ගරු කථානායක,
ජෝෂප් මයිකල් පෙරේරා මහතා,
පාර්ලිමේන්තු සංකීර්ණය,
ශ්රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
2002.02.13
මහත්මයාණෙනි,
1. මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන වික්ටර් අයිවන් වන මා “රාවය” පුවත්පතේ කර්තෘ බව ද, මෙම පැමිණිල්ලට ඇතුළත් කරුණු දිර්ඝ වශයෙන් සොයා බැලීමෙන් පසුව ඉදිරිපත් කරනු ලබන්නක් බවද, ඊට ඇතුළත් කරුණු මාගේ දැනුම අනුව සත්ය බවද ප්රකාශ කර සිටිමි.
2. ශ්රී ලංකා ආණ්ඩු ක්රම ව්යවස්ථාවේ 107 වගන්තිය යටතේ අග්රවිනිශ්චයකාරවරයා ද, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද, ශ්රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ද පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන මෙවැනි විනිසුරුවරුන් විෂමාචාර පැවැත්මක් ඇති විට ඒ ගැන කරුණු සොයා බලා පරික්ෂණයකින් චෝදනා සනාථ වන අවස්ථාවකදි එවැනි පුද්ගලයෙකු අධිකරණ සේවයෙන් පහ කිරිමේ බලය ඇත්තේ ද පාර්ලිමේන්තුවටය. සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කරන මෙම පැමිණිල්ල, පැමිණිලිකරු විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ මෙවැනි පැමිණල්ලක් ඉදිරිපත් කිරීමට තිබෙන එකම අධිකාරිය පාර්ලිමේන්තුව වන නිසාය.
3. මෙම පැමිණිල්ලෙන් කියවෙන කථාව ඉතාමත් බිහිසුණුය. රටේ නමගිය අපරාධකරුවකු බව දැන දැන අගවිනිසුරුවරයා මේ අපරාධකරුවා අධිකරණ සේවයට සම්බන්ධ ඉතාමත් වැදගත් ආයතනයක සේවයට යොදා ගනිමින් ඔහු සමග සමීප ඇසුරක් පවත්වාගෙන යන අතර, අධිකරණ සේවයට සම්බන්ධ විනිසුරුවරුන් ඇසුරු කිරීමට ඉඩ ලබාදෙමින් අධිකරණය කෙරෙහි බලපෑ හැකි තත්ත්වයක් මේ අපරාධකරුවාට ලබාදෙයි. අපරාධකරුවා ද අගවිනිසුරුවරයා සමග තිබුණු සම්බන්ධය හා විනිසුරුවරුන් සමග තිබුණු දැන හැඳුනුම්කම් නිසා තමන්ට ලැබී ඇති බලය හා රැකවරණය මත අපරාධවල යෙදි තිබෙන අතර, තමන් දන්නා හඳුනන අපරාධකරුවන්ට ද රැකවරණය ලබාදිමට උත්සාහ කරන පිළිවෙතක් අනුගමනය කර තිබේ.
