ජනාධිපතිවරණය ගැන සමාලෝචනයක්

November 5, 2005
Publication:
Ranil Wickremesinghe faces only Mahinda Rajapaksa, but Rajapaksa faces Wickremesinghe and Chandrika Kumaratunga as well. His candidacy excites anti-UNP forces, though his pacts with the JVP and Hela Urumaya and the Bandaranaikes' hostility cost him; two incalculable factors remain, Prabhakaran and Karuna.

මෙම ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට තරග කරන්නට සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග පමණක් වුවත්, මහින්ද රාජපක්ෂ මහතාට රනිල් වික්‍රමසිංහ මහතාට අතිරේකව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග ද තරග කරන්නට සිදුවී තිබේ. එම තත්ත්වය මහින්ද රාජපක්ෂ මහතාගේ තත්ත්වය වඩා දුෂ්කර කිරීමට හේතුවී තිබෙන බව ද පෙනේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය සාම්ප්‍රදායික යූ.එන්.පී. විරෝධී බලවේග අතර ආශ්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණ ද, ජවිපෙ හා හෙළ උරුමය සමග ඇති කරගත් එකගතාව ද, බණ්ඩාරනායක පවුලෙන් එල්ල වී තිබෙන කැපිලි කෙටිලි ද, එම ආශ්වාදය හීන කොට එම කඳවුර තුළ ව්‍යාකූලතාවක් ඇති කිරීමට හේතුවී තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ සිටියේ සිය ජනප්‍රියතාවයේ උච්චතම තැනකය. ඒ නිසාම තමන්ගේ පාක්ෂිකයන්ගේ ඡන්ද ලබාගන්නවාට අතිරේකව ශ්‍රීලනිපයේ ඡන්ද වලින් ද සෑහෙන පංගුවක් තමන් වෙත හිමිකර ගැනීමට ජවිපෙ සමත්විය. එහෙත් දැන් ජවිපෙ ඉන්නේ ජනප්‍රියතාවයේ උච්චතම තැනක නොව අවම තැනකය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි සන්ධානය සිටියේ ප්‍රහාරාත්මක තැනකය. එජාප සිටියේ ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. එහෙත් මෙම ජනාධිපතිවරණයේදි යූඑන්පිය සිටින්නේ ප්‍රහාරාත්මක තැනකය. යූඑන්පී විරෝධී පිල සිටින්නේ ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. මහින්දගේ ආගමනය යූඑන්පී විරෝධී කඳවුර තුළ මහත් ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණ ද එම ආස්වාදජනක තත්ත්වය ආරක්ෂා කරගනිමින් එම තත්ත්වය ක්‍රමානුකූලව වර්ධනය කරගැනීමට එම කඳවුර සමත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත.

ශ්‍රීලනිප අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කරන ලෙස ජනාධිපතිනිය විටින් විට නාමමාත්‍රික වශයෙන් ඉල්ලා සිටිය ද ඇය මහින්ද රාජපක්ෂ මහතාට හිතට එකගව ආධාර කරන බවක් පෙනෙන්නට නැත. ඇය මහින්ද රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය දුන්නේ ද කැමැත්තෙන් නොව නොදි සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසාය. තම කැමැත්තට පටහැනිව ජේවීපීය සමග සන්ධානයක් ඇති කරගැනීම ඇය හා මහින්ද අතර පැවති දුරස්ථබව වර්ධනය කිරීමට හේතුවූ අතර, අගවිනිසුරු සමග එකතු වී ඇය 2005දි විශ්‍රාම යන තත්ත්වයකට තල්ලු කිරීම මහින්ද කෙරෙහි ඇය තුළ පැවති නොකැමැත්ත ඔහු කෙරෙහි වෛරයෙන් ක්‍රියාකරන තැනකට ඇය තල්ලු කිරීමට හේතුවී යයි කිව හැකිය.

ඇයට ද අගවිනිසුරු සමග ඇති කරගත් කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙළක් තිබුණි. ඒ අනුව 1999 අවසානයේ කරන ලද පළමු දිවුරුම්දිම නොසලකා 2006 අවසානය තෙක් ඇයට ධුරයේ රැඳී සිටීමේ අයිතිය ආරක්ෂා කරදිමට ඔහු එකග වී තිබුණේය. එසේ ඇති කරගෙන තිබුණු එකගත්වයට පටහැනිව මහින්ද රාජපක්ෂ මහතා සමග අලුතෙන් ඇති කරගන්නා එකගත්වයක් මගින් ඇය ඉක්මණින් විශ්‍රාම යන තත්ත්වයකට තල්ලු කිරීම ඇගේ බලවත් කෝපයට හේතුවී තිබේ.

ජනාධිපතිනිය ඇමරිකන් තානාපතිවරයා සමග ප්‍රකාශ කර ඇති පරිදි ඇය කිසි දිනක මහින්ද විශ්වාස නොකළාය. එහෙත් අගවිනිසුරු සරත් නන්ද සිල්වා හා මංගල සමරවීර කෙරෙහි උපරිම විශ්වාසයක් ඇය තුළ තිබුණි. එම විශ්වාසවන්ත සගයින් දෙදෙනා සිය සතුරා සමග එකට එකතු වී ඇය විනාශ කළේය. ඒ නිසාම ඇගේත්, ඇගේ පවුලේ අනෙක් අයගේත් වඩාත් ම වෛරයට හේතුවූ පුද්ගලයන් බවට පත්ව සිටින්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා හා මංගල සමරවීර යන දෙදෙනාය.

