වත්ත බද්දට දි ඇස්සට දත නියවීම

September 28, 2003
Publication:
The editorial argues that the government's peace process is proceeding without any public debate on reforming the nature of the state, so that it appears to be merely a settlement of the Tamil problem. It lists wider failures, from a corrupt political system and judiciary to a preferential voting system that pushes MPs towards illicit income, warns that silence cedes public opinion to nationalist forces, and likens the government's self-serving approach to J.R. Jayewardene's.

ආණ්ඩුව තමන්ගේ සාම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයමින් තිබෙන්නේ රාජ්‍යයේ ස්වභාවය වෙනස් කිරීම සඳහා ඇති කළ යුතුව තිබෙන මහා ප්‍රතිසංස්කරණ පිළිබඳව කරන ජන සංවාදයකින් තොරවය. ඒ නිසාම ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළ ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ දමිළ අර්බුදයට විසඳුමක් ඇති කිරීමට පමණක් සීමාවූ ක්‍රියාවක් ලෙසය.

ජනවාර්ගික අර්බුදය ද රාජ්‍යයේ ස්වභාවය පදනම් කොටගෙන මතුවී තිබෙන අර්බුදයකි. එය ඒ නිසා ඇතිවී තිබෙන අර්බුද රාශියක් අතරින් එකක් පමණය. ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයාගැනීම, රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍ය වී තිබෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි වුවත්, එය එකම හේතුව ලෙස සැලකිය නොහැකිය. පවතින රාජ්‍යයේ ස්වරූපය සමග උතුරේ දෙමළ ජනතාවට පමණක් නොව, දකුණේ සිංහල ජනතාවට ද විසඳගත් යුතු ගැටලු පවතී.

පවතින දේශපාලන ක්‍රමය අන්ත දූෂිතය. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම තත්ත්වයක නොපවත්නා අතර, මහජනයාට වග කියන තත්ත්වයක් ද නොපවතී. අධිකරණය හා රාජ්‍ය නිලධර තන්ත්‍රය තිබෙන්නේ ද අන්ත දූෂිත තත්ත්වයකය. රාජ්‍ය ගනුදෙනුවල විනිවිදභාවයක් නොපවතී. කිසිම විෂයයක් සඳහා පිළිගත් ජාතික ප්‍රතිපත්තියක් කියා දෙයක් නැත. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය හා පොදු මගී ප්‍රවාහන සේවා පවත්නේ පීඩාකාරි තත්ත්වයකය. පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරාපත් කරගැනීම සඳහා යොදා ගනිමින් තිබෙන අනුපාතික ක්‍රමය පාර්ලිමේන්තු නියෝජිතයන් අයථා ලෙස මුදල් හරිහම්බ කළයුතු තත්ත්වයකට තල්ලු කරන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි. මැතිවරණ ක්‍රමය ද නිදහස් හා ස්වාධීන තත්ත්වයක නොපවතී. තීන්දු ගැනීමේ ක්‍රියාවලියට මහජනයා සහභාගී කරගැනීමක් ඇත්තේම නැති තරම්ය.

රාජ්‍යයේ ස්වභාවය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙන්නේ වාර්ගික අර්බුදය පමණක් නොව, පොදු මහජනතාවට බලපාන එවැනි ගැටලුවලට ද විසඳුමක් ලැබෙන ආකාරයටය. එහෙත් දැන් සාම වැඩපිළිවෙළ ඉදිරියට ගමන් ගනිමින් තිබෙන්නේ රාජ්‍යයේ සමස්ත ස්වභාවය වෙනස් කිරීම සඳහා කෙරෙන මහා කතිකාවක් ලෙස නොව, ජනවාර්ගික ප්‍රශ්නයට පමණක් විසඳුම් සොයන ක්‍රියාවලියක් ලෙසය.

රටේ පවතින අර්බුද හා සමාජ ආකල්ප අතර ද වෙන් නොකළ හැකි සම්බන්ධයක් පවතී. රටේ පවතින ජනවාර්ගික අර්බුදය පමණක් නොව, අන් අර්බුද විසඳීම සඳහා ද සමාජ ආකල්පවල වෙනසක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වන අතර, ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ රටට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කේන්ද්‍ර කොටගත් සමාජ සංවාදයකිනි.

