ජාතියේ හා ආගමේ නාමයෙන් රට රැගෙන යන්නේ කොයිබටද?

April 14, 2013
Publication:
Ivan warns that the anti-Muslim campaign now being led by groups of monks mirrors the climate before 1915, 1958 and 1983. He retells the 1915 Sinhala–Muslim riots, rooted in Dharmapala's revival and Sinhala traders' envy of Muslim commerce, and traces the Muslims' long history in the island. Such a riot now, he argues, would be ruinous, and its premise betrays Buddhism itself: from the Kalama Sutta and the parable of the raft to Asoka's edicts and Walpola Rahula, the Buddha's teaching is one of free inquiry and tolerance.

වාර්ගික හා ආගමික අර්ථයෙන් රටේ පවතින තත්ත්වය 1915 මුස්ලිම් කෝලාහලයට, 1958 දෙමළ කෝලාහලයට හා 1983 කළු ජූලියට පෙර පැවති තත්ත්වයන්ට සමානය. 1915 ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහලය අනගාරික ධර්මපාල ඇති කළ සිංහල බෞද්ධ ප්‍රබෝධයේ තාර්කික ඵලයක් වීයැ”යි හැකිය. එම කෝලාහලය කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් වූයේ වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටි ප්‍රමුඛතාව සිංහල වෙළෙඳුන්ගේ විරෝධයට ලක්වීමය. එදාද අද මෙන් මුස්ලිම් කඩ වර්ජනය කරන ලෙස සිංහලයන්ගෙන් ඉල්ලා සිටින සංවිධානාත්මක හා ප්‍රබල ව්‍යාපාරයක් රටේ ක්‍රියාත්මක විය. සිංහල ජාතිය පත්‍රයේ කර්තෘ පියදාස සිරිසේන “(හම්බ මරක්කලයන්ද, කොච්චින්ද වෙනත් විදේශිකයන් සමගද ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය. අනගාරික ධර්මපාල විසින් පළකරන ලද සිංහල බෞද්ධයා පත්‍රයද ක්‍රිස්තියානි ආගම හා ලංකාව යටත් කොටගෙන සිටි යුරෝපීන් ගැනපමණක් නොව ලංකාවේ ජීවත් වූ සුළු ජාතික කණ්ඩායම් ලෙස සැලකිය හැකි දමිළයන් හා මුස්ලිම්වරුන් (එකල මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ මරක්කලයන් ලෙසය.) වෙතද වෛරය දනවන ආකල්ප ඇති කරන ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. විදේශික සුද්දා මෙරටට පාතැබූදා සිට සිංහලයන්ගේ කර්මාන්තද, ගතිපැවතුම් හා සිරිත් විරිත් ද අභාවයට යෑමට පටන් ගත්තේය. දැන් සිංහලයාට මරක්කලයන්ගේ හා දෙමළුන්ගේ පාමුල ඇද වැටීමට සිදුවී තිබේයැ”යි සිංහල බෞද්ධයා පත්‍රය කියා සිටියේය.

1915 සිංහල මුස්ලිම් කෝලාහලය

සිංහල ජනයා අතර මුස්ලිම් විරෝධී ආකල්ප පැසවමින් තිබුණු තත්ත්වයක් ඉදිරියේ ආරාවුල ආරම්භ වූයේ 1912දී ගම්පොළදීය. බෞද්ධ පෙරහැරක් මුස්ලිම් පල්ලියක් පසුකරමින් සිටියදී හේවිසි ආදී තූර්යවාදන පැවැත්වීම ගැන මුස්ලිම්වරුන් විරෝධය පළ කළහ. සාම්ප්‍රදායික ක්‍රමයට පෙරහැර පැවැත්වීමට තමන්ට අයිතියක් ඇතැ”යි බෞද්ධයෝ තරයේ කියා සිටියහ. මෙම ආරාවුල විභාග කළ මහනුවර දිස්ත්‍රික් උසාවිය 1914දී බෞද්ධයන්ට පක්ෂව තීන්දුවක් දුන්නේය. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය 1915 පෙබරවාරි මාසයේදී මුස්ලිම්වරුන්ට පක්ෂව තීන්දුවක් දුන්නේය. 1915 මැයි මාසේ වෙසක් උත්සව කාලයේදී බෞද්ධ භක්ති ගීත ගායක කණ්ඩායමක් මහනුවර මුස්ලිම් පල්ලියක් පසුකරමින් සිටියදී තූර්ය වාදනය කිරීම ගැන විරෝධය පළ කළහ. නගරයට රැස්ව සිටි බෞද්ධයන් ඒ නිසා කුපිතවීම නිසා මැයි 29 වැනිදා 30 වැනිදා මහනුවර නගරයේ කෝලාහල ඇතිවී එය ඉක්මනින් රට පුරා පැතිර ගියේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව කෝලාහලය තේරුම් ගත්තේ බ්‍රිතානය ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන කෝලාහලයක් ලෙසය. ආණ්ඩුව ජූනි 20 වැනිදා පළාත් හතකට බලපාන ලෙස යුද නීතිය ප්‍රකාශ කොට කෝලාහලය මැඬලීමට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 1915 අගෝස්තු මාසය දක්වා පැවති යුද නීතිය බලපෑ කාලයේදී යුද හමුදාව හා පොලීසිය පමණක් නොව බ්‍රිතාන්‍ය වතුකාරයන් හා සිවිල් නිලධාරීන්ද කෝලාහලය මැඬලීමට ක්‍රියාකාරී ලෙස සහභාගි වූ අතර එහිදී ඉවක් බවක් නැතිව සිංහල මිනිසුන් මරා දමන ලද බවට චෝදනා එල්ල විය. අමද්‍යප ව්‍යාපාරයේ බොහෝ නායකයන්ද අත්අඩංගුවට ගන්නා ලදි. කෝලාහලය පැවති කාලයේදී අනගාරික ධර්මපාල සිටියේ ඉන්දියාවේය. ඔහු ලංකාවට ඒම වළකන ලදි.

