“සටන” කර්තෘ රෝහණ කුමාර ඝාතනය කිරීම ඇතුළු රටේ සිදුවූ දේශපාලන අපරාධ රාශියකට වගකිවයුතු හිරාන් ධනුෂ්ක පෙරේරා හෙවත් බැද්දගාන සංජීව සේවය කළේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු වශයෙනි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ උණුසුම මැද මෙම පුද්ගලයා සිය ජීප් රථයෙන් ගමන් ගනිමින් සිටියදි එම ජීප් රථයේම පසුපස ගමන් කළ පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් ඔහු මිය ගියේය. එය සිදුවූයේ 2001 නොවැම්බර් 02 වැනිදාය.
මෙම ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳවත් ඝාතනයේ අරමුණ පිළිබඳවත් විවිධ කතා එකල රටේ පැතිර තිබුණි. එහෙත් දැන් සති තුනකට ඉහත දි අත්අඩංගුවේ සිටින පාතාල ලෝකයේ තවත් පුද්ගලයෙකු එම ඝාතනයේ සුල මුල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි කළේය.
මෙම හෙළිදරව්ව කළ බඩා මහින්ද හෙවත් මහින්ද ගොඩගේ, ධම්මික අමරසිංහ සමග එකට පාසල් ගිය ධම්මික කල්ලියේම උද්යෝගීමත් සාමාජිකයෙකි. වර්තමානයේ පාතාල ලෝකයේ ලොකුම කුලී මිනීමරුවා ලෙස සැලකෙන්නේ ධම්මික අමරසිංහය. ඔහු විසින් ඝාතනය කරන ලද අයගේ සංඛ්යාව 50කට වැඩි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ. බඩා මහින්ද කර තිබෙන පාපොච්චාරණය අනුව බැද්දගානේ සංජීව ඝාතනය මෙහෙයවා ඇත්තේ ධම්මික අමරසිංහය. ධම්මික අමරසිංහ සමග සංජීවගේ ජීප් රථයට නැගී එය ගමන් ගනිමින් තිබියදි පිටුපස අසුනේ සිට සංජීවට වෙඩි තබා ඇත්තේ ධම්මිකගේ සමීප ආධාරකරුවකු වන උදයකුමාර හෙවත් ගලා ය.
ධම්මික අමරසිංහට සංජීව ඝාතන කොන්ත්රාත්තුව ලබාදිමේ කාර්යයට ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස ක්රියා කරන තිලංග සුමතිපාලගේ ද සම්බන්ධයක් ඇති බව බඩා මහින්ද ප්රකාශ කර තිබේ.
තිලංග
එහෙත් තිලංග සුමතිපාල බඩ මහින්ද කරන චෝදනාව පිළිගන්නේ නැත. එය තමාගේ විරුද්ධවාදියෙකු වන ගාමිණී අබේරත්න විසින් ගොතන ලද්දක් බවත්, ආණ්ඩුව අභ්යන්තරයේ අවුල් සහගත තත්ත්වයක් ඇති කිරිමේ අරමුණ ඇතිව එම වැඩපිළිවෙළ ජනාධිපති ආරක්ෂක අංශයේ නිහාල් කරුණාරත්න විසින් මෙහෙයවන්නක් බවත් තිලංගගේ මතය වී තිබේ.
ගාමිණී අබේරත්න ගුවන් තොටුපල අධිකාරියේ විධායක අධ්යක්ෂවරයාය. ඔහු අගමැති රනිල් වික්රමසිංහ මහතාට සමීප පුද්ගලයෙකු ලෙස ද සැලකේ.
ධම්මිකගේ සෙලියුලර් දුරකතනයෙන් තිලංග සුමතිපාලගේ සෙලියුලර් දුරකතනයට කතා කර ඇති බව සේ ම, පෙරළා තිලංග සුමතිපාලගේ සෙලියුලර් දුරකතනයෙන් ධම්මිකගේ සෙලියුලර් දුරකතනයට ද කතා කර තිබෙන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ. ඒ ගැන තිලංග සුමතිපාල කියන්නේ තමන් ධම්මික අමරසිංහට කතා කර නැති බවත්, තමාගේ දුරකතනයට විවිධ පුද්ගලයන් කතා කරන බැවින් ධම්මික අමරසිංහ කෙනෙකු තමාගේ දුරකතනයට කතා කර ඇත්නම් ඒ කුමක් සඳහා කතා කළේ ද යන්න තමා නොදන්නා බවත්ය.
