මේ ලිපියේ පසුගිය කලාපයේ පළවූ මුල් කොටසේ මුද්‍රණ දෝෂ කිහිපයක්ම තිබුණි. ඒ අතර නිවැරදි විය යුතුව තිබෙන වැරදි දෙකක් තිබුණේය. බින් ලාඩන් මරා දැමීමේ සිද්ධියට පසුව චේද මරා දැම්මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව යන්න මුද්‍රණය වී තිබුණේ “චේ” වෙනුවට “මේ” වශයෙනි. අත්අඩංගුවේ සිටින එල්ටීටීඊ ක්‍රියාකරුවන්ගේ සංඛ්‍යාව මුද්‍රණය වී තිබුණේද දහසකට වැඩි වශයෙනි. එය දසදහසකට වැඩි යන්නෙන් නිවැරදි විය යුතුය.
ඝාතන සංස්කෘතියට අදාළව මා කරනු ලබන විග්‍රහය කුසල් පෙරේරාගේ හා සුනන්ද දේශප්‍රියගේ ලිපි දෙකකින් තෝරාගත් පාඨ දෙකක් උපුටා දැක්වීමෙන් ආරම්භ කිරීමට කැමැත්තෙමි. මම එම උද්ධෘත පාඨවල එන ප්‍රධාන අදහස්් ද සාකච්ඡාවට ලක් කිරීමට බලාපොරොත්තු වෙමි. පළමු උපුටා ගැනීම කුසල් පෙරේරාගෙනි.
“ආණ්ඩුව විසින් ගණන් නොබැලූ තවත් කාරණයක් ඇත. ඒ තමන් අත්විඳි ඛේදවාචකයට වගකිවයුත්තන් සෙවීමේ, පිටමං දෙමළ සමාජයේ නොබිඳෙන අධිෂ්ඨානයයි. එවැන්නක් අප මීට පෙර අත් නොවිඳ තිබුණි. අපේ රටේ මෙතෙක් විටින් විට ඇතිවූ කිසිදු මනුෂ්‍ය විනාශයකට, සමාජ අපරාධයකට වගකිවයුත්තන් සොයා දඬුවම් කළයුතුයැ”යි කිසිදු ආණ්ඩුවකට මෙවැනි බලපෑමක් නොකෙරිණ. නිදහස ලද දිනයේ සිට සිදු කැරුණු එවැනි අපරාධ වෙත ආපසු හැරී බැලුවහොත් 1958 දෙමළ කෝලාහලයේ සිට 1988-90 දක්වා මනුස්සකම කෙළෙසූ කිසිදු අපරාධයක් වෙනුවෙන් යුක්තිය පසිඳලීමක් නොවුණි. මේ සමාජය එවැන්නක් ඉල්ලා සිටියේ නැත.
දකුණේ ආසන්නම ඛේදවාචකය ගත්තද ජවිපෙ 1994 මහ මැතිවරණයෙන් ප්‍රසිද්ධ දේශපාලනයට එන්නේ ඔවුන්ගේ දේශප්‍රේමය විසින් ඝාතනය කැරුණු කිසිවකුට හා ආණ්ඩුවේ හමුදා පොලීසිය විසින් ඝාතනය කෙරුවේයැ”යි ද ඒ වසර කිහිපයේ 60,000ක් අතුරුදන්වූවේයැ”යි ද පැවසෙන කිසිදු විනාශයක් සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන පරීක්ෂණයකින් යුක්තිය හා සාධාරණත්වයක් නොඉල්ලූ සමාජයකය. එතැන් සිට ඒ සියලු අපරාධකරුවන් සමග සම ගමන්යෑමට හුරුපුරුදු වූ හෘදය සාක්ෂියක් නොමැති සමාජයකය.”
දෙවැනි උපුටා ගැනීම සුනන්දගෙනි.
