ජනතා විමුක්ති පෙරමුණේ මේ මෑතකදී ඇතිවූ බිඳීම හා ඒ ආශ්රයෙන් ඇතිවූ ජන අරගල ව්යාපාරය ජාත්යන්තර වශයෙන් හා දේශීය වශයෙන් මාක්ස්වාදයට දේශපාලන තලයේ තිබුණු අතිවිශාල ආධිපත්යය හා පිළිගැනීම බිඳවැටීම නිසා දේශපාලන වශයෙන් අතරමං තත්ත්වයකට ඇද වැටී සිටි ශ්රී ලංකාවේ මාක්ස්වාදීන්ගේ අධ්යාත්මය කිතිකවනු ලැබූ වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔවුන් කතා කරන දේශපාලන භාෂාවේ නොපැහැදිලිකමක් තිබුණා වුවද සාම්ප්රදායික ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට වෙනස්ව සිංහල වර්ගවාදයෙන් අත්මිදුණු, බලවත් ලෙස මාක්ස්වාදී ස්වරයකින් කතා කරන පිරිසක් වීම, මීට පෙර එම පක්ෂයේ ඇති බිඳීම්වලට වඩා මෙවර ඇතිවූ බිඳීම විශාලවීම, වඩා බලවත් හා සංවිධානාත්මක තත්ත්වයක් ප්රදර්ශනය කිරීමට සමත්වීම වැනි සාධක දේශපාලන වශයෙන් අතරමං තත්ත්වයකට පත්ව සිටි මාක්ස්වාදීන් අතර ඔවුන් කෙරෙහි අලුත් බලාපොරොත්තු ඇති කරන තත්ත්වයක් ඇතිකර තිබුණේය.
ආගමක් වී තිබෙන මාක්ස්වාදය
කියුබන් විප්ලවය උත්කර්ෂවත් කළ න්යායවාදියා ලෙස සැලකිය හැකි රෙජීස් ඩෙබ්බේර මාක්ස්වාදය හඳුන්වා තිබෙන්නේ ක්රිස්තියානි හා ඉස්ලාම් යන ආගම් දෙකට පසුව ලොව පහළ වූ මහා ආගම ලෙසය. මට පෙනෙන අන්දමට ඒ ආගම් දෙකට වඩා මාක්ස්වාදය වෙනස් වනුයේ එම ආගම් දෙක මරණයෙන් පසු පරලොව ජීවිතයේදී දිනාගත යුතු ස්වර්ග රාජ්යයක් ගැන කතා කරන විට මාක්ස්වාදය මෙලොව ජීවිතයේදීම දිනාගත හැකි ස්වර්ග රාජ්යයක් ගැන කතා කිරීමය. මාක්ස්ගේ කොමියුනිස්ට් ස්වර්ග රාජ්යය යුටෝපියාවක් ලෙස සැලකිය හැකි වුවද මුවර්ගේ හෝ ඕවන්ගේ යුටෝපියාව මෙන් කාල්පනික ලෝකයකට සීමා නොවූ කිසියම් ප්රමාණයකට ප්රායෝගික සත්යයක් බවට පත්කිරීමට සමත්වූ යුටෝපියාවක් ලෙසද සැලකිය හැකිය. එසේ ගොඩනැගෙමින් තිබුණු යුටෝපියාව අභ්යන්තරික වශයෙන් පරමාදර්ශී හෝ පාරිශුද්ධ නොවූවද එය බාහිර වශයෙන් බලන මාක්ස්වාදී බැතිමතුන්ට පෙනුණේ පරමාදර්ශී හා පාරිශුද්ධ යුටෝපියාවක් ලෙසය. මාක්ස්වාදී