4. අගවිනිසුරුවරයා සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගිය අපරාධ හා වංචා නඩු රාශියකට පැටලී සිටි මේ අපරාධකරුවාගේ නම වනිගආරච්චිගේ දොන් රෝහණ කුමාරය. ඔහු සහෝදර, සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුතු පවුලක හතරවැනියාය. ඉපදි ඇත්තේ 1962 වසරේ මාර්තු 24 වැනිදාය. ගම මීමන පොකුණුවිටය. පොකුණුවිට සිරිමෙවන් විද්යාලයේ 9 වැනි පන්තිය දක්වා අධ්යාපනය ලබා ඇත. විවාහ වී ඇත්තේ 1987දිය. දෙදරු පියෙකි. 1983 සිට 1988 වසර තෙක් ලංකා දුම්කොළ සමාගමේ හෙට්ටියාවත්ත කර්මාන්තශාලාවේ මැෂින් ඔපරේටර්වරයෙකු ලෙස සේවය කර 1988දි රැකියාව අහිමි වූ පසු, ජීවත් වී ඇත්තේ වංචාවලින් හා අපරාධවල යෙදිමෙනි. වංචාසහගත ලෙස රක්ෂණ වන්දියක් ලබාගැනීමේ සිද්ධියක් පිළිබඳව නීතිපතිවරයා ඔහුට එරෙහිව පවරන ලද නඩුවක් කොළඹ මහාධිකරණයේ පී. විජේරත්න මහතා ඉදිරියේ ඇසෙමින් තිබුණ. ජාතික සංවර්ධන බැංකුවට සින්න වී තිබුණු ඇගළුම් කම්හලකින් රුපියල් 11 ලක්ෂයක් වටිනා යන්ත්රෝපකරණ වංක හා සාවද්ය ලෙස පිටමං කොට විකිණීම පිළිබඳ සිද්ධියත් සම්බන්ධයෙන් සරත් සිල්වා මහතා නීතිපතිව සිටියදි ඔහුට එරෙහිව මහනුවර මහාධිකරණය ඉදිරියේ නඩුවක් (1218/97) පවරා තිබුණ. මිනීමැරුමකට තැත් කිරිමේ චෝදනාව යටතේ හොරණ උසාවියේ තවත් නඩුවක් පවරා තිබුණු අතර, වෙනත් වංචා නඩු ගණනාවකට ද ඔහු පැටලී සිටියේය.
5. තිබෙන තොරතුරු අනුව, රෝහණ කුමාර, අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සමග සමීප සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන්නේ අගවිනිසුරුවරයාට සේ ම, ජනාධිපතිනියට හා ඇගේ ලේකම් කුසුම්සිරි බාලපටබැඳිට සමීප බවක් තිබුණ ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න හා නීතිඥ ගැස්ටන් ජයකොඩි හරහාය. රෝහණ කුමාරට එරෙහිව පවරා තිබුණු නඩුවලට පෙනී සිටින නීතිඥයා වූයේ ජයම්පති වික්රමරත්න මහතාය. සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු සිය නිල නිවසේ ආරම්භ කරන විනිසුරුවරුන් පුහුණු කිරිමේ ආයතනය පිහිටුවීම සඳහා ගොඩනැගිල්ලේ අවශ්ය මූලික ප්රතිසංස්කරණ කටයුතු භාරව ක්රියා කර ඇත්තේ රෝහණ කුමාරය. ප්රතිසංස්කරණ වලින් පසුව ඔහු තමා සඳහා ද නිල නිවසේ සියලු පහසුකම් සහිත කාමරයක් වෙන් කොටගෙන ඇති අතර, ඉන්පසු ඔහු එම කාමරය සිය නැවතුම්පොළ බවට පත් කොටගෙන තිබේ. පසුව එම ආයතනය බලා සොයා ගන්නා පුද්ගලයා ලෙස හා එම ආයතනයේ පවත්වන පුහුණු වැඩමුළු වලට හා උත්සව වලට ආහාර සපයන්නා ලෙස ක්රියාකර ඇත්තේ රෝහණ කුමාරය. අගවිනිසුරුවරයාගේ විශ්වාසය දිනාගත් පුද්ගලයෙකු වශයෙන් එම ආයතනය තුළ බලවත් තත්ත්වයක් පවත්වාගෙන යාමට ඔහු සමත් වී තිබෙන අතර, පුහුණුවට හා විවිධ වැඩමුළුවලට එන විනිසුරුවරුන් හඳුනාගනිමින් ඔවුන් සමග යාලු මිත්රකම් ඇති කරගනිමින් රට