නායකට එරෙහිව නගන ලද සියලු චෝදනාවලට ඔහු වරදකරු බවය. මෙම ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවේ තීන්දුව පමණක් වුවත්, නීතිපති අධිකරණ ඇමතිවරයාට දෙන ලද රහස්ය වාර්තාවට ඇතුළත් කරුණුවල ඇති සාවද්යතාවයේ තරම මනා ලෙස පෙන්නුම් කරයි.
ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ තීන්දුවත්, ලෙනින් රත්නායක පරීක්ෂණයට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන CF 59/98, CR 1/80/97, CR 1/104/98, C 284/97 CM iy CR 1/165/99 යන ලිපි ගොනු මෙම පරික්ෂණයේදි කොමිසම භාරයට ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.
II ලෙනින් රත්නායකගෙ පරීක්ෂණයේ ඇත්ත තොරතුරු වසන් කොට අධිකරණ ඇමතිවරයා නොමග යැවීය යන චෝදනාව යටතේ නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව අධිකරණ පනතේ 42 වගන්තිය යටතේ ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය ආරම්භ කරන ලද පරීක්ෂණය නිල බලය යොදා යටපත් කිරීම.
ත්රිපුද්ගල පරික්ෂණ කමිටුව ලෙනින් රත්නායක සියලු චෝදනා වලට වරදකරු ලෙස තීන්දු කිරිමෙන් පසුව ලෙනින් රත්නායක පරීක්ෂණයේ ඇත්ත තතු වසන් කොට නීතිපති සරත් නන්ද සිල්වා විසින් අධිකරණ ඇමති නොමග යවා ඇති බැවින් ඒ පිළිබඳව කරුණු සොයා බලා ඔහුට එරෙහිව අධිකරණ පනතේ 42 වැනි වගන්තිය යටතේ ක්රියා කරන ලෙස ඉල්ලා 1999 අගෝස්තු 12 වැනි දින ශ්රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කළෙමි. (එම පැමිණිල්ලේ පිටපත ඡ-11 ලෙස සලකනු කරමි.) හිටපු අගවිනිසුරුවරයා එම පැමිණිල්ල විභාග කළ යුතුද යන්න සියලු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් විමසීමක් කළේය. තුන්දෙනකු පරික්ෂණයකට විරුද්ධ වූ අතර, අන් සියලු දෙනාම පරීක්ෂණයකට පක්ෂ විය. ඒ අනුව ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප්රනාන්දු මහතා පරික්ෂණයේ අධීක්ෂණ කටයුතු භාර නිලධාරියා ලෙස ද, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු අමිර් ඉස්මයිල් මහතා පරීක්ෂණ නිලධාරියා ලෙස ද නම් කෙරීණ. ජනාධිපතිනිය සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත් කළේ ශ්රේෂ්ඨාධිකරණය මගේ පැමිණිල්ල පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කොට සරත් නන්ද සිල්වාගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසීමක් ද කර තිබූ අවස්ථාවකය. ජනාධිපතිනිය ඔහු නව අගවිනිසුරු ධුරයට නම් කළ ද නීතිය පිළිබඳව මනා දැනුමක් ඇති අධිකරණ නිලධාරියකු වශයෙන් ඒ පරීක්ෂණය අවසන් වන තෙක් ධුරය භාරගැනීමෙන් වැළකී සිටීමේ යුතුකමක් ඔහුට තිබුණි. ඔහු ඒ යුතුකම ඉටු කිරිමෙන් වැළකීමෙන් නොනැවතී අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව තමාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ආරම්භ කොට තිබූ පරීක්ෂණය යටපත් කිරීම මගින් දූෂණ ගණයෙහිලා සැලකිය හැකි සාපරාධී වරදක් කර ඇති ඇති බව ප්රකාශ කරමි.
III ලෙනින් රත්නායකට එරෙහිව නඩු පැවරිමට අධිකරණ සේවා කොමිසම තීන්දු කර තිබියදි සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව නඩු පැවරිමේ ක්රියාවලිය යටපත් කොට ඔහු තවදුරටත් පඩි ලබන තත්ත්වයක තබාගැනීමට නිල බලය යොදා ගැනීම.