බැතිමතුන් අතර එම යුටෝපියාව කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත්ව පවත්නා අවස්ථාවක එම යුටෝපියාවේ පැවැත්ම කඩාවැටීම නිසා මාක්ස්වාදී බැතිමත්තු මහා අවුලකට තල්ලු වූවෝය. එය ඔවුන්ට පෙනුණේ නොවිය යුතුව තිබුණු සාහසික හා අවාසනාවන්ත දෙයක් ලෙසය. සමාජවාදී ලෝකයේ බිඳවැටීම මාක්ස්වාදයට දේශපාලන තලයේ තිබූ පිළිගැනීම හා ආධිපත්යය අහෝසි කොට ලෝක මට්ටමෙන් පවතින ධනවාදී ක්රමය දේශපාලන වශයෙන් අභියෝගයට ලක්කැරෙන දර්ශනයක් නැති තත්ත්වයක් ඇති කළේය. ඒ මගින් මාක්ස්වාදී බැතිමතුන් අතර ඇතිවූ අතරමංවීම ඉන්පසු ඇතිවන ගෝලීයකරණය විසින් තවදුරටත් තීව්ර කළේය. ඉන්පසු මාක්ස්වාදී බැතිමතුන් ඉඳහිට හෝ නැවත බලාපොරොත්තු ඇතිකර ගන්නේ විටින් විට ධනවාදයේ අර්බුද ඇතිවන අවස්ථාවලදීය. එහෙත් ඒ කිසිදු අර්බුදයක් නිසා ධනවාදයේ පූර්ණ බිඳවැටීමක් ඇති නොවූ අතර සමාජවාදී පරිවර්තනයක් සඳහා වටාපිටාවක් ඇති කළේද නැත. දැනුදු ධනවාදය අතිවිශාල අර්බුදයකට තල්ලුවී තිබෙන බවක් පෙනෙන්නට තිබුණද සමාජවාදී පරිවර්තනයක් සඳහා වාසිදායක වටාපිටාවක් ඇතිවී නැත. ධනවාදය ඉතාමත් ආත්මාර්ථකාමී වුවත් ප්රායෝගිකය. මාක්ස්වාදය පරාර්ථකාමී වුවත් ප්රායෝගික බවෙන් තොරය. ධනවාදයේ ආත්මාර්ථකාමය පාලනය කරන තැනකට යනවා හැර වඩා සාධාරණ විකල්ප ක්රමයක් ඇතිකර ගැනීමේ ඇත්ත හැකියාවක් තිබෙන බවක්ද පෙනෙන්නට නැත.
මා මෙම සටහන ලිවීමට පොළඹවන ලද්දේ රාවයේ පාඨකයකු විසිනි. ඔහු නුවර පදිංචිකරුවෙකි. විටින් විට ඔහු මා සමග කතා කර ඇතත්, ඔහු කව්දැ”යි දැන නොසිටියෙමි. ජන අරගල කණ්ඩායම ගැන මට පෙනෙන දේ ලියන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඔහුද එම කණ්ඩායම ගැන කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගත්තකු බව ඔහු මා සමග කරන ලද කෙටි පිළිසඳරකින් මට පෙනී ගියේය. මම එහිදී ඔහුගෙන් අනවශ්ය ප්රශ්නයක් ඇසුවෙමි. ඒ ඔබගේ වයස කුමක්ද යන්නය. වයස අවුරුදු 71ක් බව ඔහු ඊට දෙන ලද පිළිතුර විය.