පුරා විසිරි සිටින විනිසුරුවරුන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයෙකු ලෙස ස්ථාපිත වීමට ඔහුට හැකිවී තිබේ. රෝහණ කුමාරට අගවිනිසුරුවරයා සමග තිබුණු සම්බන්ධය ඉතා සමීපය. ශ්රේෂ්ඨාධිකරණයේ සමහර සේවකයන්ගේ මතය අනුව අගවිනිසුරුවරයාගේ නිල කාමරයට පූර්ව අවසරයකින් තොරව ඇතුළුවීමේ හැකියාවක් තිබූ එක් පුද්ගලයෙකු වන්නේ ද රෝහණ කුමාරය. ශ්රේෂ්ඨාධිකරණයේ සමහර සේවකයන් ”සී.ජේ. උන්නාන්සේ” වශයෙන් අගවිනිසුරු අමතන විට ඔවුන් රෝහණ කුමාර අමතා ඇත්තේ “සර්” වශයෙනි. දිසා විනිසුරුවරුන්ට හා මහේස්ත්රාත්වරුන්ට එරෙහිව අගවිනිසුරුවරයාට හෝ අධිකරණ සේවා කොමිසමට එන පෙත්සම්වල මූලික පසුබිම සොයා බැලීමේ වගකීම රෝහණ කුමාරට පවරන සම්ප්රදායක්ව පැවති බවට සාක්ෂි තිබේ. ඔහු තම ගමන් බිමන්වලදි පාවිච්චි කර ඇත්තේ ද “Judges Institute” යන ලේබලය යෙදූ වාහනය. මේ පුද්ගලයාට අගවිනිසුරුවරයාට තිබුණු සමීප සම්බන්ධය නිසාම නීතිපති දෙපාර්තමේන්තුව කෙරෙහි විනිසුරුවරුන් කෙරෙහි බලපෑමේ ශක්තියක් ඇති බලවත් පුද්ගලයෙකුගේ තත්ත්වයක් හිමිකර ගැනීමට ඔහු සමත් වී සිටියේය.
6. රෝහණ කුමාර නමැති මෙම අපරාධකරුවා සමග අගවිනිසුරු සරත් සිල්වා මහතාට තිබුණු නොමනා හා ගුප්ත සම්බන්ධය ද ඇතුළත් චෝදනාවක් අගවිනිසුරුවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 77 දෙනෙකුගේ අත්සනින් යුතුව 2000 ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගයට ද ඇතුළත්ය. යෝජනාවේ 14 වැනි ඡේදය වෙන්කර ඇත්තේ ඒ සඳහාය.
7. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන මෙම පැමිණිල්ලට ඇතුළත් කරුණු දෝෂාභියෝගයට ඇතුළත් එම චෝදනා සමග වඩා හොඳින් තහවුරු කරයි.
8. (අ). 2000 දෙසැම්බර් 29 වැනි දින රෝහණ කුමාර විවෘත වරෙන්තුවක් මත කැස්බෑව ප්රදේශයේ නිවසක සැගවී සිටියදි පිළියන්දල පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි.
(ආ) රෝහණ කුමාර අධිකරණයට අවශ්ය වී තිබුණේ මල්වත්ත ඝාතන නඩුව වෙනුවෙනි. ඔහු එම නඩුවේ සිව්වැනි විත්තිකාරයා විය.
(ඇ) රෝහණ කුමාර අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මල්වත්ත ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකාරිය ද රෝහණ කුමාර සමග එම නිවසේ නැවතුම් ගෙන සිටියේය.
(ඈ) රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි තමාට අගවිනිසුරුවරයාට දුරකතනයෙන් කතා කිරීමට අවශ්ය බව ප්රකාශ කර ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම භාරව ක්රියා කළ උප පොලිස් පරික්ෂකවරයා (තෙන්නකෝන්) ඊට අවසර දි නැත. ඒ සමග ඒ අසළ සිටි ලක්ෂ්මී කුසුමලතා ඇය ළග තිබූ ජංගම දුරකතනයෙන් අගවිනිසුරුවරයාට කතා කොට රෝහණ කුමාර අත්අඩංගුවට ගන්නා ලද බව අගවිනිසුරුවරයා වෙත දැනුම් දෙන ලද බව පොලිස් සටහන්වල වාර්තා වේ.
