ජේ ආර් ප්‍රේමදාස හා චන්ද්‍රිකා ආශ්‍රයෙන් රනිල් වික්‍රමසිංහ

February 10, 2002
Publication:
Ivan compares the new Prime Minister with three presidents. J.R. Jayewardene thought big and was democratic with his cabinet though authoritarian towards the country; Premadasa was the reverse; Chandrika Kumaratunga had no national goal and was autocratic towards both. He credits Ranil Wickremesinghe's restraint on the ethnic issue and his rapid lifting of northern restrictions, likened to John Major in Northern Ireland, but faults his hoarding of ministries and his ambivalence on the Chief Justice and holdover officials.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාලන බලයට ආවා පමණය. ඒ මහතා ගැන දේශපාලන ඇගැයීමක් සඳහා තවමත් ඉක්මන් වැඩි විය හැකි වුවත්, තිබෙන සීමිත අත්දැකීම් ආශ්‍රයෙන් හෝ ඒ මහතා ජේ.ආර්, ප්‍රේමදාස හා චන්ද්‍රිකා සමග සැසඳීමක් කිරීම රටට ප්‍රයෝජනවත්ය.

රාජ්‍ය නායකයකු ගැන කරන ඇගයීමක දි රාජ්‍ය නායකයා හෝ නායිකාව ගේ ඉලක්ක, පරමාර්ථ සාධනය සඳහා යොදාගන්නා උපායමාර්ග, එම උපායමාර්ග ක්‍රියාවට නැංවීම සඳහා දක්වන නිපුණත්වය පාලන ශෛලිය යන සාධක ප්‍රධාන කොට සැලකිල්ලට ගැනීමට සිදු වේ.

බරපතල සීමාකම් තිබියදිත්, ජේ.ආර්. ජයවර්ධන නිදහසින් පසුව ශ්‍රී ලංකාව බිහිකළ දැවැන්තම නායකයා ලෙස සැලකිය හැකි ය. විශාල නායකයින් ලෙස සැලකිය හැක්කේ, විශාල ලෙස කල්පනා කොට ඒ විශාල ඉලක්ක වෙනුවෙන් ක්‍රියාකරන හා ඒ ඉලක්ක සපුරා ගැනීමට සමත් වන නායකයින් ය. ඒ අර්ථයෙන් ජේ.ආර්. ජයවර්ධන, මහා පරාක්‍රමබාහු, මහා ඇලෙක්සැන්ඩර් හෝ නැපෝලියන් වැනි විශාල ලෙස කල්පනා කළ නායකයින්ගේ ගණයට වැටෙන නායකයෙකි. බින් ලාඩන් ප්‍රශංසාවෙන් සැලකිය නොහැකි ත්‍රස්තවාදි ගනයේ නායකයකු වුවත්, හුදෙක් යුදමය කෝණයකින් බලන විට ඔහු ද නැපෝලියන්ටත් වඩා මහා පරිමාණයෙන් කල්පනා කළ ඒ මහා පරිමාණයේ ඉලක්ක සම්පූර්ණ කිරීමට සමත් වූ නායකයකු ලෙස සැලකිය හැකි ය.