කෝලාහලයේ තරම තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් දත්ත සමහරක් මෙසේය

අලාභ හානි සිදුවූ මුස්ලිම් පල්ලි ගණන 86

පුළුස්සනු ලැබුණු මුස්ලිම් පල්ලි ගණන 17

කොල්ලකනු ලැබූ මුස්ලිම් කඩ ගණන 4075

මරා දමනු ලැබූ මුස්ලිම්වරුන් සංඛ්‍යාව 35

තුවාල කරනු ලැබූවෝ ගණන 189

දූෂණය කරනු ලැබූ ස්ත්‍රීන් ගණන 04

කෝලාහලයට අදාළ නඩු පිළිබඳ සංඛ්‍යා ලේඛන මෙසේය.

පොලිස් උසාවිවල පවරා තිබූ නඩු ගණන 9600

කොන්දේසි සහිතව හෝ රහිතව නිදහස් කරනු

ලැබූ නඩු ගණන 4908

යුද්ධාධිකරණයේ පවරා තිබූ නඩු ගණන 358

මරණීය දණ්ඩනයට නියම කෙරුණු නඩු ගණන 83

නිල සංඛ්‍යා අනුව කෝලාහලකරුවන් විසින් මරා දමනු ලැබු අයගේ සංඛ්‍යාව 39කි.

ලංකාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භවන්නේ සිංහල-මුස්ලිම් කෝලාහලයත් සමගය. එදා ලංකාවේ ප්‍රමුඛ දේශපාලන නායකයන් බවට පත්වන්නේද එම සිංහල-මුස්ලිම් කෝලාහලයේදී අත්අඩංගුවට ගනු ලැබූ නායකයන්ය. කෝලාහලයෙන් වැඩිම හානියක් සිදුවී තිබුණේ මුස්ලිම්වරුන්ට වුවත් පොදුවේ දෙමළ නායකයන්ගේ සේම සිංහල ක්‍රිස්තියානි නායකයන්ගේද අනුකම්පාව හිමිවූයේ සිංහලයන්ටය.

1911 ඩෙන්හැම් සංගණන වාර්තාවට අනුව එකල ලංකාවේ මුස්ලිම් ප්‍රභේද දෙකක් සිටියේය. එක ප්‍රභේදයක් වුයේ ලංකා මාරක්කලයන්ය. එලෙස සැලකුණේ ලංකාවේ ඉපදුණු හා ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනයාය. ඔවුන්ගේ සංඛ්‍යාව 233901කි. අනෙක් අය සැලකුණේ ඉන්දීය මරක්කල හෝ හම්බයන් ලෙසය. ඔවුන් හම්බයන් ලෙස සැලකුණේ දකුණු ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවලින් හම්බන් නමැති ඔරුවලින් වෙළෙඳාම පිණිස මෙහි යන එන අය වීම නිසාය. ඔවුන්ගේ සංඛ්‍යාව 23,600කි.

මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

සිංහලයන් වියළි කලාපයේ අනුරාධපුරය හා ඉන්පසුව පොළොන්නරුව අගනුවර බවට පත් කරගෙන සිටි කාලයේදී පවා අරාබි වෙළෙඳුන් ලංකාවට පැමිණියේය. ඉන් සමහරෙක් මෙහි පදිංචි වී වෙළෙඳාමේ යෙදෙන මෙරටේම ජීවත් වන පිරිසක් බවට පත්වූහ. ඉතා වැදගත් සේ ආරම්භයේ සිට අරාබියේ සිට පැමිණ මෙහි පදිංචි වූ කිසිවෙක් අරාබි කාන්තාවන් සමග මෙහි නොඒමය. ඔවුන් විවාහ කොට ගත්තේ සිංහල හෝ දෙමළ කාන්තාවන්ය. සිංහලයන් වෙළෙඳාම පහත් කොට සැලකීය. ඒ නිසා රටේ වෙළෙඳාමේ ඒකාධිකාරය හිමි කරගෙන සිටියේ මුස්ලිම්වරුන්ය. මහනුවර යුගයේදී එහි ජීවත් වූ මුස්ලිම්වරුන් අනුයුක්ත කර තිබුණේ මඩිගේ හෙවත් ප්‍රවාහන කාර්යාංශයටය. රැල්ෆ් පිරිසට අනුව ඔවුන් උඩරට සිංහල කුල ක්‍රමයට ඇතුළත් නොකරගත්තේ ඔවුන් තමන් ඇදහූ මුස්ලිම් ආගම අත්නොහැරීම නිසාය.

පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමග මුස්ලිම්වරුන්ට එතෙක් වෙළෙඳාමේදී හිමිව තිබූ ඒකාධිකාරි අයිතිය අහිමිවීම නිසා ඔවුන් පෘතුගීසීන්ට එරෙහිව සටන් කරන තැනකට ගියේය. 1517දී මුස්ලිම්වරුන් පෘතුගීසීන්ගේ කොළඹ කොටුව වටලා පහර දුන්නේය. ඉන් අවුරුදු 100කට පසුව එනම් 1617දී පෘතුගාලයේ රජතුමාගේ ආඥාවක් අනුව කොන්ස්ටන්නෝ ද නොරොඤ්ඤා නමැති ලංකාවේ පෘතුගීසී පාලන ප්‍රදේශවල ප්‍රධානියා ලෙස ක්‍රියා කළ පෘතුගීසි කපිතාන් ජනරාල්වරයා විසින් සිය පාලන ප්‍රදේශවලින් සියලු මුස්ලිම්වරුන් පලවා හැරියේය. ඔවුන් රැකවරණය සොයාගෙන ගියේ උඩරට සිංහල රාජධානියටය. උඩරට රජතුමා එහි පැමිණි මුස්ලිම්වරුන්ගෙන් එක් පිරිසක් මහනුවර අවට ප්‍රදේශවල පදිංචි කරවා ඉතිරි පිරිස උඩරට රාජධානියට අයත්ව තිබූ මඩකළපුවේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචි කරවීය. බී.එච්. ෆාමර්ට අනුව එය බොහෝ දුරට ජනශූන්‍ය ප්‍රදේශයක් පැවති වියළි කලාපය ජනාවාස කිරීමේ ආරම්භය විය.

