19 වැනි සංශෝධන කෙටුම්පත ගැන

April 21, 2013
Publication:
Ivan welcomes the campaign by Maduluwawe Sobitha's National Movement for a Just Society to abolish the executive presidency, but argues its draft Nineteenth Amendment is a concept paper with a narrow vision. Every Sri Lankan constitution, and Chandrika Kumaratunga's 2000 draft, was made by cunning or majority power rather than on the sovereignty of the people, as India and South Africa did. The draft ignores the unresolved question of who belongs to the nation, copies the flawed Constitutional Council of the Seventeenth Amendment, and keeps a simple-majority impeachment of judges.

ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සාධාරණ සමාජයක් වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයකට මාරුවීම සඳහා 19 වැනි සංශෝධනය වශයෙන් හැඳින්වෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ප්‍රසිද්ධියට පත්කර තිබේ. එම කෙටුම්පතේ සංක්ෂිප්ත සටහනක් පසුගිය රාවයේද පළකොට තිබුණි. එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන කුසල් පෙරේරාගේ විවේචනයක්ද එම පත්‍රයේම පළකොට තිබුණි.

මෙම කෙටුම්පත ප්‍රකාශ කළ ව්‍යාපාරයේ පුරෝගාමී නායකයෙක් එම කෙටුම්පත ගැන වන මගේ අදහස ලියා පළකරන ලෙස මාගෙන් ඉල්ලා සිටි අතර වෙනත් පුද්ගලයන් තිදෙනකු විසින්ද වෙන් වෙන්ව ඒ ඉල්ලීමම කරනු ලැබීය. මෙම සටහන ලියන්නට කල්පනා කළේ එම පෙළඹවීම් නිසාය.

එය ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතකට වඩා ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් වෙනුවෙන් ලියන ලද සංකල්ප පත්‍රිකාවක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව විසින් විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්න අතර රටේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමය පිළිබඳ ප්‍රශ්නය එනම් විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයද මූලික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් වන බවට සැකයක් තිබිය නොහැකිය. එය අපේ ආණ්ඩුක්‍රමයේ තිබුණු විකෘතිය විශාල කළේය. බිහිසුණුම දේ ඒ මගින් නීතියට යටත් නැති නැතිනම් නීතියට ඉහළින් සිටින දීර්ඝකාලීන පැවැත්මක් ඇති ව්‍යවස්ථාදායක ඒකාධිපති පාලකයකු ලෙස සැලකිය හැකි විධායක ජනාධිපතිවරයෙකු ඇති කිරීමය. පාලක පක්ෂයට රට පාලනය කරනවාට අතිරේකව රටේ වස්තුව කොල්ලකෑමට ලැබී තිබෙන අයිතිය එම ක්‍රමයට ආවේණික අවලස්සනම ලක්ෂණය ලෙස සැලකිය හැකිය. එයට ආවේණික තවත් බිහිසුණු ලක්ෂණයක් වනුයේ රාජ්‍යයේ සකලවිධ බලය විධායක ජනාධිපති අත කේන්ද්‍රගතවී තිබීමය. ඒ තත්ත්වය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ජනාධිපතිගේ රබර් මුද්‍රා බවට පත්කර තිබේ. තිබුණු පැරණි ක්‍රමය තුළ ආණ්ඩු මාරු කිරීම පහසු දෙයක් වූ අතර සාමාන්‍යයෙන් වසර 05කට වරක් ආණ්ඩු මාරුවීම් සිදුවිය. මෙම අවලස්සන ක්‍රමය ඇතිකිරීමෙන් පසු ආණ්ඩු වෙනස්වීම ඉතාමත් දුෂ්කර හා දීර්ඝකාලීන දෙයක් බවට පත්විය. ඒ අර්ථයෙන් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හෝ වෙනස් කරවා ගැනීම සඳහා මහජනයා දැනුවත් කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම සැලකිය යුත්තේ හොඳ හා යහපත් දෙයක් වශයෙන් මිස නරක හා අයහපත් දෙයක් වශයෙන් නොවේ. එහෙත් මා හිතන අන්දමට විධායක ජනාධිපති ක්‍රමය හෙවත් ආණ්ඩුක්‍රමයේ ගැටලුව ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැටලුවේ එක් අර්ධයක් පමණය. එහි අනෙක් අර්ධය සකස් වී ඇත්තේ සමාජ ක්‍රමයේ ගැටලුවෙනි. ඒ දෙක දෙකක් වුවද එකක් ලෙස පෙනෙන තරමට අන්තර් සම්බන්ධයකින් යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ආණ්ඩුක්‍රමයේ ගැටලුවට විසඳුමක් ලැබෙනමුත් සමාජ ක්‍රමයේ ගැටලුවට ඉන් විසඳුමක් නොලැබෙන්නේය. අප තෝරාගත යුතුව තිබෙන්නේ ආණ්ඩුක්‍රමයේ ගැටලුව සේ ම සමාජ ක්‍රමයේ ගැටලුවද විසඳා ගැනීමට අවශ්‍ය ව්‍යවස්ථාමය වටාපිටාවක් ඇති කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එහෙත් ඒ සඳහා වන පුළුල් ඉදිරි දර්ශනයක් මෙම කෙටුම්පතට ඇතුළත්වන්නේ නැත.