ජනාධිපති ප්‍රේමදාස මහතා ද ලොකුවට කල්පනා කළ නායකයෙකි. ඒ ආභාෂය ඔහු ජේ.ආර්. ජයවර්ධනගෙන් ලබාගත් ආභාෂයක් වේ යයි සිතිය හැකි ය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළේ වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා පමණ ය. රටට ලබාදෙන වේගවත් ආර්ථික සංවර්ධනයකින් පමණක් රටේ තිබෙන අන් සියලු ගැටලු ජයගත හැකිවනු ඇතැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ජනාධිපති ප්‍රේමදාස මහතාගේ කල්පනාව ඊට වෙනස් ය. ඔහු වේගවත් ආර්ථික සංවර්ධනයක් ගැන කල්පනා කරනවාට අතිරේකව ආර්ථික ඵල ප්‍රයෝජන විෂම ලෙස බෙදි යාමෙන් ඇතිවන ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් අව වරප්‍රසාදිත ජනයා නගා සිටුවීම ඉලක්ක කොටගත් වැඩ පිළිවෙළක් ඉදිරියට ගෙන ගියේ ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සේම ජනාධිපති ප්‍රේමදාසට ද රට වෙනුවෙන් ඉලක්කයක් තිබෙනවාට අතිරේකව තමා වෙනුවෙන් ද තම ගොල්ල වර්ගයා හා හිතේෂීන් වෙනුවෙන් ද ඉලක්කයක් තිබුණේ ය. ජනාධිපති චන්ද්‍රිකාට තමා වෙනුවෙන් තම ගොල්ල වර්ගයා වෙනුවෙන් හා හිතේෂීන් වෙනුවෙන් වන ඉලක්කයක් තිබුණත් රට වෙනුවෙන් වන මොනම ඉලක්කයක්වත් නොතිබුණේ ය. එම නායකයන් දෙපළ හා චන්ද්‍රිකා අතර තිබුණ ලොකුම වෙනස වනුයේ ද එයයි.

මකියවේලි විග්‍රහ කර තිබෙන ආකාරයට පාලනයකට මහජන අවංකභාවය අත්‍යවශ්‍ය ය. ඒ සඳහා ඇත්තේ ප්‍රධාන ක්‍රම දෙකකි. මහජනයාගේ ආදරයට හා ගෞරවයට හේතුවීම මගින් මහජන අවනත භාවය දිනාගැනීම එක් ක්‍රමයකි. මහජනයා තුළ පාලකයා පිළිබඳ බියක් ඇති කිරීම මගින් ඒ බිය මුල්කොටගෙන අවශ්‍ය අවනත භාවය දිනා ගැනීම ඒ සඳහා තිබෙන ඊළග ක්‍රමයයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා චන්ද්‍රිකා කුමාරතුංග යන ජනාධිපතිවරුන් තිදෙනාම මහජන අවනතභාවය සඳහා යොදාගත්තේ බිය මුල්කරගත් ක්‍රමයයි. මහජනයා ඔවුන්ට අවනත වූයේ ඔවුන් කෙරෙහි ඇති කරගත් ආදරය හා ගෞරවය වැනි හේතුවලට වඩා ඔවුන් කෙරෙහි ඇතිකරගත් බිය නිසා වේ යයි කිව හැකි ය.

රටට සියලු ආර්ථික වර්ධනයන් ලබාදිම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධාන ඉලක්කය වූ අතර ඒ ඉලක්කය සඳහා යන ගමනේ දි ඊට බාධා කරන ඕනෑම පුද්ගලයෙක්, සංවිධානයක් හා බලවේගයක් මර්දනය කිරිමේ සාධාරණ අයිතියක් තමන්ට ඇතැයි ඔහු හැම විටම කල්පනා කළේ ය. තමන් අපේක්ෂෂා කරන අරමුණු සපුරා ගැනීම සඳහා තමන්ට පරම බලයක් අවශ්‍ය යැයි ඔහු කල්පනා කළා සේම ඒ පරම බලය සඳහා අවශ්‍ය විශේෂ දේශපාලන ආකෘතියක් ද ඇති කරගත්තේ ය. ජේ.ආර්. ජයවර්ධන රටේ මහජනතාව සඳහා ආඥාදායක පාලකයකු වුවත් සිය කණ්ඩායම (කැබිනට් මණ්ඩලය) සඳහා ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු විය.