බඩා මහින්ද හෙළිදරව් කර තිබෙන තවත් කාරණයක් වනුයේ “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංගගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ද තිලංග සුමතිපාල සිටින බවය. එම වෙඩි තැබීමේ සිද්ධියට ධම්මික අමරසිංහ සමග තමා ද සහභාගී වු බව බඩා මහින්ද ප්රකාශ කරයි.
තිලංග සුමතිපාල ටෙලිකොම් සභාපති හා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපති වනවාට අතිරේකව “ලක්බිම” පුවත්පත් ව්යාපාරයේ හිමිකරුවා ද වේ. බඩා මහින්ද කියන කතාව සත්යයක් නම්, එම පහරදිම සැලකිය යුත්තේ එක් පුවත්පත් ආයතනයක හිමිකරුවෙකු වෙනත් පුවත්පත් ආයතනයක ප්රධාන කර්තෘවරයෙකුට පහරදිම පිණිස සැලසුම් කරන ලද සාහසික වැඩපිළිවෙළක් ලෙසය.
එහෙත් තිලංග සුමතිපාල එම කථාව ද තරයේම ප්රතික්ෂෙෂ්ප කරයි.
ලසන්ත
එහෙත් ලසන්ත කියන්නේ බඩා මහින්ද කියන කතාවට ඇතුළත් තොරතුරු විශ්මයට පත්කිරීමට හේතුවන තරමට නිවැරදි බවය. ලසන්ත දැන් පාවිච්චි කරන්නේ පහරදිමට ලක්වන අවස්ථාවේදි පරිහරණය කළ ජීප් රථය නොව වෙනත් මෝටර් රථයකි. බඩා මහින්ද එම ජීප් රථය නිවැරදි ලෙස විස්තර කොට තිබෙන බවත්, දැන් තම නිවසේ තිබෙන්නේ වෙඩි තබන අවස්ථාවේදි තිබූ ගේට්ටුව නොව වෙනත් ගේට්ටුවක් බවත්, බඩා මහින්ද සිය පාපොච්චාරණයේ දි එදා කිවූ ගේට්ටුවේ ස්වරූපය හොඳින් විස්තර කර ඇති බවත්, ඒ ප්රධාන කරුණු දෙක පමණක් වුවත්, ඔහු කියන කතාව හොඳින් තහවුරු කරන බවත් ලසන්තගේ මතය වී තිබේ.
බැද්දගාන සංජීව ඝාතනයට අදාළව හෙළිදරව් වී තිබෙන කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිනියගේ පාර්ශ්වයෙන් මේ දක්වා පළවී ඇති නිහැඬියාව පුදුම එලවන සුළුය. බැද්දගාන සංජීව චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයට එකතු වූයේ ඇය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ධුරයට තරග කරන අවස්ථාවේදිය. සංජීව චන්ද්රිකා කුමාරතුංග මහත්මියට හඳුන්වාදි ඇත්තේ 1977 දක්වා යුද හමුදාවේ සේවය කළ අනුරුද්ධ රත්වත්ත මහතාගේ සමීප හිතවතකු වූ (පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේජර් ජනරාල් තනතුරකට උසස්වීමක් ලැබූ) මේජර් ලංකාතිලක විසිනි. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව සංජීව ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කරගන්නා ලද අතර, රජ මැදුරේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාතාල ලෝකය සම්බන්ධීකරණය කළ හා ඔවුන්ගේ සහාය ලබාගනිමින් විරුද්ධවාදින් නිහඬ කිරීම සඳහා අවශ්ය මෙහෙයුම් භාරව සිටි ප්රධාන තැනැත්තා වූයේ සංජීවය.
සංජීවගේ අවමගුලට ජනාධිපතිනිය ද මල්වඩමක් යවා තිබුණි.
තමාගේ ආරක්ෂක අංශයේ කැපී පෙනෙන පුද්ගලයකු ඝාතනය කිරිමේ සිද්ධිය පිළිබඳව කෙරෙන මේ විවාදය ඉදිරියේ ජනාධිපතිනියට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදු වී ඇත්තේ ඇයි?
සංජීව
බැද්දගානෙ සංජීව මියයන්නට ප්රථම මා හමුවීමට ද උත්සාහ කළේය. ඒ පණිවුඩය ගෙනාවේ ජනමාධ්යවේදියකු වන අරුණ කුලතුංග විසිනි. අරුණ ජීවත් වූයේ සංජීවගේ නිවස අසලමය.