මාක්ස්වාදී පරමාදර්ශයේ කඩා වැටීම
ඒ කෙටි දුරකතන පිළිසඳර අවසන්වීමෙන් පසු මට වහාම මතකයට ආවේ සුරංජිත්ය. සමාජවාදී පරමාදර්ශය බිඳ වැටීමෙන් පසු ඒ අරමුණ වෙනුවෙන් සමහරවිට තම ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළ මිනිසුන්ට මුහුණ දෙන්නට සිදුවූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අප දෙදෙනා දීර්ඝ වශයෙන් කතා කර තිබුණි. සමාජවාදී ලෝකයක් ඇතිකර ගැනීමේ පරමාදර්ශී අරමුණ වෙනුවෙන් සිය ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළ මිනිස්සු කිසියම් විශාල පිරිසක් අපේ රටේද සිටින්නෝය. ඔවුන් බලාපොරොත්තු නොවූ එක මොහොතක එක්තරා විශාල ප්රමාණයකට සැබෑවෙමින් තිබූ පරමාදර්ශය වැටුණේය. ඒ සමග එම පුද්ගලයා ඒ වෙනුවෙන් කරන ලද සියලු ඇපකැපකිරීම් තේරුමක් නැති දෙයක් බවට පත්වූවේය. සමහරවිට ඔහුට ධනය ඉපැයීමේ, හොඳ රැකියාවක් කිරීමේ හා වඩා හොඳ ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබුණි. ඒ කිසිවකට ඔහු මාරු නොවූයේ පරමාදර්ශී අරමුණ කෙරෙහි ඇති කරගෙන තිබුණු විශ්වාසය හා බැඳීම නිසාය. ඒ අරමුණ ඔහුගේ සමස්ත ජීවිතයට ගම්භීරත්වයක්ද වටිනාකමක්ද ලබාදී තිබුණේය. එම පරමාදර්ශී අරමුණු බොරුවීමෙන් පසු තේරුමක් නැති අරමුණක් වෙනුවෙන් කරන කැපකිරීම් මගින් සිය ජීවිතය කාලකණ්ණි කරගත් පුද්ගලයකු බවට පත්වූවේය. එම තත්ත්වය එවැනි පුද්ගලයකුට අත්දකින්නට සිදුවුණු අතිවිශාල මානුෂික අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු ඔහුට සිදුවන්නේ සාමාන්ය මිනිසකුගේ ජීවිත අවශ්යතා සපුරාගැනීම සඳහා මහත් කෑදරකමින් යුතුව අධිවේගයකින් දුවන පුද්ගලයකු බවට පත්වීමට හෝ මුළු ජීවිතයම කාලකණ්ණි කරගත් පුද්ගලයකු බවට පත්වීමය. මෙම අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවූ අයගේ ප්රමාණය හුඟාක් පුංචි නැත. සාම්ප්රදායික වාමාංශික ව්යාපාරය වෙනුවෙන්ද, ඉන්පසුව විවිධ සටන්කාමී ව්යාපාරයන් වෙනුවෙන්ද එවැනි කැපකිරීම් කළ අයගේ සංඛ්යාව විශාලය. මෙය සමාජයේ කිසියම් පිරිසක් මුහුණ දුන් ඉතාමත් සංකීර්ණ මානුෂික ඛේදවාචකයක් ලෙස සැලකිය හැකි වුවත් ඒ ආශ්රයෙන් හොඳ නවකථා හෝ වෙනත් කලාත්මක නිර්මාණ බිහිනොවූයේ ඇයිද යන්න ප්රශ්නයකි.
සුරංජිත් මාගේ නීතිඥයා වූවා සේ ම, මාගේ හොඳම මිත්රයාද වූවේය. මාගේ ජීවිතයේ මට හමුවූ ඉතාමත් සුවිශේෂ ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයන් කිහිපදෙනා අතර ඔහු ප්රමුඛ ස්ථානයක් හිමි කර ගනී. ඔහු පිරුණු මිනිසකු වුවා පමණක් නොව, ඉතාමත් අවංක මිනිසෙක්ද වූයේය. ඔහුගේ ඉක්මන් මරණය කෙරෙහි මාගේ ක්රියාවන්ද බලපෑවේය කියන වරදකාරී හැඟීමක් මා තුළ පවතී. මුලදී නීතිපති ධුරයේ සිටි සරත් සිල්වා කෙරෙහි ඔහු තුළ තිබුණේ අප්රසාදයකට වඩා ප්රසාදයකි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලයට මාගේ නීතිඥයා වශයෙන් ක්රියාකාරී ලෙස සම්බන්ධවීම තුළ ඔහු එම පුද්ගලයාගේ සැබෑ ස්වරූපය තේරුම් ගත්තේය. ඉන්පසුව ඔහු එම පුද්ගලයාට එරෙහිව සටන් කළේ මටත් වඩා හැඟීම්බර ස්වරූපයකිනි. අනෙක් අතට පසුකලක අධිකරණයේ ප්රධානියා වූ එම පුද්ගලයාට එරෙහිව මා සටන් කළේ අධිකරණ විෂය රාමුවෙන් පිටස්තරව සිටින පුද්ගලයකු වශයෙනි. එහෙත් සුරංජිත්ට එසේ කරන්නට සිදුවී තිබුණේ එම විෂය රාමුව ඇතුළත සිටින පුද්ගලයකු වශයෙනි. ඒ නිසා එම අරගලය වඩා වේදනාකාරී ලෙස ඔහුගේ ජීවිතය කෙරෙහි බලපෑවේය. අප දෙදෙනා සටන් කළ විදියේද වෙනස්කම් තිබුණි. සුරංජිත් වේදනා පොදිය බිම නොතබා හැමවිටම එය හිස මත තබාගෙන සිටියේය. ඒ ගැන නුවුවමනා තරමින් කල්පනා කළේය. ඒ තත්ත්වය ඔහුගේ රෝගී තත්ත්වය කෙරෙහි නරක ලෙස බලපෑවේය. එහෙත් මා වේදනා පොදිය හිසට ගත්තේ අවශ්ය අවස්ථාවලදී පමණය. අනෙක් අවස්ථාවලදී එය අමතක කොට වෙනත් දේවල නිරතවීමේ හැකියාව මට තිබුණි. ඒ ශික්ෂණය මට ලැබෙන්නට ඇත්තේ චෙස්වලිනි.
