රාවය පවත්වන්නට සැලසුම් කර තිබෙන 25 වැනි සංවත්සරය ගැන ලිවීමේ අදහසක් තිබුණද මොන මොන හේතු නිසා හෝ ඒ ගැන ලිවීමක් සිදුවූයේ නැත. සර්වෝදයේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මව්බිම පුවත්පතට සිය ජීවිතය අළලා ලබාදී තිබුණු සම්මුඛ සාකච්ඡාවකදී රාවයේ උත්පත්තිය ගැනද පුංචි සඳහනක් කර තිබුණු අතර ඒ සඳහනේ එන තොරතුරු අර්ධ වශයෙන් මිස මුළුමනින් නිවැරදි නොවීම හේතු කොටගෙන එය රාවයේ 25 වන සංවත්සරය ගැන ලියන්නට මට ලැබුණු හොඳම නිමිත්තක් වීයැ”යි කිව හැකිය.
එම සම්මුඛ සාකච්ඡාවේ “මව්බිමේ” ශාන්ත බණ්ඩාර රාවය ගැන අසා තිබුණු ප්රශ්නය හා සර්වෝදයේ නායකයා ඊට ලබාදී තිබුණු පිළිතුර මෙසේය.
“ඔබ රාවය සඟරාව පටන් අරගෙන ලංකාවට විකල්ප මාධ්ය කලාවක් බිහි කළා නේද?”
ඒ කාලේ නිදහස් මාධ්යයක් කියලා තිබුණේ නැහැ. ඔක්කොම හිරකරලා තිබුණේ. ඔය වෙලාවේදී වික්ටර් අයිවන් රටට නිදහස් මාධ්යයක් අවශ්යයි කියන දේ මට කිව්වා. නිකමට වගේ කොළ කෑල්ලක රාවය කියලා ලියලා තිබ්බා. මා දන්නෙ නැහැ එයත් රාවය කියලා ලියාගෙන ඇවිත් තිබුණා. මං ළඟ තිබුණු කොළ කෑල්ල මං පෙන්නුවා. නමුත් මම දැනගෙන හිටියා මගෙන් ප්රයෝජන ගන්න මිනිස්සු අබමල් රේණුවක තරම් උදව්වක් මට කරන්නේ නැහැ කියලා. රාවයට මං මිලියන තුනහමාරක් වියදම් කළා. පත්තර විකිණුණත් මට සල්ලි ලැබුණේ නැහැ. මං ඉවත් වුණා. අන්තිමට වික්ටර් ඒ පත්තරෙන්ම මට ගැහැව්වා.”
එය රාවය ගැන කර තිබෙන කෙටි ප්රකාශයක් වුවද එය මා ගැනත් රාවය ගැනත් ලබාදෙන හැඟීම මුළුමනින් වැරදිය.
උත්පත්ති කතාවේ ඇත්ත සුලමුල මෙසේය.
විස්තරාත්මක ලෙස නොවෙතත් ඒ ගැන ලුහුඬු විස්තරයක් මගේ “පෑන අහිංසකද?” යන පොතටද ඇතුළත්ය.
සඟරාවක් ආරම්භ කිරීමට මුලින්ම අතදෙන ලද පුද්ගලයා ඔහුය. ඒ ගැන ඔහුට හිමිවිය යුතු ගෞරවය ඔහුට හිමිවිය යුතුය. එහෙත් එම ගෞරවය දුර්වර්ණ කිරීමට හේතුවූ දේවල්ද පසුව සිදුවිය. රාවය නම ගැන කතාව හා සඟරාව ආරම්භ කිරීමට විශාල මුදලක් ඔහු වියදම් කළේය කියන කතාව වැරදිය. මෙම උත්පත්ති කතාවේ සුලමුල දන්නා කිහිපදෙනෙක් අදත් ජීවතුන් අතර සිටින්නෝය. අරිසෙන් අහුබුදු ශූරීන්ගේ බිරිඳ ඉන් එක් අයෙකි. විශ්වලේඛා මුද්රණ ආයතනයේ ප්රධානියා ලෙස ක්රියා කළ සුසිරි ද සිල්වා තවත් අයෙකි. රාවයේ නියෝජ්ය කර්තෘ ලෙස වැඩ කළ උපාලි කොළඹගේ හා රාවයේ ප්රධාන චිත්ර ශිල්පී ලෙස වැඩ කළ අශෝක පද්මසිරි එම තොරතුරු දන්නා තවත් දෙදෙනෙකි.