සංජීවට මා හමුවීමට අවශ්ය වී තිබෙන බවත්, ඔහු තමන් දන්නා තොරතුරු කතා කරන්නට සූදානම් බව පෙනෙන බවත්, මා ඔහු හමුවීමට කැමති නම් සංජීව සමග කතා කොට ස්ථානයක් හා දිනයක් සූදානම් කොට හැකි බවත් අරුණ මට කීවේය.
රෝහණ කුමාර ඝාතනය පිටුපස සිටින ප්රධාන පුද්ගලයා සංජීව බවත්, ඔහු ඊට දින කිහිපයකට පෙර රෝහණ කුමාර ඝාතනය කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වූ ආකාරයත්, රටට හෙළිදරව් කළේ “රාවය” ය. රාවයේ පළ වූ එම වාර්තාව ගැන සංජීව කෝපයෙන් පසුවූ බව ද මම දැන සිටියෙමි.
සංජීවට ඇත්ත කතා කරන්නට අවශ්ය වී තිබුණේ ඔහු පිළිබඳව ඒ කරුණු හෙළිදරව් කිරිමෙන් බොහෝ කලකට පසුවය. එහෙත් සංජීව වැනි පුද්ගලයෙකු හමුවී ඔහු සමග කතා කරන්නට මා තුළ කැමැත්තක් නොතිබුණු අතර, ඔහු කුමක් කියන්නට ගියත් ඔහු වැනි පුද්ගලයෙකුට ඇහුම්කන් දිමට මා කැමති නැති බව මම අරුණට කීවෙමි. ඉන්පසුව සංජීව දොස්තර රාජිත සේනාරත්න සමග සම්බන්ධකම් ඇති කරගත් බවත්, ඔහු රටින් පිටවීමට සුදුසු මාර්ගයක් සොයමින් සිටින බවත් මට දැනගන්නට ලැබුණි. ඉන් කලකට පසුව සංජීව මරා දමා ඇති බව දැනගන්නට ලැබුණු විට ද මට ඒ ගැන පුදුම හිතුණේ නැත.
බැද්දගාන සංජීවගේ අවසාන කාලය තුළ ඔහුට පාපොච්චාරණයක් කිරීමට අවශ්ය වූයේ දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් මත තමන් විසින් කරන ලද සාහසික අපරාධ පිළිබඳව තමන් තුළම බියක් හෝ පශ්චත්තාපයක් ඇතිවූ නිසාද, නැත්නම් ආණ්ඩු වෙනසක් ඇති වුවහොත් තමන්ට මුහුණ දෙන්නට සිදුවිය හැකි ගැටලු සලකා අනාගත ආරක්ෂාව සඳහා ද යන්න පැහැදිලි නැත.
මොරටු සවන්
මොරටු සමන් ඝාතනය කෙරුණේ ද දේශපාලන බලවතුන්ගේ වුවමනාවන් මත තමන් විසින් කරන ලද අපරාධ පිළිබඳව පාපොච්චාරණයක් කිරීමට හිත හදාගෙන සිටි අවස්ථාවකය.
කුමාර් පොන්නම්බලම්ට වෙඩි තබන ලද්දේ මොරටු සමන් බව පළමුවරට අනාවරණය කරන ලද්දේ “රාවය” විසිනි.
ඒ අනාවරණයෙන් දින කිහිපයකට පසුව දුරකතනයෙන් මා අමතා කතා කළ කාන්තාවකගෙන් එම ඝාතන සිද්ධියට අදාළව අපූරු අතුරු කතාවක් මට අසන්නට ලැබුණි.
කුමාර් පොන්නම්බලම් ඝාතනය කිරිමෙන් පසුව මොරටු සමන් හා කොස්තාපල් රණසිංහ එදින රාත්රී ගත කර ඇත්තේ මෙම කාන්තාවගේ නිවසේය. සිද්ධිය පිළිබඳව දෙදෙනා අතර පළමු අදහස් හුවමාරුව ඇය මට විස්තර කළාය. ඝාතනයට ලක්වූ කුමාර් පොන්නම්බලම් සතුව තිබූ සෙලියුලර් දුරකතනය මතක සටහනක් ලෙස රණසිංහ තමන් ළග තබාගෙන සිටින බව ද ඇය කීවා ය.