(ඉ) වරෙන්තුවක් තිබියදි සැගවී සිටියේ ඇයිදැයි අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදි උප පොලිස් පරික්ෂකවරයා ප්රශ්න කරන ලදුව රෝහණ කුමාර ඊට දි තිබෙන පිළිතුර වී ඇත්තේ අගවිනිසුරුවරයාගෙන් ලබාගත් උපදෙස් මත තාවකාලික ලෙස සැගවී සිටි බවය.
(ඊ) වරෙන්තුකරුවකු ලෙස සැගවී සිටියදි ඔහු පරිහරණය කර ඇත්තේ ද අධිකරණ අමාත්යංශයට අයත් වාහනයක් බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය විය. අගවිනිසුරුවරයා සමග එක්ව ගන්නා ලද රාමු කරන ලද ඡායාරූප තුනක් සැගවී සිටි නිවසේ එල්ලා තිබී ඇත.
9. තිබෙන තොරතුරු අනුව වරෙන්තුකරුවකු ලෙස ඔහු සැගවී සිටියදි “Judges Institute” යන ලේබලය සහිත වාහනයකින් විවිධ ප්රදේශවල සැරි සරා ඇති අතර, විවිධ පොලිස් නිලධාරින් හා අධිකරණ නිලධාරින් සමග ද සම්බන්ධකම් පවත්වා තිබේ. නොවැම්බර් මුලදි ඔහු ලක්ෂ්මී කුසුමලතා සමග කතරගම රොෂාන් හෝටලයේ සතියක පමණ කාලයක් ගත කර ඇති අතර, එම හෝටලයේ ඔහු පවත්වා ඇති සම්භාෂණයකට, මහේස්ත්රාත්වරයෙකු, ප්රාදේශීය ලේකම්වරයෙකු, පොලිස් ස්ථානයාධිපතිවරුන් දෙදෙනෙකු (දෙනියාය ස්ථානයාධිපති සරත් පෙරේරා හා කතරගම ස්ථානයාධිපති අතුල සිල්වා) හා නීතිඥ පිරිසක් සහභාගි වී තිබේ. රුපියල් 140,000ක් වූ ඔහුගේ හෝටල් බිල ගෙවා ඇත්තේ කතරගම වැඩිහිටි කන්ද විහාරයේ අධිපති රත්මලානේ සිද්ධාර්ථ හිමියන්ය. ඒ ගැන “රාවය” පුවත්පතේ සේවය කරන ජයසිරි විතාන සිද්ධාර්ථ හිමියන්ගෙන් කරුණු විමසීමක් කරන ලද අවස්ථාවේදි එම අවස්ථාවට අගවිනිසුරුවරයා ද සහභාගී වනු ඇතැයි තමන් වහන්සේ අපේක්ෂා කළ මුත් එතුමා ඊට සහභාගී නොවූ බව ප්රකාශ කර ඇත.
10. මල්වත්ත ඝාතන සිද්ධියට රෝහණ කුමාර සම්බන්ධ වී තිබෙන ආකාරය විමසා බැලීමෙන් පමණක් වුවත්, රෝහණ කුමාරට අගවිනිසුරුවරයා සමග තිබුණු සමීප බවේ තරමත්, ඒ මගින් ඔහුට විවිධ විනිසුරුවරුන් කෙරෙහි බලපෑම් කිරීමට තිබුණු හැකියාවේ ප්රමාණයත් තේරුම් ගත හැකි වන අතර, එම සම්බන්ධය මත අධිකරණය හා පාතාල ලෝකය අතර ගොඩනැගී තිබුණු සම්බන්ධයේ ප්රමාණය ගැන ද අවබෝධයක් ඇති කරගත හැකිය.