සඟරාවක් ආරම්භ කිරීම සඳහා වන සමස්ත සැලැස්ම මගේය. මුද්රණය කොට විකුණා වියදම් පියවීමේ පදනම මත එය ආරම්භ කිරීමට අවශ්ය මුද්රණ පහසුකම් සර්වෝදයට අයත් රත්මලානේ විශ්වලේඛා මුද්රණාලයෙන් ලබාදෙන ලදි. ආචාර්ය ආරියරත්නගෙන් වෙන් වන තෙක් සියලු මුදල් කටයුතු භාරව ක්රියාකළේද විශ්වලේඛා ආයතනයේ ගණකාධිකාරීවරයාය. රාවය විකුණන වෙළෙඳුන්ගෙන් මුදල් එකතු කිරීමට යොදා තිබුණේද සර්වෝදයේ නිලධාරියෙකි. එකතු කරන මුදල් කෙළින්ම ගියේ සර්වෝදයේ ගණකාධිකාරීවරයා අතටය.
ආරම්භක ප්රචාරක වියදම පවා පැවතියේ ඉතාමත් අවම තත්ත්වයකය. රතු හා කළුපාටින් මුද්රණය කරන ලද පෝස්ටරයක් පූර්ව ප්රචාරය සඳහා යොදා ගැනුණු එකම ප්රසිද්ධ මාධ්යය විය. එම පෝස්ටරයද ඩිමයි කොළයක මිස, හොඳ කොළයකවත් මුද්රණය කරන ලද්දක් නොවීය. මුද්රණය කරන ලද පෝස්ටර් සංඛ්යාව 5000කි. හොඳ සඟරාවක් බිහිකිරීම මගින් කටින් කට යන ප්රචාරය, අපේක්ෂා කළ ලොකුම ප්රචාරක මාර්ගය විය.
සර්වෝදයට දැවැන්ත හා නවීන මුද්රණ ආයතනයක් තිබුණද එම දැවැන්ත ආයතනය පවත්වාගෙන යෑමට අවශ්ය තරම් වැඩ ඊට නොතිබුණි. එම ආයතනය පාසල් පොත් මුද්රණය කරන තැනකට ගියේ පසුකලකය. ඒ කාලයේ රාවය සඟරාව මුද්රණය කිරීම විශ්ලේඛා ආයතනයට තිබුණු ලොකුම මුද්රණ ඇණවුම ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් වසර 06ක් රාවයෙන් ලාභ ඉපැයූ ආයතනය බවට පත්ව තිබුණේ සර්වෝදයේ විශ්වලේඛා ආයතනය මිස මා වත් රාවය කාර්ය මණ්ඩලය වත් නොවේ. පළමු මුද්රණ ඇණවුම පිටපත් 10,000ක මට්ටමක තිබුණද ඉන්පසු එහි සාමාන්ය මාසික අලෙවිය පිටපත් 40,000ක මට්ටමකට ඉහළ ගියේය. එකම පිටපතක්වත් ඉතුරු නොවන තරමටම සියලු පිටපත් විකිණුණු අවස්ථාද තිබුණි. එහෙත් පිටපත් 40,000ක් මුද්රණයේදී එක් පිටපතක් සඳහා අය කැරුණු මිල පිටපත් 10,000ක් මුද්රණය කැරුණු අවස්ථාවේදී එක පිටපතක් සඳහා අය කැරුණු මිලම විය. සර්වෝදය විශ්වලේඛා ආයතනයේ මුද්රණ මිල ගණන් සාමාන්ය මුද්රණ වෙළෙඳපොළේ මිල ගණන් මෙන් 100%ක්ම වැඩි බව අප දැනගත්තේ බිඳීමක් ඇතිවූ අවස්ථාවේදීය. බිඳීමෙන් පසුව ආරම්භක ලොකු මුදලක් අතේ නැතිව අමාරුවෙන් වුවත් අපට රාවය පවත්වාගෙන යා හැකිවූයේ විශ්වලේඛා මිල ගණන් හා මුද්රණ වෙළෙඳපොළේ මිල ගණන් අතර පැවති ඒ විශාල වෙනස නිසාය. මගේ මතය අනුව රාවය සමග කරන ලද ගනුදෙනුවෙන් සර්වෝදය මුද්රණාලය උපයා ගන්නා ලද ශුද්ධ ලාභය අතිවිශාලය. ඒ අර්ථයෙන් ණයගැතිකමක් ඇතොත් ඇත්තේ රාවය සර්වෝදයට නොව, සර්වෝදය රාවයටය.