රණසිංහ, කුමාර් පොන්නම්බලම්ගේ සෙලියුලර් දුරකතනය මතක සටහනක් ලෙස තමන් වෙත තබාගෙන සිටින බව පුවත්පතේ පළකිරිමෙන් පසුව තමා ළග කුමාර් පොන්නම්බලම්ගේ සෙලියුලර් දුරකතනය තිබෙන බව “රාවය” දැනගත්තේ කෙසේද යන ප්රශ්නය ඉදිරියේ වික්ෂිප්තභාවයට පත්ව ඔහු එම දුරකතනය සිය නිවස අසල ඇති ඇළට වීසි කළේය. පසුකලක අපරාධ පරික්ෂණ බියුරෝවේ පොලිස් පරික්ෂක නුවන් වැදිසිංහ, රණසිංහට දුරකතනයෙන් කතා කොට රටේ ලොකුම තනතුර දරන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහා කුමාර් පොන්නම්බලම් ඝාතනය කළේ කාගේවත් උපදෙස් පිට නොව, තමාගේ ම වුවමනාව මත යයි පිළිගන්නේ නම්, රුපියල් පන් ලක්ෂයක් ලබාදෙනවාට අමතරව, ආණ්ඩුවේ සාක්ෂිකරුවකු කරමින් ඔහු නිදහස් කරන බවට පොරොන්දු වන දුරකතන සංවාදයේදි පොලිස් පරික්ෂකවරයා මේ දුරකතනය ගැන ඔහුගෙන් කරුණු විමසා එය ඇළට දමන ලද බව දැනගත්තේය. එහි ප්රතිඵලයක් වශයෙන් ඇළේ තිබුණු දුරකතනය සොයා ගැනීමට අපරාධ පරික්ෂණ බියුරෝව සමත් විය.
කුමාර් පොන්නම්බලම් ඝාතනය කිරිමෙන් පසුව, එම ඝාතනය ගැන පරික්ෂෂණ කටයුතුවල නිරත වූ නිලධාරියෙක් කුමාර් පොන්නම්බලම් ඝාතනය කිරිමෙන් පසුව එම දුරකතනයෙන් කතා කර ඇති පුද්ගලයන් පිළිබඳව එම දුරකතනයේ බිල් ආශ්රයෙන් කරුණු සොයා බැලීමක යෙදුණේය. ඒ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ප්රධානියාට දැනගන්නට ලැබී ඔහු එම පොලිස් පරික්ෂකවරයාට කතා කොට අනවශ්ය දේවල් කිරිමෙන් වැළකී සිටින ලෙසට ඔහුට අනතුරු ඇගවීය.
මොරටු සමන් ඝාතනයට ලක්වීමට පෙර ඔහු ජනාධිපති නීතිඥ දයා පෙරේරා හමුවන්නට ගොස් කුමාර් පොන්නම්බලම් ඝාතනයේ පසුබිම් කථාව විස්තර කොට ඒ ගැන පාපොච්චාරණයක් කරන්නට තමන් සූදානම් බව ප්රකාශ කර තිබුණි. දයා පෙරේරා මහතා මොරටු සමන්ගෙන් ඒ ගැන සුලමුල විමසා ගජන් පොන්නම්බලම් මහතාට දුරකතනයෙන් කතා කොට මොරටු සමන් තමන් ළග සිටින බවත්, කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන පාපොච්චාරණයක් කිරීමට ඔහුම කැමති බවත් ප්රකාශ කරමින් ඔහු කියන දේට ඇහුම්කන් දෙන්නට කැමති දැයි ගජන් පොන්නම්බලම් මහතාගෙන් විමසා තිබේ. ගජන් පොන්නම්බලම් මහතාගේ පිළිතුර වී ඇත්තේ සිය පියා ඝාතනය කරන ලද පුද්ගලයා සමග කතා කිරිමේ හැකියාවක් තමන්ට නැති බවය.
එම කතාවෙන් ටික කලකට පසුව මොරටු සමන් ද, ඊටත් ටික කලකට පසුව කොස්තාපල් රණසිංහ ද වෙඩි තබා ඝාතනය කරන ලදි.
පාතාල ලෝකයේ කුලී මිනීමරුවන් සමග සම්බන්ධකම් පවත්වන්නේ දේශපාලනඥයන් පමණක් නොවේ. අධිකරණය වැනි ඉතා ගරු කටයුතු තැන්වල සිටින ගරු කටයුතු සමහර පුද්ගලයෝ ද පාතාල ලෝකයේ කුලී මිනීමරුවන් සමග සම්බන්ධකම් පවත්වති.