එහෙත් එවැනි දේක අවශ්‍යතාව ආණ්ඩුව තේරුම් ගෙන නොතිබෙනවා පමණක් නොව, සාමය ජයගැනීම සඳහා ගත හැකි හොඳම මග වාද විවාදවලට පැටලීමෙන් තොරව සාම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑම යයි සිතන තත්ත්වයක් ආණ්ඩුවේ නායකයන් අතර පවත්නා බව ද පෙනේ.

සමහරවිට දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන සමාජ සංවාදය අපට අවශ්‍යව නැතැයි සිතන මානසිකත්වයක් ආණ්ඩුව තුළ තිබෙනවාද විය හැකිය. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන සංවාදයකට දොරටු විවෘත කළහොත් දේශපාලන ප්‍රතිසංස්කරණ තමන් කැමති තැනක තබාගැනීමට නොහැකි වනු ඇතැයි කියන බිය ද ඔවුන් කෙරෙහි බලපා තිබෙනවා විය හැකිය. දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා වන පලදායී සංවාදයකට රට යොමු කිරිමෙන් වැළකී සිටින තත්ත්වයක් තුළ වෙමින් තිබෙන්නේ ජාතිවාදි හා ප්‍රතිසංස්කරණ විරෝධී පසුගාමී බලවේගයන්ට රටේ මතවාදි තලය ඒකාධිකාරි ආකාරයට පාලනය කළහැකි තත්ත්වයක් ලබාදිමය. ඔළු පිරිසිදු කිරීම සඳහා වන බලවත් ප්‍රයත්නයකින් තොරව ඔළු කුණු කරන්නට ඉඩ හැර නිශ්ශබ්දව බලා සිටින තත්ත්වයක් ඉදිරියේ මහජන මතය හැසිරවීමේ ඒකාධිකාරි අයිතිය එවැනි බලවේගයන්ට ලැබී තිබෙන අතර, එය සමස්ත සාම වැඩපිළිවෙළ කෙරෙහි පමණක් නොව, රාජ්‍යය ප්‍රතිසංස්කරණයට ලක්කිරිමේ ඓතිහාසික වුවමනාව කෙරෙහි ද විනාශකාරි ලෙස බලපෑ හැකි තත්ත්වයක් නිර්මාණය කෙරෙමින් පවතී.

ආණ්ඩුව දේවල් දකිමින් තිබෙන ආකාරය ජේ.ආර්. ජයවර්ධන දේවල් දකින්නට උත්සාහ කළ ආකාරයට බොහෝ සමානය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ද ප්‍රතිසංස්කරණ ලෙස දැක්කේ තමන්ගේ ආත්මාර්ථකාමී වුවමනාවන්ට ගැලපෙන ප්‍රතිසංස්කරණ පමණය. ජේ.ආර්. ජයවර්ධන රාජ්‍යයේ ස්වරූපය වෙනස් කළේ ද රටේ සමාජ දේශපාලන වුවමනාවන්ට ගැලපෙන ආකාරයට නොව, තමන්ගේ අර්ධ ඒකාධිපති අභිමතාර්ථයන්ට ගැලපෙන ආකාරයටය. ඔහු මානව අයිතිවාසිකම් වැනි යහපත් සමහර ලක්ෂණ ද එකතු කොට තමන්ට සර්ව බලධාරි බලයක් ලැබෙන ව්‍යවස්ථාවක් ඇති කළේය. වර්තමාන ආණ්ඩුව කල්පනා කරන්නේ ද ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළා සේ මහජන වුවමනාවන්ට අඩු වැදගත්කමක් ලබාදෙමින් තමන්ගේ පෞද්ගලික දේශපාලන අභිලාෂයන්ට මුල් තැනක් ලැබෙන ආකාරයට නම් සාමය දිනාගැනීමේ උදාර අරමුණ වෙත සාර්ථක ලෙස ළගාවීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.