මහාචාර්ය කේ.එම්.එල්. සිල්වා විශ්ලේෂණය කර තිබෙන ආකාරයට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තමන් සඳහා විශාල උපදේශක මණ්ඩලයක් හා කාර්ය මණ්ඩලයක් සහිත විශාල ලේකම් කාර්යාලයක් පවත්වාගෙන යා යුතුයි කල්පනා නොකළේය. ඔහු සිය කැබිනට් මණ්ඩලයට වාද විවාදවලට හා නිදහස් අදහස්වලට ඉඩ දුන්නේය. ඔහු බලතල සිය කැබිනට් සගයන් අතර නිර්ලෝභී ලෙස බෙදා දුන්නේය. රාජ්‍ය නායකයා ලෙස ඔහු කළේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පරික්ෂාවෙන් බලා සිටින හා අවශ්‍යම අවස්ථාවලදි ඔවුන් මෙහෙයවන ප්‍රතිපත්තියක් ඔස්සේ ඉතා සැහැල්ලුවෙන් රාජ්‍ය යන්ත්‍රයේ සුක්කානම හසුරුවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. කැබිනට් මණ්ඩලයේ සිටින දක්ෂයින්ට සිය දක්ෂතා පෙන්නුම් කිරීමටත්, ඒ මගින් අනාගත නායකයින් ලෙස තම තමන්ගේ ප්‍රතිරූප ගොඩ නගා ගැනීමටත් ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු රටට ඒකාධිපති නායකයකු වී කණ්ඩායමට ප්‍රජාතන්ත්‍රවාදි නායකයකු වීම නිසා ඔහුට එරෙහිව කණ්ඩායම අභ්‍යන්තරයෙන් කැරලි ඇති නොවීය. එහෙත් රටේ ජනතාව අතරින් කැරලි ඇතිවිය.

ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ශෛලිය ඊට වෙනස් විය. සියලු ආර්ථික සංවර්ධනයනට අතිරේකව අවවරප්‍රසාදිත ජනයා නගා සිටුවීම ඔහුගේ ඉලක්කය විය. එහෙත් ඔහු තමන් ගැන මිස කණ්ඩායමේ ශක්තිය කෙරෙහි විශ්වාස නොකළේය. බලතල සිය කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදාහරින පිළිවෙතක් වෙනුවට සියලු බලතල තමා අත කේන්ද්‍රගත කරගනිමින් අමාත්‍යංශ ලේකම්වරුන් මගින් රට පාලනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඔහු සිය කණ්ඩායමට ඒකාධිපතියකු වුවත් මහජනතාවට ඒකාධිපතියෙකු වූයේ නැත. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධනට මෙන් රටේ ජනතාව ඔහුට එරෙහිව කැරලි ගසන තත්ත්වයකට නොගියත් සිය කණ්ඩායම ඔහුට එරෙහිව කැරලි ගසන තත්ත්වයක සිටියේය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලන ක්‍රියා කලාපය ජේ.ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස යන ජනාධිපතිවරුන් දෙදෙනාගේ පාලන ක්‍රියාකලාපයට වඩා වෙනස් විය. ඇයට තමන්, ගොල්ල වර්ගයා හා හිතේෂීන් නගා සිටුවන වැඩපිළිවෙලක් හැර රට නගා සිටුවීම සඳහා වන වැඩපිළිවෙලක් නොතිබුණා සේ ම, ඇය රට පාලනය කළේ රට තමන්ගේ නින්දගමක් ලෙස සලකා ක්‍රියා කරන වැඩවසම් අධිපතිනියකගේ ස්වරූපයෙනි. ඇය එකවිට සිය කණ්ඩායමට සේ ම රටේ ජනතාවට ද ආඥාදායක පාලකයකු විය. ඒ නිසා ඇය එකවිට සිය කණ්ඩායමේ සේ ම, මහජනයාගේ ද විරෝධයට හේතුවූ නායිකාවක් වූවාය.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ නායකයන් තිදෙනා සමග කරන සැසඳීමක්, ඒ නායකයන් තිදෙනාට ක්‍රීඩා කිරීමට ලැබුණු පිටිය හා රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබෙන පිටියේ වෙනස්කම්වලින් ආරම්භ කළ හැකිය.

