චෞර රැජින වරදකරු කිරීම

October 29, 2026
Publication:
The Supreme Court has returned 224 acres taken from the Urban Development Authority and handed to a golf company, and ordered the former president to pay compensation. Ivan calls it a judgment of historic importance, because the system J.R. Jayewardene built gives whoever holds power the right to plunder public property — and the contest for power has become a contest for that right.

නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබී හිටපු ජනාධිපතිනිය විසින් ඒෂියා ගොල්ෆ් සමාගමට පවරා දෙන ලද අක්කර 224 ක ඉඩම ආපසු නාගරික සංවර්ධන අධිකාරියට පවරාදෙමින් එම සාහසික ගනුදෙනුවට අදාළව ඔක්තෝබර් 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයට අදාළව අධිකරණය විසින් දෙන ලද ඓතිහාසික වැදගත්කමක් ඇති තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මෙම ජනාධිපති ක්‍රමය නිර්මාණය කර තිබෙනුයේ බලයට පත්වන පාලකයාට හා පාලක පක්ෂයට රටේ පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ද ලැබෙන ආකාරයටය. කොටින්ම රටේ දේශපාලන බලය සඳහා කෙරෙන තරගය පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය සඳහා කෙරෙන සාහසික අරගලයක් බවට පත්වී තිබේ. නැපෝලියන් යුද්ධයේදී සිය සොල්දාදුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද මූලධර්මය ශ්‍රී ලංකාවේ දේශපාලන බලතරගය තුළ ඊට සමාන ආකාරයකින් ක්‍රියාත්මක වේයැ”යි කිව හැකිය.

ජේ.ආර්. ජයවර්ධන නිර්මාණය කර තිබෙන දේශපාලන ක්‍රමය තුළ බලය දිනාගැනීම හෝ අල්ලා ගැනීම සංකීර්ණ හා ඉතාමත් වියදම් අධික ක්‍රියාවලියක් බවට හැරී තිබේ.

බලය දිනාගැනීමේ හෝ අල්ලා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතියට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන සියලු දෙනාට ලැබෙන වටිනාකම එක සමාන නැත. විවිධ පුද්ගලයන්ට ලැබෙන වටිනාකම් අනුව ඔවුන් ප්‍රභේද ගණනාවකට වර්ග කළ හැකිය.

1. පක්ෂ නායකයාගේ විශ්වාසවන්තම හා සමීපතම දේශපාලන කණ්ඩායම.

2. පක්ෂ නායකයා ආර්ථික වශයෙන් නඩත්තු කරන ව්‍යාපාරිකයා හෝ ව්‍යාපාරිකයන් කිහිපදෙනා

3. පක්ෂ නායකයාට සමීපතම කණ්ඩායමේ පළමු පෙළ ආධාරකරුවන්.

4. පක්ෂ නායකයාගේ සමීපතම කණ්ඩායම නඩත්තු කරන ව්‍යාපාරිකයන්.

5. පක්ෂයට සිටින ඊළඟ ආධාරකරුවන් ඔවුන්ගේ ශ්‍රේණි අනුව

6. පක්ෂයට සාමාන්‍යයෙන් ආධාර කරන ව්‍යාපාරිකයන්.

7. පක්ෂයට ඡන්දය දෙන මහජනතාව.

බලය අල්ලා ගැනීමේ හෝ දිනාගැනීමේ අරමුණ ජයගත් විට ඒ එකිනෙක ප්‍රභේද ඉටු කර තිබෙන කාර්යභාරයන්ගේ ප්‍රමාණය අනුව ඒ සියලු දෙනාට රජයේ වියදමෙන් ආපසු ගෙවන ක්‍රමයක් මේ දේශපාලන ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ. නායකයාගේ විශ්වාසවන්ත හා සමීපතම කණ්ඩායම කැබිනට් ඇමති තනතුරුවලට හෝ කුස්සි කැබිනට්ටුවේ ඇමති තනතුරුවලට හෝ වෙනත් වැදගත් තනතුරුවලට පත් කෙරෙති. රාජ්‍යයේ ඉතිරි දේශපාලන තනතුරු ඒවාහී ප්‍රභේද හා ආධාරකරුවන් අයත් ප්‍රභේද අනුව පිරවේ. තනතුරුවලට පත්වන්නන්ට ඒ තනතුරු ලැබෙන වැටුප් හා දීමනාවලට අතිරේකව තනතුරේ බලයෙන් උපයා ගතහැකි ආදායම් උපයා ගැනීමේ අයිතිය ද හිමිවන්නේය.

