කුමාර් පොන්නම්බලම් ඝාතනය

February 17, 2002
Publication:
An investigative dossier on the January 2000 killing of Kumar Ponnambalam. It sets out a timeline linking the killing to the President's televised attack on critics, and reports Mrs Ponnambalam's accusation against the government and CID chief Bandula Wickremasinghe's secret report naming Mahen Ratwatte as instigator. It reproduces the President's two condolence letters (one wrongly dated), suspect Sugath Ranasinghe's affidavit clearing Mahen Ratwatte, a lawyer's letter for Ratwatte, and a transcript of Ranasinghe's taped phone confession.

කුමාර් පොන්නම්බලම් ඝාතනයේ වෙඩික්කාරයා ලෙස ක්‍රියා කොට ඇති පුද්ගලයා ලෙස සැලකෙන මොරටුව ඩී/3 සොයිසා මහල් නිවාසයේ පදිංචි එම්.ඒ. කමල්සිරි කාලිංගවංශ හෙවත් මොරටුව සමන් නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කුමාර් පොන්නම්බලම් ඝාතනය මෙහෙයවූ පුද්ගලයා ලෙස සැලකෙන දැනට අත්අඩංගුවේ සිටින උපසේවා පොලිස් කොස්තාපල්වරයකු වන එන්.පී. සුගත් රණසිංහ විසින් පෙබරවාරි 29 වැනිදා ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් ඒ.සී. රණසිංහ මහතා ඉදිරියේ මේ සිද්ධිය පිළිබඳව පුවත්පත් වාර්තා කොට තිබෙන කරුණු පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළේය.

මේ අතර “රාවය” හා “ලීඩර්” පුවත්පත්වල පළවූ, අපරාධ පරීක්ෂණ බියුරෝවේ එවකට ප්‍රධානියා ලෙස ක්‍රියා කළ බන්දුල වික්‍රමසිංහ මහතා ජනාධිපතිනිය වෙත කුමාර් පොන්නම්බලම් ඝාතනය පිළිබඳව යවන ලද රහස්‍ය වාර්තාව සත්‍යයක් නොවන බව ප්‍රකාශ කරමින් ජනාධිපතිනිය ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයා වෙත දැනුම් දිමක් කර දැනට සති තුනකට වැඩි කාලයක් ගතවී ඇතත්, තවමත් පොලිස්පතිවරයා පරික්ෂණයක් ආරම්භ කර නැත.

දැනට අත්අඩංගුවේ සිටින උප සේවා පොලිස් කොස්තාපල් එන්.පී. සුගත් රණසිංහ අපරාධ පරීක්ෂණ බියුරෝවේ පොලිස් පරීක්ෂක නුවන් වැදිසිංහ මහතා වෙත දුරකතනයෙන් කරන ලද පාපොච්චාරණයේ පටිගත කළ පිටපත සොයා ගැනීමට “රාවය”ට හැකිවී තිබෙන අතර, එම දුරකතන සංවාදයට ඝාතනයට අදාළ ඉතාම වැදගත් තොරතුරු රැසක් ඇතුළත්ය. ඒ දුරකතන සංවාදයෙන් එහිදි දැනගන්නට ලැබෙන ඉතාම වැදගත් හා අලුත්ම කරුණ වනුයේ සුගත් මෙම ඝාතනය මෙහෙයවන ලද බව දැන සිටි පුද්ගලයන් අතර, ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි මහතාගේ පුත්‍රයෙකු ද වන බවය.

පොලිස් පරීක්ෂක නුවන් වැදිසිංහ මහතා වෙත සුගත් රණසිංහ කරන දුරකතන පාපොච්චාරණයට පෙර සමස්ත සිද්ධිය පිළිබඳව හරි චිත්‍රයක් ඇති කර ගැනීම සඳහා සිදුවීම් පෙළ ගැසී තිබෙන ආකාරය තේරුම් ගැනීම ප්‍රයෝජනවත්ය.

ක. ජනාධිපතිනියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ 1999 දෙසැ. 18 වැනිදාය.

ක. ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිනියගේ පදවිප්‍රාප්ති උත්සවය පැවතියේ දෙසැ. 22 වැනිදාය. එදිනම සවස ප්‍රතිකාර ගැනීම පිණිස ජනාධිපතිනිය එංගලන්තය බලා ගියාය.

ක. නැවත ජනාධිපතිනිය ශ්‍රී ලංකාවට පැමිණියේ 2000 ජනවාරි 02 වැනිදාය.

ක. ජනාධිපතිනියගේ පැය තුනේ රූපවාහිනී සංවාදය සිදුවූයේ ජනවාරි 03 වැනිදාය.

ක. කුමාර් පොන්නම්බලම් ඝාතනය කෙරුණේ එම රූපවාහිනී සංවාදයෙන් දින දෙකකට පසු එනම් ජනවාරි 05 වැනිදාය.

ක. ජනාධිපතිනියගේ පදවි ප්‍රාප්තිය සිදුවූ දෙසැ. 22 වැනි දින ජනාධිපතිනිය ජාතිය අමතා කළ කථාව විවේචනය කරමින් දැඩි ස්වරයකින් ලියන ලද ලිපියක් කුමාර් පොන්නම්බලම් මහතා ජනාධිපතිනිය වෙත යවා තිබුණි. (එහි පිටපතක් 2000 ජනවාරි 06 වැනි දා “දි අයිලන්ඩ්” පුවත්පතේ පළවිය.)