සුරංජිත් සිය ජීවිතයෙන් වැඩි කොටසක් සමාජවාදී පරමාදර්ශය වෙනුවෙන් කැප කළ පුද්ගලයෙකි. ඔහු නීතිඥයකු බවට පත්වීමෙන් පසුව පවා දීර්ඝ කාලයක් නීතිඥ වෘත්තියේ නොයෙදී කොමියුනිස්ට් පක්ෂයෙන් ලැබෙන රුපියල් 80ක මාසික දීමනාවකට කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණකාලීනයකු වශයෙන් වැඩ කළේය. ඔහුගේ එකම දරුවා ඉපදුණු අවස්ථාවේදී පවා පක්ෂයේ වැඩ සඳහා පිටස්තර ප්රදේශයකට යන්නට සිදුවී තිබීම නිසා දරුවා හෝ මව බැලීමට රෝහලට යන්නට පවා සිදු නොවූ බව ඔහු මා සමග කීවේ මහත් සංවේගයකින් යුතුවය. පරමාදර්ශය බිඳවැටීමෙන් පසුව යළි අලුතෙන් නැගී සිටීමට සුරංජිත්ට වෙනත් බොහෝ අයට නැති වාසිදායක වටාපිටාවක් තිබුණේය. ඒ නිසා ඔහුගේ ජීවිතය කාලකණ්ණි වූයේ නැත. එහෙත් පරමාදර්ශී ලෝකයක් වෙනුවෙන් ඇපකැපවූ බොහෝ දෙනකුට පරමාදර්ශය බිඳවැටීමෙන් පසුව යළි නැගීසිටීමට ශක්තිමත් පසුබිමක් නොතිබුණේය. ඒ නිසා සමහරුන්ට හොඳ ජීවිතයක් අත්පත් කරගැනීම සඳහා අධික වේගයෙන් දුවන්නට සිදුවීම නිසා ඔවුහු සමාජයේ හාස්යයට බඳුන් වූ පිරිසක් බවට පත්වූවෝය. එසේ නොවන අයගේ ජීවිත කාලකණ්ණි වූයේය.
