ස්වාධීන කොමිෂන් ගැන ජනාධිපතිනියගේ වැදි බණ

December 1, 2002
Publication:
The President has lectured the Constitutional Council that commission members must be honest, impartial and free of corruption charges, while objecting to some nominees and saying Human Rights Commission members she appointed stay until March 2003. Ivan contrasts this with her own appointments: an acting Elections Commissioner during her own election, Sarath N. Silva as Chief Justice while under inquiry, Harry Jayawardena and Sripathi Suriyarachchi. He proposes a parliamentary committee to hear objections, criticises Faiz Mustapha's conduct as HRC chairman, and argues the old commissions lapsed under the 17th Amendment.

ජනාධිපතිනිය ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කැඳවා ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කිරිමේ ක්‍රියාවලිය පිළිබඳව ඔවුන් සමග සාකච්ඡාවක නිරත වී තිබේ. ස්වාධීන කොමිෂන් සභාවලට අවංක, අපක්ෂෂපාත හා කිසිදු ආකාරයක දූෂණ චෝදනාවකට ලක් නොවූ පුද්ගලයන් පත් කළ යුතුය යන්න ජනාධිපතිනිය එහි දි පළ කර තිබෙන එක් මතයකි. ජාතික රාජ්‍ය සේවා කොමිසම හා ජාතික පොලිස් සේවා කොමිසම යන කොමිසම් දෙකට අදාළව ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කර තිබුණු නාම යෝජනා පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් නැතත් අනෙක් කොමිෂන් සභා තුනට අදාළව ඉදිරිපත් කර තිබෙන නම්වලින් සමහර නම් පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් ඇති බවත් ඉනුත් මැතිවරණ කොමිසම හා මුදල් කොමිසමට අදාළව ඉදිරිපත් කර තිබෙන නම්වලින් සමහර නම් සමග තමන්ට එකග විය නොහැකි බැවින් ව්‍යවස්ථා සභාව තමන් එකග නොවන ඒ නම් ගැන නැවත සලකා බැලිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ. මානව හිමිකම් කොමිසම ගැන ප්‍රකාශ කර ඇත්තේ එම කොමිෂන් සභාවට තමන් පත් කර තිබෙන සාමාජිකයන් 2003 මාර්තු මාසය තෙක් වලංගු බැවින් ඊට සාමාජිකයන් පත් කරන්නේ ඉන් පසුව බව ය.

ස්වාධීන කොමිෂන් සභාවලට පමණක් නොව ව්‍යවස්ථා සභාවට පත් කරන පුද්ගලයින් අවංක අපක්ෂෂපාත හා කවර ආකාරයක හෝ දූෂණ චෝදනාවලට ලක් නොවූවන් විය යුතු බවට කිසිදු සැකයක් තිබිය නොහැකි ය. එහෙත් ව්‍යවස්ථා සභාවට බණ කියන ජනාධිපතිනිය ඒ ආයතනවලට පුද්ගලයින් පත් කිරිමේ බලය තමන් අත තිබෙන යුගයේ දි ගරු කටයුතු තනතුරුවලට එම තනතුරුවල ගෞරවයට ගැළපෙන අවංක අපක්ෂෂපාත හා කවර ආකාරයකින් හෝ දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පත් කරන ක්‍රමයක් අනුගමනය කළේ නැත. බොහෝ විට සිදුවූයේ දේශපාලන පක්ෂෂපාතිත්වය සලකා සමහර විට තක්කඩින් පවා පත් කරන ක්‍රමයකි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ව්‍යවස්ථා සභාවක් ඇති කරගන්නා තැනකට රටට යන්නට සිදුවූයේ ද ජනාධිපතිනියට එම විෂය ක්ෂෙෂ්ත්‍රයේ දි ලැබී තිබුණු අසීමිත බලය වැරදි ලෙස පාවිච්චි කිරීම නිසා ය.

ප්‍රජාතන්ත්‍රවාදි ගුණධර්ම අගේ කරන කිසිදු රාජ්‍ය පාලකයකු විසින් නොකරන තරම් නින්දා සහගත තත්ත්වයෙහි ලා සැලකිය හැකි පත්කිරිම් ගණනාවක් ජනාධිපතිනිය විසින් සිදු කළා ය. ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරිමෙන් පසුව තමා විසින් තරග කරන ජනාධිපතිවරණයකට වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයකු පත් කෙරුණු ආකාරය ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. ඊට පෙර නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරික්ෂෂණ දෙකක් ආරම්භ කර තිබුණු අවස්ථාවක දි චෝදනාලාභී සරත් නන්ද සිල්වා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා (අගවිනිසුරු ධූරය) බවට පත් කළේ ය. විනිමය වැරදි ගණනාවකට චෝදනා එල්ල වී සිටි හැරි ජයවර්ධන විනිමය කොමිසමට පත් කළේ ය. නාවික හමුදා සේවයේ යෙදි සිටිය දි මහජන දේපළ කොල්ලකෑ බවට චෝදනා එල්ල වූ ශ්‍රීපති සූරියආරච්චි අත්‍යවශ්‍ය සේවා ජනරාල් ධූරයට පත් කළේ ය.