පෘතුගීසීන්ගෙන් පසු එළැඹෙන ලන්දේසි යුගයද මුස්ලිම්වරුන්ට යහපත් නොවීය. හේතුව ඔවුන්ගේ පාරම්පරික වෘත්තිය වූ වෙළෙඳාමට ලන්දේසීන් අවහිර කිරීමය. ඒ තත්ත්වය වෙනස්වන්නේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදීය. වෙළෙඳාම සඳහා මහා පරිමාණයෙන් ඉඩ ප්‍රස්ථා විවර වන්නේද ඒ යුගයේදීය. බ්‍රිතාන්‍යයන් ආනයනය අපනයන වෙළෙඳාමේදී තමන් අත තබාගත්තේ තෝරාගත් අංශ කිහිපයක් පමණය. අනෙක් අංශවල වෙළෙඳාමේ නිරතවීමේ අයිතිය ඒ ගැන උනන්දුවක් දක්වන වෙනත් අයට දුන්නේය. සිංහලයන් වෙළෙඳාමට නැඹුරු වූයේද වතු ආර්ථිකයක් ඇතිවීමත් සමගය. එහෙත් ඔවුන් වෙළෙඳාමට ආධුනිකයන් වූ නිසාත් වෙළෙඳාම මුස්ලිම්වරුන්ගේ ඇඟේ තිබුණු දෙයක් වීම නිසාත් ස්වදේශීය වෙළෙඳුන් අතර ප්‍රමුඛ තතත්වයක් හිමිකර ගත්තේ මුස්ලිම් වෙළෙඳුන්ය. එහෙත් ආගමික හේතු නිසා මුස්ලිම්වරුන් අරක්කු වෙළෙඳාමට අත නොගැසීම හේතු කොටගෙන අරක්කු වෙළෙඳාමේදී පමණක් සිංහල වෙළෙඳුන් ප්‍රමුඛ වූහ. මුස්ලිම්වරුන් අධ්‍යාපනය නොවැදගත් කොට සැලකූ අතර වැදගත් කොට සැලකුවේ වෙළෙඳාමය. එහෙත් සිංහලයන් සේ ම ඊටත් වඩා දමිළයන් අධ්‍යාපනය වැදගත් කොට සැලකීය. උතුරේ දමිළයන්ට දියුණුවීමට ඒ ප්‍රදේශවල වයාපාරික මාර්ග විවෘත නොවීම නිසා ඔවුන් දියුණුව කරා යන ප්‍රධාන මාර්ගය බවට පත් කරගත්තේ අධ්‍යාපනයයි. කුමාරි ජයවර්ධනට අනුව 20 වැනි සියවස ආරම්භ වනවිටත් මහා පරිමාණ වෙළෙඳ කටයුතුවල යෙදී සිටියේ සිංහල හා දෙමළ පුද්ගලයන් කිහිපදෙනකු පමණය. මහා පරිමාණයේ වෙළෙඳාම යුරෝපීයන්ට, විවිධ ඉන්දියානු ජාතිකයන්ට හා දේශීය වශයෙන් මුස්ලිම්වරුන්ට සීමාවූ දෙයක් වී තිබුණි. සිංහල වෙළෙඳුන්ගෙන් බහුතරය සිල්ලර වෙළෙඳාමේ යෙදුණු සුළු වෙළෙන්දන් වූහ. යුරෝපීන්ගේ වෙළෙඳ කේන්ද්‍රය පිහිටා තිබුණේ කොළඹ කොටුවේය. යුරෝපීය නොවන වෙළෙඳ කේන්ද්‍රය පිහිටා තිබුණේ පිටකොටුවේය. පිටකොටුව වෙළෙඳාමේ ආධිපත්‍යය හිමි කරගෙන සිටියේ හෙට්ටි වෙළෙඳුන් හා මුස්ලිම් වෙළෙඳුන්ය.

වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හිමි කරගෙන සිටි ආධිපත්‍යය සිංහල වෙළෙඳුන්ගේ ඊර්ෂ්‍යාවට සේ ම විරෝධයටද හේතුවී තිබුණි. වෙළෙඳාම මුස්ලිම්වරුන්ගේ ඇඟේ තිබුණු දෙයක් වීම නිසාත් සිංහලයන් වෙළෙඳාමට අලුතෙන් එකතු වී තිබුණු පිරිසක් වීම නිසාත් වෙළෙඳාමේදී මුස්ලිම්වරුන් හා තරග කිරීමේ ශක්තියක් සිංහල වෙළෙඳුන්ට නොතිබුණේය. එහෙත් වෙළෙඳ තරගයෙන් මුස්ලිම්වරුන් ඉවත් කොට ඔවුන්ගේ වෙළෙඳාම තමන් වෙත හිමි කරගැනීමේ වුවමනාවක් සිංහල වෙළෙඳුන්ට තිබුණු අතර ඒ නිසා මුස්ලිම් විරෝධී මතවාද පතුරුවන ආගමික හා ජාතික ව්‍යාපාරවලට ඔවුන් නිර්ලෝභීව මුදලින් ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එය 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් වීයැ”යි කිව හැකිය. 1915 ඇතිවූ මුස්ලිම් කෝලාහලයෙන් අවුරුදු 98කට පසුව දැන් ඇතිවී තිබෙන මුස්ලිම් විරෝධී මතවාදී ව්‍යාපාර කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකය ලෙස සැලකිය හැක්කේද එයමය. එය සිංහල මුස්ලිම් වෙළෙඳ තරගයේ අවලස්සන ඵලයක් ලෙස සැලකිය හැකිය.

රට අවුලෙන් අවුලට යැවීම

මෙම මුස්ලිම් විරෝධී මතවාදී ව්‍යාපාරය මෙහෙයවනු ලබන බව පෙනෙන්නේ භික්ෂූන් කණ්ඩායම් කිහිපයක් විසින් විවිධ නම්වලින් පවත්වාගෙන යන සංවිධාන කිහිපයක් මගිනි. එම සංවිධාන මගින් ප්‍රකාශ කර අදහස් පොදුවේ භික්ෂු සමාජය දරන අදහස් ලෙස සැලකිය නොහැකිය. සාම්ප්‍රදායික භික්ෂු නායකත්වය මෙම අන්තවාදී ප්‍රවණතාවලට එකඟ නැති බව පෙනෙන්නට ඇතත්, උන්වහන්සේලාට එම මතවාදයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ ආත්ම විශ්වාසයක් නැති බවද පෙනෙන්නට තිබේ.