රාවය ඒ වසර කිහිපයේදී සර්වෝදය ලබාදී තිබුණු පහසුකම්වලින් ප්රයෝජන ගත්තේය. අනෙක් අතට සර්වෝදයද ඒ ලබාදෙන ලද පහසුකම් සඳහා මුද්රණ ඇණවුමෙන් උපරිම ලාභයක් උපයා ගත්තේය.
රාවය නමැති නම පිළිබඳව ඔහු කියා තිබෙන දේවල්ද සත්යයෙන් තොරය. ඔහුට අනුව නම පහළ වී ඇත්තේ ආශ්චර්යමත් ආකාරයටය. ඔහු කොළ කැබැල්ලක රහසේ ලියා තබාගෙන තිබුණු නම හා මා ප්රකාශ කළ නම එක සමානය. එහෙත් ඇත්ත දේ නම් රාවය යන නමට ඔහුගේ මොනම සම්බන්ධයක්වත් නොතිබුණු බවය. නම මගේ ඔළුවේ තිබුණු නමකි. සුදුසු නම් කිහිපයක් එවන ලෙස ඔහු අරිසෙන් අහුබුදු ශූරීන්ට දැනුම් දී තිබුණු අතර අහුබුදු ඒ සඳහා නම් වැලක්ම අප වෙත එවා තිබුණි. එහෙත් ඒ එකම නමක්වත් මගේ සතුටට හේතු නොවීය. ඒ නිසා මා තෝරාගත්තේ මගේ හිතේ තිබුණු නමය.
ආචාර්ය ආරියරත්න හා ඔහුගේ සර්වෝදය ව්යාපාරය ගැනද, බිඳීමක් ඇතිවීම කෙරෙහි බලපෑ හේතූන්ද සැකෙවින් සාකච්ඡා කිරීම වැදගත්ය.
ඒ කාලයේදීත් ආචාර්ය ආරියරත්න මහතා හා මා අතර කිසිදු දෘෂ්ටිමය එකඟතාවක් නොතිබුණි. ඔහු පෙනීසිටියේ ගාන්ධිවාදියකු ලෙසය. මා ද ගාන්ධිවාදියකු වුවත් මාගේ ගාන්ධිවාදය හා ඔහුගේ ගාන්ධිවාදය එක සමාන නොවීය. මට ගාන්ධි වැදගත් වනුයේ ගාන්ධි දේශනා කළ හැමදෙයක්ම නොව යුක්තිය දිනාගැනීම සඳහා ඔහු හඳුන්වා දෙන ලද අහිංසාවාදී සටන් ක්රමය, ඊට අදාළ භාවිතය හා ඒ සඳහා යොදා ගැනුණු දාර්ශනික ප්රවේශයයි. මට ආචාර්ය ආරියරත්න අද නොව ඒ කාලයේද පෙනුණේ ගාන්ධිවාදයේ අභ්යන්තර හරය වෙනුවට බාහිර ආටෝපය වැළඳගත් පුද්ගලයකු ලෙසය. අවස්ථා කිහිපයකදී මා ඒ බව ඔහුට ප්රකාශ කර තිබුණි. ඔහුගේ මූලස්ථානයේ ප්රදර්ශනය කර තිබෙන දේවල් අතර ලොකු කූඩුවක ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ තඩි බල්ලෙක් ද සිටියේය. නිර්මාංශභක්ෂක වාදයකට මේ බල්ලා නොගැළපෙන බව ඔහුට මම විහිළුවට මෙන් කියා සිටියෙමි. බල්ලා දකින ඕනෑම කෙනකුට ඌ නිර්මාංශ ආහාරවලට සීමාවූ බල්ලකු නොවන බව බැලූ බැල්මට පෙනුණේය. ආචාර්ය ආරියරත්න නවීන පන්නයේ සුඛෝපභෝගී වාහනවලට ප්රිය කළේය. ඔහු පරිහරණය කළ වාහන හා ඇමතිවරුන් පරිහරණය කරන වාහන අතර වෙනසක් නොවීය. ගාන්ධිවාදියකු