අගවිනිසුරු
අගවිනිසුරු වගඋත්තරකරුවකු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණ භූමියේ පෝස්ටර් අලවා තිබූ දින හිමිදිරි උදයේ මා තරමක් දන්නා පුද්ගලයෙක් මට දුරකතනයෙන් කතා කොට එදින උසාවියට නොඑන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මට කතා කළ පුද්ගලයා අගවිනිසුරුට සමීප සම්බන්ධකම් තිබූ පුද්ගලයෙකි. මා එදින උසාවි යෑමට බලාපොරොත්තු නොවූ අතර, මා ඒ බව ඔහුට නොකියා මට එසේ කියන්නේ ඇයි දැයි ඔහුගෙන් ප්රශ්න කළෙමි. ඔහු කීවේ තමා දන්නා තරමින් එදින මා ඉලක්ක කර ගැනීමේ සැලසුමක් තිබෙන බවය. එහෙත් මා ඔහු කියන කතාව විශ්වාස කළ බවක් ඔහුට පෙන්නුවේ නැත. ඉන්පසු මේ පුද්ගලයා මට සමීප මිතුරෙකුට ද කථා කොට තිබුණි. මා ඔහු කී දේ විශ්වාස නොකළ බව පෙනෙන්නට ඇති නිසා, ඔහු තමාට කතා කළ බවත්, ඔහු කරන අනතුරු ඇගවීම භාරගෙන එහි යාමෙන් වැළකී සිටින ලෙසත්, මාගේ මිත්රයා මගෙන් ඉල්ලා සිටියේය. මා කොහොමටත් එදින උසාවි යෑමට අදහස් කරගෙන නොසිටි බව මාගේ මිත්රයාට කියා කෙසේ හෝ ඔහුට කතා කළ අනෙක් පුද්ගලයා වෙනත් දිනක මට මුණගස්වන ලෙස ඉල්ලා සිටියෙමි.
ඒ අනුව පසු දිනෙක මාගේ මිත්රයා අනෙක් පුද්ගලයාව මට මුණ ගැස්සුවේ ය. ඔහු බොහෝ දේවල් කතා කළේය. එහිදි ඔහු ඇගට පතට නොදැනී කියන ලද කියමන් මා තුළ විශ්මයක් ඇති කිරීමට හේතුවිය. ලොක්කාට සිටින එකම ගණන්කාරයා රෝහණ කුමාර (මල්වත්ත ඝාතනයට සම්බන්ධ සැකකරු) පමණක් නොවන බවත්, මොරටු සමන් සමග ද සම්බන්ධයක් ඇති බවත් ඔහු කියා සිටියේය. මා එම කතාවට සගවාගත් විශ්මයකින් ඇහුම්කන් දුන්නා විනා ඒ ගැන හාරා අවුස්සන තැනකට ගියේ නැත. එහෙත් එම විශේෂිත කරුණ මාගේ සිත තුළ සැගවී තිබුණි.
මොරටු සමන් ඝාතනය කෙරුණු දිනට පසුදින මා හොඳින්ම දන්නා හඳුනන පුද්ගලයෙක් මට දුරකතනයෙන් කතා කළේය. මොරටු සමන්ගේ ඝාතනය ගැන අසා මනෝරානී (අගවිනිසුරුගේ විවාහක බිරිඳ) තමාට කතා කළ බවත්, ඇය කොල්ලුපිටියේ සිටියදි ඇයට පිහියෙන් අනින්න පැන්නේ මොරටු සමන් බව දැනගන්නට ලැබීම නිසා ඇයට භීතියෙන් එම නිවස අතහැර යන්නට සිදු වූ බවත්, මොරටු සමන් ජීවතුන් අතර නැති නිසා දැන් තමන්ට සැනසීමක් දැනෙන බව ඇය ප්රකාශ කළ බවත් ඔහු කියා සිටියේය. ඒ කතාව අසන්නට ලැබුණු විට මගේ ඇස් උඩ ගියේය.
අපට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ අරුම පුදුම රටකය. එහි කුලී මිනීමරුවන්ගේ ග්රහණයට හසුනොවු කිසිදු වැදගත් ආයතනයක් නැති තරම්ය.