මෙම දේශපාලන ව්‍යාපෘතියේදී ඒ සඳහා වැය කෙරෙන රජයේ වියදමෙන් වැඩිම මිලක් ලබාගන්නා වාසනාවන්තයන් බවට පත්වන්නෝ එම බල ව්‍යාපෘතියට මුදලින් ආධාර කළ ව්‍යාපාරිකයෝය. ඒ අය අතුරින් ද වඩාත්ම වාසනාවන්තයන් බවට පත්වන්නේ බලයෙන් පිටස්තරව සිටියදී රාජ්‍ය නායකයා නඩත්තු කළ ව්‍යාපාරිකයා හෝ ව්‍යාපාරිකයන් කිහිප දෙනාය. රජයේ දේපළ විකුණන විට කුණු කොල්ලයට ඒ දේපළ මිලදී ගැනීමේ පළමු අවස්ථාව ලැබෙන්නේ ඔවුන්ටය. මීට අතිරේකව වෙනත් වාසිදායක ආර්ථික ගනුදෙනුවලදී වාසි ලබාගැනීමේ අයිතිය ඔවුන්ට ලැබෙන්නේය.

මෙම නඩුවේ ගොල්ෆ් ව්‍යාපෘතියට සම්බන්ධ රොනී පීරිස් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිය සැමියා ඝාතනය කිරීමෙන් පසු ආරක්ෂාව සඳහා එංගලන්තයට ගොස් සිටියදී ඇයට ඉඳුම් හිටුම් දී ඇය බලා ගත් පුද්ගලයාය. ඒ වෙනුවෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණීමෙන් පසු ඔහු ආපසු ලබා ගත් මිල අතිවිශාලය. ජනාධිපතිනිය ගොල්ෆ් ව්‍යාපෘතිය නිර්මාණය කළේ ඔහු ඉලක්ක කොටගෙනය. ඔහු මෙම ව්‍යාපෘතියේ අතරමැදියා ලෙස ක්‍රියාකිරීමෙන් උපයන ලද මුදල (දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශිත) රුපියල් මිලියන 57 කි. එය ඔහු එක ගනුදෙනුවකින් පමණක් උපයන ලද ආදායම විය. ඒ කාලය තුළ ඔහු කළ එවැනි ගනුදෙනු සංඛ්‍යාව සිය ගණනක් විය හැකිය. කොළඹ – කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අතරමැදියා ලෙස ක්‍රියාකිරීමෙන් ද ඔහු විශාල ආදායමක් ඉපයීය. ඔහු නමට ලබා ගත් ගුවන්විදුලි රූපවාහිනී විකාශන බලපත්‍ර සංඛ්‍යාව දෙක තුනක් විය හැකිය. හිරු FM හා සන් FM ව්‍යාපාරවල පළමු හිමිකරුවා වූයේ ද ඔහුය. තමන්ට නාමික මිලකට ලැබුණු විකාශන බලපත්‍ර විකිණීම මගින් ද ඔහු හොඳ ආදායමක් උපයා ගත්තේය. විකාශන බලපත්‍රයක වෙළෙඳපොළේ විකිණෙන මිල පිළිබඳ අදහසක් ඇති කරගැනීමට දිය හැකි නිදසුනක් මෙසේය. චන්ද්‍රිකා කුමාරතුංග පාලන යුගය අවසානයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානත්වයෙන් ඉවත්ව ගිය පුද්ගලයා තනතුරෙන් ඉවත් වන්නට පෙර තමන්ගේ නමට ද විකාශන බලපත්‍රයක් ලියා ගත්තේය. ඔහු එම විකාශන බලපත්‍රය ඩයලොග් සමාගමට විකුණන ලද මිල ඩොලර් මිලියන 05 කි. (රුපියල් මිලියන 500 කි.) ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද තමන්ගේ ප්‍රයෝජනය සඳහා විවිධ පුද්ගලයන්ගේ නම්වලට විකාශන බලපත්‍ර ලබාගෙන තිබුණි.