“මේ වනාහි ශ්‍රී ලාංකික අප විසින් නැරඹෙය යුතු සහ කතාබහ කළයුතු චිත්‍රපටයකි. මන්දයත් මේ වනාහි හුදෙක් එල්ටීටීඊය හා හුදෙක් එල්ටීටීඊය හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පැවති යුද්ධයේ කතාන්තරය පමණක් නොව, 1971 කැරැල්ලේ සිට අප අත්දැක ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය පිළිබඳ කතාන්තරයක තවත් බියජනක පරිච්ඡේදයක වාර්තාකරණයක් වන නිසාය. සිනමාපටයේ අධ්‍යක්ෂ කැලම් මැක් රේට අනුව ඔහුගේ පරමාර්ථය වූයේ ශ්‍රී ලංකාවේ යුද්ධය අතරතුර එහි පාර්ශ්වකරුවන් වූ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ එල්ටීටීඊය විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් අවබෝධයක් හා විවාදයක් ඇති කිරීමත් එහි ගොදුරු බවට පත්වූවන්ට යුක්තිය ලබාගැනීමට මග සැලැස්වීමත්ය.”
මගේ අරමුණ මෙම ලේඛකයන් දෙදෙනාගේ අදහස් අභියෝගයට ලක්කිරීම නොවේ. ශ්‍රී ලංකාවේ ඝාතන සංස්කෘතියක් ස්ථාපිතවීම කෙරෙහි බලපා තිබෙන හේතු සාධක විග්‍රහ කිරීම හා නග්න ද්වන්ද්ව බලයක් තුළ මිනිසුන්ගේ හෘදය සාක්ෂිය ක්‍රියාකරන ආකාරය විග්‍රහ කර බැලීමත්ය.
අතිශයෝක්තිය
සුනන්දගේ විවරණය තුළ 71 කැරැල්ලේ සිදුවූ මනුෂ්‍ය ඝාතන අතිශයෝක්තියට නැගීමක් සිදුවී ඇති බව කිව යුතුය.
ඔහු ඒ ගැන මෙසේ කියා තිබේ.
“1971 අප්‍රේල් 22 වැනි දින මා සමග අම්බලන්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සහෝදර කැරලිකරුවෝ තිදෙනෙක්ම පහර දී මරා දැමුවේ මගේ ඇස් ඉදිරිපිටදීමය. මඳ සිහිය තිබූ එම සිරුරු අම්බලන්ගොඩ පොලීසිය ඉදිරිපිට වෙරළේ වළ දමන ලද්දේ තවත් සහෝදර කැරලිකරුවන් දෙදෙනකු ලවාය. අප්‍රේල් 05 වැනි දින රැයෙහි පොලීසියට පහරදීමට ගිය බසයේ සිටි සියලුදෙනාම ඝාතනය කරන ලද්දේ කිසිදු තුවාලකරුවකු ඉතිරි නොවන පරිදිය. කැරැල්ල දියත් වූ අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා අත්අඩංගුවට ගත් සියලුදෙනාම පාහේ ඝාතනය කරන ලද්දේ ප්‍රසිද්ධියේය..”
සුනන්ද එහි කියා තිබෙන ආකාරයට අප්‍රේල් 5 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා අත්අඩංගුවට ගන්නා ලද සියලුදෙනාම වාගේ මරා දමා තිබේ. එසේ කර ඇත්තේ ද ප්‍රසිද්ධියේය. එහෙත් ඔහුට අනුව අප්‍රේල් 22 වැනිදා වනවිටත් ඔහු පොලිස් අත්අඩංගුවේ සිට ඇතත් ඔහු මරා දමා නැත. ඔහු සමග සිටි සහෝදර කැරලිකරුවන් තිදෙනකුත් ඔහු ඇස් ඉදිරිපිට මරා දමා තිබේ. එසේ මරා දමන ලද අයගේ සිරුරු වළදමා ඇත්තේ ද අත්අඩංගුවේ සිටි තවත් කැරලිකරුවන් දෙදෙනකු ලවාය. එවිට තිදෙනෙකු මරා දමන විට තවත් තිදෙනකුට ජීවත්වන්නට ඉඩදී තිබෙන බව පෙනේ. එවිට අප්‍රේල් 5 වැනිදා සිට 22 වැනිදා දක්වා අත්අඩංගුවට ගන්න ලද සියලුදෙනාම වාගේ ප්‍රසිද්ධියේ මරා දමන ලද්දේයැ”යි කියන ඔහුගේ කතාව ඔහු විසින්ම බොරු කරයි.
වෛද්‍ය රුවන් විජේතුංග “71 කැරැල්ල” නමින් ලියන ලද පොතක් මේ මෑතකදී පළකරන ලද අතර, ඊට 71 කැරැල්ලට අදාළ පුද්ගලයන් 104ක් පිළිබඳ විස්තර ඇතුළත්ය. ඒ 104 දෙනාගෙන් 12 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ 71 අප්‍රේල් 05 වැනිදාත් 22 වැනිදාත් අතර කාලයේය. ඔවුන් මෙසේය.
