සමනළ වැව හා හම්බන්තොට වරාය

October 2, 2011
Publication:
When giant development schemes are made by decisions taken on the political power of politicians alone, disregarding expert advice, the destruction a country can suffer is enormous. Some geologists, irrigation engineers and civil engineers had heavy criticisms of the accelerated Mahaweli scheme, and it was begun in disregard of them.

දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම ඇති කිරීමේදී විශේෂඥ උපදෙස් නොසලකා දේශපාලකයන්ට තිබෙන විශාල බලය මත පමණක් තීන්දු ගැනීමෙන් රටකට විය හැකි විනාශය අතිවිශාලය. මහවැලි කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳව ද සමහර භූ විද්‍යාඥයන්ට වාරි විද්‍යාඥයන්ට, සිවිල් විද්‍යාඥයන්ට විශාල විවේචනයක් තිබුණි. මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරය අරඹන ලද්දේ ඔවුන්ගෙන් එල්ල වන විවේචන නොසලකාය. එකල ආණ්ඩුවට හයෙන් පහක බලයක් තිබුණු අතර ආණ්ඩුව වැඩි සැලකිල්ලක් දැක්වූයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ලැබෙන දේශපාලන ප්‍රතිලාභ ගැන පමණය. යෝජනා ක්‍රමයට විවේචන ඉදිරිපත් කරන විද්‍යාඥයන් සලකන ලද්දේ කඩාකප්පල්කාරීන් ලෙසය.

එහෙත් එම ඉක්මන්කම වෙනුවෙන් රටට ගෙවන්නට සිදුවූ වන්දිය ඉතා විශාලය.

සමනළ වැව ජලාශය ජපන් සමාගම විසින් එය ඉදිකරන ලද්දේ ඊට පෙර රුසියානු භූ විද්‍යාඥයන් භූමියේ ස්වභාවය ගැන කර තිබුණු අනතුරු ඇඟවීම නොසලකාය. පොළොවේ ඇති දුර්වල ස්ථාන කාන්දුවක් ඇති කිරීමට හේතු නොවනු ඇති බව සමනළ වැව ජලාශය ඉදිකළ ජපන් සමාගමේ මතය විය. එහෙත් ජලාශය ඉදිකළ පසු රුසියානු භූ විද්‍යාඥයන් කර තිබුණු අනාවැකිය සනාථ කරමින් ජලාශයට ජලය පිරවූ පසු දකුණු ඉවුරේ ජල කාන්දුවක් ඇතිවිය. ජලාශය ඉදිකිරීමට වැයවූ වියදම එදා මිල ගණන් අනුව රුපියල් බිලියන 16කි. කාන්දුව වළකා ගැනීම සඳහා පසුව ජපන් සමාගම දකුණු ඉවුරේ මීටර් 100ක් තරම් ගැඹුරට කොන්ක්‍රීට් බාධකයක් ඉදි කළේය. විදුලි හා බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට කොන්ක්‍රීට් බාධකය ඉදිකිරීම සඳහා යොදාගත් සිමෙන්තිවල ප්‍රමාණය පමණක් සිමෙන්ති ටොන් 14000ක් වූ අතර එය රන්ටැඹේ වේල්ල ඉදිකිරීම සඳහා යොදාගත් සිමෙන්ති ප්‍රමාණයට සමානය. ඒ සඳහා ගිය වියදම එකල මිල ගණන් අනුව (1991) රුපියල් බිලියන 02ක් විය. එහෙත් ඒ මගින් ජල කාන්දුව නතර වූයේ නැත. ඉන්පසු 1992 ඔක්තෝබර්වලදී දකුණේ ඉවුරේ පිපිරීමක් ඇතිවී කාන්දු වන ජලයේ ප්‍රමාණයද ඉහළ ගියේය. ඉන්පසු වේල්ලේ උසින් 30%කට වඩා ජලය පිරවීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියකට මාරුවූ අතර ඒ නිසා ඒ මගින් උත්පාදනය කළ හැකි ජල විදුලි ප්‍රමාණය ද විශාල ප්‍රමාණයෙන් පහත වැටුණි.