පයින් හෝ කරත්තයකින් ගමන් කළයුතු නැතත්, සරල වාහනයක් වෙනුවට ඉතා මිල අධික සුඛෝපභෝගී වාහන පරිහරණය මහජනයා තුළ ඇතිකරන හැඟීම යහපත් නොවන බව මම වරක් ඔහුට කියා සිටියෙමි. මා එසේ කී විට මා කියන කතාවේ ඇත්තක් තිබෙන බව කියාසිටියද ඔහු සිය පුරුද්ද අත්නොහැරියේය. ඔහු වරක් සර්වෝදය ව්යාපාරය ප්රතිසංස්කරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කළේය. මා ඔහුගේ සර්වෝදය දෘෂ්ටිය පිළිගත්තකු නොවන බව ඔහු දැනසිටියද වෙනස් තාලයකට හිතන මිනිසකු ලෙස ඔහු ඒ කමිටුවට මාවද සම්බන්ධ කරගත්තේය. මා සර්වෝදය ඒ වන විට තේරුම් ගෙන තිබුණු ආකාරයට සර්වෝදය පිරමීඩයේ හැම වැදගත් තැනකම සිටියෝ සර්වෝදය නායකයාගේ ළඟ ඥාතීහුය. ප්රතිසංස්කරණ වැඩසටහනේ ඉලක්කය වූයේ සර්වෝදයේ වර්ධනය වේගවත් කිරීමය. දිස්ත්රික් නායකයන්, නායකයාගේ නාමකරණයෙන් පත් කරන ක්රමයක් වෙනුවට දිස්ත්රික් කමිටු සාමාජිකයන්ගේ රහසිගත ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ක්රමයක් ඇති කරන ලෙසත්, ඒ මගින් පමණක් සර්වෝදයේ වර්ධන වේගය දෙගුණ කළ හැකිවනු ඇති බවත් මම කියා සිටියෙමි. මාගේ එම යෝජනාවන් සමග කමිටුවේ වැඩපිළිවෙළද අවසන් විය.
තමා කොයි මොහොතක හෝ මේ රටේ රාජ්ය නායකයා බවට පත්වනු ඇතැ”යි කියන අදහසක් ඔහු සිය අනුගාමිකයන් අතර ඇතිකර තිබුණි. වෙනත් කවර නායකයකුටවත් නැති තරම් මහජන බලයක් හා මහජන විශ්වාසයක් තමන්ට ඇතැ”යි කියන මිථ්යා විශ්වාසයක්ද ඔහු තුළ තිබුණි. ඇත්තටම ඔහුට බලයක් තිබුණේ ඔහුගේ ව්යාපාරයෙන් යැපෙන මිනිසුන් අතර පමණය. ඉන් එහා ගිය මහජන බලයක් ඔහුට නොතිබුණි. ඔහු රාවයට උදව් කළද ඔහුගේ ප්රතිරූපය ගොඩනැගීමේ ක්රියාවලියේදී රාවය ඔහුට උදව් නොකරන්නේය කියන මතයක්ද ඔහුට තිබුණි. ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු ඒ ගැන විටින් විට මා සමග කතා කරද තිබුණි. අපේ සර්ට ප්රමාණවත් තරමේ ආවරණයක් නොදෙන්නේ ඇයිද යන ප්රශ්නය ඔවුහු විවිධ ආකාරවලින් මතු කරන ලදහ. මා ඔවුන්ට දෙන ලද පිළිතුර වූයේ සර්වෝදය හා රාවය එක ව්යාපෘතියක් නොව ව්යාපෘති දෙකක් බවය. ඒ දෙකේ අරමුණු එකක් නොව දෙකක් බවය.