1. ලයනල් බෝපගේ (කැරැල්ලේ මහ නඩුවේ 2 වැනි සැකකරු. අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 19)
2. අනුර කුරුකුලසූරිය (මහ නඩුවේ 4 වන සැකකරු. අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 8)
3. ඔස්මන්ඩ් ද සිල්වා (මහ නඩුවේ 21 වන සැකකරු. අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 5)
4. සුනිල් රත්නසිරි සිල්වා (මහ නඩුවේ 16 වැනි සැකකරු. අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 8)
5. සෝමවංශ අමරසිංහ (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 5)
6. ඇට්ලස් බණ්ඩාර (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 5)
7. පැට්‍රික් ප්‍රනාන්දු (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 21)
8. කොටපොළ දේවසිරි හිමි (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 5)
9. කීර්ති විජේසිංහ (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 9)
10. ගාමිණී සිරිසේන (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 14)
11. වික්ටර් බණ්ඩාර සේනාරත්න (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 18)
12. මාබෝලේ රෙක්සි හෙවත් වසන්ත ප්‍රනාන්දු (අත්අඩංගුවට ගත් දිනය අප්‍රේල් 5)
මේ අනුව අප්‍රේල් 5 වැනිදා සිට 22 දක්වා අත්අඩංගුවට ගන්නා ලද හැම කෙනෙක්ම පාහේ ප්‍රසිද්ධියේ මරා දමන ලද බවට සුනන්ද කියන කතාව සත්‍යයක් වන්නේ නැත.
සුනන්ද 71 අප්‍රේල් කැරැල්ලේ සිදුවූ විනාශය ගැන මවන චිත්‍රය මැක්රේ යුද්ධයේ අවසානය ගැන සිය වාර්තාමය චිත්‍රපටයෙන් මවන චිත්‍රයට සමානය. සුනන්ද මෙන් මැක්රේ ද තමන් ළඟ ඇති තෝරාගත් රූප රාමු ගණනාවක් ඔස්සේ ඒ ගැන සීමාව ඉක්මවා ගිය බිහිසුණු චිත්‍රයක් මවාපායි.
71 කැරැල්ල
මාගේ මෙම සාකච්ඡාව ආරම්භ කරන්නට යන්නේ 71 අප්‍රේල් කැරැල්ලෙන් වන නිසා එම කැරැල්ලේදී සිදුවූ ජීවිත විනාශය ගැන හරි අදහසක් ඇති කිරීමට හේතුවන දර්ශනයකින් මම එම සාකච්ඡාව ආරම්භ කරමි.
71 කැරැල්ලේ මහ නඩුවේ චෝදනාලාභීන් ගණන 41කි. ඔවුන් අතරින් ජීවතුන් අතර නොසිටියේ 33, 34, 35 හා 36 යන සැකකරුවන් සිව්දෙනාය.
33 වන සැකකරු වූයේ විජේසේන විතාන හෙවත් සනත්ය. ඔහු ජවිපෙට සිටි විජේවීරට පමණක් දෙවැනි වූ නායකයාය. ගාලු දිස්ත්‍රික්කයේ ඌරගහ, කරන්දෙණිය, බටපොළ, මීටියාගොඩ හා අලුත්වල යන ප්‍රදේශ මුල් කොටගෙන දින 20ක පමණ කාලයක් ප්‍රාදේශීය පාලනයක් පවත්වාගෙන යෑමට කැරලිකරුවෝ සමත් වූහ. ඉන්පසු ආරක්ෂක හමුදා කඩා වැදීම නිසා එම පාලන ප්‍රදේශය අතහැර පුංචි කණ්ඩායම් වශයෙන් සිංහරාජ වනාන්තරයට පලායෑමට කැරලිකරුවන්ට සිදුවිය. සනත් ඇතුළු තිදෙනකුගේ කණ්ඩායමක් එසේ සිංහරාජ වනාන්තරයට පලායමින් සිටියදී නෙළුවේදී ගම්මුන් විසින් අල්ලාගෙන ඔවුන්ට පහරදී උඩුගම පොලීසියට භාර දුන්නේය. එහිදී එම පොලීසිය විසින් ඔවුන් මරා දමන ලද බව කියනු ලැබේ.