ක. පොන්නම්බලම් මහතාගේ දේහය ක්වීන්ස් පාරේ ඇති පොන්නම්බලම් නිවාසයට ගෙනා පසු ජනවාරි 07 වැනි දින පොදු ජන එක්සත් පෙරමුණේ ලේකම් දි.මු. ජයරත්න මහතා පොන්නම්බලම් මහතාට ගෞරව දැක්වීම පිණිස ඒ නිවසට ආවිට, පොන්නම්බලම් මහත්මිය ජයරත්න මහතා අමතා සිය ස්වාමියාගේ ඝාතනය පොදු පෙරමුණු ආණ්ඩුව විසින් කරවන ලද්දක් බව ප්‍රකාශ කර සිටියාය. එම ප්‍රකාශයත් සමග ජයරත්න මහතා එම නිවසින් යන්නට ගියේය. තවත් ස්වල්ප වේලාවකින් ඒ ස්ථානයට නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත මහතාගේ බිරිඳ (රමනී) පැමිණියාය. ඝාතනයට සම්බන්ධ බවට ඒ වනවිට හෙළිවී තිබූ ශාන්ත ගැන ඇය කුමාර් පොන්නම්බලම් මහත්මියගෙන් විමසූ විට “මේ ඝාතනයට වගකිවයුතු අය ගැන තමන් හොඳින් දන්නා බැවින් ඒ ගැන කරුණු විමසීම තේරුමක් නැති බව” ප්‍රකාශ කරමින් මේ ඝාතන සිද්ධියට වගකිව යුත්තේ ඇගේ ස්වාමි පුරුෂයා හා ජනාධිපතිනිය බව ප්‍රකාශ කර සිටියාය. ඒ බව ඔවුන්ට ද කියන ලෙස ඇය අනුරුද්ධ රත්වත්ත මහත්මිය වෙත ප්‍රකාශ කර සිටියාය.

ක. අනුරුද්ධ රත්වත්ත මහත්මිය පිටවී පැය 1/2කට පසුව එහි පැමිණි පුද්ගලයකු තමා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියකු බව ප්‍රකාශ කරමින් ජනාධිපතිනිය විසින් එවන ලද ලිපියක් පොන්නම්බලම් මහත්මියට භාර දුන්නේය. ජනාධිපති නිල ශීර්ෂය සහිත කඩදාසියක ලියා තිබූ එම පණිවුඩයේ මෙසේ සඳහන් විය.

දයාබර පොන්නම්බලම් මහත්මිය,

ඔබේ සැමියා වූ කුමාර් පොන්නම්බලම් මහතාගේ ඝාතනය ගැන මම මහත් ශෝකයට පත්වීමි. කරුණාකර මගේ ශෝකය පිළිගන්න.

ඔබේ වේදනාව අඩුකිරීමට වචනවලින් නොහැකි බව දනිමි. එසේ වුවත් මේ අසීරු දිනවල මාගේ ශෝකය ඔබ හා ඔබගේ පවුලේ අය සමග බව දන්වමි. කරුණාකර මාගේ ශෝකය පවුලේ අනෙක් අයට දන්වන්න.

ඔබේ හිතේෂි

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

පුදුමයකට මෙන් ශෝක පණවුඩය ඇතුළත් ලිපිය ලැබුණේ 2000 ජනවාරි 07 වැනිදා වුවත්, ඊට දාතම වශයෙන් යොදා තිබුණේ 1999 මැයි 06 වැනිදාය. සිදුවී තිබූ මේ වැරදීම ගැන පුවත්පත් වලින් විවිධ අදහස් ප්‍රකාශ විය.

ක. සිදුවූ වැරදිම ගැන කණගාටුව පළ කරමින් 2000 ජනවාරි 19 වැනි දින ජනාධිපතිනිය පොන්නම්බලම් මහත්මිය වෙත තවත් ලිපියක් එව්වාය. එහි සිංහල පරිවර්තනය මෙසේය.

දයාබර පොන්නම්බලම් මහත්මිය,

2000 ජනවාරි 07 වැනි දින ඔබ වෙත එවූ ශෝකය පළකිරිමේ පණිවුඩයේ සඳහන් වූ දාතම පිළිබඳව සමහර පුවත්පත් අනවශ්‍ය අන්දමේ අනුමාන කිරිම් ගැන මගේ අවධානය යොමුවී තිබේ. මෙම ප්‍රමාද දෝෂය පිළිබඳව මම කණගාටු වෙමි. මගේ කාර්යාලයෙන් සිදුවූ ප්‍රමාද දෝෂය නිසා ඔබ සිත තුළ යම් වේදනාවක් ඇතිවී නම් මම ඉතා දයාබරව ඔබෙන් සමාව ඉල්ලා සිටිමි.

විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් විවිධ පුද්ගලයින්ට යැවීම සඳහා විවිධාකාරයේ ලිපි මාගේ කාර්යාලයේ පරිගණක ගත කොට තිබේ. ඇඳිරි නීතිය පැවති එම දිනයේ හදිසි රාජකාරි කිරීම සඳහා පැය කිහිපයකට පමණක් එක් නිලධාරියෙක් සේවයට වාර්තා කළේය. ඔබ වෙත ශෝකය පළ කෙරෙන පණිවුඩය ඉක්මණන් සැකසීම ඔහුට භාර විය. ශෝකය පළ කරන්නට ඊට පෙර අවස්ථාවක යොදා ගැනුණු ලිපියේ දාතම පිළිබඳ ඔහුගේ අවධානය යොමුවන්නට නැත්තේ කඩිනමින් එය සැකසීම නිසාය. එය මාගේ අත්සන සඳහා ඉදිරිපත්ව ඇත්තේ ද එම පැරණි දාතම සහිතවය.