පරමාධිපත්‍යය බලය

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට සමත්වනු ඇත්තේ පරමාධිපත්‍යය බලය ජනතාව සතු හා අන්සතු කළ නොහැකි දෙයක් ලෙස සලාක ගොඩනගන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පමණය. එවැනි ආණ්ඩුක්‍රමයක් තුළ ජනතාව තෝරාගන්නා පාලකයා හා පාලන පක්ෂය රඟපෑ යුත්තේ භාරකාර භූමිකාවක් පමණය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට 1978 ව්‍යවස්ථාව දක්වා බිහිවී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනම හා 2000 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතද ජනතාවගේ පරමාධිපත්‍යය බලය මූලික දර්ශනය ලෙස සලකා සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා කෙටුම්පත් ලෙස සැලකිය නොහැකිය. එම දෝෂය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය තුළද දැකිය හැකිය. එම ලියවිල්ලේ දක්වා ඇති ව්‍යවස්ථාමය මූලධර්මවලට ජනතාවගේ පරමාධිපත්‍යය බලය ඇතුළත් නැත.

මහජනයාට තිබෙන පරමාධිපත්‍යය බලය පදනම් කොටගනිමින් සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු විශේෂ ආකාරයක් තිබෙනවා සේ ම එහිදී ආරක්ෂා කරගත යුතු පිළිවෙත් සම්ප්‍රදායන්ද පවතී. ඒ සඳහා වන මහා ආදර්ශ දෙක ලෙස සැලකෙනුයේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගනු ලැබූ විශේෂ ස්වභාවයයි. මහජනයාගේ පරමාධි බලය පිළිගනිමින් ව්‍යවස්ථාවක් ගොඩනගන ක්‍රියාවලියකදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ව්‍යවස්ථාදායක නියෝජනය කරන දේශපාලන ප්‍රභූන් සුළු පිරිසකට සීමා නොකොට එයට අවශ්‍යයෙන්ම මහජනයාද ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත යුතුය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා මහජනයාගේද අදහස් ලබාගත යුතු අතර ව්‍යවස්ථා සම්පාදනයේදී කෙරෙන සාකච්ඡා හා වාද විවාද මහජනයාට ඇසෙන්නට සැලැස්විය යුතුය. මහජනයා දක්වන ප්‍රතිචාරවලට ව්‍යවස්ථා සම්පාදකයන් ඇහුම්කන් දිය යුතුය.