34 වන සැකකාර සුසිල් වික්‍රම මාතර දිස්ත්‍රික්කයේ නායකයාය. අප්‍රේල් 5 වැනිදා මාතර කොටුවේ තිබුණු ගැමුණු හමුදා කඳවුරට පහරදෙමින් සිටියදී එල්ල වූ වෙඩි පහරකින් ඔහු මරණයට පත්වී තිබේ.
35 වන සැකකාර සරත් විජේසිංහ කෑගල්ල දිස්ත්‍රික්කයේ නායකයාය. එම දිස්ත්‍රික්කයේද කිසියම් ප්‍රදේශයක දින ගණනාවක විකල්ප පාලනයක් පවත්වාගෙන යෑමට කැරලිකරුවන් සමත්ව තිබුණි. එම පාලන බලප්‍රදේශය තුළ වෙඩි තැබීම සඳහා කැරලිකරුවන්ට ලබාදෙන ලද පුහුණුවකදී අත්වැරදීමකින් එල්ල වූ වෙඩි පහරකින් සරත් විජේසිංහ මරණයට පත්වී තිබේ. එය ඔහු මරා දැමීමේ අරමුණින් පක්ෂ අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් නිසා සිදුවූ බව කියන අයද සිටිති.
36 වැනි සැකකාර මිල්ටන් ප්‍රනාන්දු උතුරු කොළඹ දිස්ත්‍රික්කයේ නායකයාය. අප්‍රේල් 5 වැනිදා කඩවත පොලීසියට පහරදෙමින් සිටියදී එල්ල වූ වෙඩි පහරකින් මිල්ටන් මරණයට පත්විය.
කැරැල්ලේ මහ නඩුවේ සැකකරුවන් නියැදියක් ලෙස ගත්විට පුද්ගලයන් 41 දෙනකු අතරින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරා දමා තිබුණේ එක පුද්ගලයකු පමණය. සටන්බිමේදී මරණයට පත්ව සිට අයගේ ගණන 3කි.
71 කැරැල්ලේ මුදාහළ සාහසිකත්වයේ හා ප්‍රචණ්ඩත්වයේ පරිමාව ජේවීපී දෙවැනි කැරැල්ල හා එල්ටීටීඊ කැරැල්ල සමග සසඳන විට සුළුය. ඒ නිසාම කැරැල්ල මර්දනය කිරීම සඳහා රාජ්‍යය මුදාහළ ප්‍රචණ්ඩත්වයේ හා සාහසිකත්වයේ පරිමාවද සාපේක්ෂව ගත් කළ සුළුය.
ජවිපෙ සමාජවාදී සමාජයක් ගැන සිහින මැවූ ශ්‍රී ලංකාවේ ඇතිවූ පළමු දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය නොහැකිය. ඊට පෙරද සමාජවාදී සමාජයක් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි පක්ෂ රටේ තිබුණේය. සාම්ප්‍රදායික වමේ පක්ෂ ගණයෙහිලා සැලකෙන සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ඉන් ප්‍රධානය. මෙම පක්ෂ දෙකද පෙනී සිටියේ සමාජවාදී සමාජයක් හෝ සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙනි. ඒ අරමුණ වෙනුවෙන් ඔවුහු ද මහජනතාව සංවිධානය කළෝය. එහෙත් රාජ්‍යය ඒ නිසා ඔවුන් මර්දනය කරන තැනකට ගියේ නැත. නිදහසට පෙර තිබූ යටත්විජිත ආණ්ඩුව පවා සමසමාජ පක්ෂයට නිදහසේ සිය දේශපාලන වැඩකටයුතු කරගෙන යන්නට ඉඩදී තිබුණේය. ඔවුන් තොග ගණනින් අත්අඩංගුවට ගෙන මරා දමන පිළිවෙතක් අනුගමනය කළේ නැත. සමසමාජ පක්ෂය දෙවැනි ලෝක යුද්ධයේදී දැඩි යුද විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා එම පක්ෂය තහනම් කොට එහි නායකයන් අත්අඩංගුවට ගනු ලැබූවත් යුද විරෝධී ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා නොකළ කොමියුනිස්ට් පක්ෂය තහනම් කළේවත් එහි නායකයන් අත්අඩංගුවට ගත්තේවත් නැත. යුද්ධය අවසන් වූ පසු සමසමාජ පක්ෂ තහනම ඉවත් කොට අත්අඩංගුවේ සිටි නායකයන්ද නිදහස් කළේය.