මම සාමාන්‍යයෙන් හැම කරුණක්ම පරීක්ෂාකාරිව බලා වැරදි ඇත්නම් නිවැරදි කරන නමුත්, මා දැන් බැලිය යුතුව ඇත්තේ එක ඇසකින් පමණක් නිසා මේ සුළු වරද මගේ අවධානයෙන් ගිලිහී යන්නට ඇත.

මේ ප්‍රමාද දෝෂය සම්බන්ධයෙන් මාධ්‍ය ඇති කරන තත්ත්වය මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. එමෙන්ම සම්පූර්ණ අහිංසක ප්‍රමාද දෝෂයක් සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා ගොඩනැගීම පිළිබඳව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නෙමි.

විශ්වාසී,

අත්සන් කළේ

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ක. පොන්නම්බලම් ඝාතන නඩුවේ පොන්නම්බලම් පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ දයා පෙරේරා මහතා 2000 ජූලි 16 වැනි දින නීතිපති කමලසබේසන් මහතා වෙත යවන ලිපියකට ඇතුළත්ව තිබුණු කරුණු කිහිපයක් මෙසේය.

ක. පොන්නම්බලම් මහතා ඝාතනය කළ දිනට පසු දින අපරාධ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂ බන්දුල වික්‍රමසිංහ මහතා පොන්නම්බලම් මහත්මියට කතා කොට එම ඝාතන සිද්ධිය පිළිබඳ ඇය කිසිවෙක් සැක කරන්නේදැයි විමසා තිබේ. ඇය ඊට දි තිබුණු පිළිතුර වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානම පුද්ගලයාගේ අනු දැනුම ඇතිව මේ ඝාතනය සිදුවී ඇති බව ඇගේ විශ්වාසය වන බවය. එවිට බන්දුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ ආණ්ඩුව එවැනි දේවල් කිසිසේත් ම නොකරන බවත්, එම ඝාතනය ඊපීඩීපී සංවිධානය විසින් කරන ලද්දක් බවත්ය.

පොන්නම්බලම් ඝාතන සිද්ධියෙන් පසුව එම පවුලේ අය කලක් විදේශ ගතවී තිබෙන අතර, නැවත රටට ආපසු පැමිණ ඇත්තේ 2000 අප්‍රේල් 21 වැනිදාය. ඊට දිනකට හෝ දින දෙකකට පසුව බන්දුල වික්‍රමසිංහ මහතා පොන්නම්බලම් මහත්මියට දුරකතනයෙන් කතා කොට කියා ඇත්තේ පොන්නම්බලම් ඝාතනය පිළිබඳ සියලු පරීක්ෂණ අවසන් බවත්, මෙම ඝාතනය නියමිත වශයෙන්ම එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලද්දක් බව එම පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බවත්ය.

ක. මේ කාලය තුළ ආණ්ඩුවේ ජනමාධ්‍ය මගින් පුන පුනා කියවූයේ ද පොන්නම්බලම් ඝාතනය පිටුපස ඉන්නේ කොටි සංවිධානය බවය.

ක. 2000 අප්‍රේල් 6 වැනිදා කෙසෙල්වත්ත පොලිසිය මගින් මොරටුවෙ සමන් නමැති පුද්ගලයා මරදාන දේවානම්පියතිස්ස මාවතේ දි අත්අඩංගුවට ගත්තේය. ඒ බව දැනගන්නට ලැබුණු වහාම කුමාර් පොන්නම්බලම් ඝාතනයේදි වෙඩි තබන ලද පුද්ගලයා සමන් බව ප්‍රකාශ කරමින් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරන ලෙස “රාවය” බන්දුල වික්‍රමසිංහ මහතාට ද, පොලිස් පරීක්ෂක නුවන් වැදිසිංහ මහතාට ද දුරකතනයෙන් දැනුම් දුන්නේය.

ෂෝ වික්‍රමසිංහ මහතා ඊට දෙන ලද පිළිතුර වූයේ තමන් ඒ ගැන කරන සියලු පරික්ෂණ අවසන් කොට ඇති බවත්, පොන්නම්බලම් මහතාට වෙඩි තබා ඇත්තේ මොරටුවේ සමන් කෙනෙකු නොව, කොටි සංවිධානය විසින් බවය. සමන් අත්අඩංගුවට ගැනීමේ පුවත “රාවය” පොන්නම්බලම් මහත්මියට ද දැනුම් දුන්නේය. පොන්නම්බලම් මහත්මිය ෂෝ වික්‍රමසිංහ මහතාට කතා කොට, අත්අඩංගුවේ සිටින මොරටු සමන් දැකීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙන අතර, කුමාර් පොන්නම්බලම් මහතා ඝාතනය කළේ කොටි සංවිධානය බව හඳුනාගෙන ඇති බැවින් සමන් කෙනෙකු හඳුනාගැනීමේ අවශ්‍යතාවක් නැති බව ද ප්‍රකාශ කර තිබුණ. “පොන්නම්බලම් ඝාතන සැකකරු අත්අඩංගුවට – පරීක්ෂණය යට ගසන සැලසුමක්” යන හිසින් අප්‍රේල් 23 වැනිදා “රාවය” පළ කළ පුවතක් මගින් මේ ඝාතනයට උප සේවා පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධ බවත්, ඔහු පොන්නම්බලම් මහතා පරිහරණය කළ සෙලියුලර් දුරකතනය මතක සටහනක් ලෙස තබාගෙන සිටින බවත්, ප්‍රකාශ කළේය.

