ජනවාර්ගික අර්බුදයට විසඳුමක් දිම ප්‍රමාද නොකළ යුතුයි

December 16, 2001
Publication:
The editorial urges the new government to make a negotiated settlement its priority. It notes that Prabhakaran's Heroes' Day speech stopped short of demanding a separate state, argues that both sides have reached the limits of military action, and proposes first agreeing on principles acceptable to Tamils, Sinhalese and Muslims, with the support of the PA and JVP in opposition.

රටේ සාමය හා වාර්ගික සමගිය තහවුරු කිරීමට හේතුවන ලෙස ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලබාදිම නව ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් විය යුතු ය. ශ්‍රී ලංකාවට ශක්තිමත් ඉදිරි ගමනක් ආරම්භ කළ හැකි වනු ඇත්තේ ඒ ඉලක්කය සපුරා ගත හැකිවේ නම් පමණ ය.

මෙය රටේ තිබෙන ප්‍රධානම හා සංකීර්ණම ප්‍රශ්නයයි. එය විසඳ ගැනීම සඳහා අවංක වුවමනාවක් තිබීම අවශ්‍ය වුවත්, ඒ පමණක් ප්‍රමාණවත් නැත. විසඳුමක්ඇති කර ගැනීම සඳහා වන කාර්යක්ෂම වැඩපිළිවෙලක් ද තිබිය යුතු ය.

ප්‍රභාකරන් වීර දිනයේ කරන ලද ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේ ලෝකයේ ඇතිවී තිබෙන නව වෙනස්කම් තුළ නව්‍ය ආකාරයකින් ක්‍රියාකිරිමේ අවශ්‍යතාව ඔහු විසින් ද තේරුම් ගෙන තිබෙන බව ය. ඔහු එහිදි තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව ප්‍රකාශ කර නැත. සිංහල ජනතාව දෙමළ ගැටලුවට සාධාරණ හා පිළිගත හැකි විසඳුමක්ලබාදිමට අසමත් වෙතොත් පමණක්, වෙන්වීමක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ඔහු එහිදි ප්‍රකාශ කර තිබේ.

කොටි සංවිධානයට යුදමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ යා හැකි දුරෙහි සීමාවක් ඇතිවා සේ ම අපට ද යුදමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ යා හැකි දුරෙහි සීමාවක් පවතී. දෑන් මේ දෙපක්ෂයම ඉන්නේ ඒ සීමාවේ ය. දෙපක්ෂයටම තම තමන් සිටින සීමාවන් පිළිබඳ යම් අවබෝධයක් ඇති බව ද පෙනෙන්නට තිබේ.

රට ඉදිරියේ තිබෙන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ සියලු ජනවර්ගවලට පිළිගත හැකි විසඳුමක්ඇතිකර ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඉදිරිපත් කෙරෙන ඕනෑම විසඳුමක්දෙමළ ගැටලුවට විසඳුමක්විය යුතුවා සේ ම එය සිංහල හා මුස්ලිම් ජනතාවගේ ද පිළිගැනීමට හේතුවිය යුතු ය.

අන් සියල්ලටම ප්‍රථම විසර්මකට ඇතුළත් විය යුතු මූලධර්ම හඳුනාගනිමින් හඳුනාගත් එම මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇති කරගත හැකිවේ නම්, එසේ එකග වන මූලධර්ම මත පිහිටා විසඳුමක්සඳහා ඉදිරියට යා හැකිවනු ඇත්තේ ය.

එක්සත් ජාතික පෙරමුණ ලැබූ ජයග්‍රහණය තුළ ජනවර්ග අතර මනා සන්ධානයක ලක්ෂණ පවතී. ඒ තුළ සිංහල, දෙමළ හා වතු දෙමළ යන ජනවර්ගවල සන්ධානගත එකතුවක් පවතින අතර, උතුරු නැගෙනහිර දෙමළ ජනයා දෙමළ සන්ධානය තුළ ඒකරාශී වී සිටින බවක් ද දෑකිය හැකි ය. එජා පෙරමුණට සම්ප්‍රදායික වෛර දේශපාලනයට තිතක් තබා විරුද්ධ පක්ෂය ලෙස ක්‍රියා කරන පොදු පෙරමුණේ හා ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ලබාගනිමින් ජනවාර්ගික අර්බුදයට විසඳුමක්සඳහා පොදු එකගතාවක් ඇති කරගැනීමට හැකිවේ නම්, රටට අලුත් පරීච්ඡේදයක් ආරම්භ කිරීමට හැකිවනු නො අනුමාන ය.