තමිල්නාඩු බලපෑම් හා යුද්ධය

October 29, 2026
Publication:
Tamil Nadu is pressing Delhi to force a ceasefire and threatening to withdraw support if it does not. Ivan reads the central government's position — it wants the LTTE beaten but cannot say so, and it needs Tamil Nadu to survive — and says India will not repeat the mistake of 1987, for which it paid an enormous price.

එල්ටීටීඊයට එරෙහිව ආරක්ෂක හමුදා කරන යුද මෙහෙයුම් නතර කරවා ගැනීම සඳහා තමිල්නාඩුවෙන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට එල්ල වන බලපෑම් ඉහළයමින් පවතී. ඉන්දියාව මැදිහත් වී සටන් විරාමයක් ඇති කළ යුතු බව කියන ඔවුන්, එසේ නොකරන්නේ නම් ආණ්ඩුවට සහාය දීම අත්හිටුවන බවට තර්ජනය කරති.

එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කරනවා දකින්නට ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව කැමතිය. එහෙත් එය තමිල්නාඩුවට සංවේදී විෂයක් වන නිසා සිය අභිලාෂයන් ප්‍රසිද්ධියේ පළකරන්නට ද ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව කැමති නැත. ප්‍රභාකරන්ගේ එල්ටීටීඊ ව්‍යාපාරය පරාජය කරනවාට මධ්‍යම ආණ්ඩුව කැමති සේම මධ්‍යම ආණ්ඩුවේ පැවැත්මට තමිල්නාඩුවේ සහයෝගය ද අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ඉන්දියාවේ පවතින මැතිවරණ වටාපිටාව තුළ දකුණු ඉන්දියාවට ඉතාමත් සංවේදී ප්‍රශ්නයක් වී ඇති ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව මධ්‍යම ආණ්ඩුවට දැන් ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේ ““මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී”” කියන උභතෝකෝටික ප්‍රතිපත්තියක පිහිටාය.

එල්ටීටීඊයෙන් එල්ල වී තිබෙන ප්‍රචණ්ඩ අභියෝගය ජයගැනීම ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ප්‍රධාන අභියෝගයකි. එම අභියෝගය ජයගැනීම සඳහා අනුගමනය කරන දැඩි ප්‍රතිපත්තිවලදී ඉන්දියාව කෙරෙහි සංවේදී ලෙස ක්‍රියාකිරීම අවශ්‍ය වුවත්, එල්ටීටීඊයට එරෙහිව ආරම්භ කර තිබෙන මෙහෙයුම් අත්හැරීමක් හෝ සැර බාල කිරීමක් සිදුනොවීය. එල්ටීටීඊයේ ප්‍රචණ්ඩ වැඩපිළිවෙල ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාවට ද තර්ජනයකි. මෙහෙයුම් නතර කළ යුත්තේ එල්ටීටීඊය ආයුධ බිම තැබීමට සූදානම් නම් පමණය. ආයුධ බිම තබන වැඩපිළිවෙලක් සඳහා එල්ටීටීඊයට බල කෙරෙන ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය නම් ඉන්දියාවට මැදිහත්විය හැකිය.

විවිධ හේතු නිසා මීට පෙර ද ඉන්දියාව වැදගත් වූයේ ජයග්‍රාහී වඩමරච්චි මෙහෙයුමෙන් පසුව ඉතිරි වී තිබූ ඔවුන්ගේ ප්‍රධාන බලකොටුව වී තිබුණු යාපනයේ බලය අල්ලා ගැනීම සඳහා දැවැන්ත හමුදා මෙහෙයුමක් සූදානම් කෙරෙමින් තිබුණු අවස්ථාවකදීය. එල්ටීටීඊයට පසුකලෙක ශක්තිමත් යුද යාන්ත්‍රණයක් බවට වර්ධනය වීමේ අවකාශය ලැබුණේ ද එම තීරණාත්මක මොහොතේදී ඉන්දියාවෙන් ලැබුණු රැකවරණය නිසාය. එම මෝඩ මැදිහත්වීම වෙනුවෙන් ඉන්දියාවට ද අතිවිශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. නැවත වරක් ඒ වරද කරන්නට තරම් ඉන්දියාව අඥාන නැත.

දකුණු ආසියානු කලාපයේ පැතිර යන ත්‍රස්තවාදී ව්‍යාපාර එක රටකට දෙකකට පමණක් නොව, මුළු දකුණු ආසියාවට සේ ම මුළු ලෝකයටම ද තර්ජනයකි. සමහර ගැටුම් සාකච්ඡා මගින් විසඳාගැනීමේ හැකියාවක් තිබෙනවා විය හැකි වුවත්, ප්‍රචණ්ඩත්වය ප්‍රචණ්ඩත්වයෙන්ම පරාජය කළ යුතු ගැටුම් ද ඒ අතර තිබිය හැකිය. ශ්‍රී ලංකාවට අදාළ එල්ටීටීඊය පිළිබඳ ප්‍රශ්නය තිබෙන්නේ එවැනි තැනකය. මෙම ගැටුම සමඟ බැඳුණු ජනවර්ග ප්‍රශ්නයක් නැති බව ඉන් අදහස්වන්නේ නැත. තමන්ට සමාන පිළිගැනීමක් නැතැ”යි කියන බලවත් හැඟීමක් දෙමළ ජනතාව අතර පවතී. ඔවුන්ගේ එම ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීම මගින් ඔවුන් තෘප්තිමත් පිරිසක් බවට පත්කිරීම ඉතා අවශ්‍ය වුවත්, එම ප්‍රශ්නයත් ආයුධයක් කොටගෙන පිස්සු නටන්නට එල්ටීටීඊයට ඉඩදිය යුතු නැත.

මෙම ආරාවුලේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අන්‍යොන්‍ය අවබෝධයෙන් ක්‍රියාකිරීම වැදගත්ය. තමිල්නාඩුවෙන් එල්ල වන බලපෑම් හේතු කොටගෙන ඉන්දියාව දුෂ්කර තත්ත්වයක සිටින බව රටක් වශයෙන් අප තේරුම් ගතයුතු අතර, සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩක් නැති දඩබ්බර තත්ත්වයකින් ක්‍රියා කරන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ප්‍රචණ්ඩ බලයෙන් පරාජය කිරීමට ස්වෛරීය රටක් වශයෙන් ශ්‍රී ලංකාවට තිබෙන අයිතියට ඉන්දියාව ගරු කළ යුතුය.