ක. කුමාර් පොන්නම්බලම් ඝාතනය සැලසුම් කළ උපසේවා පොලිස් කොස්තාපල් එන්.පී. සුගත් රණසිංහ 2000 මැයි 21 වැනිදා පොලිස් පරීක්ෂක නුවන් වැදිසිංහ මහතාට දුරකතනයෙන් කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන පාපොච්චාරණයක යෙදුණේය. (දුරකතන සංවාදයේ හඬ පටිය අන් තැනක පළවේ.) රණසිංහ, පොලිස් පරීක්ෂක නුවන් වැදිසිංහ මහතාට කතා කර ඇත්තේ මහනුවර වටපුලුවේ දුමිඳු මාවතේ, අංක 15 දරන තැන පිහිටා ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් ආගන්තුක නිවාසයේ (Guest House) අංක 08-223993 දරන දුරකතනයෙනි. ඔහු එසේ කතා කරන අවස්ථාවේදි ඒ ස්ථානයේදිම රටේ නමගිය අපරාධකරුවකු ලෙසින් සැලකෙන ධම්මික පෙරේරා ද සිටි බව දුරකතන සංවාදයේ සඳහන් වේ. එය නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හා ඔහුගේ දරුවන් ඔවුන්ගේ ආධාරකරුවන් තබා ගැනීම සඳහා පාවිච්චි කළ ප්‍රධාන නැවතුම්පොළකි. මෙම පාපොච්චාරණය නිසා රණසිංහ ඇලකට දමා තිබූ කුමාර් පොන්නම්බලම්ගේ සෙලියුලර් දුරකථනය සොයා ගැනීමට අපරාධ පරීක්ෂෂණ බියුරෝව සමත් විය.

ක. ජූනි 15 වැනිදා බන්දුල වික්‍රමසිංහ මහතා ජනමාධ්‍යවලට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ උප සේවා පොලිස් කොස්තාපල්වරයකු දුරකතනයෙන් කරන පාපොච්චාරණයක් මගින් කුමාර් පොන්නම්බලම් ඝාතනයේ වගකීම භාරගත් බවත්, ඒ අපරාධය සඳහා ඔහු මොරටුව සමන් සහ සුජීව නමැති පුද්ගලයකු යොදා ගෙන ඇති බවත්, ඔවුන් වෙඩි තැබීම සඳහා යොදා ගත් පිස්තෝල දෙක ද සොයා ගත් බවත්, එය එම කණ්ඩායමේ ම පුද්ගලික වුවමනාව මත කරන ලද ඝාතනයක් මිස, ඊට පිටස්තර කිසිවකු සම්බන්ධ නැති බවත් ය. “රාවය” ඒ ගැන ජූනි 18 වැනිදා “කුමාර් පොන්නම්බලම් ඝාතනයේ දේශපාලකයින් සගවයි” යන හිසින් පළ කළ පුවතක් මගින් බන්දුල වික්‍රමසිංහ මහතාගේ අරමුණ ඝාතනය පිටුපස සිටින පුද්ගලයින් සැගවීම බව ප්‍රකාශ කර සිටියේය.

ක. 2000 ජූලි 28 වැනි දින ගෙයක් බිඳ රුපියල් මිලියන 1.3ක බඩු සොයා ගැනීමේ සිද්ධියක් මත අපරාධ පරීක්ෂණ බියුරෝව මොහොමඩ් තහීර් නමැති පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. සොරා ගන්නා ලද බඩු අතර තිබූ රුපියල් 20,000ක් පමණ වටිනා අලුත් වැකුම් ක්ලීනරයක් ගැන ප්‍රශ්න කිරිමේදි එය උප සේවා පොලිස් කොස්තාපල් (12559) සුදත් රණසිංහ නමැත්තාට දෙන ලද බව තහීර් ප්‍රකාශ කළේය. උප සේවා පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගන්නා ලද අතර, වැකුම් ක්ලීනරය ජෝර්ජ් ස්ටුවර්ට්ස් හි සේවය කරන මහේන් රත්වත්තට (අනුරුද්ධ රත්වත්ත මහතාගේ පුත්‍රයෙකි.) දෙන ලද බව ඔහු ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව එම වැකුම් ක්ලීනරය මාදිවල ලින්ක් හෝම්ස් නිවාස යෝජනා ක්‍රමයේ මහේන් රත්වත්ත මහතාගේ නිවසින් ලබාගැනීමට සමත් වී තිබේ.

ක. බන්දුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට 2000 අගෝස්තු මස දිනකදි ජනාධිපතිනියගේ කැඳවීමක් අනුව ජනාධිපති මන්දිරයේදි ඇය හමුවූ අවස්ථාවකදි කුමාර් පොන්නම්බලම් ඝාතනය පිටුපස මහේන් රත්වත්ත සිටින බව ද රෝහණ කුමාර ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ බැද්දගානේ සංජීව සම්බන්ධ බවට ද පරීක්ෂණවලදි තොරතුරු අනාවරණය වී ඇති බව ජනාධිපතිනියට දැනුම් දුන්නේය. රෝහණ කුමාර ඝාතනය කිරීමට ගිය වාහනය පදවා ඇත්තේ සංජීව බව ප්‍රකාශ කළවිට ජනාධිපතිනිය විශ්මය පළකරමින් එසේ නම් සංජීව පිටරටකටවත් යවන්නට සිදුවන බව ප්‍රකාශ කළ බව ද සිය දිවුරුම් පෙත්සමෙන් ප්‍රකාශ කර තිබේ. එහිදි කුමාර් ඝාතනය පිළිබඳව වාර්තාවක් සකස් කර දෙන ලෙස ද ජනාධිපතිනිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපතිනිය වෙත ඒ ගැන රහස්‍ය වාර්තාවක් භාර දෙන ලද බවත් ප්‍රකාශ කරයි.