ලිලී මල හා මාඕ සේතුං
මා සමාජවාදී පරමාදර්ශය වෙනුවෙන් විශේෂ උනන්දුවකින් ක්රියාකළ පුද්ගලයකු වුවද එම පරමාදර්ශය කඩාබිඳවැටෙන්නට පෙර එහි ඇති නිරර්ථකභාවය තේරුම් ගෙන එයින් ඉවත්වූ පුද්ගලයකු වීම හේතු කොටගෙන දේශපාලන අතරමංවීමකට ගොදුරු නොවී සිටීමේ හැකියාව මට ලැබී තිබුණේයැ”යි කිව හැකිය. 71 කැරැල්ලේ සිරකරුවකු බවට පත්වීමෙන් පසුව මාක්ස්වාදී ව්යාපාරයේ සමස්ත වැඩසටහන මට පෙනුණේ යහපත් අරමුණු ඇතිව වුවත් බලහත්කාරයෙන් ගොඩනගන්නට යන මනෝරාජික වැඩපිළිවෙළක් ලෙසය. ඒ නිසා කල්තියා මාක්ස්වාදයට ආයුබෝවන් කීමේ හැකියාව මට ලැබී තිබුණේය. මාඕ සේතුං ජීවතුන් අතර සිටියදීම ඔහුගේ පළමු මරණ සංවත්සරය අළලා මම හිරගෙදර සිටියදී කෙටිකතාවක් ලීවෙමි. තියන්මින් චතුරස්රයේ ඇති මාඕ සේතුංගේ පිළිරුව ඉදිරියේ දහවල් කාලයේ ලක්ෂ ගණනක මිනිසුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද උපහාර උළෙලකින් ආරම්භ කැරෙන එම කතාව අවසන් වන්නේ මිනිසුන්ගෙන් තොර සඳ ඇති එදින රාත්රියේ පිළිරුව ඉදිරියේ ඇති අලුතෙන් පිපෙන ලිලී මලක් හා මාඕ සේතුංගේ පිළිරුව අතර කැරෙන පිළිසඳරකිනි. පිළිරුවේ සිටින වීරයා කෙරෙහි මහජනතාව අතර ඇති ගෞරවයේ ප්රමාණය තමන් දහවල් කාලයේ හොරෙන් දැක බලාගත් බව මල මාඕ සේතුංට ගෞරව පූර්වකව පවසන්නේය. එහෙත් පිළිරුවේ සිටින මා ඕ සේතුං ඊට පිළිතුරු වශයෙන් මලට කියන්නේ ඒ ජනතාවම කවදා හෝ තමන්ගේ පිළිරුවට කෝපයෙන් පහරදෙන තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ සමග ඇතිවන බිහිසුණු විදුලි කෙටීමකින් පිළිරුව දෙදරා ඉරිතැලෙන අතර මලද කැබලි වී යන්නේය. කොටුරූල් එක්සයිස් පිටු හතරකට සීමාවූ මෙම කෙටිකතාව මට ලස්සන අකුරින් පිටපත් කර දුන්නේ මා සමග හිරගෙදර ජීවත් වූ යක්කුරේ රතනසාර නමින් වන හිමිනමකි. එම කෙටිකතාව දේශපාලන සිරකරුවන් අතර අතින් අතට යන කෙටිකතාවක් බවට පත්විය. ඒ කතාව කියවූ බොහෝ දෙනකු මා ප්රතිගාමී අදහස් දරන්නකු ලෙස සැලකූ බවට සැකයක් නැත. එහෙත් මා එම කෙටිකතාවෙන් පළ කළ අනාවැකිය මාඕ සේතුංගේ මරණයෙන් කලකට පසුව සැබෑ වූවේයැ”යි කිව හැකිය.
නුවර පාඨකයා ජනතා විමුක්ති පෙරමුණ ආශ්රයෙන් බිහිවී තිබෙන ජන අරගල ව්යාපාරය පිළිබඳව අසන ලද පිළිතුරට මට දිය හැකි ඍජු පිළිතුරක් නැතත්, අනියම් ලෙස දිය හැකි පිළිතුරක් තිබෙන්නේය. පිළිතුර මගේ නොව සමසමාජ ව්යාපාරයේ න්යායවාදියා ලෙස සැලකිය හැකි ලෙස්ලි ගුණවර්ධනගේය. එය ඔහුගේ අවසාන කාලයේ මා සමග ඇතිවූ දීර්ඝ කතාබහකදී සමසමාජ පක්ෂයේ ඇතිවූ මහා බිඳීම ලෙස සැලකිය හැකි නව සමසමාජ පක්ෂය බිහිවීම පිළිබඳව මා සමග පළ කරන ලද අදහසකි. ඔහු මට අදහස් පළකළේ සමසමාජ පක්ෂය තරුණ පරපුරක් බිහිකිරීමට අසමත් වූයේ ඇයිද යන ප්රශ්නයට දෙන ලද පිළිතුරක් වශයෙනි.