ජේ.ආර්. ජයවර්ධනට විධායක බලයට අතිරේකව හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ද තිබුණි. ප්‍රේමදාසට විධායක බලයට අතිරේකව හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් නොතිබුණත්, සැලකිය යුතු තරම් වැඩි බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තිබුණි. චන්ද්‍රිකාට ද විධායක බලයට අතිරේකව සුළු වැඩි ඡන්ද බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් තිබුණි. එහෙත් රනිල් වික්‍රමසිංහ බලයට පත්ව ඇත්තේ විධායක ජනාධිපති බලය නැතිවය. ඔහුට ඇත්තේ එක්තරා තරමක පාර්ලිමේන්තුවේ වැඩි බලයක් පමණය. ඒ අර්ථයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට ලැබී තිබෙන්නේ ජේ.ආර්., ප්‍රේමදාස හා චන්ද්‍රිකා යන නායකයින්ට ලැබුණු ක්‍රීඩා පිටිවලට වඩා දුෂ්කර හා සංකීර්ණ පිටියකි. ඔහුගේ නායකත්වය අවසාන වශයෙන් උරගා බැලෙනු ඇත්තේ ද එහිදිය.

ඔහු තෝරාගෙන ඇති ඉලක්කය ද සිය කැමැත්තෙන් තෝරාගත් ඉලක්කයකට වඩා ඔහුට තෝරා ගැනීමට බල කෙරුණු හෝ ඒ හැර තෝරා ගැනීමට වෙනත් ඉලක්කයක් නැති තත්ත්වයක් යටතේ තෝරා ගැනීමට සිදුවූ ඉලක්කයක් ලෙස සැලකිය හැකිය. එනම් කුණුවී තිබෙන ජනවාර්ගික අර්බුදයට විසඳුමක්ලබාදිම මගින් රට නගා සිටුවීම ඔහු වෙත පැවරි තිබෙන ඉලක්කය වී තිබේ. මීට පෙර කථා කළ නායකයින් අතරින්වඩාත්ම දුෂ්කර හා සංකීර්ණම ඉලක්කය ලැබී ඇත්තේ ද රනිල් වික්‍රමසිංහටය.

ජේ.ආර්. කළේ වසා තිබුණු ආර්ථිකය විවෘත කිරීමය. එය සියලු සංවර්ධනයන් ඇති කිරීමට හේතුවී තිබුණු අතර, එම ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට යන්නට ඉඩ දෙන අතර ඒ නිසා ආදායම් බෙදියාමේදි ඇතිව තිබූ විෂමතා නිවැරදි කිරීම ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉදිරියේ තිබූ ඉලක්කය විය. ඊළගට බලයට පැමිණි චන්ද්‍රිකාගෙන් ඉටුවිය යුතුව තිබුණේ ඉදිරියට ගලායමින් තිබුණු ආර්ථික ක්‍රියාවලිය තවදුරටත් පණ ගන්වන අතර, ජනවාර්ගික අර්බුදයට ද විසඳුමක් ලැබෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමය උද්දිපනය කිරීමට හේතුවන ආකාරයේ මනා පාලනයක් ඇති කිරීමයි. ඇය ජනවාර්ගික අර්බුදය ගැන බොහෝ දේ රැඩිකල්වාදි ස්වරයකින් කථා කළත්, සාධාරණ විසඳුමක් ලබාදෙනවා වෙනුවට කළේ තිබුණු අර්බුදය පහසුවෙන් විසඳිය නොහැකි අවුල් ජාලාවක් බවට පත් කිරීමය. යහපත් පාලනයක් වෙනුවට ඇය රස්තියාදුකාර පාලන රටාවක් ස්ථාපිත කළාය. ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වූයේ වෙන කොයිකවරදාවත් නොවූ තරම් බංකොලොත් භාවයකට රට ආර්ථික වශයෙන් ඇද වැටීමය.