මේ සීමාසහිතකම් තිබියදීත් ඔහු රටට, විශේෂයෙන්ම ගම්වල අවවරප්රසාදිත තරුණ තරුණියන්ට විශාල සේවයක් කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. සර්වෝදය, ගම්වල අවවරප්රසාදිත තරුණ තරුණයන්ට, අධ්යාපනයෙන් පසුව වඩා හොඳ රැකියාවක් ලැබෙන තෙක් තෝරාගැනීමට තිබුණු එක් ජනප්රිය අතරමැදි නවාතැන්පොළක් විය. සමාජයකට එවැනි අතරමැදි නවාතැන් පොළ අවශ්ය වන අතර එවැනි ස්ථානයක් පවත්වාගෙන යෑම යහපත් කාර්යයක් ලෙසද සැලකිය හැකිය.
සර්වෝදය නායකයා සමග බිඳීමක් ඇතිවීම කෙරෙහි බලපෑ හේතු කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය. බිඳීමක් ඇතිවීමට පෙරද ගැටුම් ඇතිවූ අවස්ථා තිබුණි. නිදර්ශනයක් වශයෙන් දෙවැනි කැරැල්ල ආරම්භවීමට පෙර පළ කරන ලද කලාපයක ගුණදාස අමරසේකරගේ හා බණ්ඩාරනායක මැතිනියගේ සම්මුඛ සාකච්ඡා දෙකක් පළවී තිබීම ඔහුගේ කෝපයට හේතුවිය. ඔහු මා ඔහුගේ කාමරයට කැඳවා ඒ ගැන සිය විරෝධය පළ කළේය. ගුණදාස අමරසේකර සමග සේ ම බණ්ඩාරනායක මැතිනිය සමගද ඔහුට පෞද්ගලික අමනාපයක් තිබුණි. තමාටවත් සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදෙන රාවය මෙවැනි වැඩකට නැති මිනිසුන් සඳහා සම්මුඛ සාකච්ඡා ලබාදෙන ප්රතිපත්තියක් තමන්ට අනුමත කළ නොහැකි බව කියා සිටියේය. ඔහු ගුණදාස අමරසේකර ගැන කතා කරන අවස්ථාවේදී ඔහුගේ වචනවල පමණක් නොව ඔහුගේ ඇස්වලද වෛරයේ ගිනිදැල් හොඳින් සටහන් වී තිබුණේය. ඔහුගේ දෝෂාරෝපණාත්මක කතාවට මම ඉවසීමෙන් සවන් දුන්නෙමි. ඉන්පසු මම ඔහුගේ මැදිහත්වීම ගැන මාගේ විරෝධය පළ කළෙමි.තරහෙන් සිටින මිනිසුන් සමග තරහක් ඇතිකර ගැනීමේ අවශ්යතාවක් මට නැති බවත් ඔහුගේ පහසුකම් සැලසීම මට අවශ්ය නොවන බවත් මම කියා සිටියෙමි. ඉන්පසු ඔහු මා සන්සුන් කළේය. ඔහුගේ ප්රවේශය වැරදි බව ඔහු පිළිගත්තේය.
බිඳීමක් ඇති කිරීමට හේතුවන ගැටුම කෙරෙහි බලපෑවේ ජේවීපී දෙවැනි කැරැල්ල හා 1988 අවසානයේ පැවති ජනාධිපතිවරණයයි. ආචාර්ය ආරියරත්න රණසිංහ ප්රේමදාස අගමැති ධුරයේ සිටියදී ඔහු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. අගමැති ප්රේමදාස ඒ කාලයේ ඔහුට සිටි ලොකු දේශපාලන වීරයෙක් විය. ප්රේමදාස අගමැතිවරයාගේ හැම ගම්උදා උත්සවයකම සර්වෝදය නායකයාටද කතාවක් ලැබුණි. ප්රේමදාස අගමැතිවරයා සර්වෝදය නායකයාට හා ඔහුගේ ව්යාපාරයට විශාල ලෙස උදව් කළේය. රටේ හැම ප්රධාන නගරයකින්ම පාහේ වටිනා නාගරික ඉඩම් ලබාගැනීමට සර්වෝදය නායකයා සමත් විය. එසේ ලබාගත් නාගරික ඉඩම්වල වටිනාකම කෝටි සිය ගණනක් විය හැකිය.