ප්‍රචණ්ඩ බලය
රාජ්‍ය මර්දනයක් කරළියට එන්නේ ද එක්තරා ප්‍රමාණයකට මාංශභක්ෂක තත්ත්වයකට රාජ්‍ය යොමුවන්නේද ජේවීපීය ආයුධ බලයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා දියත් කරන ලද වැඩපිළිවෙළට සමගාමීවය. ජේවීපීයට එහිදී තමන්ට අවනත නොවන ආරක්ෂක හමුදාවල සාමාජිකයන් පමණක් නොව, මතවාදීමය වශයෙන් තමන්ට එකඟ නොවන අයද මරා දැමීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළක් තිබුණේය. ඔවුන්ගේ කැරැල්ල කිසියම් විශාල ප්‍රමාණයකට ද්වන්ද්ව බලයක් ඇති කොට පවත්වාගෙන යෑමට අසමත්වීම නිසා එම වැඩසටහන විශාල ප්‍රමාණයකට ක්‍රියාවට නැගීමේ හැකියාවක් නොලැබුණද ද්වන්ද්ව බලයක් පවත්වාගෙන යෑමට හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීමට සමත් වී නම් ඔවුන් අතින් ද විශාල ජීවිත විනාශයක් ඇතිවන්නට ඉඩ තිබුණේයැ”යි කිව හැකිය. කැරැල්ල මර්දනයෙන් ජීවිත විනාශයක් සිදුවුවද ඒ මගින් විය හැකිව තිබුණු වඩා විශාල ජීවිත විනාශයක් වැළකුණේයැ”යි කිව හැකිය.
සමාජවාදී අරමුණක් වෙනුවෙන් පෙනී සිටි සමසමාජ කොමියුනිස්ට් පක්ෂ හපා නොකා රාජ්‍ය එවැනි අරමුණක් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ පමණක් හපා කෑවේය. රාජ්‍යයේ එම වෙනස් ප්‍රතිපත්තියට හේතු කවරේද?
ඕනෑම රාජ්‍යයක් තුළ නීත්‍යනුකූල ප්‍රචණ්ඩත්වයේ ඒකාධිකාරී අයිතිය තිබෙන්නේ රාජ්‍යයටය. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඕනෑම ප්‍රචණ්ඩ නැගිටීමක් රාජ්‍ය සතු එම අයිතියට කරන අභියෝගයකි. එවැනි අභියෝගයකදී ඕනෑම රාජ්‍යයක් ක්‍රියාකරන්නේ ප්‍රචණ්ඩ බලය යොදා එය මැඬපැවැත්වීම මගින් තමන් සතු නීත්‍යනුකූල ප්‍රචණ්ඩත්වයේ අයිතිය තහවුරු කරගැනීමය. සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය සමාජවාදී අරමුණු වෙනුවෙන් ක්‍රියාකළද රාජ්‍යය සතු එම බලයට ප්‍රචණ්ඩ බලයෙන් අභියෝග කරන තැනකට ගියේ නැත. ඒ නිසා රාජ්‍යය ද එම පක්ෂ දෙක හපාකන තැනකට ගියේ නැත. එහෙත් ජවිපෙ රාජ්‍යය සතු එම බලයට ප්‍රචණ්ඩ බලයෙන් අභියෝග කරන තැනකට ගියේය. ඒ නිසා රාජ්‍යය ජනතා විමුක්ති පෙරමුණ හපාකන තැනකට ගියේය.
මොනම රාජ්‍යයක්වත් නීත්‍යනුකූල ප්‍රචණ්ඩ බලය සඳහා රාජ්‍ය සතු ඒකාධිකාරී අයිතියට බලවත් ලෙස අභියෝග කරන අවස්ථාවකදී එය ප්‍රචණ්ඩ බලය යොදා මැඬ පැවැත්වීමෙන් තොරව තමන්ගේම පුරවැසි කණ්ඩායමක් රාජ්‍ය බලය සඳහා ආයුධ අතට ගන්නා තැනකට තල්ලුවීම කෙරෙහි බලපා තිබෙන සමාජ ආර්ථික හා දේශපාලන හේතු සොයා බලා ඒවාට පිළියම් යොදන තැනකට යන්නේ නැත. ප්‍රඥාවන්ත රාජ්‍යයක් කැරලිකාරීත්වය බලවත් කැරැල්ලක් බවට පත්වන්නට පෙර කැරලිකාරීත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලා ඒවාට පිළියම් යොදන තැනකට යා හැකිය. නැතිනම් කැරැල්ල මැඬලීමෙන් පසු එසේ කරන තැනකට යා හැකිය. රාජ්‍ය බලයට අභියෝග කරන බලවත් කැරැල්ලකදී සාමාන්‍යයෙන් සිදුවන්නේ රාජ්‍ය ප්‍රචණ්ඩ බලය යොදා එය මර්දනය කරන තැනකට යෑමය.