මෙම ප්‍රවණතාව මුස්ලිම් විරෝධීවීමකට සීමා නොවී හරි බුද්ධාකම කුමක්ද හරි හරි බෞද්ධයන් කවුද යන්න තීරණය කරන්නක් ලෙසද ක්‍රියාකරමින් සිටින්නේය. ඒ මගින් දැනුවත්ව නොදැනුවත්ව වර්ග හා ආගම් අතර පමණක් නොව සිංහල වර්ගයා හා බුද්ධාගම තුළද භේද හා අවුල් ඇති කරන්නන් ලෙස ක්‍රියාකරමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. ලංකාව දැනටත් ඉන්නේ අවුල් ජාලයකය. ජාත්‍යන්තර වශයෙන් පමණක් නොව දේශීය වශයෙන් ඉන්නේද මහා අවුලකය. දේශීය ජනවර්ගයක් ලෙස සැලකිය හැකි දෙමළ ජනතාව ඉන්නේ අතෘප්තිමත් තත්ත්වයකය. සිංහලයන් වශයෙන් අප ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණත්වය ඉටු කර නැතැ“යි කියන බලවත් හැඟීමක් අපේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවේ පමණක් නොව ලෝක මට්ටමෙන්ද පවතී. එම තත්ත්වය අප රට විශාල අවුල්සහගත තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. එසේ තිබියදී මුස්ලිම් විරෝධී කෝලාහලයක් ඇතිවන තත්ත්වයක් ඇතිවුවහොත් ඉන් රටට විය හැකි විනාශය අතිවිශාලය. ප්‍රභාකරන්ගේ වෙනම රාජ්‍යයක් පිළිබඳ ව්‍යාපෘතියට නැගෙනහිර මුස්ලිම් ජනයාගේ සහාය ලබාගැනීමට ප්‍රභාකරන් සමත්වී නම් එය යථාර්ථයක් වන්නට ඉඩ තිබුණු බව සිංහලයන් අමතක නොකළ යුතුය. වර්ගවාදී හෝ ආගම්වාදී හැඟීමි ඇවිස්සවීම පහසුය. එහෙත් ඒවා ඇති කරන ප්‍රතිඵල කාගේවත් යහපතට හේතුවන්නේ නැත. මේ රටේ ජීවත් වන සියලු ජනවර්ග විටින් විට ආක්‍රමණිකයන් හා සංක්‍රමණිකයන් වශයෙන් පැමිණි පිටස්තරයන් බව අපි අමතක නොකළ යුතුය. වෙනස්කම් තිබිය හැක්කේ එසේ පැමිණි කාලවකවානුවල පමණය. ලංකාව මව්බිම කොටගෙන මෙහි වෙසෙන සියලු ජනවර්ග සමාන අයිතිවාසිකම් ඇතිව එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් හා ගෞරවයෙන් ජීවත් වන තත්ත්වයකට නොගොස් එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන් හා වෛරයෙන් යුතුව ජීවත් වන තත්ත්වයකට ගියහොත් මේ රටේ කාලකණ්ණිභාවය දීර්ඝකාලීන දෙයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඒ මොහොතේ සිංහල ජනයා මහත් අමන්දානන්දයට පත්වන්නට ඇතත් සිංහල තරුණ පරපුර සිංහලට පමණක් සීමාකිරීමෙන් සිදුවූයේ ඔවුන්ගේ ජීවිත කාලකණ්ණි කිරීමය. එහෙත් සිංහල පමණක් ව්‍යාපාරයට නායකත්වය දුන් කිසිවකු ඒ ගැන සිය කනගාටුව පළකර නැත. අපි දේවල් කළයුත්තේ ඒ මොහොතේ ලැබෙන වාසිය සලකා බලා නොව ඒවා අනාගතය කෙරෙහි බලපාන්නේ කවර ආකාරයටද යන්න සලකා බලාය.

මුස්ලිම් විරෝධී ප්‍රවේශය

බුද්ධාගමට එකඟද?