අද ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කිරිමේ ක්‍රියාවලිය සිදුවිය යුතු ආකාරය පිළිබඳව ව්‍යවස්ථා සභාවට වැදි බණ කියන ජනාධිපතිනිය ඒ ක්‍රියාවලියේ දි ක්‍රියාකොට තිබෙන්නේ ඒ ආකාරයට ය.

ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභාවට පත් කරන පුද්ගලයන් අතර පමණක් නොව දේශපාලකයන් ව්‍යවස්ථා සභාවට නම් කරන පුද්ගලයන් අතර ද ඒ තනතුරේ ගෞරවයට හේතු නොවන පුද්ගලයන් සිටී නම් විරෝධය පළ කිරිමේ අයිතිය ජනාධිපතිනියට පමණක් නොව හැම පුරවැසියෙකුටම තිබිය යුතු ය. එහෙත් ජනාධිපතිනිය ඒ සඳහා යොදාගෙන තිබෙන ක්‍රමය මුළුමණින් ම වැරදි ය.

දැන් ජනාධිපතිනිය කියන්නේ මේ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීමට අදාළව තමන්ට මුක්තියේ තිබුණු බලය තවදුරටත් කිසියම් විශාල ප්‍රමාණයකට තමන් අතට ගන්නා පිළිවෙතකි. එහෙත් එය වැරදි සහගත ය. ඒ වෙනුවට විය යුත්තේ විරෝධතා ඇතොත් විරෝධය පළ කිරිමේ අයිතිය ලබාදෙන ක්‍රමවේදයක් ඇති කිරීම ය. උසස් තනතුරුවලට පුද්ගලයින් පත් කිරිමේ දි ඒ පුද්ගලයින්ට එරෙහිව ඉදිරිපත් කළ හැකි චෝදනා වෙතොත් ඒවා ඉදිරිපත් කිරීම සඳහා උසස් තනතුරු සඳහා වන පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් රටේ ක්‍රියාත්මක වේ. නිද්‍රාශීලී තත්ත්වයක තිබෙන එම ක්‍රමය සජීවී කොට ව්‍යවස්ථා සභාවට පත් කරන පුද්ගලයින් හා ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයන්ට එරෙහිව පැමිණිලි ඇතොත් ඒ කමිටුව මගින් ඒ පැමිණිලි සලකා බලන ක්‍රමයකට යා යුතු ය. ව්‍යවස්ථා සභාවට පත් කරන පුද්ගලයන් අතර එම තනතුරුවල ගෞරවයට හේතු නොවන පුද්ගලයන් සිටී නම් ජනාධිපතිනිය පවා ඒ සඳහා වන පැමිණිලි ගෙන යා යුත්තේ එතැනට ය.

රාජ්‍ය නායිකාව වශයෙන් ජනාධිපතිනිය කළ යුත්තේ ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ට වැදි බණ දෙසා බෑම වෙනුවට අගමැති හා විපක්ෂෂ නායකයා සමග සාකච්ඡා කොට ව්‍යවස්ථා සභාවට කරන පත්කිරිම්වල දි හා ව්‍යවස්ථා සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත්කිරිම්වල දි එම තනතුරුවල ගෞරවයට හේතු නොවන පත් කිරීම් ඇතොත් ඒ අවස්ථාවල දි පැමිණිලිකළ හැකි එම පැමිණීලි විභාග කරන ආයතනයක් ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම ය.

මානව හිමිකම් කොමිසම පිළිබඳව ද ජනාධිපතිනිය පළකර තිබෙන අදහස් ව්‍යවස්ථාවට පටහැනි ය. රටේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. රාජ්‍ය නායකයා එය උල්ලංඝණය කරයි නම් එය දෝෂාභියෝගාත්මක වරදකි.