බඩා මහින්ද හෙළිදරව් කර තිබෙන තොරතුරු අනුව රූකාන්ත-චන්ද්රලේඛා ගායක යුවළට පහරදිමේ සිද්ධියට ද, ධම්මික අමරසිංහ සහභාගි වී තිබේ. ස්වයංක්රීය ගිනි අවි භාවිතා කරමින් මෙම ගායක යුවළට මරණ තර්ජන එල්ල කරන අතර, ඔවුන් හිංසාවට ලක් කොට රුපියල් 38,19,000ක් වටිනා ඔවුන්ගේ දේපළ කොල්ලකෑමේ චෝදනා මත ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින් 11 දෙනෙකුට එරෙහිව නීතිපති විසින් පානදුර මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කර ඇතත්, තාමත් ඒ කිසිවකුගේ වැඩ තහනම් කර නැත.
බඩා මහින්දගේ තොරතුරුවලට අනුව 1997 ජනාධිපතිවරණයේදි ධම්මික අමරසිංහ හා ඔහුගේ පාතාල ගෝලබාල පිරිසක් රැගත් ආයුධ සන්නද්ධ රථයක් කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය. එහිදි අත්අඩංගුවට ගන්නා ලද ස්වයංක්රීය ගිනි අවි අතර, ගේරනේඩ් ලෝන්චරයක් ද තිබී ඇත. එහෙත් ඊට ටික වේලාවකට පසුව ඉහළින් ආ නියෝගයක් නිසා ආයුධ සමග අත්අඩංගුවට ගන්නා ලද ඒ සියලු දෙනා ඔවුන්ගේ ආයුධ සමගම නිදහස් කිරීමට කඩුගන්නාව ස්ථාන භාර නිලධාරියාට සිදුවී තිබේ.
බිහිසුණු චිත්රයක්
ඇතිවී තිබෙන සියලු සිදුවීම් එකට පෙළ ගැස්වීමේදි ලැබෙන චිත්රයේ හැඩතල මෙසේය.
රටේ රාජ්ය නායිකාවට පාර්ලිමේන්තු බලය ද තිබුණු කාල වකවානුවේ දි (ඊට පෙර එජාප බලයේ සිටි සමයේ ද මේ තරම් දරුණු නොවූවත් මේ හා සමාන යාන්ත්රණයක් එම පක්ෂයට ද තිබුණා විය යුතුය.) තමන්ගේ විරුද්ධවාදින් නිහඬ කිරීම සඳහාත් අවශ්ය අවස්ථාවලදි ඔවුන් හිංසාවට ලක් කිරීම සඳහාත් හොඳින් සංවිධානය කරන ලද විශේෂ හිංසන යාන්ත්රණයක් තිබුණි. එය ජනාධිපති ආරක්ෂක අංශයෙන් තෝරාගත් සමහර පුද්ගලයන්ගෙන් හා පාතාල ලෝකයේ තෝරාගත් කුලී මිනීමරුවන්ගෙන් සමන්විත විය. බැද්දගානේ සංජීව, ධම්මික අමරසිංහ, මොරටු සමන්, තාරා අජිත්, සාජන් රත්නායක යනාදින් එහි ප්රමුඛ සාමාජිකයන් විය. මෙම විශේෂ යන්ත්රණය දේශපාලන බල අධිකාරියේ දේශපාලන අරමුණු වෙනුවෙන් ද, එම බල අධිකාරියට සම්බන්ධ ප්රධාන පුද්ගලයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් ද, හිංසන යාන්ත්රණයේ සාමාජිකයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන්ද අපරාධකාරි ක්රියාවල යෙදුණේය. මේ යන්ත්රණයට අවශ්ය අවි ආයුධ ලබාදෙන ලද්දේ ආරක්ෂක අමාත්යාංශය විසිනි. ආරක්ෂාව සඳහා විශේෂ හැඳුනුම්පත් ලබාදෙන ක්රමයක්ද, ගමන් බිමන්වලදි පරික්ෂාවට ලක් නොවී සිටීම සඳහා බලපත්ර ලබාදෙන ක්රමයක් ද ක්රියාත්මක විය.
ආරක්ෂාව
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්, අපරාධ පරික්ෂණ බියුරෝවෙන් හා පොලිසියෙන් ද ඔවුන්ට ඔවුන්ගේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා සහාය ද ආරක්ෂාව ද ලැබුණි. ඔවුන්ට එරෙහිව කලාතුරකින් හෝ නඩු පැවරෙන අවස්ථාවලදි නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය ද ඔවුන් කොන්දේසි විරහිතව ආරක්ෂා කළේය.