දැන් තිබෙන තත්ත්වය යටතේ යහපත් ආර්ථිකයක් කරා නැවත රටට යා හැකිවනු ඇත්තේ රටේ තිබෙන ප්‍රමුඛ ගැටලුව ලෙස සැලකිය හැකි වර්ගාන්තර අර්බුදයට කල්පවත්නා විසඳුමක් ලබාදිමට හැකි නම් පමණය. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඇත්තේ ඒ අභියෝගයයි. එහෙත් ඔහුට ඒ අභියෝගය ජයගැනීමට සිදුවී තිබෙන්නේ විධායක බලය ප්‍රතිපක්ෂයක් අත තිබෙන තත්ත්වයක් යටතේය.

ඔහු ඉදිරියේ තිබෙන අභියෝගය ඉතාමත් දුෂ්කර හා සංකීර්ණ වන්නා සේ ම එය ජයගැනීමට තිබෙන මාර්ගය ද ඉතා දුෂ්කර හා සංකීර්ණය. එක් අතකින් ඔහු සිය කණ්ඩායම, පක්ෂය හා මහජනතාව තෘප්තිමත් තත්ත්වයක තබාගත යුතුය. අනෙක් අතට විධායක බලය ඇති ප්‍රතිපක්ෂය ද තමන්ට අවහිර නොකරන තත්ත්වයක තබාගත යුතුය.

එහෙත් දැනට පවත්නා තත්ත්වය අනුව මේ එකම කණ්ඩායමක්වත් තෘප්තිමත් තත්ත්වයක තබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී නැත. කණ්ඩායම, පක්ෂය, මහජනතාව යන තුන් කොටසම ඉන්නේ තෘප්තිමත් නැති තැනකය. විධායක බලය සහිත විරුද්ධ පක්ෂය ඉන්නේ ද අවහිර කරන තැනකය.

තමන් කවදා හෝ බලයට එන අවස්ථාවක අත ගසන්නට සිදුවන ප්‍රධාන ගැටලුව ජනවාර්ගික අර්බුදය බව තේරුම් ගනිමින් ඒ අර්බුදය නියෝජනය කරන ප්‍රතිපාර්ශ්වයේ විශ්වාසය පළුදු කිරීමට හේතුවන ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම රනිල් වික්‍රමසිංහ කෙරෙන් විශද වූ ශක්තිමත් ලක්ෂණයක් විය. කොටි සමග ඇති ගිවිසුමක් ගැන කථා කරමින් රනිල් වික්‍රමසිංහ පිළිබඳ බිහිසුණු චිත්‍රයක් දිගින් දිගට මවාපෑම ද, රනිල් වික්‍රමසිංහ ඒ චෝදනා ඉදිරියේ ඉවසීමෙන් බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළා විනා සිංහල ජනයාගේ ඉක්මන් සතුටටත්, දෙමළ ජනයාගේ සැකයකටත් හේතුවන ප්‍රතිපත්තියකට මාරු වූයේ නැත.

බලයට පැමිණි වහාම උතුර සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය සම්බාධක ටිකෙන් ටික ඉවත් කරන ප්‍රතිපත්තියක් වෙනුවට වේගයෙන් ගමන් කරන ප්‍රතිපත්තියකට යාම ද ඔහු කෙරෙන් ප්‍රකාශ වූ ශක්තිමත් ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ ක්‍රියාවලිය බ්‍රිතාන්‍යයේ ජෝන් මේජර් උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රතිපත්තියට සමාන විය. ජෝන් මේජර් උතුරු අයර්ලන්තයේ සමහර ප්‍රදේශවලට පනවා තිබුණු සම්බාධක සියල්ල එක් දිනක් තුළ ඉවත් කළේය. සියලු මාර්ග බාධක ද ඉවත් කළේය. ඒ ක්‍රියාවලියට ආවේණික වේගවත්කම නිසාම ආර්ථික ක්‍රියාකාරිත්වය පණ ගැන්වී දිර්ඝ කාලයක් වැසී තිබුණු රාත්‍රී සමාජ ජීවිතයට එකතුවීමට අයර්ලන්ත වැසියන්ට අවස්ථාවක් ලැබුණි. එම ක්‍රියාමාර්ගය වහා සමාජ ජීවිතයේ ඇති කළ වේගවත් විපර්යාසය නිසාම නැවත පැරණි ලෝකයට යාමට සූදානම් නැති තැනකට අයර්ලන්ත සමාජය ආවේය. රනිල් වික්‍රමසිංහ උතුර සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තිය ද බොහෝ දුරට ඊට සමානය.