හැම ආගමක් තුළම එම ආගමේ ශාස්තෘවරයා, එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව වෙනස් මත තිබීම ඉතාමත් ස්වාභාවිකය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව ක්‍රිස්තු භක්තිකයන් අතර නිර්වචනයන් වෙනුවට නිර්වචන ගණනාවක් ඇත්තේය. ඒ අනුව බෙදුණු විවිධ නිකායන් හා ශාඛාවන්ද ඇත්තේය. මෙම ධර්මතාව සියලු ආගම්වලට පොදුය. මුස්ලිම් ආගම තුළ පවා ශාස්තෘවරයා හා එතුමාගේ ඉගැන්වීම් පිළිබඳව එක නිර්වචනයන් වෙනුවට නිර්වචන රාශියක් පවතී. මෙම ආගම්වලට පමණක් නොව ඕනෑම මතවාදයකටද ආවේණික පොදු ධර්මතාවකි. බුදුන්වහන්සේ ගැන පවා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නිර්වචනය, සුචරිත ගම්ලත්ගේ නිර්වචනය හා ගණේගම සරණංකර හිමිගේ නිර්වචන එක සමාන නැත. මෙම ධර්මතාව කාල් මාක්ස්ටද අදාළය. ඔහු පිළිබඳ නිර්වචන එකක් නොව රාශියක් පවතී. මාක්ස්වාදීන් අතර පවා වෙනස් මත පවතී. කිසියම් ආගමක හෝ මතවාදයක ශාස්තෘවරයා හෝ එතුමන්ලාගේ ඉගැන්වීම් නිර්වචනය කිරීමේ බලය තමන් වෙත පවරා ගනිමින් වෙනස් නිර්වචන ඉදිරිපත් කරන්නන් ද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව බාහු බලය යොදාගන්නා ප්‍රතිපත්තියක් යහපත් නොවනවා සේ ම එය නවීන විද්‍යාවට පමණක් නොව බුද්ධාගමටද පටහැනිය. බුදුන්වහන්සේ ඉපදුණේ ඉන්දියාවේ නොව ලංකාවේ වන නිසා ඉන්දියාව කෙරෙහි අප බැඳීමක් ඇති කරගත යුතු නැතැ“යි කියන අදහස එක්තරා භික්ෂූන්වහන්සේ නමක් මේ මෑතකදී පළ කළේය. එය හාස්‍යයට මිස විශ්වාසයට හේතුවන ප්‍රකාශයක් නොවූවද එසේ කීමේ අයිතිය උන්වහන්සේට තිබිය යුතුය. ඒ මතය ඛණ්ඩනය කිරීමට අවශ්‍ය නම් එය සිදුවිය යුත්තේ බාහු බලයෙන් නොව මතවාදී අරගලයක් මගින් පමණය.

බුදුන්වහන්සේ තරම් සිතීමේ නිදහසට, ප්‍රකාශ කිරීමේ නිදහසට හා සැක කිරීමේ නිදහසට ගරු කළ වෙනත් ආගමික ශාස්තෘවරයෙකු නැති තරම්ය. උන්වහන්සේ කේසපුත්ත නමැති ගමට වැඩම කළ අවස්ථාවේදී ඒ ගමේ විසූ කාලාමයෝ උන්වහන්සේ වෙත අපූරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

ඒ ගමට එන ඇතැම් මහණ බමුණන් තමන්ගේ වාදයන් විස්තර කරන බවත් අනුන්ගේ වාදයන් හෙළා දකින බවත් ඉන්පසු වෙන මහණ බමුණන් පැමිණෙන බවත් ඔවුහුද තමන්ගේ වාද විස්තර කරන බවත් අනුන්ගේ වාද හෙළා දකින බවත් ඒ පින්වත් මහණ බමුණන්ගෙන් කවරෙක් ඇත්ත කියන්නේද කවරෙක් බොරු කියන්නේද යන්න පැහැදිලි නැති බවත් කියා සිටියේය.

එහිදී උන්වහන්සේ කාලාමයන්ට බුද්ධ ධර්මයේ නිදහස් චින්තනයට තිබෙන ඉඩේ තරම පෙන්නුම් කරන අපූරු පිළිතුරක් දුන්නේය. ධර්ම ග්‍රන්ථවල තිබෙන නිසා හෝ සාම්ප්‍රදායෙන් එන නිසා හෝ තර්කානුකූල බව පෙනෙන නිසා හෝ යහපත් බව පෙනෙන නිසා හෝ දෘෂ්ටියට ගැළපෙන නිසා කිසිවක් පිළිනොගන්නා ලෙසත් ශ්‍රාවකයන් විසින් තථාගතයන් පවා විමසා බැලිය යුතුයැ”යිද, ශාස්තෘතෘවරයා සම්‍යසක්සම්බුද්ධද, නැද්දැ”යි වටහාගතයුත්තේ එසේ කිරීමෙන්යැ”යි ද උන්වහන්සේ වදාළහ.