ක. 2000 සැප්. 07 වැනිදා ජනාධිපතිනියට යවන ලද රහස්‍ය වාර්තාවෙන් කියා ඇත්තේ මහේන් රත්වත්තගේ පෙළඹවීම පිට රණසිංහ විසින් මේ ඝාතනය සඳහා මොරටුවේ සමන් හා සුජීව යන දෙදෙනා යොදා ගත් බවය. රහසිගතව භාරවීමට අවශ්‍ය වී තිබුණත්, මහේන් රත්වත්ත ඔහුගේ භාරවීම වැළකූ බවත්, “ඔබ කරදර වන්නේ කුමටද? ඉහළම අය සියලු දෙනා මේ ඝාතනය දන්නවායි” වරක් තමා සමග මහේන් රත්වත්ත ප්‍රකාශ කළ බවත් එම රහස්‍ය වාර්තාවේ සඳහන් වේ. වැදිසිංහ සමග දුරකතනයෙන් කරන සාකච්ඡාවේදි එම ඝාතනය ගැන බාලපටබැඳිගේ පුතාත් දන්නා බව සඳහන් වෙතත්, කවර හේතුවක් නිසා හෝ රහස්‍ය වාර්තාවේ ඒ ගැන සඳහන් වන්නේ නැත.

සුගත් රණසිංහ ජනවාරි 29 වැනි දා

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත

ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය.

දිවුරුම් ප්‍රකාශයයි

කොළඹ 05, තිඹිරිගස්යාය, අභයරාම පටුමගේ, අංක 27/28හි පදිංචි නානායක්කාර පල්ලියගේ සුගත් රණසිංහ වන මා බෞද්ධාගමිකයකු වශයෙන් අවංක ලෙසත්, සත්‍ය ලෙසත්, ගාම්භීරතා පූර්වකවත් ප්‍රතිඥා දි ප්‍රකාශ කර සිටින වග නම්,

1. ඉහත නම් සඳහන් සිද්ධි ප්‍රකාශක වන මම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 46943/NS දරන නඩුවේ ද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 26293NS, 26294/NS, 26329NS යන නඩුවල සැකකරුවකු වශයෙන් දැනට රක්ෂෂිත බන්ධනාගාරගතව සිටිමි.

2. මම වර්ෂ 1987 සිට ශ්‍රී ලංකා පොලීසියේ උපසේවා බල ඇණියේ ආර්.පී.සී. 12559 දරන අංකය යටතේ උපසේවා පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කළ අතර මා බන්ධනාගාර ගත වන අවස්ථාවේ කොම්පඤ්ඤවීදිය කිව් පාරේ පිහිටි උපසේවා මූලස්ථානයට අනුයුක්තව සේවයේ සිටියෙමි.

3. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 38664NS දරන නඩුවට මා සම්බන්ධ බවට පොලීසිය විසින් සැක කරන බවට දැනගැනීමෙන් අනතුරුව 2000.06.09 වැනි දින මම නීතිඥවරයකුගේ මාර්ගයෙන් එම අධිකරණයට බාර වුණෙමි. ඉන් අනතුරුව ඉහත පළමු ඡේදයේ සඳහන් නීතිඥ කුමාර් පොන්නම්බලම් මහතාගේ ඝාතනයට සම්බන්ධ අංක 46943NS නඩුවේ සැකකරුවකු වශයෙන් ද මගේ නම පොලීසිය විසින් ඊට ඇතුළත් කර ඇත.

4. බස්නාහිර පළාතේ කොළඹ පිහිටි පළාත් බද මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරිමෙන් පසු 2001 සැප්තැම්බර් මාසයේදි රුපියල් 70,000/-ක මුදල් ඇප රු. 800000/-ක ශරිර ඇප සහ රුපියල් දස දහසකට වඩා වැටුපක් ලබන රජයේ සේවකයන් දෙදෙනකු ඇපකරුවන් වීම යන කොන්දේසි මත මා එකී 46943/එන්එස් දරන නඩුවෙන් ඇප පිට මුදා හරින ලෙස ගරු පළාත්බද මහාධිකරණ විනිසුරුතුමා නියම කර ඇති නමුත් අදාළ ඇප මුදල සහ ඇපකරුවන් සොයා ගැනීමට ඇති අපහසුතාව මත මම මේ දක්වාම රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙමි.

5. නීතිඥ කුමාර් පොන්නම්බලම් මහතාගේ ඝාතනය මහේන් රත්වත්තේ මහතාගේ පෙළඹවීම මත මා විසින් සැලසුම් කළ හෝ සිදු කළ බවට පුවත්පත්වල පසුගිය දිනවල සඳහන්ව තිබූ බව මට දැනගැනීමට ලැබුණු අතර, මා ප්‍රතිඥා පිට ප්‍රකාශ කර සිටින්නේ එකී ඝාතනයට හෝ වෙනත් කිසිම ඝාතනයක් සඳහා මහේන් රත්වත්තේ මහතා විසින් මට කිසිදු පෙළඹවීමක් හෝ උපදෙසක් ලබාදි නොමැති බවත්, මා කිසිම ඝාතනයකට සම්බන්ධ නොමැති බවත්ය. මා විසින් එකී ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වා ගෙන යන නිලධාරින්ට කරන ලද ප්‍රකාශයේ ද මගේ නිර්දෝෂිභාවය පිළිබඳව අවධාරණය කළෙමි.