“සන්ඩේ ලීඩර්” කර්තෘගේ නිවසට පහරදිම හා එවකට පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වන සරත් කෝන්ගහගේ පවත්වාගෙන ගිය අවන්හලට පහරදිම සඳහා යොදාගන ලද්දේ මේ හිංසන යාන්ත්රණයයි.
ඉන්පසු මේ හිංසන යාන්ත්රණය රෝහණ කුමාරගේ ජීවිතය බිලි ගත්තේය. එජාප විරෝධතා ව්යාපාරය වාර්තා කරන්නට ගිය කැමරාකරුවන්ට පහර දුන්නේය. 1999 ජනාධිපතිවරණයෙන් පසුව කුමාර පොන්නම්බලම්ගේ ජීවිතය ද බිලි ගත්තේය. අනෝජා වීරසිංහගේ නිවස විනාශ කළේය. රූකාන්ත-චන්ද්රලේඛා යුවළට හිංසා කළේය. රවි කරුණානායකගේ නිවසට හා බිරීඳගේ නිවසට ද සනත් ගුණතිලකගේ පෙම්වතියගේ නිවසට ද මළමිණී කැබලි සහිත හැම්පර් බෙදා දෙන ලද්දේ ද මෙම හිංසන යන්ත්රණය විසිනි.
ජනාධිපතිනිය විසින් එක් ආකාරයකටත්, එස්.බී. දිසානායක විසින් තවත් ආකාරයකටත් ප්රකාශ කර ඇති පරීදි “ලීඩර්” කර්තෘ හා “රාවය” කර්තෘ ඝාතන සැලැස්ම බාරදි තිබෙන්නට ඇත්තේ ද මේ හිංසන යාන්ත්රණයටය.
පක්ෂ මාරුවට පෙර එස්.බී. දිසානායකට ද, මේ හිංසන යාන්ත්රණයට සම්බන්ධයක් තිබුණි. එහෙත් පක්ෂ මාරුවෙන් පසුව ඔහුගේ ජීවිතය බිලිගන්නට ද මේ හිංසන යාන්ත්රණය උත්සාහ කළේ ය. එහෙත් එය සාර්ථක වූයේ නැත.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භයේදි බැද්දගානේ සංජීව ඝාතනය කිරීමට අවශ්ය වූයේ ඔහු දැනගෙන සිටි රහස් යටපත් කිරීමට ද, නැත්නම් හිංසාවේ ආධිපත්යය හිමිකර ගැනීම සඳහා ද යන්න පැහැදිලි නැත. කවර අරමුණක් සඳහා හෝ ඔහුගේ ජීවිතය විනාශ කෙරුණේ ද ඔහු විසින්ම පෝෂණය කරන ලද හිංසන යන්ත්රණයටම සම්බන්ධ පුද්ගල පිරිසක් අතිනි.
මේ වනවිට මේ හිංසන යන්ත්රණයට සම්බන්ධ ක්රියාකාරින් කිසියම් පිරිසක් ජීවතුන් අතර නැත. තවත් පිරිසක් ජීවත්වන්නේ එතෙර රටවලය. ධම්මික අමරසිංහ හා මහින්ද ගොඩගේට හිමිවන්නට යන ඉරණම කුමක්ද යන්න පැහැදිලි නැතත්, සමහරවිට සංජීවට හෝ මොරටු සමන්ට වූ දේ ම ඔවුන්ට ද විය හැකිය.
දුෂ්ඨ චක්රය
තිබෙන බිහිසුණුම දේ පාතාල ලෝකයේ රැකවරණය ලබාගනිමින් පෙරලා පාතාල ලෝකයට රැකවරණය ලබාදෙන දුෂ්ට දේශපාලන සදාචාරය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පෝෂණය වෙමින් තිබීම ය. දේශපාලකයෝ පමණක් නොව, පාතාල ලෝකයේ කුලී මිනීමරුවෝ ද පක්ෂ මාරු කරති. පූර්වගාමියා ප්රයෝජනයට ගත් කුලී මිනීමරුවන් ආණ්ඩු පෙරළියකින් පසුව අනුප්රාප්තිකයාගේ ආධාර කරුවන් බවට පත්වන රටාවක් රට තුළ ක්රියාත්මක වේ. අනුප්රාප්තිකයා ද පූර්වගාමියා ප්රයෝජනයට ගත් කුලී මිනීමරුවන් මත යැපෙන විට ඔවුන් පූර්ව ගාමියාගේ සෙවණේ සිටියදි කරන ලද අපරාධ ගැන සොයා බැලීමේ හැකියාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ඔවුන් විසින් කරන ලද අතීත අපරාධ වසන් කරන තැනකට අනුප්රාප්තිකයා තල්ලුවීමය. එහි අවසාන ප්රතිඵලය වනු ඇත්තේ ක්රමයෙන් ශ්රී ලංකාව කුලී මිනීමරුවන් රජ කරන රටක තත්ත්වයට පත්වීමය.