11. පේරාදෙණිය උද්භිද උද්යානයේ ඝාතනය සිදුවූයේ 2000 පෙබරවාරි 05 වැනිදා පෙරවරු 10.00ට පමණය. ආපන ශාලාවේ ආලින්දයේ සිටි ආපන ශාලාව පවත්වාගෙන ගිය රංජිත් බණ්ඩාර විජේකෝන්ට ඔහු ඉදිරියට පැමිණ සාහසිකයකු විසින් පිස්තෝලයකින් වෙඩි තබන ලද අතර වෙඩි වැදුණු විජේකෝන් අල්ලා ගැනීමට ඉදිරියට පැමිණි ආපනශාලා සේවකයෙකුට ද සාහසිකයා වෙඩි තබා ඇත. සිද්ධිය දෙස තෘෂ්නිම්භූතව බලා සිටි විජේකෝන්ගේ බිරිඳ ක්ලොඩියා මේරි රිස්ට ද වෙඩි තැබීමට උත්සාහ කළත් එය සාර්ථක වුයේ නැත. මේ වෙඩි තැබීමෙන් පසු පළායමින් සිටි වෙඩික්කාරයා හා ඔහු සමග පළායමින් සිටි ඔහුගේ සහකරුවා උද්යාන සේවකයින් විසින් වටලා අල්ලා ගනු ලැබීය. ඝාතකයා ඝාතනය සඳහා යොදාගත් පිස්තෝලය ද, ඔහු පරිහරණය කළ ඇල්කටෙල් වර්ගයේ අංක 077-794884 දරන ජංගම දුරකතනය ද ඝාතකයා අත තිබූ පිස්තෝලයක් ද ඔවුන් සමග අත්අඩංගුවට ගන්නා ලදි.
12. ඝාතකයා පරිහරණය කළ ජංගම දුරකතනයේ බිල්පත් පරීක්ෂා කිරිමේදි එම දුරකතනයට අංක 08-225801 දරන දුරකතනයෙන් ද, අංක 077-768161 දරන දුරකතනයෙන් ද නිතර නිතර කතා කර ඇති බව හෙළි විය. අංක 08-225801 දරන දුරකතනය මේ ඝාතන නඩුවේ තුන්වැනි සැකකාරිය වන ලක්ෂ්මී කුසුමලතාට අයත් කිංග්ස් පාර්ක් හෝටලයේ ඇගේ කාමරයට සවිකොට ඇති දුරකතනයේ අංකය වූ අතර, අංක 077-768161 දරන ජංගම දුරකතනය අගවිනිසුරුවරයාට සමීප රෝහණ කුමාර පරිහරණය කළ ජංගම දුරකතනයේ අංකය වේ.
13. රෝහණ කුමාර පරිහරණය කළ ජංගම දුරකතනයට අදාළ 2001 පෙබරවාරි 15 වැනිදා සිට 2001 මාර්තු 14 වැනිදා දක්වා වන ඩයලොග් සමාගම විසින් නිකුත් කරන ලද විස්තරාත්මක බිල්පතේ පිටපතක් පැ. 01 වශයෙන් සලකුණු කොට ඇත.
එම ලියවිල්ලට අනුව රෝහණ කුමාර මේ ඝාතනයේ වෙඩික්කාරයා ලෙස ක්රියා කර ඇති නුපුල් කුමාර පරිහරණය කළ 077-94681 දරන දුරකතනය අමතා කතා කර ඇති අවස්ථා ගණන හා ඒ සඳහා ගතවී ඇති ඒකක ගණන මෙසේය.