6. මා මෙම දිවුරුම් ප්‍රකාශය සිදු කරන්නේ පොන්නම්බලම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස මට සිදුවී ඇති අසාධාරණයත්, ඊට මහේන් රත්වත්තේ මහතාගේ නම ඈඳ ගැනීමෙන් ඒ මහතාට ද සිදුවිය හැකි අසාධාරණයක් වළක්වා ගැනීම පිණිසය. මේ සඳහා කිසිම කෙනෙකු විසින් මට බලපෑමක් තර්ජනයක් පොරොන්දුවක් හෝ පෙළඹවීමක් කර නොමැති බව ද අවධාරණය කර කියා සිටිමි.

ඉහත සඳහන් දිවුරුම් පත්‍රය එකී ප්‍රතිඥා ප්‍රකාශක

විසින් කියවා බලා එහි අඩංගු කරුණු තේරුම්

ගෙන වර්ෂ 2002 ක් වූ ජනවාරි මස 04 වැනි දින කොළඹ

මැගසින් බන්ධනාගාරයේදි මා ඉදිරිපිට ප්‍රතිඥා දි අත්සන් කරන ලදි.

මා ඉදිරිපිට අත්සන් තබන ලදි.

අ.ක… ජේලර්

විනය අංශය නව මැගසින් බන්ධනාගාරය, කොළඹ 09

රු. 10/-ක මුද්දරයක් මත අත්සන් කර ප්‍රතිඥා ප්‍රකාශක මා ඉදිරිපිටදි

අ.ක. සනත් විජේවර්ධන

දිවුරුම් කොමසාරිස්, මුද්‍රාව තබා ඇත.

සැගවී සිටින මහේන් රත්වත්ත වෙනුවෙන් නීතිඥ මහේන්ද්‍ර ඩයස් මහතා අප වෙත

එවා තිබෙන පැහැදිලි කිරීම

“රාවය” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයන් යටතේ පළ වූ වාර්තා වන “දේශපාලන ඝාතන රහස සැගවූ බවට ජනාධිපතිනියට චෝදනා” (පළවූ දිනය 2001 දෙසැ. 30) හා “රෝහණ කුමාර හා කුමාර් පොන්නම්බලම් ඝාතන ජනාධිපතිනිය පඹ ගාලක” (පළ වූ දිනය 2002 ජනවාරි 13)

මගේ සේවාදායකයා වන කෝට්ටේ, මාදිවෙල, තුන්වන පටුමග, 33/10 යන ස්ථානයේ පදිංචි මහින්ද රත්වත්තේ ලෙසින් හඳුන්වන මහේන් රත්වත්තගෙන් ලැබෙන උපදෙස් වලට අනුව ඔබ පුවත්පතේ ඉහත සඳහන් ප්‍රධාන ශීර්ෂ පාඨ යටතේ පළ කළ වාර්තා මගින් ඔහුව කුමාර් පොන්නම්බලම් ඝාතනයට සම්බන්ධ බවට පෙන්වීමට උත්සාහ කර ඇත. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ කුමාර් පොන්නම්බලම් ඝාතනයේ කුමන හෝ සිද්ධියකට ඔහුගේ කිසිම ආකාරයක සම්බන්ධයක් නැති බව ය.

මා හට ලැබෙන උපෙදස් අනුව ඉහත සඳහන් වාර්තාවලට පදනම් වී ඇත්තේ එස්.එස්.පී. බන්දුල වික්‍රමසිංහ විසින් දෙන ලද දිවුරුම් ප්‍රකාශයක් ය. මාගේ සේවා දායකයා එම දිවුරුම් ප්‍රකාශය තුළින් ඔහුට එල්ල කර ඇති සෑම චෝදනාවක් ම එක්ව හා වෙන් වෙන්ව තරයේ ප්‍රතික්ෂෙෂ්ප කර සිටී.

ඔබගේ දැනගැනීම සඳහා තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ කුමාර් පොන්නම්බලම් නඩුවේ පළවන සැකකරු 04.01.2002 දිනැති දිවුරුම් ප්‍රකාශයක් එම නඩු වාර්තාවේ මේ වන විට ගොනුකර ඇති බවත්, එම දිවුරුම් ප්‍රකාශයට අනුව මාගේ සේවාදායකයා කිසිම ආකාරයකින් කුමාර් පොන්නම්බලම් ඝාතනයට සම්බන්ධයක් නැති බව දිවුරුම් පිට ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් එම සැකකරු 29.01.2002 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ දි ප්‍රකාශයක් කර තිබේ.

කුමාර් පොන්නම්බලම් නඩුවේ 1 වන සැකකරු වන සුගත් රණසිංහගේ 04.01.2002 දිනැති දිවුරුම් ප්‍රකාශයට හා 29.01.2002 දින කරන ලද ප්‍රකාශයට මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ඔබගේ පුවත් පත දුන් තත්ත්වයට සමාන තත්ත්වයක් දි පළ කිරීමට යුක්ති සහගත හා සාධාරණ වෙන මෙන් ඔබෙන් ඉල්ලමි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 46943 භී දරන කුමාර් පොන්නම්බලම් නඩුවේ 1වන සැකකරු සුගත් රණසිංහ ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශයේ සහතික පිටපතක් එම නඩුවේ 11.01.2002 දින හා 12.01.2002 දින කාර්ය සටහන්වල සහතික පිටපතක් හා 29.01.2002 දින කරන ලද ප්‍රකාශයේ සහතික පිටපතක් මීට අමුණා ඇත.