1948 සෝල්බරි ව්‍යවස්ථාව, 1972 කොල්වින් ව්‍යවස්ථාව 1978 ජේ.ආර්. ව්‍යවස්ථාව හෝ 2000 චන්ද්‍රිකා කෙටුම්පත යන කිසිවක් මහජනයා සහභාගි කරගනිමින් ඇතිකර ගන්නා ලද ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා කෙටුම්පත් ලෙස සැලකිය නොහැකිය. ඒ හැම එකක්ම සටකපටකමින් හෝ වැඩි බලයෙන් සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථා ලෙස සැලකිය හැකිය. සෝල්බරි ව්‍යවස්ථාව සටකපට කමින් සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකි අතර 1972 හා 1978 ව්‍යවස්ථා එම ආණ්ඩුවලට තිබූ වැඩි බලය මත සම්මත කරගනු ලැබූ ව්‍යවස්ථා ලෙස සැලකිය හැකිය. 1972 ව්‍යවස්ථා සම්පාදනයේදී ජනතාව ඔවුන්ගේ පරමාධිපත්‍යය බලය පාර්ලිමේන්තුව වෙත ලබාදී තිබෙන බැවින් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩි කරගැනීමේ අයිතියක් තමන්ට ඇතැ”යි කල්පනා කරමින් නිල කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කරගත්තේය. ඉන්පසු බලයට එන ජනාධිපති ජයවර්ධනද තමන්ට හයෙන් පහක බලයක් තිබුණු පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු 6කට දීර්ඝ කරගත්තේය. ඉන්පසු බලයට පත්වන චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ 2000 කෙටුම්පත සම්මත කරගැනීමට උත්සාහ කළේ තුනෙන් දෙකේ බලයක් සඳහා අවශ්‍ය අඩු මන්ත්‍රීන් සංඛ්‍යාව මිලදී ගැනීමෙනි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකුට මුදල් අත්තිවාරමක් දෙන ලද අතර එක්සත් ජාතික පක්ෂයේ නායකයා සිය මන්ත්‍රී කණ්ඩායම සිංගප්පූරුවට යවන ලද්දේ එය හෙළිදරව්වීමෙන් පසුවය. ඉන්පසු බලයට පත්වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙකු සඳහා නිල කාල දෙකක් සඳහා පනවා තිබුණු සීමාව ඉවත් කරගත්තේය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවා මෙම අවලස්සන සම්ප්‍රදායෙන් වෙන්වී ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් පවා සිය කෙටුම්පත සකස් කොට ඇත්තේ පොදු එකඟතාවක් පිළිබඳ විශ්වාසයකින් නොවන බව තුනෙන් දෙකේ බලයක් ගැන ඊට ඇතුළත් සඳහන් කිරීම්වලින් පෙනීයයි.

අබුද්දස්ස සමාජය

බ්‍රිතාන්‍යයෙන් ලැබුණු ජාතික රාජ්‍යය එම ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය සමජාතික සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරව පැවතීම ශ්‍රී ලංකාවේ ලේ වැකි අවුල් කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකයක් ලෙස සැලකිය හැකිය. ජාතික සමාජයේ ජාතියට සියලු ජනවර්ග හා ආගම් අයත් ද නැතිනම් ඊට අයත්වන්නේ සමහර ජනවර්ග හා ආගම් පමණක්ද යන ප්‍රශ්නයට තවමත් නිශ්චිත ව්‍යවස්ථාමය අර්ථකථනයක් ලැබී නැත. ජාතියට අයත් සියලු ජන කණ්ඩායම්වලට තිබෙන අයිතිවාසිකම් පවතින්නේ සමාන තත්ත්වයකද නැතිනම් වෙනස් ආකාරවලටද යන්න ගැනද පැහැදිලි අර්ථකථනයක් නැත. වර්ගය හා ආගමට අතිරේකව කුලයද සැඟවී අවුල් ඇති කරන සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. ජනවර්ග අතර සමානතාවක් නොපවතිනවා සේ ම ජනවර්ග තුළද සමානතාවක් නොපවතී. සිංහල නොවන බෞද්ධ නොවන හා ගොවිගම නොවන කෙනෙකුට කොතරම් සුදුසුකම් තිබුණද රටේ රාජ්‍ය නායකයාවීමට නොහැකිය කියන මතයක් සමාජයේ පවතී. ඒ රාමුවට ඇතුළත් නොවන අය ඒ ගැන සිහින දැකීමෙන් වැළකී සිටින තත්ත්වයක්ද පැහැදිලිව දැකිය හැකිය. එම රාමුවෙන් පිටස්තරව බලයට පැමිණ ඇත්තේ රණසිංහ ප්‍රේමදාස මහතා පමණය. බිහිසුණු කැරලිකාර වටාපිටාවක් නොතිබුණේ නම් ඔහුට එම තනතුර සඳහා තරග කරන්නට ඉඩ නොලැබෙන්නට ඉඩ තිබුණා සේ ම තරග කරන්නට අවස්ථාවක් ලැබුණා වුවද තරග කොට ජයගන්නට බැරිවන්නටද ඉඩ තිබුණි.