ලෙස්ලිගේ අර්ථකථනය
සමසමාජ පක්ෂය ඊළඟ නායකත්වය ගැනීමට සුදුසු ඉතාමත් බුද්ධිමත් තරුණ පරපුරක් බිහිකිරීමට සමත්වූ බව ඔහු කීවේය. ඒ සමග ඔහු නම්වැලක්ද කියාගෙන ගියේය. ඒ නම්වැලට ඇතුළත් නම් අතර වාසුදේව නානායක්කාර, වික්රමබාහු කරුණාරත්න, කුමාර් ඩේවිඩ්, සුමනසිරි ලියනගේ, නලින් ද සිල්වා යනාදී නම්ද වූ බව මතකය. මෙම ලැයිස්තුවට ඇතුළත් කළ යුතුව තිබෙන මට මතක නැති තවත් නම්ද තිබුණේය.
ලෙස්ලි ආචාර්ය වික්රමබාහු කරුණාරත්න ගැන කතා කළේ දේශපාලන තරහකින්ද යුතුවය. සමසමාජ පක්ෂය ඉතා හොඳ බුද්ධිමත් තරුණ පරපුරක් බිහි කර තිබුණු බවත්, ඒ පිරිස හරි මාර්ගයක රැගෙන යනවා වෙනුවට වික්රමබාහු ඔවුන් දේශපාලන වශයෙන් වල්මත් කළ බවත් ඔහු කීවේය. තමා විරුද්ධවන්නේ පක්ෂය තුළ බිඳීමක් ඇති කළාට නොව, බිඳීමක් ඇති කිරීමෙන් එකතු කරගත් තරුණ පිරිස ආශ්රයෙන් සමසමාජ පක්ෂයේ තැන ගැනීමට සමත් වඩා ශක්තිමත් හා හොඳම ව්යාපාරයක් ඇති නොකර එම තරුණ පිරිස වල්මත් කිරීම ගැන වන බවද ලෙස්ලි කියා සිටියේය.
වික්රමබාහු කරුණාරත්නද දේශපාලන අරමුණක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කළ පුද්ගලයෙකි. ඔහුට සැප සම්පත්වලින් දියුණුව කරා යෑමට අවශ්ය වී නම්, ඒ සඳහා අවශ්ය සුදුසුකම් නොමඳව තිබුණේය. ඒ ගුණයහපත්කම එසේ තිබියදීත් ලෙස්ලි කරන ලද විචාරය තුළද සත්යයක් තිබෙන්නේයැ”යි මම සිතමි. වික්රමාබහුට කළ හැකිවූයේ එම පක්ෂය තුළ විශාල බෙදීමක් ඇති කිරීම පමණය. එම බෙදීම වඩා බලවත් දේශපාලන ව්යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ඔහු අසමත් විය. ලෙස්ලි කල්පනා කළ බව පෙනෙන්නේ එක්කෝ එම උගත් තරුණ පිරිස පක්ෂය තුළ ඉන්නට ඉඩදී විප්ලවකාරී ලෙස එහි බලය අල්ලා ගනිමින් හෝ පැරැන්නන් මියගිය පසු එහි අනුප්රාප්තිකයකු වීම මගින් හෝ වඩා බලවත් ලෙස පක්ෂය ඉදිරියට ගෙන යායුතුව තිබුණු බවය. පක්ෂයෙන් කැඩී වෙන්ව යනවා නම් සමසමාජ පක්ෂයේ තැන ගැනීමට තරම් බලවත් ව්යාපාරයක් ඔවුන් ගොඩනැගිය යුතුව තිබුණු බවය. එම බෙදීම දෙස ආපසු හැරී බලන විට එම බෙදීම් එම පක්ෂය තුළ ඇතිවූ බලවත්ම හා ආකර්ෂණීය බෙදීම්වීයැ”යි කිව හැකිය. සමසමාජ පක්ෂයේ වර්ණවත්ම තරුණ පිරිස සිටියේ නව සමසමාජ පක්ෂය සමගය. එහෙත් එය වඩා හොඳ හා ශක්තිමත් ප්රතිඵලයක් ඇති කිරීමට සමත් නොවීය. අවසාන විග්රහයේදී ඒ නිසා සිදුවූයේ සමසමාජ ව්යාපාරයේ අභාවය ඉක්මන් වීම පමණය.