ස්තුතියි,

විශ්වාසී,

මහේන්ද්‍ර ඩයස්

සුගත් රණසිජහ පොලිස් පරික්ෂක නුවන් වැදිසිංහෙ දුරකතනයෙන් කළ පාපොච්චාරණය

වැදිසිංහ: මම බන්දුල වික්‍රමසිංහ මහත්තයට කථා කළා. මට කිව්ව සර් මගේ පුද්ගලික උවමනාවට, දන්න හින්ද මේක කරන්නෙ කියල හරිද?

යමක් කියයි. එය පැහැදිලි නැත.

රණසිංහ : මම දන්නවා එයා ගැන.

වැදිසිංහ: ඔයා මේක සීක්‍රට් එකක් හැටියට තියාගන්න. මම සේනක කියල කථා කරන්නම්. ඔයා වෙන කාටවත් එහෙම භාරවෙන්න යන්න එපා. ඔයා මටම කථා කරන්න. මහත්තය කිව්ව සීයට සීයක් ගැරන්ට් කරනව කිව්ව. (පැහැදිලි නැත.) ඒකටත් ඔයාව දාන්න කිව්ව. මේ කේස් එකට ඔයාව දාන්නේ නැතුව ඉන්ෆෝමර් කෙනෙක් කරල ඔයා රජයේ සාක්ෂිකාරයෙක් කරනව කිව්ව.

රණසිංහ : (පැහැදිලි නැත.) අපරාදෙ, මගේ ජොබ් එක ආයිත්…

වැ : නෑ නෑ. රජයේ සාක්ෂිකාරයෙක් කළොත් ජොබ් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. තේරුණාද?

ර : ඔව් සර්. නැත්නං සර් ගාණක් හම්බවෙනව ඒකත් නැතුව යනව.

වැ : නෑ නෑ ඒත් එක්කම මහත්තය කිව්ව ඔයාට ලක්ෂ පහකුත් අරන් දෙන්නම් කියල. මම ඔයාට සත්‍ය කියන්නෙ.

ර : සර් මම මහත්තයට කතා කරන්න හිටියේ (පැහැදිලි නැත.)

වැ නෑ නෑ මම මහත්තයට කියන්නම් කතා කරන්න කියල. එතකොට මහත්තය ඔයාට කියයි. කෙළින්ම ඔයාව රජයේ සාක්ෂෂිකාරයෙක් කරනවා කිව්වා හරිද. ඔය කතාව කියන්න විතරයි තියෙන්නෙ.

ර : (යමක් කියයි. නොපැහැදිලිය.) කුමාර් පොන්නම්බලම් සෙට් උනේ කොහොමද? ආ…. ඊයෙ මහත්තය ඇහැව්වා ඉස්සෙල්ලම කොහොමද අඳුන ගත්තෙ කියල පොන්නම්බලම්ව.

ර : සර් මම කිව්වෙ අර ගෑණු කෙනෙක්ගෙන්….

වැ : ආ සීතගෙන් ද…

ර : ඔව් ඔව් ෟ

වැ : එතනින් තමයි අඳුන ගත්තෙ

ර : ඔව්

වැ : එතකොට එයා කොහේද හිටියේ

ර : සීතද?

වැ : ඔව්.

ර : (පැහැදිලි නැත.) ඔය ගෑනි දිල තියෙනව මන්ත්‍රීලට ඇමතිලට සර්. ගෑනිගෙන් ඇහුවාම අපොයි මම එක්ක යන්නම් කිව්ව.

වැ : කොච්චර කල් වෙනවද අඳුනගෙන?

ර : අවුරුදු එකහමාරක් දෙකක් ඇති සර්.

වැ : එයත් එක්ක අඳුරන කට්ටිය කවුද ඔයා හම්බුවෙලා තියෙන්නෙ. එයා කවුරුවත් එකට ඉඳල ඔයත් හම්බවෙලා කතා කරල තියෙනවද?

ර : නෑ එහෙම නෑ සර්.

වැ : තනියමයි කතා කරන්නෙ?

ර : ඔව් සර්.

වැ : මොකද ඒක මහත්තය තියන්නෙ, ඔයාට කියන්න තියෙන්නෙ (සෑම්ට ?) කියල කතා කරපු එකයි (පැහැදිලි නැත) ඔයා නෙමෙයිනෙ වෙඩි තිබ්බෙ?

ර : නෑ සර්.

වැ : සීයට සීයක් දන්නවානේ ඔයා නෙමෙයිනෙ වෙඩි තිබ්බෙ?

ර : ඔව් සර්.

වැ : ඒ නිසා ඔයාට කියන්න තියෙන්නේ, මං කරේ සෙට් කරපු එක විතරයි කියල. දැන් සමන්ල කොහොමටත් අහුවෙලා ඉන්න කට්ටියනෙ. ඒක හින්ද ප්‍රශ්නයක් නෑනේ. රණසිංහ, ඔයාට තියෙන්නෙ මේ කතාව කියන එක විතරයි. හරියට මොකක්ද උණේ කියල. ඔයාට මහත්තයටත් කියන්න පුළුවන්නේ, හරියට මොකක්ද උණේ කියල.

වැ : ඔයා කීයට විතරද එදා උදේ ගියේ රණසිංහ?

ර : පැහැදිලි නැත.

වැ : කුමාර් පොන්නම්බලම් මහත්තය ඔයාට උදේ කෝල් එක දුන්නද?

ර : හවස කෝල් එක දුන්නෙ. ඊට ඉස්සර දවසෙ.

වැ : හවස කීයට විතරද ?

ර : 5-6ට වගේ කෝල් එකක් දුන්න.

වැ : එතකොට කිව්වද එනවයි කියල.?