සිංහල විජේවීර කැරලි ගැසුවේ රාජ්‍ය බලය අල්ලා ගන්නටය. දෙමළ ප්‍රභාකරන් කැරලි ගැසුවේ වෙනම රාජ්‍යයක් ඇතිකර ගන්නටය. රාජ්‍යයේ සුජාතකභාවයට පොදු පිළිගැනීමක් තිබුණේ නැති බව ඉන් පෙනීයයි. කෙළවරක් නැති තරමට ලේ වැගිරීම් ඇතිවීම කෙරෙහි අනන්‍යතාව හා ගෞරවය මුල් කරගත් මෙම අවුල් බලපෑවේය. මෙම විෂයෙහි ඇති අවුල්සහගත තත්ත්වය ජයගැනීමට හේතුවන අර්ථ නිරූපණයක් මේ එකුදු ව්‍යවස්ථාවකට එය ඇතුළත්ව නොතිබුණි. ඒ සඳහා වන ශක්තිමත් ඉදිරි දර්ශනයක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබෙන ලියවිල්ලටද ඇතුළත් නැත. එක්කෝ එම පුපුරනසුලු ප්‍රශ්නයට ලැබිය යුතු වැදගත්කම ඔවුන් තේරුම්ගෙන නැත. නැතිනම් ප්‍රශ්නයේ ඇති සංකීර්ණභාවය සලකා එය මගහරින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකර ඇතැයි කිව හැකිය.

ව්‍යවස්ථාදායක සභාව

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතේ ගැළපීමක් නැති තැන්ද ගණනාවක් පවතී. එය යෝජනා කරන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් සඳහා වන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් ස්වාධීන තත්ත්වයක තිබිය යුතු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා හා උසස් නිලතලවලට පුද්ගලයන් තෝරාපත් කිරීමේදී ආරක්ෂා කරගත යුතු ගුණධර්ම ආරක්ෂා කරගැනීම සඳහා 17 වැනි සංශෝධනයේ එන පරිදි ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකර ගැනීමට යෝජනා කර තිබෙන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. එවැනි විශේෂ ක්‍රමයක් අවශ්‍ය වූයේ ස්වාධීන තත්ත්වයක තිබිය යුතු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා වන හා උසස් නිලතලවලට පුද්ගලයන් පත්කිරීමේදී ආරක්ෂා කරගත යුතු ගුණධර්ම ආරක්ෂා කරගැනීමට හේතුවන විධිවිධාන එම ආණ්ඩුක්‍රමය තුළ නොවූ නිසාය. ඇති කරගන්නට යන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් එය ඇති කරගත යුත්තේ එවැනි වැරදි හෝ අඩුපාඩුකම්වලට ඉඩක් නැති ආකාරයටය. ඇමරිකාවේ ඉන්දියාවේ හෝ දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථා සභා ක්‍රමයක් නැත. එහෙත් පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේදී ඔවුන් බලවත් ලෙස සෝදිසියට ලක්වන ක්‍රමයක් ඒ රටවල ක්‍රියාත්මක වේ. ස්වාධීන තත්ත්වයක තිබිය යුතු වැදගත් ආයතන ස්වාධීන තත්ත්වයක තැබීමටද එම ආණ්ඩුක්‍රමයන් පොහොසත් වී තිබේ. මේ රටවල් තුනේම අධිකරණයන් ඉතා බලවත්ය. මැතිවරණ කොමිසම ඉන්දියාවේ ජනයාගේ වැඩිම පිළිගැනීමට හේතුවී තිබෙන ආයතනය ලෙස සැලකිය හැකිය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පරමාදර්ශී තත්ත්වයක ලා සැලකිය හැකි ව්‍යවස්ථා සංශෝධනයන් ලෙස සැලකීම වැරදිය. එය විසින් ඇති කරන ලද මැතිවරණ කොමිසම කවර මට්ටමකින්වත් ඉන්දියානු මැතිවරණ කොමිසමට සමාන කළ නොහැකිය. 17 වැනි සංශෝධනය අඩුපාඩුකම්වලින් පිරුණු දඩි බිඩි සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. ඊට ඇතුළත්ව තිබෙන්නේ රටේ තිබෙන කොමිෂන් සභා අතුරින් මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මුදල් කොමිසම හා සීමා නීර්ණ කොමිසම පමණය. එම ව්‍යවස්ථා සංශෝධනයේ නිර්මාතෘවරුන් අධ්‍යාපන කොමිසම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ස්වාධීන තත්ත්වයක තිබිය යුතු කොමිෂන් සභා ලෙස සලකා නැත. ව්‍යවස්ථාදායක කවුන්සිලයේ අනුමැතිය ඇතිව පත් කළයුතු තනුරු දරන්නන් ලෙස නම් කර තිබෙන්නේද නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් හා පාර්ලිමේන්තු මහ ලේකම් පමණය. මහ බැංකුවේ අධිපති ඊට ඇතුළත් නැත.