සහනශීලීභාවය බුද්ධාගමේත්, බෞද්ධ සංස්කෘතියේත් එන වැදගත්ම ලක්ෂණයකි. බුදුන්වහන්සේට තමන්ගේම වන විශේෂ දහමක් තිබියදීත් අන් දහම්වලටද ගරු කළේය. අන් සියලු දහම් නැති භංග කොට තමන් වහන්සේගේ දහම පමණක් තිබිය යුතු යුතුයැ”යි විශ්වාස නොකළේය.

නිගණ්ඨ නාථපුත්තයන් (ජෛන ආගමේ ශාස්තෘවරයා වූ මහා වීරයන්) උන්වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ උපාලි නමැති ධනවත් ගෘහපතිවරයෙකු නාලන්දාවේදී බුදුන්වහන්සේ හමුවීමට පිටත් කර යවන ලද්දේය. මහා වීරයන් වහන්සේ එසේ කළේ කර්මවාදයන් පිළිබඳව බුද්ධ මතය ස්වකීය මතයට පටහැනි වූ නිසා ඒ ගැන තර්ක කොට බුදුන්වහන්සේ පරාජය කිරීමේ බලාපාරොත්තුවෙනි. එහිදී සිදුවූ වාදයෙන් සිදුවූයේ බුදුන්වහන්සේගේ මතය හරි බවත් තම ශාස්තෘවරයාගේ මතය වැරදි බවත් උපාලි ගෘහපතියා විසින් පිළිගැනීමය. තමා උපාසකයෙකු හැටියට පිළිගන්නා ලෙස උපාලි ගෘහපතියා විසින් බුදුන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. බුදුන්වහන්සේ මහා වීරයන්ට එරෙහිව උපාලි ගෘහපතියා පාවිච්චි කිරීමට උත්සාහ නොකළේය. ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයකු ඉක්මන් තීන්දුවක් නොගත යුතු බව ප්‍රකාශ කරමින් ඒ ගැන නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටියේය. තමාට බුදු සව්වෙකුවීමට අවශ්‍ය බව උපාලි තෙමේ තරයේ කියා සිටි විට එසේ වුවත් පෙර පරිද්දෙන්ම එම පූර්ව ශාස්තෘවරයාට සත්කාර සම්මාන කළයුතුයැ”යි උන්වහන්සේ ඔහුට අවවාද කළහ.

සහනශීලීත්වය

බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වල එන මෙම සහනශීලීත්වය රාජ්‍ය පාලනයට එකතු කළ රාජ්‍ය පාලකයා ලෙස සැලකිය හැක්කේ ක්‍රි.පූ. තුන්වැනි ශතවර්ෂයේදී ඉන්දියාවේ රජ කළ අශෝක අධිරාජ්‍යයාය. ඔහු සිය සුවිශාල අධිරාජ්‍යයේ පැවති සියලු ආගම්වලට ගෞරව සත්කාර කළේය. එතුමාගේ පර්වත ධර්ම ලිපියක මෙසේ සඳහන් වේ.

“තම ආගමට ගෞරව කරමින් සෙසු ආගම්වලට ගර්හා කළයුතු නොවේ. සෙසු ආගම්වලටද යම් යම් කරුණු නිසා ගෞරව කළ යුතුය. මෙසේ කරනුයේ තම ආගම් දියුණු කරයි. සෙසු ආගම්වලටද උපකාර කරයි. මෙසේ නොකරනුයේ තම ආගමට හානියක් කරයි. සෙසු ආගම්වලටද අපහාස කරයි. තම ආගමට පූජා කරමින් සෙසු ආගම්වලට ගර්හා කරනුයේ “මගේ ආගම දීපනය කරමි” යන අදහසින් එසේ කරයි. එහෙත් හෙතෙම තම ආගමට ඔහුත් හානියක් කරයි. එහෙයින් සමගියම යහපත්ය. සියල්ලෝ සෙසු ධර්මවලටද සවන් දෙත්වා.”

වල්පොළ රාහුල හිමියන් එම සහනශීලීත්වය විග්‍රහ කොට ඇත්තේ මෙසේය.

“මානසික අධ්‍යාත්මික කරුණුවලදී පමණක් නොව මනුෂ්‍ය සම්බන්ධතාවලදීද මෙය මෙසේය. උදාහරණයක් නමින් කිසියම් මිනිසකු දකින අප ඔහු මිනිසකැ”යි නොසලකා, සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඇමරිකානු, යුදෙව් ආදී යම්කිසි නමක් ඔහුට ආරූඪ කොට අපේ සිතේ ඒ නම ගැන පවත්නා නොයෙක් හැඟීම් අනුව ඔහු ගැන කල්පනා කිරීමය. ඔහු සතුව ඇතැ”යි මෙහි අප කල්පනා කරන ගතිගුණ එකකුදු ඔහු තුළ නොපතිනවා විය හැකිය.