ජනාධිපතිනිය මානව හිමිකම් කොමිසමට කරන ලද පත්කිරිම් ඉතා විශිෂ්ට තත්වයක තිබුණේ යයි කිව නොහැකි ය. මානව හිමිකම් පිළිබඳ ස්ථිර කොමිෂන් සභාවක් ඇති කිරීමට සිදුවූයේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ඇතිකරගත් ජාත්‍යන්තර සම්මුතිය යටතේ ය. මානව හිමිකම් උල්ලංඝණය වන අවස්ථාවක දි පීඩාවට ලක්වන පුද්ගල පිරිස අපහසුවකින් තොරව සරල ආකාරයකින් පැමිණිලි ඉදිරිපත් කළේ යයි කළ හැකි හා ඒ පැමිණිලි ගැන කඩිනමින් සොයා බලන ආයතන ව්‍යුහයක් ඇති කිරීම එම කොමිෂන් සභාව ඇති කිරිමේ අරමුණ විය.

කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිෂන් සභාවේ ප්‍රධාන විධායකයා වන අතර ඒ වෙනුවෙන් මහජන මුදලින් සභාපතිවරයා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය කරන්නේ ය. සභාපති ධූරය දරන පුද්ගලයා ඒ තනතුරේ පූර්ණ කාලීනයකු ලෙස ක්‍රියාකළ යුතු ය. එහෙත් ජනාධිපතිවරයා පත්කළ සභාපතිවරයා (ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා) කොමිෂමේ ප්‍රධාන විධායකයා ලෙස ක්‍රියා කරන අතර සිය නීතිඥ වෘත්තියේ ද යෙදුණේ ය. සමහරවිට මානව හිමිකම් උල්ලංඝණය කිම්වලට අදාළව නඩු විමසීම්වල යෙදෙන අතර ඊට සම්බන්ධව කොමිසම ඉදිරියේ ඇසෙන නඩුවල දි මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන් වෙනුවෙන් ද පෙනී සිටියේ ය. තමන් පත්කළ මේ පුද්ගලයාගේ වැරදි ක්‍රියා කලාපය වෙනස් කිරීමට ජනාධිපතිනිය කිසිවක්ම කළේ නැත.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට ලක් කෙරුණ කාරක සභා අවස්ථාවේදි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග බලරහිත වී අලුතෙන් සාමාජිකයන් පත් කළ යුතු ආයතන ගණනාවක් පිළිබඳව පොදු එකගතාවක් ඇති කරගන්නා ලදි. ඉන් එක් ආයතනයක් වන්නේ මානව හිමිකම් කොමිසමය. අනෙක අල්ලස් හෝ දූෂණ කොමිසමය.

තිබෙන කොමිෂන් සභා අතරින් මෙම ව්‍යවස්ථා සංශෝධනය නීතිගතවීමෙන් පසුව බලරහිත නොවන කොමිෂන් සභා මොනවාදැයි ව්‍යවස්ථා සංශෝධනයේ 25 වගන්තියේ 1 සහ 2 යන උපවගන්ති වලින් පැහැදිලිව විස්තර කර තිබේ. ඒ අනුව බලරහිත නොවන්නේ රාජ්‍ය සේවා කොමිසම හා අධිකරණ සේවා කොමිසම පමණය. එම කොමිෂන් සභා පහේ බලය දරන්නේ ද ව්‍යවස්ථා සභාව, එම කොමිෂන් සභා දෙකට සාමාජිකයන් නම් කරන තෙක් පමණය. සාමාජිකයන් නම් කිරීමත් සමග ඒ කොමිෂන් සභාවල පැරණි සාමාජිකයන් ද බලරහිත තත්ත්වයකට පත්වන්නේය.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව හා මුදල් කොමිෂන් සභාව යන කොමිෂන් සභා තුනේම සාමාජිකයන් ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමත් සමග බලරහිත වන්නේය. එසේ බලරහිත වී සිටින පුද්ගලයන් පැරණි ක්‍රමය අනුව ඔවුන්ගේ ධුර කාලය අවසන් වන තෙක් තබාගැනීම නීතියට පටහැනිය. පැරණි මානව හිමිකම් නීතිය සාමාන්‍ය නීතියක් පමණය. නව විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේම කොටසක් වන නිසා ඒ දෙකෙන් බලාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ව්‍යවස්ථා සභාව පවා තවමත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අධිකරණ සේවා කොමිසමට නව සාමාජිකයන් පත් කර නැත. ඒ දෙකේම ප්‍රධාන තනතුරු දරන්නේ ජනාධිපතිනියගේ විශ්වාසදායකයන්ය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ක්‍රියාත්මකවෙමින් තිබෙන්නේ ජනාධිපතිනියගේ දේශපාලන සිතැගියාවන්ට ගැලපෙන ලෙසය.