අවසානයේ මෙම ක්‍රීඩාවේ ඉතා වැදගත් තුරුම්පු ගණනාවක් එනම් අගවිනිසුරු සරත් නන්ද සිල්වා, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර, මංගල සමරවීර, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය හා සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ තමන් අතට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. එහෙත් මේ තුරුම්පුවලින් පමණක් තරගය ජයගත හැකිද?

අගවිනිසුරු මගින් අධිකරණය පාලනය කළ හැකිය. මෙතෙක් ලබාගත් තමන්ගේ වාසියට හේතුවන තීන්දුවලට අතිරේකව අවශ්‍ය නම් තවත් එවැනි තීන්දුවක් දෙකක් ජනාධිපතිවරණයට පෙර අධිකරණයෙන් ලබාගත හැකිය. භාණ්ඩාගාර ලේකම්, පී.බී. ජයසුන්දර, මංගල සමරවීර, ජවිපෙ, හෙළ උරුමය යනාදි සියලු දෙනා හා දක්ෂ පක්ෂවැඩකාරයින් වුවත්, ඒ තුරුම්පුවලින් පමණක් ජනාධිපතිවරණය ජයගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකිවේද? ඒ තුරුම්පුවලට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි තිබුණු වටිනාකම තරම් වටිනාකමක් අද තිබෙනවා යයි කිව නොහැකිය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ශ්‍රීලනිප සේම ජනතා විමුක්ති පෙරමුණට උද්යෝගිමත් මැතිවරණයක් විය. සන්ධානයේ පක්ෂ අතර පූර්ණ සමගියක් ද, එකගතාවක් ද තිබුණි. එසේ තිබියදිත් ලබාගත හැකිවූයේ ඡන්ද 4,223,970ක් හෙවත් වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 45.6%ක් පමණ ය.

තමන් ලද ජයග්‍රහණයෙන් පසු ජයග්‍රාහකයා තමන් බලයට පත් කරන ලද ජනතාවගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන පාලනයක් පවත්වාගෙන යෑමට සමත් වූයේ නැත. සන්ධානය යූඑන්පීය පරාජය කිරීමට සමත් වුවත්, ශක්තිමත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සමත් වූයේ නැත. එම තත්ත්වය සන්ධානයේ ඡන්ද පදනම දුර්වල කිරීමට හේතුවීයැයි කිව හැකිය. ජවිපෙට තිබුණු ශක්තිය විශාල ප්‍රමාණයකට බිඳ වැටී ඇති බව පැහැදිලිව දකින්නට තිබෙන අතර, එයින් පෙන්නුම් කෙරෙන්නේ ද එම පක්ෂයට මේ ජනාධිපතිවරණයට ලබාදිය හැකිව තිබෙන දායකත්වයේ ප්‍රමාණය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ලබාදෙන ලද දායකත්වයේ ප්‍රමාණයට වඩා අඩු බවය. සන්ධානයට තිබුණු ඡන්ද පදනම යම් පමණකට හෝ දුර්වල වී තිබෙනවා මිස වඩා ශක්තිමත් වී තිබෙන බවක් පෙනෙන්නට නැත.

සන්ධාන පක්ෂවල ඡන්ද පදනමේ පිරිහීමක් ඇති බවක් පෙනෙන්නට නැතත්, එහි අනුපාතිකය කොතරම්ද යන්න පැහැදිලි නැත. පිරිහීමේ අනුපාතිකය 10%ක් වෙතොත්, මහින්ද රාජපක්ෂ මහතා පරාජය වනු නොවැළැක්විය හැකිය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි ලබාගත් ඡන්ද සංඛ්‍යාව එලෙසම ආරක්ෂා කරගනිමින් හෙළ උරුමය ලබාගත් ඡන්ද 552724න් අඩක් තමන්ට දිනාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වෙතොත් (එය ද අමාරු ඉලක්කයක්) තරගය කරට කර යන සටනක් වනු නොවැළැක්විය හැකිය.

අනෙක් අතට මේ ජනාධිපතිවරණයේදි පසුගිය මැතිවරණයේදි දෙමළ සන්ධානයට ලැබුණු ඡන්ද පොදිය (633,654) ඒ ආකාරයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. එහෙත් දෙමළ සන්ධානයට ලැබුණු ඡන්දවලින් අඩක් (ඡන්ද 316,827ක්) තමන් වෙත ලබාගන්නා අතර, හෙළ උරුමයට පසුගිය මැතිවරණයේදි ලැබුණු ඡන්දවලින් ද අඩක් තමන් වෙත ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සමත් වෙතොත්, ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි හැකියාව ලැබෙනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටය.

එහෙත් මෙම ජනාධිපතිවරණයේදි ගණන් බැලීමකට ඉඩක් නැති ප්‍රබල සාධක දෙකක් ද පවතී. එනම් ප්‍රභාකරන් සාධකය හා කරුණා සාධකයයි. ඔවුන් කුමක් කරයි ද යන්න කිවහැක්කේ දෙවියන්ට පමණමය