ව්‍යවස්ථාදායක සභාව යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් පැවති කාලයේදී පවා ඒවා ප්‍රශස්ත කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සමත් වූයේ නැත. ව්‍යවස්ථාදායක සභාවට සමහර ආයතනවලට ප්‍රධාන පුද්ගලයන් පත්කිරීමේ බලයද තවත් සමහර ආයතනවලට පත් කරන පුද්ගලයන් සඳහා අනුමැතිය ලබාදීමේ බලයද ලබාදී තිබුණද එය විසින් පත් කරනු ලබන පුද්ගලයන් බරපතළ වැරදි කරන අවස්ථාවලදී ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලයක් ව්‍යවස්ථාදායක සභාවට ලබාදී නොතිබුණි. නිදර්ශනයක් වශයෙන් අධිකරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙක් (ශිරාණි බණ්ඩාරනායක හා ටී.බී. වීරසූරිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා) තමන්ට හිතට එකඟව ක්‍රියාකිරීමේ නිදහසක් නැති බව පවසමින් එම තනතුරුවලින් ඉවත් වූ අවස්ථාවේදී නිශ්ශබ්දව බලා සිටිනවා හැර ව්‍යවස්ථාදායක සභාවට කළහැකි දෙයක් නොතිබුණි. මෙවැනි ආයතන ක්‍රමයක් ඇති කරන විට එම ආයතනයට පූර්ණකාලීනව නිරතවන්නට තරම් කාර්යභාරයක් තිබේද යන්නද සලකා බැලිය යුතුව තිබුණි. එම සභාව පත්කිරීම් කිහිපයකට පමණක් සීමාවූ නිරතවන්නට තරම් පූර්ණකාලීන වැඩ කොටසක් නොතිබුණු මහජන වියදමෙන් නඩත්තු කළ තවත් සුදු අලියෙක් වීයැ”යි කිව හැකිය. මෙම ක්‍රමය නිර්මාණය කළ අයට ශක්තිමත් ඉදිරි දැක්මක් තිබුණේ වී නම් එම සභාව විසින් පත්කරනු ලබන පුද්ගලයන් හා ආයතන අධීක්ෂණය කිරීමේ බලය සේම, ඔවුන් විසින් පත්කරනු ලැබූ පුද්ගලයන්ට එරෙහිව විසමාචාර චෝදනා ඉදිරිපත්වන අවස්ථාවලදී ඒවා ගැන සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ බලය ඊට ලබාදිය හැකිව තිබුණි. උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයකුට එරෙහිව දෝෂාභියෝග එල්ල වන අවස්ථාවලදීද එම චෝදනා පරීක්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීමේ බලය එම සභාවට දිය හැකිව තිබුණි. ඒ මගින් ව්‍යවස්ථාදායක සභාවට පූර්ණකාලීනව නිරතවන්නට තරම් වැඩ කොටසක් නැතිකමේ ගැටලුව ජයගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම එම සභාවට සම්බන්ධ ආයතනවල ක්‍රියකාරීත්වයද කාර්යක්ෂම කිරීමට හේතුවන්නට ඉඩ තිබුණි. ව්‍යවස්ථාදායක සභා ක්‍රමයට ආවේණික බරපතළ සීමාසහිතකම් මුළුමනින් නොසලකා හා එය පරමාදර්ශී ක්‍රමයක් ලෙස සලකා එය අලුත් ආණ්ඩුක්‍රමයකට පූට්ටු කරන්නට යෑම යහපත් නැත. ක්‍රමයේ අරමුණ යහපත්ය. ඒ සඳහා ඇති කරන ලද විධිවිධාන ක්‍රමවත් හෝ විධිමත් නැත.