මෙවැනි ප්‍රභේදකාරී නම්වලට මිනිසුන් කොතරම් කැමතිද කිවහොත්, හැමදෙනාටම සාධාරණ මනුෂ්‍ය ගතිගුණවලටද ඔවුහු එබඳු නම් යොදති. නිදසුනක් නම් ඇතැමුන් බෞද්ධ ගුණධර්ම, ක්‍රිස්තියානි ගුණධර්ම ආදී වශයෙන් නොයෙක් වර්ගවල ගුණධර්ම ගැන කතා කිරීමයි. ගුණධර්ම කිසියම් පක්ෂයක, සම්ප්‍රදායක ඒකාධිකාරයක් විය නොහැකිය. ක්‍රිස්තියානියයි, බෞද්ධයයි හෝ හින්දු යයි හෝ ඉස්ලාමිකයැ”යි හෝ විශේෂ ගුණධර්ම ජාතියක් නැත. මවක තම දරුවා කෙරෙහි දක්වන ස්නේහය බෞද්ධ ස්නේහයක් හෝ ක්‍රිස්තියානි ස්නේහෙයක් නොවේ. එය මාතෘ ස්නේහයයි. ස්නේහය, ආදරය, පරිත්‍යාගය, කරුණාව, ක්ෂාන්තිය, මිත්‍රත්වය, ආශාව, ක්‍රෝධය, වෛරය, අහංකාරය යනාදී හොඳ නරක මනුෂ්‍ය ගතිගුණවලට විශේෂ පක්ෂයක හෝ සාම්ප්‍රදායක නාමයක් වුවමනා නැත. ඒවා කිසියම් විශේෂ ආගමකට අයිතිද නැත.

කිසියම් අදහසක් ලැබුණේ කාගෙන්ද, කොතැනින්ද යන්න සත්‍ය සොයන්නාට වැඩක් නැත. අදහසක මුල සහ එය වැඩුණු සැටි සෙවීම ශාස්ත්‍රීය පර්යේෂණයකි. සැබැවින්ම කිසියම් ඉගැන්වීමක් කිසියම් ධර්මයක් බුදුන්වහන්සේගේද, නැතහොත් වෙන කෙනෙකුගේදැ”යි දැනගැනීම සත්‍ය තේරුම් ගැනීම සඳහා අවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ එය දැන තේරුම් ගැනීමය.”

බුදුන්වහන්සේ සිය ධර්මය සලකන ලද්දේ වැදුම් පිදුම් කළයුතු දෙයක් නොව ගඟෙන් එතරවීම සඳහා යොදාගත යුතු පවුරක් ලෙසය.

උන්වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි මවිසින් දෙසන ලද ධර්මය පසුරකට උපමා කළහැකියි. එය එතෙර යෑම සඳහාය. දැඩි කොට ගැනීම සඳහා නොවේ. මහණෙනි, ධර්මය පසුරක් වැනියැ”යි දන්නා ඔබ විසින් හොඳ දේ (ධම්ම) පවා හළ යුතුය. නරක දේ (අධම්ම) ගැන කියනු කවරේද?”

කිසියම් පුද්ගලයෙක් පුද්ගල කණ්ඩායමක් හෝ ජන කණ්ඩායමක් කෙරෙහි වෛරසහගත ආකල්පය ඇති කිරීම බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට මුළුමනින් පටහැනිය. ඒ වැරැද්ද අනගාරික ධර්මපාල අතින්ද සිදුවිය. ඔහු දමිළයන්ට හා මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහල බෞද්ධයන් අතර වෛරසහගත හැඟීම් ඇති කළේය. 1915 සිංහල-මුස්ලිම් කෝලාහලයට ඔහු විසින් වපුරන ලද වෛරසහගත හැඟීම් පුපුරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. වර්තමානයේ බුද්ධාගමේ නාමයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව පතුරුවමින් තිබෙන වෛරසහගත හැඟීම්ද බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට පටහැනිය. මුස්ලිම්වරුන් අතින් වැරදි සිදුවී නම් කළ යුතුව තිබෙන්නේ ඔවුන් භීතියට පත් කිරීම නොව ඔවුන්ට ඒ වැරදි පෙන්වාදීමය. බුදුන්වහන්සේ වදාළ පරිදි වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛරය අවෛරයෙන්ම සංසිඳේ.”