එහෙත් ජේවීපී කැරැල්ලත් සමග දේශපාලන පක්ෂපාතකමේද ලොකු වෙනසක් ඇතිවිය. ඔහු අගමැති ප්රේමදාස සමග පවත්වාගෙන ගිය ළඟ ඇසුර අත්හැර කැරැල්ලට අනියම් ලෙස ආධාර කරන කැරැල්ලේ ආධාරකරුවකු බවට පත්වූයේය. එය ප්රතිපත්තිමය හේතු නිසා නොව ජීවිත ආරක්ෂාව හා පැවැත්ම සඳහා ගනු ලැබූ ක්රියාමාර්ගයක් වන්නට ඇතැ”යි කිව හැකිය. ඔහු කැරැල්ලේ ආධාරකරුවකු වනවාට අතිරේකව 1988 ජනාධිපතිවරණයේදී සිරිමා බණ්ඩාරනායකට රහසේ ආධාර කරන ආධාරකරුවකු බවටද පත්වූයේය. බණ්ඩාරනායක මැතිනියගේ ජනාධිපති සටනට, ලොකු පෝස්ටර් තොගයක්ද මුද්රණය කර දුන්නේය. ප්රේමදාස ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුත් කැරැල්ල අවසන් නොවී තිබුණු තත්ත්වයක් තුළ ඔහු කැරැල්ල ජයගනු ඇතැ”යි විශ්වාස කළේය.
ප්රේමදාස ජනාධිපතිවරයා කැරැල්ල ජයගැනීමෙන් පසුව සිය පරණ මිතුරාගෙන් පළිගත්තේය. ආචාර්ය ආරියරත්න මෙම ආරාවුල වෙනත් අයට විග්රහ කරන්නට උත්සාහ කළේ රාවය පළකිරීම නිසා ඇතිවූ ප්රශ්නයක් ලෙසය. එහෙත් ජනාධිපති ප්රේමදාසගේ කෝපයට හේතුවී තිබුණේ රාවය නොව ආචාර්ය ආරියරත්නය. තමන්ගෙන් උපරිම ලෙස උදව් ලබාගෙන තමන් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවේදී තමන් විනාශකිරීමේ හෝ පරාජය කිරීමේ අරමුණින් ක්රියාකළ ව්යාපාර දෙකකට ආධාර කිරීම ආරියරත්න කෙරෙහි ඔහු ඇති කරගෙන තිබුණු කෝපය කෙරෙහි බලපෑ ප්රධාන හේතුවිය. මම ඒ බව හොඳින් දැනසිටියෙමි. ජනාධිපතිගේ විශ්වාසවන්ත සගයන්ගෙන් කෙනෙකු හෝ දෙන්නෙකු මමද දැනසිටියෙමි. ඉන් එක් අයෙක් වූයේ දයාන් ජයතිලකය. ඔහු ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විය. ආචාර්ය ආරියරත්න ඒ බව නොසලකා රාවය පළකිරීම අත්හිටුවීම මගින් ජනාධිපතිවරයාට තමන් තුළ ඇති පක්ෂපාතීභාවය ප්රදර්ශනය කිරීමට උත්සාහ කළේය. ඔහු රාවය මුද්රණය කිරීමෙන් වළකින ලෙසට විශ්වලේඛා ආයතනයට දැනුම් දී තිබුණු අතර ඒ බව විශ්වලේඛා ආයතනය අපට දැනුම් දුන්නේය.