චන්ද්‍රිකා අනුගමනය කළ ප්‍රතිපත්තිය ඊට වෙනස් විය. ඇය ලෝබකමින් මෙන් හැමදෙයක් ම දෙනු ලැබුවේ ටිකෙන් ටිකය. ටිකෙන් ටික දෙන ඒ ප්‍රතිපත්තිය සමාජ ජීවිතය ආපසු හැරවීමට පහසු නැති, වේගවත් විපර්යාසයක් ඇති කිරීමට හේතු නොවීය.

රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ මාර්ග බාධක ඉවත් කිරිමෙන් නොනැවතී දැඩි සෝදිසි කිරීමකට ලක්කිරීමකින් තොරව තමන් වෙසෙන අරලියගහ මන්දිරයට ආ හැකි තත්ත්වයක් ඇති කිරීම මගින් අවදානමක් ඇතොත්, මහජනතාව පමණක් නොව තමන් ද ඒ අවදානම භාරගැනීමට සූදානම් බව පෙන්නුම් කළේය. එය සාමකාමී විසඳුමක් සඳහා තමන් තුළ ඇති විශ්වාසය පළකිරීමකට සමානය.

රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීම සඳහා වන දර්ශනයක් තිබුණ ද, බලය ලැබුණු වහාම බලය ස්ථාපිත කරගැනීම සඳහා වන සැලැස්මක් කල්තියා තිබුණ බවක් පෙනෙන්නට නැත. සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලට පුද්ගලයන් තෝරාපත් කිරීම සඳහාත්, අමාත්‍යංශවලට ලේකම්වරුන් පත් කිරීම සඳහාත් දිර්ඝ කාලයක් ගත කරන්නට සිදුවූයේ ඒ නිසාය.

රනිල් වික්‍රමසිංහ ඉදිරියේ තිබෙන අභියෝගයේ දුෂ්කරතාවයේ හා සංකීර්ණතාවයේ තරම අනුව අගමැතිවරයා සිටිය යුත්තේ ජේ.ආර්. ජයවර්ධනටත් වඩා සැහැල්ලුවෙන් ඉඳ කටයුතු හසුරුවන තැනකය. එහෙත් අගමැතිවරයා සෘජු ලෙස හෝ අනියම් ලෙස පවරා ගෙන ඇති අමාත්‍යංශ සංඛ්‍යාවේ විශාලත්වය අනුව බලන විට අගමැතිවරයා සැහැල්ලුවෙන් කටයුතු හැසිරවිය හැකි තැනක සිටින බවක් පෙනෙන්නට නැත.