අධිකරණය හා දෝෂාභියෝග

උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන් තනතුරෙන් පහකිරීම සඳහා ඉදිරිපත් කරන දෝෂාභියෝගවලදී යොදා ගැනීමට ඉදිරිපත් කෙරෙන නිර්දේශයන්ද අධිකරණ විෂය පිළිබඳ පොහොසත් දෘෂ්ටියක් නැතිකම පෙන්නුම් කරයි. එම නිර්දේශ සඳහා පදනම් කොටගෙන ඇත්තේ චන්ද්‍රිකාගේ 2000 ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් විධිවිධානයන්ය. එම කෙටුම්පත මුළු එකක් වශයෙන් ගත්විට සමහර අංශවල ඉදිරිගාමී ලක්ෂණ තිබෙනවා වුවද එම කෙටුම්පත පරමාදර්ශී තත්ත්වයකලා සැලකිය හැකි හොඳ ව්‍යවස්ථා කෙටුම්පතක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණ විෂයේදී ඊට ඇතුළත් දැක්මද ඉතාමත් පසුගාමී හා ප්‍රතිගාමීවේයැ”යි කිව හැකිය.

උසස් තනතුරු දරන්නන් දෝෂාභියෝගයක් මගින් පහකිරීම සඳහා විධිවිධාන සලකා ඇති දියුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඒ ගණයට ඇතුළත් සියලුදෙනා සඳහා යොදා තිබෙන විධිවිධාන එක සමානය. ජනාධිපතිවරයා පහකළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකේ බලයකින් නම් විනිශ්චයකාරවරුන් පහකළ යුත්තේද තුනෙන් දෙකේ බලයකිනි. දෝෂාභියෝග ක්‍රමයක් ක්‍රියාත්මක වන ඇමරිකාව, ඉන්දියාව, ජර්මනිය, පිලිපීනය වැනි රටවල ජනාධිපතිවරයෙකු සේ ම උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු තනතුරෙන් පහකිරීම සඳහා ඒ සඳහා කෙරෙන පරීක්ෂණයෙන් පසුව ව්‍යවස්ථාදායකයේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍යය.

එහෙත් ශ්‍රී ලංකාවේ දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් පහකළ යුතු අය සඳහා යොදා තිබෙන විධිවිධාන එක සමාන නැත. ජනාධිපතිවරයෙකු සඳහා යොදා තිබෙන විධිවිධාන ඉතාමත් සංකීර්ණය. විධිවිධාන ඇතිකර තිබෙන්නේ ජනාධිපතිවරයෙකු තනතුරෙන් පහකළ නොහැකි ආකාරයටය. යම් හෙයකින් ඇතිකර තිබෙන සියලු දුෂ්කර කවුළු පසුකිරීමෙන් පසුත් ජනාධිපතිවරයෙකු පහකිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අත්‍යවශ්‍යය. එහෙත් උසස් අධිකරණයේ විනිසුරුවරයෙකු දෝෂාභියෝගයකින් පහකිරීම සඳහා යොදා තිබෙන විධිවිධාන ඉතා සරලය. අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක අනුමැතිය පමණය. ඒ මගින් ආණ්ඩු පක්ෂයට අවශ්‍ය නම් තමන් අකමැති ඕනෑම විනිසුරුවරයෙකු තනතුරින් පහ කළ හැකි තත්ත්වයක් ඇති කර තිබේ.