ජනතා විමුක්ති පෙරමුණේ ඇතිවී තිබෙන බෙදීමටද ලෙස්ලි මතු කළ ගැටලුව අදාළය. ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට වඩා හොඳ හා ශක්තිමත් ව්යාපාරයක් ඇති කරගැනීමට අසමත් වෙතොත් එය ජනතා විමුක්ති පෙරමුණේ අභාවය ඉක්මන් කරන සාධකයකට සීමාවූ දෙයක් බවට පත්විය හැකිය.
මෙම සාකච්ඡාවේදීම මා ලෙස්ලිගෙන් අසන ලද තවත් ප්රශ්නයක් හා ලෙස්ලි ඊට දෙන ලද පිළිතුරද මෙහි සඳහන් කළ යුතුය. එයද අප දැන් කරන කතිකාවට අදාළය. සමාජවාදය ප්රායෝගික නොවන ලස්සන දේශපාලන සිහිනයක් පමණක් විය නොහැකිද යන්න මා ඔහුගෙන් නගන ලද ප්රශ්නය විය. ඔහු ඊට දෙන ලද පිළිතුර මාගේ පුදුමයට හේතුවූවේය.
“සමහරවිට එහිදී ඔබ නිවැරදි ඇති.” බව කියමින් ඔහු මෙසේද කීවේය. “එහි හරි වරද දැකීමේ හැකියාවක් අපට නැහැ. අප හිතන්න පුරුදුවෙලා ඉන්නේ එකම විදියකට. අපේ හැම දැති රෝදයක්ම කැරකෙමින් තිබෙන්නේ එයට හුරුපුරුදු එකම විදියකට. අලුත් විදියකට සිතීමේ හැකියාව අපට නැහැ. එහෙත් ඒ හැකියාව ඔබ වැනි අලුත් පරපුරට තිබිය හැකියැ”යි ඔහු කීවේය.
පැරණි වම හා නව වම
සාම්ප්රදායික වමේ ව්යාපාරය ගැන හරි විචාරයක් ජවිපෙට නොතිබුණේය. මා ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයකු වී සිටියදීත් සාම්ප්රදායික වමේ පක්ෂ ගැන එම පක්ෂයට තිබුණු විග්රහය මගේ සතුටට හේතුවූයේ නැත. සාම්ප්රදායික වාමාංශික නායකයන් මාක්ස්වාදය තෝරා ගැනීමට බලපා තිබුණේ බුද්ධිමය හේතූන්ය. අනෙක් අතට ජවිපෙ නව තරුණ පරපුර මාක්ස්වාදය තෝරාගැනීමට බලපා තිබුණේ බුද්ධිමය හේතූන්ට වඩා පීඩාකාරී වෙනත් හේතූන්ය. ඒ නිසා ඔවුන් දේවල් දැක්කේ වෛරයකින් හා කෝපයකින් යුතුවය. ඒ නිසා දේවල් සන්සුන්ව දැකීමේ හා විග්රහ කිරීමේ හැකියාවක් ඔවුන්ට නොතිබුණි. ඊට වෙනස්ව සාම්ප්රදායික වමේ නායකයන්ට සන්සුන්ව දේවල් දැකීමේ හා විග්රහ කිරීමේ හැකියාව තිබුණේය.