ජේ ආර් ජයවර්ධන ඇමතිවරුන් වෙත වගකීම් පවරා දුන් පසු තීරණාත්මක අවස්ථාවකදි හැර හැම විටම ඔවුන්ගේ කටයුතුවලට ඇගිලි නොගැසුවේය. ඒ ප්‍රතිපත්තිය ඔවුන්ට ආත්ම විශ්වාසයකින් යුතුව සිය හැකියාවන් පෙන්නුම් කිරීමට මනා අවස්ථාවක් ලබා දුන්නා පමණක් නොව සිය නායකයා කෙරෙහි විශ්වාසයකින් හා ගෞරවයකින් යුතුව ක්‍රියා කිරීමට අවශ්‍ය පරිසරයක් ලබා දුන්නේය. එහෙත් ප්‍රේමදාස මහතාගේ සේම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ද ශෛලිය ඊට වෙනස් විය. ඔවුන් දෙදෙනාම හැම විටම ඇමතිවරුන් ට සිය කටයුතු නිදහසේ කරගෙන යාමට ඉඩ නොහැර හැම විටම ඔවුන්ගේ කටයුතුවලට ඇගිලි ගසන ප්‍රතිපත්තියක් අනුගමනය කළහ. ඒ ක්‍රමය ඇමතිවරුන් අතෘප්තිමත් තත්ත්වයක තැබීමට හේතු විය. රනිල් වික්‍රමසිංහ මහතා මේ විෂයයේදි තෝරාගෙන ඇති ශෛලිය සමාන වන්නේ ජේ.ආර්. ශෛලියට නොව ප්‍රේමදාස හෝ චන්ද්‍රිකා ශෛලියටය. එම ශෛලිය ඇමතිවරුන් අතර අතෘප්තිමත් තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය.

අමාත්‍යංශ යටතට වැටෙන සංස්ථාවල හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂෂ මණ්ඩලවලට සාමාජිකයන් පත් කිරිමේදි තමා අපේක්ෂෂා කරන ප්‍රමිතිය ඇමතිවරුන්ට පහදා දි ඔවුන් නම් කරන පුද්ගලයින් එම ප්‍රමිති තත්ත්වයට නොගැලපෙන අවස්ථාවලදි පමණක් ගැලපෙන පුද්ගලයින් පත් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් එවැනි ප්‍රතිපත්තියක් ඇමතිවරුන්ගේ ගෞරවයට හා විශ්වාසයට හේතු වන්නට ඉඩ තිබුණ. එහෙත් සුදුසුම පුද්ගලයන් තෝරා පත් කිරිමේ අවශ්‍යතාව සළකා සියලු දෙනා නායකයා විසින් පත් කරන ප්‍රතිපත්තියක් ඇමතිවරුන්ගේ සතුටට හේතු වනු ඇතැයි සිතිය නොහැකිය.

අගමැතිවරයාගේ නව ඇමති මණ්ඩලයද වර්ණවත් ඇමති මණ්ඩලයක් ලෙස සැලකිය නොහැකිය. ජේ.ආර්. ජයවර්ධන 77 දි ඇති කළ ඇමති මණ්ඩලය තුළ ද ජේ‍යෂ්ඨත්වය සළකා පත්කළ පුද්ගල පිරිසක් සිටියේය. එහෙත් ඊට අතිරේක වශයෙන් හැකියාව සළකා ඉතා වැදගත් හා බලවත් තනතුරු ලබා දුන් තරුණ පරපුරේ කිහිප දෙනෙකුද ඔවුන් අතර සිටියේය. ඉන් දෙදෙනෙක් ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක වන විට තෙවැන්නා වූයේ රනිල් වික්‍රමසිංහය. නව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදි අතිශය වැදගත් තැනක් ලෙස ජේ.ආර්. සැලකූ වානිජ හා වෙළෙඳ අමාත්‍යංශය භාර දෙන ලද්දේ ලලිත් ඇතුළත්මුදලිටය. ලෝකයේ එවකට තිබූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකුණු මහවැලි ව්‍යාපාරය භාර කෙරුණේ ගාමිණී දිසානායකටය. 1980 දි 29 වැනි වියේ සිටි රනිල් වික්‍රමසිංහට යෞවන කටයුතු හා අධ්‍යාපන අමාත්‍යංශය දුන්නේය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ඇමති මණ්ඩලයේ 26 දෙනෙකු සිටියත් මුළු ඇමති මණ්ඩලයෙන්ම කැපී පෙනෙන හා බලවත්ම චරිත වූයේ ප්‍රේමදාස, රොනී, ලලිත් හා ගාමිණීය. ඇමති මණ්ඩලයේ බලවත්ම චරිත හතරින් දෙදෙනෙකුම ආධුනිකයින් වීම කැපී පෙනෙන ලක්ෂෂණයක් විය. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු තුනක මුදල් ඇමතිකම දරා තිබුණත් රාජ්‍ය පාලකයා වීමෙන් පසුව සෘජු ලෙස හෝ අනියම් ලෙස මුදල් ඇමතිකම සියතට ගත්තේ නැත. ඒ කාරිය මුළුමනින් රොනීට දුන්නේය.

