රැකි රක්ෂා සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි

February 17, 2002
Publication:
The cabinet has reportedly reversed, at the President's intervention, its decision to cancel all state recruitment made between the dissolution of Parliament and the election. The piece argues that a caretaker government has no right to make such appointments, that correcting them is not revenge, and that in a country with high unemployment jobs must go on merit under a fair national recruitment policy, with a law banning hiring once an election is called.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දින සිට මැතිවරණය පැවති දින දක්වා වූ කාලය තුළ රාජ්‍ය ආයතනවලට අලුතෙන් කරන ලද සියලු බඳවා ගැනීම් අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන තිබුණු තීරණය නැවත වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ වෙනස සිදුවී ඇත්තේ ජනාධිපතිනියගේ මැදිහත්වීම නිසා ය.

මැතිවරණයක් ප්‍රකාශ කිරිමෙන් පසුව බලයේ සිටින ආණ්ඩුව ඊළග ආණ්ඩුව බලයට පත්වන තෙක් භාරකාර ආණ්ඩුවක තත්ත්වයට පත්වන්නේ ය. එම සංක්‍රමණ කාලය තුළ භාරකාර ආණ්ඩුවක් එදිනෙදා කටයුතු පවත්වාගෙන යනවා මිස, ඊළග ආණ්ඩුව බලයට පත්වන තෙක් රක්ෂා දිමේ හෝ බරපතල ප්‍රතිපත්ති තීන්දු ගන්නා තත්ත්වයකින් ක්‍රියා කරන්නේ නැත. එය මේ රටේ පමණක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් ක්‍රියාත්මක වන ඕනෑම ශිෂ්ටසම්පන්න රටක ක්‍රියාත්මක වන පිළිවෙතකි.

එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුව පසුගිය මැතිවරණ කාලය තුළ ක්‍රියා කළ ආකාරය කවර මට්ටමකින්වත් ශිෂ්ට සම්පන්න වේ යයි කිව නො හැකි ය. එය රාජ්‍ය සේවයේ පඩි වැඩි කළේ ය. දස දහස් ගණනකට අලුතෙන් පත්වීම් ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය. මෙවැනි ක්‍රියා අයත් වන්නේ දූෂණ ගණයේ වැරදිවලට ය.

මෙවැනි වැරදි නිවැරදි කිරීමට තරම්වත් නව ආණ්ඩුවට ආත්ම විශ්වාසයක් නැතිනම් එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ වැරදි නිවැරදි කළ යුතුව ඇත්තේ පොදු පෙරමුණෙන් පළිගැනීමේ අදහසින් නොව, ඒ වැරදි නිවැරදි කොට නැවත තමන්ගේ පාලනයක් තුළත් එවැනි වැරදි සිදුවීමට ඉඩක් නො තැබීම සඳහා ය.

විශේෂයෙන් ම රැකී රක්ෂා ප්‍රශ්නය පුපුරණ සුළු ප්‍රශ්නයක් වන බැවින් ඒ සමග පටු අර්ථයෙන් සෙල්ලම් කිරිමෙන් වැළකිය යුතු ය. රාජ්‍ය ආයතන සඳහා පුද්ගලයින් බඳවා ගැනීමේ දි සියලු දෙනාගේම විශ්වාසයට හා ගෞරවයට හේතුවන රක්ෂා ප්‍රතිපත්තියක් ඇති කරගැනීම ඉතා වැදගත් ය.

විරැකියාව රට ඉදිරියේ තිබෙන ප්‍රධාන ගැටලුවකි. විශාල විරැකියා ප්‍රශ්නයක් තිබෙන රටක සුදුසුකම් මත පිහිටා රක්ෂා දෙන පිළිවෙතකින් බැහැර වී දේශපාලන පක්ෂපාතකම් මත රක්ෂා දෙන පිළිවෙතක් තරුණ පරපුරේ කෝපයට හේතුවීම නො වැළැක්විය හැකි ය. රක්ෂා සඳහා තිබෙන ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම අවශ්‍ය වන්නා සේ ම, තිබෙන සීමිත ඉඩ ප්‍රස්ථා බෙදාහැරිමේ දි සාධාරණව ක්‍රියා කිරීම ද අත්‍යවශ්‍ය ය.

මැතිවරණයක් ප්‍රකාශ කිරිමෙන් පසුව රාජ්‍ය ආයතනවලට පුද්ගලයන් බඳවා ගැනීම නීති විරෝධී කෙරෙන නීතියක් ඇති කරගැනීම ද අප වැනි රටකට ඉතා වැදගත් ය.