චන්ද්‍රිකාගේ 2000 ව්‍යවස්ථා කෙටුම්පත මෙම අසාධාරණ හා නින්දාසහගත සම්ප්‍රදායෙන් ඉවත්වන්නේ නැත. දෝෂාභියෝග ක්‍රමය සඳහා ඊට ඇතුළත් විධිවිධාන සකස් කර ඇත්තේද පැරණි නින්දාසහගත සම්ප්‍රදාය මත පිහිටාය. එය විසින් ඇති කරන නාමික ජනාධිපතිවරයා දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වුවත් උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු දෝෂාභියෝගයක් මගින් තනතුරෙන් පහකිරීම සඳහා අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයක අනුමැතිය පමණය. අධිකරණ විෂය පිළිබඳව මෙවැනි පසුගාමී ඉදිරි දැක්මක් ඇති ව්‍යවස්ථාවක් පරමාදර්ශී තත්ත්වයක ලා සලකා එය අනාගතයේ හදන ව්‍යවස්ථාවක් සඳහා ද ගුරු කොට ගත යුතුයි කියන දැක්මක් යහපත් හෝ ඉදිරිගාමී දැක්මක් ලෙස සැලකිය නොහැකිය.

අනාගත ව්‍යවස්ථාවක තිබිය යුතු මූලික ගති ලක්ෂණ ගැන ලියන සංකල්ප පත්‍රිකාවක අධිකරණය මුළු එකක් වශයෙන් ගෙන කතා නොකොට උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන් තනතුරෙන් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක්‍රමය ගැන පමණක් නිර්දේශ ඉදිරිපත් කරන තැනකට යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේද මෙම පත්‍රිකාව කෙටුම්පත් කළ විද්වතුන් සමස්ත චිත්‍රය දෙස වෙනුවට තෝරාගත් අහුමුළු දෙස පමණක් බලා ඇති බවය. දේශපාලන ඇඟිලි ගැසීම් ඇත්තේ අධිකරණයට පමණක් නොවේ. අන් හැම තැනකටමද දේශපාලන ඇඟිලි ගැසීම් පවතී. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් අධිකරණය නිදහස් කළ පමණින් අධිකරණය ස්වාධීන හා සාධාරණ අධිකරණයක් බවට පත්වන්නේ නැත. අන් හැම ආයතන ක්‍රමයක් තුළම දක්නට තිබෙන බලය නීතියට පටහැනිව හා අයථා ලෙස පාවිච්චි කිරීමේ ලක්ෂණය අධිකරණයටද පොදුය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් නිදහස් කළ පමණකින් අධිකරණය සාධාරණව හා ස්වාධීනව ක්‍රියාකරන අධිකරණයක් බවට පත්වන්නේ නැත. ඒ සඳහා ඇති කළ යුතු තවත් වෙනස්කම් තිබේ. නීතිය ගැන තිබෙන දැනුම පමණක් නොව ඊට ගැළපෙන චරිතයක්ද ඇති පුද්ගලයන් පමණක් අධිකරණ සේවයට එකතු කරගන්නා ආකාරයට පුද්ගලයන් තෝරාගැනීමේ ක්‍රමය විධිමත් කළ යුතුය. ඔවුන්ට හොඳ පුහුණුවක් ලබාදෙන අතර ඔවුන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම ඔවුන්ට හරියාකාරව කියා දිය යුතුය. ඔවුන් ගෞරවය හා වෘත්තීය අභිමානය ගැන උනන්දුවක් දක්වන වෘත්තිකයන් පිරිසක් බවට පත් කළ යුතුය. ඔවුන්ගේ විනය ගැන සේම නඩු අසන පිළිවෙත ගැනද ඔවුන් දෙනු ලබන තීන්දුද පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කළ යුතුය. ආර්ථික ඵලප්‍රයෝජන සඳහා නීතිඥයන් සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමෙන් වැළකිය යුතුය. ඔවුන්ගේ දැනුම විටින් විට පරීක්ෂණයට ලක් කෙරෙන ක්‍රමයක් ඇති කළ යුතුය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර තත්ත්වයක් හා ඔවුන් තමන්ගේ රාජකාරී කටයුතු නීතියට අනුකූලව ක්‍රියාකරන තාක් හා විසම පැවැත්මක් නැති තාක් කල් ඔවුන් තනතුරෙන් පහ කළ නොහැකි තත්ත්වයක් ඇති කළයුත්තේ ඒ සියල්ලට අතිරේක වශයෙනි. මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන අධිකරණ ක්‍රමයක් ඇතිවනු ඇත්තේ ඒ සියලු සාධක සම්පූර්ණ වේ නම් පමණය.