දේශපාලනයේදි හා ආගම ධර්මයේදි පමණක් නොව වෙනත් ඕනෑම විෂයකදි ද සංකේතවලට වැදගත් තැනක් හිමිවේ. වෙනසක් සඳහා ඇප කැප වීමෙන් ක්‍රියාකිරීම පමණක් ප්‍රමාණවත් නැත. වෙනසක් සඳහා ක්‍රියාකරන බව මහජනයාට පෙනෙන්නටද තිබිය යුතුය. වෙනසක් සඳහා ක්‍රියා කරමින් තිබෙන බව මහජනයා දෑනගන්නේ සංකේතවල ඇතිවන වෙනස්කම් ඔස්සේය. එජාපය විරුද්ධ පක්ෂෂයේ සිටියදි අගවිනිසුරුවරයාට එරෙහිව ඉතාමත් බරපතල චෝදනා ඇතුළත් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළේය. එහෙත් බලයට ඒමෙන් පසුව අගවිනිසුරු අර්බුදය සම්බන්ධයෙන් එජාපය අනුගමනය කරමින් තිබෙන්නේ උගුරට හොරා බෙහෙත් කන පිළිවෙතකි. තමන්ගේ දැඩි විවේචනයට හේතු වී සිටි පොලිස්පති සම්බන්ධයෙන් පමණක් නොව ලංකා බැංකුවේ සභාපති කෙන් බාලේන්ද්‍රන්, රාජ්‍ය ව්‍යවසාය කොමිසමේ සභාපති පී.බී. ජයසුන්දර වැනි අය සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන පිළිවෙත දෙබිඩි සහගතය. මෙවැනි සාධක මහජනයා තුළ විශ්වාසය පළුදු කිරීමක් ඇති කිරිමට හේතු විය හැකිය.

නූතන ලෝක සංදර්භය තුළ මහජන අනුමැතිය සඳහා පාලකයා මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතු විය යුතුය. මහජනයා තුළ භීතිය ඇති කිරීම තුළින් මහජන අනුමැතිය ලබා ගැනීමේ හැකියාවක් වත්මනේ නැත. එහෙත් එවැනි පිළිවෙතක් භීතිය ඇති කිරීම මගින් මහජන අනුමැතිය ලබාගන්නා සම්ප්‍රදායක පිළිවෙතට වඩා දුෂ්කරය. නූතනයේ රාජ්‍ය පාලනයකට මහජනයාගේ ගෞරවයට හේතු විය හැක්කේ ඔහු සෑම ලොකු කුඩු ප්‍රශ්නයකදිම මහජනයාට නොවළහා ඇත්ත කතා කරන හා සාධාරණ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් පමණය. රනිල් වික්‍රමසිංහ මහතාට සිය ඉලක්ක ජය ගත හැකි වනු ඇත්තේ ද, සිය පූර්වගාමී නායකයින්ගෙන් වෙනස්ව හැම විටම ජනතාවට කිසිවක් නොසගවා ඇත්ත කතා කරන හා හැම ලොකු කුඩා ප්‍රශ්නයකදිම සාධාරණව ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කිරීමට හැකිවේ නම් පමණය.