හැම කැරැල්ලක්ම අශීලාචාර වනවා සේ ම කැරැල්ලකට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනයක් ද අශීලාචාරය. රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් දියත් කැරෙන හැම කැරැල්ලකදීම කැරලිකරුවන් අපේක්ෂා කරන්නේ රාජ්‍ය බලය ආරක්ෂා කරන්නන් මරා දමා හෝ තුවාල කොට රාජ්‍ය බලය අල්ලා ගැනීමය. අනෙක් අතට රාජ්‍යයට කැරැල්ල මැඬ පවත්වන්නට සිදුවන්නේ ද තමන් මරන්නට හෝ තුවාල කරන්නට එන කැරලිකරුවන් මරා දැමීමෙන් හෝ තුවාල කිරීමෙනි. එහිදී සිදුවන විනාශයේ තරම ප්‍රධාන කොට තීරණය කරන්නේද කැරලිකරුවන් විසින් මුදා හැරෙන ප්‍රචණ්ඩත්වයේ හෝ සාහසිකත්වයේ ප්‍රමාණයයි. 71 කැරැල්ලේදී ජවිපෙ මුදාහැරීමට හැකියාව තිබූ ප්‍රචණ්ඩත්වයේ හා සාහසිකත්වයේ ප්‍රමාණය කුඩාවීම නිසා එම කැරැල්ල පරාජය කිරීම සඳහා රාජ්‍යයට මුදාහැරීමට අවශ්‍ය වූ ප්‍රචණ්ඩත්වයේ හා සාහසිකත්වයේ ප්‍රමාණයද සාපේක්ෂ වශයෙන් සුළු විය. ඒ නිසා කැරැල්ලේදී හා මර්දනයේදී සිදුවූ විනාශයද සාපේක්ෂ වශයෙන් කුඩා විය. එහෙත් ජවිපෙ සිය දෙවැනි කැරැල්ලේදී අවුරුදු දෙකකට වැඩි කාලයක් ද්වන්ද්ව බලයක් පවත්වාගෙන යෑමට සමත් විය. දෙවැනි කැරැල්ලේදී වඩා විශාල ප්‍රචණ්ඩත්වයක් හා සාහසිකත්වයක් මුදාහැරීමට ජවිපෙ සමත් වූ බව ඉන් අදහස් වේ. ඒ නිසා එහිදී එම කැරැල්ල මැඬපැවැත්වීමට රාජ්‍යයට මුදාහැරීමට සිදුවූ ප්‍රචණ්ඩත්වයේ හා සාහසිකත්වයේ ප්‍රමාණයද විශාල විය. ඒ නිසා කැරැල්ල හා මර්දනය ඇති කළ විනාශය ද සාපේක්ෂ වශයෙන් විශාල විය.
හැම ප්‍රචණ්ඩ කැරැල්ලක්ම රාජ්‍යයේ ප්‍රචණ්ඩ බලය ශක්තිමත් කරයි. ප්‍රචණ්ඩ බලයෙන් රාජ්‍යයක් විනාශ කොට රාජ්‍යයක් ඇතිකර ගැනීමට රාජ්‍යය සතු ප්‍රචණ්ඩ බලය ඉක්මවා ගිය ප්‍රචණ්ඩ බලයක් ඒකරාශි කොට මුදාහැරීමට කැරලිකරුවන්ට සිදුවේ. එහිදී රාජ්‍යය පරාජය වී කැරලිකරුවන්ගේ රාජ්‍යයක් ඇති වුවද ඒ රාජ්‍ය ගොඩනැගෙන්නේ තිබුණු රාජ්‍යයට වැඩි ප්‍රචණ්ඩ බලයක් ඇති රාජ්‍යයක් වශයෙනි. අනෙක් අතට රාජ්‍යයක් විසින් ඉතා බලවත් ප්‍රචණ්ඩ කැරැල්ලක් පරාජය කැරෙන අවස්ථාවකදීද පෙර තිබූ ප්‍රචණ්ඩ බලයට වැඩි ප්‍රචණ්ඩ බලයක් රාජ්‍යය හිමිකර ගන්නේය.