ඒ තත්ත්වය ඉදිරියේ අපට වෙන්වෙනවා හැරෙන්නට තෝරාගැනීමට අන් විකල්පයක් නොවීය. රාවයට ස්ථාවර වෙළෙඳපොළක් තිබුණේය. සතිඅන්ත පුවත්පතක් බවට පරිවර්තනය කර තිබුණු රාවයට ඒ අවස්ථාවේදී තිබුණු වෙළෙඳපොළේ ප්රමාණය සතියකට පිටපත් 60,000කි. අපි පුද්ගලික මුද්රණකරුවන්ගෙන් මිල ගණන් කැඳවීමු. ලැබුණු හොඳම මිල විශ්වලේඛා ආයතනයේ මිල මෙන් 50%ක් විය. මුද්රණකරු විශ්වලේඛා මිල ගණන් දැන නොසිටියේය. මිල ගණන් තවදුරටත් අඩු කරන ලෙස ඉල්ලා සිටි විට ඔහු කීවේ මිල ගණන් සකස් කොට ඇත්තේ මුද්රණය කැරෙන හැම පිටපතකින්ම රුපියලක මිලක් මට ලැබෙන ආකාරයට බවය. එය ඇසූ විට මට සිනා ගියේය. ඒ රුපියලත් අඩු කරන ලෙස මම ඉල්ලා සිටියෙමි. එවිට ලැබුණු මිල විශ්වලේඛා මිලෙන් 50%ක් නොව ඊටත් වඩා අඩුවිය. සර්වෝදය මුද්රණාලය ආධාර කිරීමේ මුවාවෙන් රාවයෙන් උපයාගෙන ඇති ආදායමේ දැවැන්ත බව අප හරියාකාරව තේරුම් ගත්තේ එදාය. එය සර්වෝදය කෙරෙහි කිසියම් කෝපයක් ඇති කළ සාධකයක් වීයැ”යි ද කිව හැකිය.
සර්වෝදය නායකයාට දෙන පිළිතුර ඉන් අවසන් කොට දැන් අපට රාවයේ 25 වැනි සංවත්සරය ගැන කතා කරන තැනකට ආ හැකිය. රාවයේ විසිපස් වසර සංවත්සරය හඳුන්වා ඇත්තේ “විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව” වශයෙනි. මා හිතන අන්දමට එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 25 වසරක පටිසෝතගාමී අභිචාරිකාවක් විය. එය දුෂ්කර වටාපිටාවක් මැද සමාජයට උගන්වන හා අප ඉගෙනගන්නා ක්රියාවලියයැ”යි කිව හැකිය. අප බලපාන්නට උත්සාහ කළේ ඍජු ලෙස මුළු මහත් සමාජය කෙරෙහි නොව, සමාජ සාරය ලෙස සැලකිය හැකි සිංහල සමාජයේ මත ගොඩනගන්නන් කෙරෙහිය. මුළු මහත් සමාජය කෙරෙහි බලපාන්නට උත්සාහ කළේ ඔවුන් හරහාය. එය මතවාදී ව්යාපාරයක් ලෙස සැලකිය හැකි වුවත් මතවාදී වෙළෙඳ ව්යාපාරයක් නොවීය. පුවත්පත් අලෙවි කැරුණු බව සැබෑය. ඒ අර්ථයෙන් එයද වෙළෙඳාමක් ලෙස සැලකිය හැකිය. එහෙත් ආයතනයේ සරල පැවැත්මට අවශ්ය වියදමට මිස ලාභ උපරිම කරගැනීමේ අරමුණක් එම වෙළෙඳාම තුළ නොතිබුණි. විවිධ අවස්ථාවල දේශපාලන පරිසරය විසින් ඇති කර තිබූ දුෂ්කරතාවලට අතිරේකව රාවයේ ආර්ථික දුෂ්කරතාද රාවයේ ඉදිරි ගමන කෙරෙහි බලපෑවේය.
ශක්තිමත් කණ්ඩායමක් නඩත්තු කරමින් ඔවුන්ගේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තිබුණු ආර්ථික නොහැකියාව රාවයේ ශක්තිය දුර්වල කළ වැදගත් සාධකයක් විය. මේ නිසා රාවයට එකතු වන දක්ෂයෝද සමහරවිට කලක් වැඩ කොට විවාහ වී දරු මල්ලන් ඇතිවූ පසුව ආර්ථික දුෂ්කරතා නිසා රාවය හැර ගියෝය. ඒ නිසා එකම අරමුණකට කැපවුණු එකම කණ්ඩායමක් එක දිගට රඳවා තබා ගැනීමට රාවය සමත් නොවීය. පුවත්පතේ අලෙවිය වර්ධනය කරගැනීම සඳහා වියදම් අධික ප්රචාරණ වැඩසටහන් පවත්වාගෙනයෑමේ ආර්ථික හැකියාවක්ද රාවයට නොතිබුණේය.