සාම්ප්රදායික වාමාංශික නායකයන් මාක්ස්වාදීන් ලෙස පෙනීසිටියද ඔවුහු අර්ධ වශයෙන් මිස පූර්ණ මාක්ස්වාදීහු නොවූහ. ඔවුන්ගේ අනෙක් අර්ධය, ලිබරල් ප්රජාතන්ත්රවාදී විය. මහජන බලයක් තිබුණද ඔවුහු ඒ බලය ප්රචණ්ඩ විප්ලවයක් සඳහා කරන සාහසික අත්හදා බැලීම් සඳහා යොදා නොගත්තෝය. ඔවුහු පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදී දේශපාලන රාමුවේ ඉඳිමින් යහපත් රටක් ගොඩනගන්නට උත්සාහ කළෝය. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී සම්ප්රදායයක් ඇතිකිරීමෙහිලා, ඔවුන් ලබාදී තිබෙන දායකත්වය කැපී පෙනෙන තරම් විශාලය. මා හිතන අන්දමට ඔවුහු අර්ධ මාක්ස්වාදීන් හා අර්ධ ලිබරල්වාදීන් වනවාට අතිරේකව වර්ගවාදී නොවී, ජාතිකවාදීන් වීමට සමත් වූවාහු නම් ඔවුන්ට රටේ පාලන බලය හිමිවන්නට ඉඩ තිබුණි. පාලන බලය නැතුවද සමාජ උන්නතිය වෙනුවෙන් ඔවුහු කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කළෝය. රටේ ඇතිවී තිබෙන ඉතා වැදගත් සමහර ප්රතිසංස්කරණ සිදුවූයේ ඔවුන්ගේ බලපෑම නිසාය.
පැරණි වම සම්බන්ධයෙන් වන රෝහණ විජේවීරගේ ප්රවේශය මුළුමනින් වැරදිය. පැරණි වමේ බුද්ධිමය සම්ප්රදායයන් ආරක්ෂා කරගනිමින් මිස ඒවා බැහැර කිරීමෙන් සාර්ථක ඉදිරි ගමනක් යා නොහැකිය. ඒ වරද නිවැරදි කිරීමට ජන අරගල ව්යාපාරයද සමත්වී තිබෙන බවක් පෙනෙන්නට නැත. අනෙක් අතට රෝහණ විජේවීර සුරුවමක් කරගැනීමට හා ඔහුගේ උරුමය හිමිකර ගැනීමට දරන උනන්දුව තුළින් පෙනෙන්නේ රෝහණ විජේවීර දක්වා ඉදිරියට යන ස්වයං විවේචනයක් එම ව්යාපාරයට නැති බවය. කෘෂොව් සිය ස්වයංවිවේචනය ස්ටැලින්ගේ තැනින් නතර කළා සේ ම ජනඅරගල ව්යාපාරයද සිය විවේචනයන් වර්තමාන නායකයන්ට පමණක් බලපාන ආකාරයට සීමාකර තිබෙන බව පෙනේ. ජවිපෙ ක්රියාවට නගන ලද කැරලි දෙක ගැන ඔවුන්ට ස්වයංවිවේචනයක් ඇති බවක්ද පෙනෙන්නට නැත. ජන අරගල ව්යාපාරය යන නම අපට වහාම සිහිගන්වන්නේ අරාබි වසන්ත ව්යාපාරයයි. අරාබි වසන්තය බාහිර පෙනුමෙන් ඉතාමත් වර්ණවත් වුවද ඔවුන් දැන සිටියේ ඒකාධිපති පාලකයක් පලවා හරින්නට හෝ ඔවුන් මුසපත් කරන්නට පමණය. ඉන් එහාට ගිය ඉදිරි දැක්මක් හෝ වැඩපිළිවෙළක් ඔවුන්ට නොතිබුණේය. ඇමරිකන් වාණිජ ධනවාදයේ අධික කෑදරකමට එරෙහිව පැනනැගි ව්යාපාරයක් ලෙස සැලකිය හැකි තාප්ප වීදිය අත්පත් කරගැනීමේ මහජන ව්යාපාරය පවා අරාජික දර්ශනයක් වෙනුවෙන් පෙනීසිටින ව්යාපාරයකි. එම ව්යාපාරයට යාහැකි දුරේ ප්රමාණය ඔවුන්ගේ ප්රකාශිත දර්ශනය තුළ ගැබ්ව ඇතැ”යි කිව හැකිය. ශ්රී ලංකාවට වර්තමානයේ අවශ්ය වී තිබෙන්නේ එවැනි ව්යාපාර නොව, හරි ඉදිරි දැක්මක් ඇති ව්යාපාරයන්ය.