අපේ ආණ්ඩුක්‍රමය අවුල් කිරීමට හේතුවී තිබෙන එක් ප්‍රබල සාධකයක් වී ඇත්තේ ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය අතර තිබිය යුතු බල බෙදීම එක බලයකට අනෙක් බලයන් යටපත් කළ නොහැකි ආකාරයට එම ත්‍රිවිධ බලයන් සමතුලිත තත්ත්වයක තබා නොතිබීමය. ලෝකයේ නවීන තත්ත්වයෙහිලා සැලකිය හැකි හැම හොඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකම අධිකරණයේ ස්වාධීනත්වය යන්නේ අදහස් කරන්නේ කුමක්ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පැහැදිලිවද සංක්ෂිප්තවද දක්වා තිබේ. ඉන්දියාව සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණය හඳුන්වා තිබෙන්නේ ඉන්දියානු සමාජ විප්ලවයේ ආරක්ෂකයා වශයෙනි. අධිකරණයට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැනි අර්ථ දැක්වීමක් නැති අතර අධිකරණයේ ස්වාධීනත්වය යන යෙදුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ ව්‍යවස්ථාව බොරු ගාම්භීරත්වයක් ලබාදෙන සැරසිලි යෙදුමක් වශයෙන් පමණය.

අනාගතයේ හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකදී අධිකරණයේ ස්වාධීනත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන සංක්ෂිප්ත අර්ථකථනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය. සියලුදෙනා නීතියට යටත් තත්ත්වයකට ගෙනා යුතුය. සීමාකිරීමකින් තොරව සියලු අණපනත් විමර්ශනය කිරීමේ බලය හා නීතියට අනුකූල නොවන අණපනත් අවලංගු කිරීමේ බලය අධිකරණයට ලබාදිය යුතුය. විධායකය ගනු ලබන ඕනෑම ක්‍රියාවක් නීතියට පටහැනි නම් එය අවලංගු කිරීමේ බලය අධිකරණයට තිබිය යුතුය. අධිකරණයට අපහාස කිරීමකදී දඬුවම් කිරීමට අධිකරණයට ලබාදී තිබෙන අභිමත බලය හිතුවක්කාරී ලෙස පාවිච්චි කිරීම වැළකීම සඳහා වෙනත් රටවල් මෙන් ඒ සඳහා විශේෂ පනතක් ඇති කරගන්නා තැනකට යා යුතුය. අධිකරණයට මීට වැඩි විශාල බලයක් ලැබිය යුතු අතර ඒ බලය හිතුවක්කාර ලෙස පාවිච්චි කිරීමට තිබෙන ඉඩ වැළකීම සඳහාද විශේෂ විධිවිධාන ඇති කළ යුතුය. සමහර රටවල උසස් අධිකරණයේ විනිශ්චයකාරවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ආරම්භ කිරීම සඳහා සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය. පැමිණිල්ලට ඇතුළත් කරුණු බැරෑරුම් නම් අධිකරණ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඒ පිළිබඳව සොයා බැලීමක් කරනු ලබයි. එම පරීක්ෂණයේදී චෝදනා සනාථ වුවහොත් එම ප්‍රතිඵල කාරක සභාවේ ඡන්ද විමසීමකට ලක් කරනු ලැබේ. එහිදී පරීක්ෂණයක් සඳහා වැඩි අනුමැතිය ලැබුණහොත් චෝදනා පත්‍රයක් සකස් කොට පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. එහිදී වැඩිදුර පරීක්ෂණයක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණහොත් වැඩිදුර පරීක්ෂණ විභාගයක් සඳහා චෝදනා පත්‍රය හා පරීක්ෂණ වාර්තාව සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබේ. මෙවැනි ක්‍රමයක් අපටද තිබිය යුතුය. ඒ මගින් උසස් අධිකරණයේ විනිශ්චයකාරවරුන් නිරන්තර පරීක්ෂාවට ලක් කෙරෙන තත්ත්වයක තබාගත හැකිය.

(ඉතිරි කොටස ලබන කලාපයේ)