මිලිටරිකරණය
71 කැරැල්ලට පෙර ලංකා රාජ්‍යයට තිබුණේ ප්‍රමාණයෙන් කුඩා යල් පැනගිය ආයුධ සහිත හමුදාවකි. එය නිල චාරිත්‍ර උත්සව සඳහා පමණක් යොදාගනු ලැබූ හමුදාවක් විය. යුද හමුදාවල භට සංඛ්‍යාව 5000 සීමාව නොඉක්මවීය. 303 රයිෆලය සෙබළුන්ට තිබුණු ගිනි අවිය විය. පොලීසිය සාමාන්‍ය රාජකාරී කටයුතුවලදී ගිනි අවි පාවිච්චි නොකළ අතර ඒ වෙනුවට පාවිච්චි කළේ බැටන් පොල්ලය.
ආරක්ෂක හමුදාවන්ගේ දැවැන්ත ප්‍රසාරණය කෙරෙහි 71 කැරැල්ලෙන් ආරම්භ වී ඉන්පසු ඇතිවන සිංහල දෙමළ තරුණ සන්නද්ධ කැරලි බලපෑවේය. 1980 වන විට ආරක්ෂක හමුදාවල සංඛ්‍යාව 15,000 දක්වා තුන් ගුණයකින් ඉහළ ගියේය. ඉන්පසු ඒ ගණන 1990 වනවිට 65,000 දක්වාද, 2000 වන විට 125,000 දක්වා ද 2005 වන විට 250,000 දක්වා ද ඉහළ ගියේය. ආරක්ෂක හමුදා පරිහරණය කරන ආයුධවලද ඒ සමාන විපර්යාසයක් ඇතිවිය. ඒවා ඉතාමත් නවීන අවි ආයුධ පරිහරණය කරන හමුදාවක් දක්වා වර්ධනය විය.
දැන් දකුණු ආසියාවේ රාජ්‍යයන් අතර වැඩිම මිලිටරිකරණයට ලක්වූ රාජ්‍යය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යයයි. බංග්ලාදේශයේ ජනගහනයේ මිලියනයක් සඳහා සිටින ආරක්ෂක හමුදා සංඛ්‍යාව 1000ක් ද, ඉන්දියාවේ 1300ක්ද, පාකිස්තානයේ 4000ක්ද වන විට ශ්‍රී ලංකාවේ එය 8000කි. දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්විට දකුණු ආසියාවේ වැඩිම ආරක්ෂක වියදම දරන රට වන්නේ ද ශ්‍රී ලංකාවය.
රටේ මිලිටරිකරණය ඕපපාතිකව සිදුවූවක් නොවන බව ඉන් පෙනීයයි. එය ආයුධ අතට ගත් විමුක්තිකාමීන්ගේ අඥාන දේශපාලන වැඩසටහන්වල අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය මාංශ භක්ෂණයට හුරුපුරුදු කළෝද ඔවුහුය. අපට තිබුණේ හපාකන, මාංශ භක්ෂක හමුදාවක් නොව, උත්සව හා ප්‍රදර්ශන අවස්ථා සඳහා සැරසිල්ලක් ලෙස යොදා ගන්නා හමුදාවකි. එය හපාකන හා මාංශභක්ෂක හමුදාවක් බවට පත් කරන ලද්දේ ඔවුන් විසිනි. විජේවීර හා ප්‍රභාකරන් සමාජ පරිවර්තනයක් ඇති කළ යුතු ආකාරය ගැන ඉගෙන ගැනීමට මාක්ස්, ලෙනින්, මාඕසේතුං හෝ චේ වෙත නොගොස් ගාන්ධි වෙත ගියේ නම් අනුන් ද නොමරා තමන් ද නොමැරී ආරක්ෂක හමුදා මාංශභක්ෂක තත්ත්වයට ද පත් නොකොට හා රාජ්‍යය හා සමාජය අශීලාචාර නොකොට සමාජ පරිවර්තනයක් සඳහා සටන් කළ යුතු ආකාරය ඉගෙන ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.