අධිකරණ සේවා කොමිසම මගින් පත් කරන ලද ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුව ලෙනින් රත්නායක සියලු චෝදනාවලට වැරදිකරු කිරිමෙන් පසුව අධිකරණ සේවා කොමිසම රැස්වී ලෙනින් රත්නායක සම්බන්ධයෙන් තමන් කුමක් කළයුතු දැයි සාකච්ඡා කළේය. එහිදි කොමිෂන් සභාවේ එල්.එච්.ජී. වීරසේකර මහතාගේ මතය වූයේ වහාම ලෙනින් රත්නායකගේ වැඩ තහනම් කොට, රක්ෂණ සංස්ථාවේ සේවය කිරීම අධිකරණ සේවයට ඇතුළත් වනවිට වසන් කිරීම පිළිබඳව චෝදනා පත්රයක් ඉදිරිපත් කළ යුතු බවත්, ඊට අතිරේකව එල්ල වී තිබෙන ස්ත්රී දූෂණ චෝදනා පිළිබඳව නීතිපති ඔහුට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කළ යුතු බවත්ය.
එහෙත් කොමිෂමේ බහුතර මතය ඊට වෙනස් විය. 30.07.1999 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවා ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරිමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැවරුවේය. (කොමිෂන් සභාව ඒ පිළිබඳව ගනු ලැබූ තීන්දු ඇතුළත් වාර්තාවේ සටහන ඡ-12 වශයෙන් සලකුණු කරමි.) සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව ලෙනින් රත්නායකට එරෙහිව නඩු පැවරිම වළකා ඔහු ආරක්ෂා කිරිමේ අරමුණ ඇතිව විශ්රාම ගිය මහාධිකරණ විනිසුරුවරයෙකු (කේ.එස්. ගුණතිලක) යොදා අලුත් පරීක්ෂණයක් ආරම්භ කළේය. ආණ්ඩුක්රම ව්යවස්ථව අනුවත්, 1978 නොවැම්බර් 29 වැනිදා ගැසට් පත්රයක් මගින් ප්රකාශ කර ඇති අධිකරණ සේවා කොමිෂමේ රිති අනුවත් එවැනි පරීක්ෂණයක් කළ හැක්කේ අභියාචනාධිකරණයේ හෝ ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවකට පමණය.
මෙම පරීක්ෂණය නීති විරෝධී බැවින් එය අත්හිටුවන ලෙස අධිකරණ කොමිසමට 2002 මාර්තු 07 වැනි දින දැනුම් දුන්නෙමි. (ඡ-13) ඊට කොමිසම දෙන ලද පිළිතුර වූයේ එම පරීක්ෂණය ආරම්භ කර ඇති පරීක්ෂණයක් බැවින් ඊට මැදිහත්වීමේ හැකියාවක් තමන්ට නැති බවය. (ඡ-14)
ලෙනින් රත්නායකට එරෙහිව නීතිපති මගින් නඩු පැවරිමට අධිකරණ සේවා කොමිසම තීන්දු කර තිබියදි එය වළකා නීති විරෝධී ආකාරයෙකින් නව පරීක්ෂණ යක් ආරම්භ කිරීම මගින් සරත් නන්ද සිල්වා අල්ලස් පනතේ දක්වා ඇති දූෂණයට අදාළ සාපරාධී වරදක් සිදුකර ඇති බව ප්රකාශ කරමි.
IV ලෙනින් රත්නායකට එරෙහිව අධිකරණ සේවා කොමිසම පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ තීන්දුව ලබාදිම වැළකීම මගින් සාපරාධී වැරදි ගණනාවකට වගකිවයුතු පුද්ගලයෙකු නිල බලය යොදා ආරක්ෂා කිරීම.
ලෙනින් රත්නායකට එරෙහිව අධිකරණ සේවා කොමිසම පත්කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ පැමිණිලිකරුවා, වූයේ මාය. ඒ නිසා එම පරීක්ෂණයේ තීන්දුව ලබාගැනීමට මට නෛතික අයිතියක් පවතී. ඊට අතිරේකව විනිසුරුවරුන්ට අදාළ සියලු විනය පරීක්ෂණ තීන්දු ප්රසිද්ධ ලියවිලි ලෙස සැලකිය යුතු බව ශ්රී ලංකාව ද අත්සන් තබා ඇති බීජින් සම්මුතියේ පිළිගත් මූලධර්මයකි. මා මෙම තීන්දුව දිගින් දිගට ඉල්ලා සිටියද (ඡ-15, ඡ-15්) නිල බලය යොදා ඒ තීන්දුව ලබාදිමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් මගින් සරත් නන්ද සිල්වා සාපරාධී වරදක් කර ඇති බව ප්රකාශ කරමි.
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිවත්, අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිවත් අල්ලස් පනත යටතේ හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත යටතේ කරන මෙම පැමිණිල්ල විභාග කරන ලෙසත්, මොනයම් හේතුවක් නිසා හෝ මේ පැමිණිල්ල මත පරික්ෂණයක් ආරම්භ නොකරන්නේ නම් ඒ බව මට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිමි.
වික්ටර් අයිවන්
කර්තෘ – රාවය