එවැනි දුෂ්කරතා තිබියදීත් මිනීකන කිඹුලන්ගෙන් ගහන ගඟක, උන්ට ගොදුරු නොවී, යහපත් ගුණධර්මද ආරක්ෂා කරගනිමින් ගඟ ඉහළට පිහිනීමට රාවය සමත් විය. ඉන් පෙනෙන්නේ කොතෙකුත් අයහපත් හා නපුරු දේවල් තිබියදීත් යහපත් අරමුණු වෙනුවෙන් ප්රඥාවන්ත ලෙස කරන අත්හදා බැලීම්වලට මේ රටේ ඉඩක් තිබෙන බවය. රාවයට රට මුළුමනින් වෙනස් කිරීමට හැකිවී නැති බව සත්යයකි. එහෙත් යහපත් සමාජ විපර්යාසයක් සඳහා අවශ්ය පූර්ව කොන්දේසියක් ලෙස සැලකිය හැකි විපර්යාසයක් සඳහා අවශ්ය පොදු සමාජ දෘෂ්ටියක් ඇති කිරීම සඳහා විශාල ප්රමාණයක බලපෑමක් ඇති කිරීමට හැකිවී ඇතැ”යි කිව හැකිය. පාඨකයන් තුළ උත්තේජනයක් ඇති කොට ඔවුන්ගේද ආධාර ඇතිව රාවය කියවන්නන්ගේ ප්රමාණය දෙගුණ කරගැනීම 25 වන සංවත්සරයේ එක අරමුණක් වන අතර නිදහස ලබාගැනීමේදී සම්පූර්ණ කරගැනීමට නොහැකිවූ කොන්දේසියක් ලෙස සැලකිය හැකි හා රටේ ඇතිවූ කැරලි කෙරෙහිද දේශපාලන ක්රමයේ ඇතිවී තිබෙන විකෘතිය කෙරෙහි බලපා තිබෙන ප්රධාන සාධකයක් ලෙස සැලකිය හැකි එක්සත් ශ්රී ලාංකික ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ගොඩනගා ගැනීම සඳහා සමාජ දේශපාලනය කෙරෙහි වඩා බලවත් ලෙස මැදිහත්වීම එම සංවත්සරයේ තවත් ප්රධාන අරමුණකි.
නිදහසින් පසු ගෙවී ගිය 63 වසර හා රාවය අළලා දුලබ ඡායාරූප පදනම් කොටගෙන සංවත්සරය වෙනුවෙන් කෙටි වාර්තා චිත්රපටයක් නිපදවෙමින් පවතී. එය ප්රසන්න විතානගේ, ලාල් පියසේන යන දෙදෙනාගේ සහාය ඇතිව අතුල මහවලගේ හා නිලේන්ද්ර දේශප්රිය අතින් තැනෙමින් තිබෙන නිර්මාණයකි. ඒ සියලුදෙනාගේ දායකත්වය රාවයට ලැබී ඇත්තේ කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව නොමිලේය. එම වාර්තාමය කෙටි චිත්රපටිය විශ්වවිද්යාලවලට, පාසල්වලට, කන්තෝරුවලට, වැඩපළවල්වලට හා ගම්වලටද රැගෙන යෑමට අපි අපේක්ෂා කරමු. ඒ මගින් රටේ ගමන් මග ගැන සේ ම රාවයේ භූමිකාව ගැනද අලුත් පන්නයක සංවාදයක් රටේ ජනතාව අතර ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
රාවය සංවත්සරයට සහභාගිවීමට පාඨකයන් දක්වන උනන්දුව අලුත් බලාපොරොත්තු ඇති කරන බවද කිව යුතුය. රාවය සංවත්සරයට සහභාගි වනවාට අතිරේකව රාවය කියවන්නන්ගේ ප්රමාණය වැඩිකර ගැනීම සඳහා පාඨකයන්ගෙන් ලැබෙන දායකත්වය රාවය ක්රියාකාරීත්වය ශක්තිමත් කොට පුළුල් කිරීමට හේතුවනු ඇත්තේය. ඒ සඳහා විශේෂ අදහස් හා යෝජනා ඇතොත් අප වෙත යොමු කරන මෙන්ද ඉල්ලමි.