ඉන්පසුද කාන්දුව වළකා ගැනීම සඳහා 1998දී දකුණු ඉවුරට වැලි ආස්තරණයක් යොදන ලද අතර ඒ වෙනුවෙන් ජපන් සමාගමට ගෙවන්නට සිදුවූ මිල එදා මිල ගණන් අනුව රුපියල් බිලියන 05කි. එහෙත් වැලි ආස්තරණය කාන්දුවට පිළියමක් වූයේ නැත. මිනිසුන් තුළ විශාල බියක් ඇති කිරීමට හේතුවන නිසා මෙම ජල කාන්දුව කවදා හෝ ඇති කළ හැකි විපතේ තරම ප්‍රසිද්ධ සාකච්ඡාවන්ට ලක්වූයේ නැතත් හපුතලෙන් ආරම්භ වී ලුණුගම්වෙහෙර දක්වා වන විශාල ප්‍රදේශයක් අනතුරට ලක්වීමේ අවදානමක් ඇතිවී තිබුණි.

අවසානයේ ජල කාන්දුව ඇතිවන හරි ස්ථානය සොයාගෙන ඇත්තේ පසුගිය අගෝස්තු 23 වැනිදාය. එය සොයාගෙන ඇත්තේද විදේශීය විද්‍යාඥයන් පිරිසක් නොව ලාංකික විද්‍යාඥයන් පිරිසක් විසිනි. එය ඇතිවී තිබෙන ජල කාන්දුවට පිළියමක් නොවෙතත් තැන සොයා ගැනීම සඳහා පමණක් ගතවී තිබෙන කාලය අවුරුදු 20කි. කාන්දුව වළකා ගැනීම සඳහා දරා තිබෙන උත්සාහයන් සඳහා මෙතෙක් වැය කර තිබෙන මිල ඒ යෝජනා ක්‍රමය සඳහා වැය කළ සමස්ත විදයමට 43.75%කට සමානය. එහෙත් තවමත් කාන්දුව වසා නැත. කාන්දුව වැළකීමට හැකිවේද යන්නද තවමත් පැහැදිලි නැත. වැළකීමට හැකි වුවද ඒ සඳහා සමනළ වැව යෝජනා ක්‍රමය ඉදිකිරීමට වැයවූ මුළු මුදලටත් වැඩි මුදලක් වැය කරන්නට සිදුවුවහොත් එය පුදුමයට හේතුවන කරුණක් වන්නේ නැත.

හම්බන්තොට වරායේ සිදුවී තිබෙන්නේද මේ හා සමාන වැරැද්දකි. වරායක් ඉදිකර ඇතත් එයට නැව් ආ නොහැකිය. නැව් ගැනීමට නම් පොළොව යට ඇති ගල් පර්වතයක් ඉවත් කළ යුතුය. ඒ සඳහා දැවැන්ත වියදමක් කළ යුතුය. ඒ වියදම අවසන් වන තැන හා එය විසින් ඇති කරන ප්‍රතිවිපාක මොනවාද යන්න පැහැදිලි නැත. හම්බන්තොට වරායක් ඉදිකිරීමේ අදහස දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබූ අදහසකි. එය ප්‍රධාන නාවික මාර්ගයකට මුහුණ දී තිබෙන ස්ථානයකි. වරායක් ඉදිකිරීමේ අදහස හොඳ වුවත් ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර විද්‍යාත්මකව හොඳින් කරුණු සලකා බලා තිබෙන බවක් පෙනෙන්නට නැත.

පාලන යුග දෙකකට අදාළ මෙම නිදර්ශන දෙකෙන්ම පැහැදිලිවන්නේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීමේදී ව්‍යාපෘති ආරම්භ කරන්නට පෙර විද්‍යාත්මකව හොඳින් කරුණු සොයා බලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන බවය. තීන්දු ගැනීමේ බලය දේශපාලකයන්ට තිබිය යුතු වුවත් ඒවා ක්‍රියාවට නැගීමේදී විද්‍යාත්මක වශයෙන් දැඩි පරීක්ෂාවට ලක් කැරෙන ක්‍රමයක්ද තිබිය යුතුය. සංවර්ධන ව්‍යාපෘතිවලදී මෙවැනි බරපතළ වැරදි දිගින් දිගට සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.