ජනාධිපති බලය තුළ ජනාධිපතිවරුන් කරන සමහර ගනුදෙනුවල හිතුවක්කාරී හා ජුගුප්සාජනක ස්වරූපය පෙන්නුම් කරන එක් නිදර්ශනයක් මෙසේය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සිය සම්බාහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු ජාතික චිකිත්සකයෙක් සිටියේය. මෙම පුද්ගලයාට (මයික් චම්ලි) දීර්ඝකාලීන බදු ක්‍රමයක් යටතේ රාජගිරියේ ලේක් ඩ්‍රයිව් පෙදෙසින් ලබාදී තිබෙන ඉඩම් ප්‍රමාණය පර්චස් 175 කි. මෙම ප්‍රදේශයේ ඉඩම් පර්චසයක් විකිණෙන මිල රුපියල් මිලියන 2 ක් වශයෙන් සැලකුව ද තමන් සම්බාහනය කළ පුද්ගලයාට නාමික බදු මිලකට ලබාදී තිබෙන එම ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 350 කි.

රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය තුළ ආධාරකරුවන්ට පමණක් නොව, දේශපාලනඥයන් සමග නිදි යහනට යන ගැහැනුන්ට හා පිරිමින්ට පවා පොදු දේපළවලින් කප්පම් ගෙවන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මෙම ගොල්ෆ් ව්‍යාපෘති ගනුදෙනුව ඇතුළු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නොහොබිනා ගනුදෙනු හා ක්‍රියාකාරකම් අළලා මා විසින් ලියන ලද පොත මා නම් කරන ලද්දේ “චෞර රැජින” වශයෙනි. ඇය චෞර රැජිනක ලෙස මා කරන ලද අභිෂේකය දැන් රටේ ඉහළම අධිකරණය විසින් ද පිළිගෙන තිබීම ගැන මට සතුටු විය හැකිය. අධිකරණයේ විමර්ශනයට ලක්වී ඇත්තේ ඇගේ යුගයේ සිදුවී ඇති එක චෞර ගනුදෙනුවක් පමණය. ඉතාමත් වැදගත් දේ වනුයේ අධිකරණය එම ගනුදෙනුව දූෂිත ගනුදෙනුවක් ලෙස නම් කොට රුපියල් ලක්ෂ 30 ක වන්දියක් ගෙවන ලෙස ඇයට නියම කිරීමෙන් නොනැවතී එම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියම කිරීමය. සමහරවිට ඇය ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් අතරින් හිරබත් කන්නට සිදුවන පළමු ජනාධිපතිනිය විය හැකිය. මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිළිබඳ මූලධර්මය ඇය විසින් උල්ලංඝනය කර ඇති බව ද ඇගේ පරිපාලන හා විධායක ක්‍රියා හේතුවෙන් මෙය අයථා ගනුදෙනුව නිසා සිදුවී තිබෙන අතිවිශාල පාඩුව වෙනුවෙන් සංකේතයක් ලෙස මෙම වන්දි මුදල නියම කරන බව ද තීන්දුවේ සඳහන් වේ.

මෙය ඇගේ යුගයේ ඇය දැනුවත්ව සිදුවූ එක දූෂිත ගනුදෙනුවක් පමණය. ඇගේ යුගයේ සිදුවී ඇති ප්‍රධාන ගනුදෙනු සියල්ල විමර්ශනයට ලක් කළහොත් අඩු වැඩි වශයෙන් ඒ හැම ගනුදෙනුවක්ම දූෂිත බව ඔප්පුවීමට ද ඉඩ ඇත්තේය. එහෙත් මෙය චන්ද්‍රිකා පාලනයට පමණක් ආවේණික විශේෂ ලක්ෂණයක් නොවන බව අවධාරණයෙන් කිව යුතුය. එය 1977 න් පසු පැවති සෑම ජනාධිපති පාලකයකුටම ආවේණික පොදු ලක්ෂණයක් වන බව කිව යුතුය. මෙය පුද්ගලයන්ගේ වරදකට වඩා ක්‍රමයේ වරදක් ලෙස සැලසීම වඩා නිවැරදිය.