ර : එතකොට මම කිව්ව සර් මම උදේට එන්නම් කියල.

වැ : එතකොට එයා ඔයාගේ රණසිංහ නම දන්නෙ නෑ?

ර : නෑ සර්.

වැ : අර ශාන්ත නම තමයි දන්නෙ.?

ර : ඔව් සර්.

වැ : වෙන කවුද දන්නෙ ඔයාගේ ඔය සීන් එක?

ර : බාලපටබැඳිගේ පුතා දන්නවා.

වැ : එච්චරයිනේ දන්නෙ. අරව කරත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ රණසිංහ?

(පැහැදිලි නැත.)

ර : (පැහැදිලි නැත.)

වැ : අනිත් එක මහත්තයට පොඩි පටලැවිල්ලක් තියෙනව වැල්ලවත්තෙ කොහාටද ගියපු එක ගැන.

ර : (පැහැදිලි නැත.)

වැ : ඔයා ගෙදරට ආවම ඉස්සෙල්ලම කවුද ගේට්ටුව ඇරල දුන්නෙ?

ර : මම ගිහින් තට්ටු කරපු ගමන් මම ශාන්ත ආවේ කියල කිව්ව. ඊට පස්සේ එයා ගිහිල්ල කිව්වම, ටක් ගාල මට එන්න කිව්ව.

වැ : ඊට පස්සේ?

ර : ගුඩ් මෝනිං, ඉඳගන්න කිව්ව. ඊට පස්සේ විනාඩියෙන් එන්නං කියල ගිහින් විනාඩි පහක්වත් ගියේ නෑ ආවා.

වැ : ඊට පස්සේ කාර් එකේ එළියට ගියා?

ර : ඔව් සර්.

වැ : ඔයා කෝල් එක ගත්තේ කොයි වෙලාවෙද එතකොට?

ර : (පැහැදිලි නැත.)

වැ : මම කිව්වෙ එයත් එක්ක යන ගමන්?

ර : මට මතක නෑ සර්. වෙලාව නම් 8.50ට විතර ඇති වගේ (පැහැදිලි නැත) අයිනෙ නවත්තල තමයි කෝල් එක ගත්තේ.

වැ : කාගේ ෆෝන් එකෙන්ද? කුමාර් පොන්නම්බලම්ගේ ෆෝන් එකෙන්ද?

ර : ඔව් සර්.

වැ : ඔයාට නොම්මරේ මතක නෑ නේද?

ර : දැන්නම් මතක නෑ සර්. මං බලල කියන්නම්

වැ : මං ඔයාට හෙටත් කතා කරන්නම්.

ර : (පැහැදිලි නැත) ළමයි දෙන්නෙක් ඉන්නව සර්.

වැ : ඔයා දන්නවනේ මගේ හැටි.

ර : පැහැදිලි නැත.

වැ : 301-3104ද වාහනේ?

ර : සර් මම එළියට ගිහිල්ල, වෙලාවට කෝල් එකක් දෙන්නම්.

වැ : ඔතන ආණ්ඩුවෙ තැනක් නේද?

ර : පැහැදිලි නැත.

වැ : රණසිංහ ඊට පස්සෙ කාර් එක නවත්තල මොකද උණේ? ඇයි එතනම කාර් එක නැවැත්තුවෙ?

ර : (පැහැදිලි නැත.)

වැ : ඔව් රාමක්‍රිෂ්ණ මාවතෙ.

ර : එයා කිව්වා, පොඩ්ඩක් වෙලා ඉන්න කට්ටිය එයි. මෙහේට දාමු කියල. මම රයිට් කියල කිව්ව. ඊට පස්සෙ ගෑණියෙක් දැකල මෑන් අනිත් පාරට – මැද්ද පාරට හැරෙව්ව.

වැ : නැත්තං කෙළින් පාරේ යන්නද හිටියේ?

ර : ඔව්. මෙයා අතනට මොකක් හරි ඕඩරයක් දුන්නා.

වැ : කාටද?

ර : ඒක නම් දන්නේ නෑ සර්. කෝල් කරල කිව්ව. දෙමළෙන් තමයි කිව්වෙ. ඊට පස්සේ මෙයා පාරට දැම්මා. එතකොට කෙල්ලෙක් ගියා. ගෑණු කෙනෙක්. ඒක කොහොමද? ලස්සනයි නේ කිව්ව. මං එතකොට අරයලට එන්න කියලනෙ.

වැ : එතකොට ඔයා දන්නව කට්ටිය ෆලෝ කරනව කියල.

ර : ඔව් සර්. මං දැක්ක සර්. මං දැක්ක දැන් අපේ මෑන්ල ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් ඉන්න සර් මං ටෝක් කරල එන්නම් කියල මං ටක් ගාල බැහැල ගියා.

වැ : එතකොට මෙයා බලාගෙන හිටියා?

ර : ඔව් එයා ඉස්සරහම බලාගෙන හිටිය. අරගොල්ල පිටිපස්සෙන් ආවෙ.

වැ : එතකොට “ටෝක් කරා” කියා කියන්නේ ඔයා කෙල්ලට කථා කළාද?

ර : පේන දුර මං ගියා (පැහැදිලි නැත.)

වැ : දෙන්න කවුද ආවයි කිව්වෙ, කරවල නන්දෙයි, අනිත් කෙනා කවුද?

ර : සුජිත්.

වැ : කවුද වෙඩි තිබ්බේ?

ර : දෙන්නම වෙඩි තිබ්බ.

වැ : මොකක්ද ත්‍රී එයිට් ද බ්‍රවුනින්ද?