කුමාර් පොන්නම්බලම්ගේ ඝාතනයට සම්බන්ධ සියලු තතු අනාවරණය වී තිබියදිත්, ආණ්ඩුව වෙනස්වීමෙන් පසුත් එම සාහසික අපරාධයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්රියාත්මකවීමක් සිදු නොවීය. අවසානයේ සිදුවූයේ මුළු සිද්ධියම සදා යටපත් කෙරෙන ආකාරයට ඒ සිද්ධියේ කුලී මිනීමරුවන්ගේ භූමිකාව රගපෑ පුද්ගලයන් දෙදෙනා ඝාතනයට ලක්වීමය. රෝහණ කුමාර ඝාතනය පිළිබඳව ද අවශ්ය තරම් තොරතුරු හෙළිවී තිබියදිත්, ඒ අපරාධයට වගකිවයුත්තන්ට එරෙහිව ද නීතිය ක්රියාත්මකවීමක් සිදු නොවීය. එහි අවසාන ප්රතිඵලය වනවා ඇත්තේ ද ඒ සාහසික අපරාධය ද සදා යටපත්වීමය.
දේවල් සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳව සාධාරණ චිත්රයක් ඇති කරගැනීමට හේතුවන තවත් කතාවක් පසුගිය සිංහල අවුරුදු සමයේ අනෝජා වීරසිංහගෙන් මට අසන්නට ලැබුණි.
කතුවරුන්ගේ සාකච්ඡාවක් සඳහා අගමැතිවරයාගෙන් ඇරයුමක් ලැබී අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවක හදිසියේ අනෝජා හමුවී කෙටි කතාබහක නිරතවීමට මට අවස්ථාවක් ලැබුණි.
ඇගේ ගෙට පහර දි විනාශ කිරිමේ සිද්ධියට වගකිවයුතු අය නිදහස් වූයේ සාක්ෂි නැති නිසා දැයි මම ඇගෙන් අසා සිටියෙමි.
ඇය ඊට දෙන ලද පිළිතුර වූයේ එසේ සිදුවූයේ සාක්ෂි නැති නිසා නොව, සිද්ධිය ඔප්පු කිරීමට අවශ්ය තරම් බලවත් සාක්ෂි තිබියදි, එහෙත් ඊට වගකිවයුතු සමහර අය දැන් ආණ්ඩුවේ ආධාරකරුවන් වී සිටින තත්ත්වයක් තුළ ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කළ නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්වී තිබෙන නිසා බවය. රවි කරුණානායකගේ නිවසට මිනී ඔළුවක් යැවීමේ සිද්ධියේ සියලු සුල මුල ද අපරාධ පරික්ෂෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇතත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව ද නීතිය ක්රියාත්මක කළ නොහැකි තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපා ඇත්තේ ද ඊට සමාන හේතු සමුදායකි.
රට ඇද වැටී තිබෙන මෙම විනාශකාරි කාලකණ්ණි තත්ත්වයට දේශපාලකයන් පමණක් නොව, ජනමාධ්යය ද වගකිව යුතුය. බඩා මහින්ද කර තිබෙන පාපොච්චාරණයේ ඇත්ත නැත්ත කුමක් වුවත්, එහි ඇත්ත නැත්ත විශ්ලේෂණය කොට වාර්තා කිරිමේ වගකීමක් ජනමාධ්යවලට තිබුණි. එහෙත් ජනමාධ්ය කළේ නිශ්ශබ්දව හිඳීම හෝ කිසිවක් තේරුම්ගත නොහැකි ආකාරයට ඒ සිද්ධිය වාර්තා කිරීමය. අවසාන විග්රහයේදි ශ්රී ලංකාව කුලී මිනීමරුවන් රජකරන රටක් බවට පත්කිරිමේ පාපකර්මය දේශපාලකයන් පමණක් නොව, ඒ සමාන ආකාරයකට ජනමාධ්යය ද වගකිව යුතුය.