මෙම දූෂිත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට රටට දරන්නට සිදුවී තිබෙන වියදම රටට ඔරොත්තු නොදෙන තරම් විශාල බරක් වී ඇත්තේය. මේ ක්‍රමය තුළ භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම්වලින් වැඩි පංගුවක් ගලා යන්නේ දේශපාලකයන්ගේ, ඔවුන්ගේ ගජමිතුරන්ගේ සාක්කුවලටයය. අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, විදුලිය, ජලසම්පාදනය වැනි පොදු පහසුකම් හොඳම තත්ත්වයකින් පවත්වාගෙන යෑමට වුවත් අවශ්‍ය තරම් ආදායම් රටට ඇතත්, ඒ ආදායමෙන් වැඩි පංගුවක් මෙම දූෂිත පරපීඩක හා පරපෝෂිත දේශපාලන ක්‍රමය නඩත්තු කිරීමට හා කප්පම් ගෙවීමට යොදාගන්නට සිදුවීම තුළ (ඒ සඳහා වසරකට වැය වෙන වියදම සමහරවිට රජයේ වාර්ෂික වියදම තරම් විශාල විය හැකිය.) ශ්‍රී ලංකාව අවලස්සණ රටක් බවට පත්කිරීමට හේතුවී තිබේ. කුඩා ඇමති මණ්ඩලයකින් කාර්යක්ෂම පාලනයක් පවත්වාගෙන යා හැකි වුවත්, ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාට තනතුරු දෙන ක්‍රමයක් පවත්වාගෙන යෑමට මෙම දේශපාලන ක්‍රමය පාලකයාට බල කරයි. පාලකයාට හා පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකෑමේ අයිතිය ලබාදෙන දේශපාලන ක්‍රමයක් යහපත් හෝ කාර්යක්ෂම විය නොහැකිය. මෙම දූෂිත දේශපාලන ක්‍රමය විසින් දේශපාලකයන්ට ද රාජ්‍ය නිලධාරීන්ට ද දූෂිතවීමට බල කරයි. මෙම දේශපාලන ක්‍රමය තුළ අන්ත දූෂිතයන් ලෙස නම් දරා සිටින දේශපාලකයන් පවා යහපත් හා මහජනයාට වගකියන දේශපාලන ක්‍රමයක් තුළ පිරිසිදු හා යහපත් දේශපාලකයන් වන්නට ඉඩ තිබුණු බව අප අමතක නොකළ යුතුය.

මෙම නඩු තීන්දුවෙන් ගොඩනගා තිබෙන මහජන විශ්වාසය ආරක්ෂා කිරීම පිළිබඳ මූලධර්මය ඉතා වැදගත්ය. පාලකයා පොදු දේපළවල අයිතිකරුවා නොව තාවකාලික භාරකරුවාය. පාලකයාට ඒ කාර්ය ලැබී තිබෙන්නේ මහජන විශ්වාසය නිසාය. පොදු දේපළ පලදායී, කාර්යක්ෂම හා ආරක්ෂාදායී ලෙස පවත්වාගෙන යෑම පාලකයාගේ යුතුකම හා වගකීම ද වේ. ඊට පටහැනිව ක්‍රියා කිරීම මහජන විශ්වාසය කඩකිරීමක් වනවා සේ ම ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ද සිදුවන්නේය. එය දඬුවම් ලැබිය යුතු වරදකි.

එහෙත් මෙවැනි ලිබරල්වාදී නීති සංකල්පයකට අර්ධ ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග එකට පැවතිය හැකි ද යන්න ප්‍රශ්නයකි.

එහෙත් අඩුම වශයෙන් මෙම නඩු තීන්දුව නිසාවත් ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බලයේ ප්‍රමාණය කොතරම් විශාල වුවද, නීතියට පටහැනිව ක්‍රියා කරන අවස්ථාවලදී වෙනදා මෙන් නොව දෙවරක් කල්පනා කරන්නට සිදුවනු ඇත්තේය. චන්ද්‍රිකාට වූ දේ තමන්ටත් විය හැකියැ”යි කල්පනා කරන තත්ත්වයක්වත් ඇති කරලීමට මෙම නඩු තීන්දුව සමත් වේ නම් ඒ මගින් රටට සිදුවන යහපත සුළුපටු නැත. වඩා පුළුල් අර්ථයෙන් ගත්විට, මෙම නඩු තීන්දුව මෙම දූෂිත දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා කෙරෙන ඉල්ලීම යුක්තිසහගත කරන්නේයැ”යි කිව හැකිය.