හෘදය සාක්ෂිය හා චැනල් ෆෝ
දැන් මට මාගේ ඊළඟ තර්කය වෙත යා හැකිය. එය හෘදය සාක්ෂියට අදාළය. තිබෙන රාජ්‍යයේ බලය අල්ලාගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්‍යයක් දිනාගැනීමේ අරමුණින්, ප්‍රචණ්ඩ බලය පාවිච්චි කරන තැනකට ගියවිට ඒ උත්සාහය කිසියම් විශාල ප්‍රමාණයකට සාර්ථක වී ද්වන්ද්ව බලයක් ඇති කිරීමට හේතුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එවිට හෘදය සාක්ෂිය චණ්ඩින් දෙදෙනකුගේ ආධිපත්‍යයට මැදිවූ දෙයක් බවට නැතිනම් ගිරයට හසුවූ පුවක්ගෙඩියක තත්ත්වයට පත්වන්නේය. ඒ තත්ත්වය මම පළමු කොට ජේවීපී දෙවැනි කැරැල්ල හා පසුව එල්ටීටීඊ කැරැල්ල ආශ්‍රයෙන් විග්‍රහ කිරීමට අපේක්ෂා කරමි.
එහෙත් මා ඊට පෙර චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාව පිළිබඳව විසුරුවා හරින ලද ඝාතන භූමිය නමැති වාර්තාමය චිත්‍රපටය ශ්‍රී ලාංකික මතවාදී සමාජයේ හෘදය සාක්ෂියේ ඇති කර තිබෙන කම්පනය ගැන සංක්ෂිප්තව කතා කරන්නට කැමැත්තෙමි.
එම චිත්‍රපටය බලන විදේශිකයකු තුළ ශ්‍රී ලංකාව පිළිබඳව කම්පනයක්, නොසතුටක් හෝ පිළිකුලක් ඇතිවී නම් මා ඒ ගැන පුදුමවන්නේ නැත. එහෙත් ගෙවී ගිය දශක තුනක් තරම් කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගැටුම් තුළ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු තුළ එම වාර්තාමය චිත්‍රපටය අලුත් කම්පනයක් ඇති කිරීමට හේතුවී නම් මට ඒ ගැන ඇතිවන්නේ පුදුමයක් නොව උත්ප්‍රාසයකි. එය බලා විශේෂ කම්පනයකට පත්වන ශ්‍රී ලාංකික හෘදය සාක්ෂිය කිසියම් කාර්මික දෝෂයකට හසුවූ හෘදය සාක්ෂියක් ලෙස සැලකිය හැකිය.
ඇත්තටම එම දශක තුනක කාලය තුළ අප ඇස් ඉදිරිපිට සිදුවූ ප්‍රබල දේවල ප්‍රමාණය අතිවිශාල වීයැ”යි කිව හැකිය. වාර්තාමය චිත්‍රපටයට ඇතුළත්ව ඇත්තේ ඉන් අංශුවක් පමණය. අප සජීවී ලෙස දකින දේවල ප්‍රබලතාව චිත්‍රපටයේ එන දේවලට වඩා ප්‍රබලය. අප ඒවා දැක්කේ තිරය මත දිගහැරෙන පුංචි නිර්මාණයක් ලෙස නොව, අපගේ ඇට, ලේ මස් සමග බැඳුණු සංකීර්ණ, දැවැන්ත හා සජීවී සිද්ධි දාමයක් ලෙසය.
අපට අපගේ හෘදය සාක්ෂිය අවදි කිරීමට හෝ කිති කැවීමට හේතුවූයේ අප ඇත්තටම සජීවි ලෙස දකින ලද එම දැවැන්ත සිද්ධිදාමය නොවී ඒ ආශ්‍රයෙන් නිපදවන ලද පුංචි නිර්මාණයක් ලෙස සැලකිය හැකි එම වාර්තාමය චිත්‍රපටය නම් අපගේ හෘදය සාක්ෂියේ මොකක් හෝ බරපතළ වැරැද්දක් හෝ දෝෂයක් තිබෙන බව කිව යුතුය. එය ප්‍රතිකාර ගතයුතු තරම් බරපතළ දෝෂයක් ද බවද කිවයුතුය.
(තවත් කොටසක් ලබන සතියේ)