(අ) 2000 ජනවාරි 22 12.12-30ට ඒකක 1
12-23-03ට ඒකක 1
2000 ජනවාරි 23 18.00-25ට ඒකක 1
ජනවාරි 25 15.03-59ට ඒකක 2
16.40-22ට ඒකක 3
20.41-32ට ඒකක 5
ජනවාරි 26 11.54-03ට ඒකක 1
14.29-39ට ඒකක 1
පෙබරවාරි 01 10.29-13ට ඒකක 1
10.58-49ට ඒකක 1
13.53-47ට ඒකක 1
13.54-55ට ඒකක 1
පෙබරවාරි 02 04.23-25ට ඒකක 4
පෙබරවාරි 04 18.34-59 ඒකක 1
18.36-34 ඒකක 1
18.38-16 ඒකක 1
19.03-01 ඒකක 1
19.53-26 ඒකක 1
19.56-19 ඒකක 1
20.14-55 ඒකක 1
20.21-10 ඒකක 2
20.35-05 ඒකක 2
21.07-59 ඒකක 5
22.46-00 ඒකක 1
ඝාතනය සිදුවූ පෙබරවාරි 05 07.43-33 ඒකක 1
(ඝාතනය සිදුවූයේ පෙරවරු 08.08-13 ඒකක 2
9.00ත් 10.00ත් අතරය) 09.35-10 ඒකක 1
09.40-50 ඒකක 1
(ආ) මින්පසු මේ රෝහණ කුමාර ඝාතකයාගේ දුරකතනයට කතා කොට නැත. එයින් පෙනෙන්නේ ඒ අවස්ථාවේ ඔහු උද්යානයේ කොතනක හෝ සිට මේ ඝාතනය නරඹා ඇති බවය. ඝාතකයා හා ඔහුගේ සහායකයා සමග ඔවුන් අත තිබූ පිස්තෝලය හා දුරකතනය අත්අඩංගුවට ගත් බව දැකීමෙන් පසුව එම දුරකතනයට කතා කිරිමෙන් වැළකී ඇති බව ඉන් පෙනී යයි.
ඝාතනය සිදුවූ දින ඔහු දුරකතනයෙන් කතා කළ පුද්ගලයන් කවුද යන්න සොයා බැලීමේදි ලැබෙන චිත්රය මෙසේය.
එදින හිමිදිරි උදේ සිට ඝාතනය වන තෙක්ම සිය දුරකතනයෙන් කතා කර ඇත්තේ ඝාතකයාට පමණය.
ඒ මෙසේය.
07.43-35 නුපුල් කුමාර ඒකක 01
08.08-15 නුපුල් කුමාර ඒකක 01
09.35-10 නුපුල් කුමාර ඒකක 01
09.40-50 නුපුල් කුමාර ඒකක 01
(ඇ) ඉන්පසු එනම් ඝාතනය සිදුවූ පසු ආසන්න වශයෙන් පැයක් යන තෙක් සිය දුරකතනයෙන් කිසිවකුටවත් කතා කර නැත.
විජේකෝන්ට වෙඩි තබා ඝාතනය කිරිමේ සිට ඝාතකයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් පැයක පමණ කාලයක් ගතවන්නට ඇතැයි සිතිය හැකිය.
ඔවුන් වෙඩි තබා පළා යන අවස්ථාවේදි පැනයාම වැළැකීම සඳහා ප්රධාන ගේට්ටුව භාරව සිටි මුරකරුවාට ගේට්ටුව වැසීමට සිදුවී ඇති අතර, ඉන්පසු සාහසිකයන් දෙදෙනා තමන් පසුපස හඹා එන්නන් බිය ගැන්වීම සඳහා ඔවුන් එන දෙසට වෙඩි තබමින් ඉදිරියේ ඇති තාප්පයෙන් පැන යාමට උත්සාහ කර ඇතත්, අවට සිටියවුන් ඔවුන්ට පහර දි අල්ලා ගන්නට සමත් වූහ. මේ සියල්ල දෙස රෝහණ කුමාර ද, කිසියම් තැනක සිට බලා සිටියා විය යුතුය. ඉන්පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රෝහණ කුමාර පළමුවෙන්ම කතා කොට ඇත්තේ ලක්ෂ්මී කුසුමලතාටය. තමා නුපුල් කුමාර යොදා මේ ඝාතනය සිදු කරන ලද්දේ ඇය වෙනුවෙන් නම් ප්රතිඵලය දැනගැනීම සඳහා උනන්දුවෙන් බලා සිටින්නට ඇති ඇයට පළමුවෙන්ම කතා කොට සිදුවූ දේ විස්තර කිරීම තර්කානුකූලය.
10.42-51ට ඇයට දි ඇති දුරකතන පණිවුඩය සඳහා ගත කර ඇති කාලය ඒකක 04කි. සිදුවූ සියල්ල සැකෙවින් ඇයට විස්තර කිරීමට ඒ තරම් කාලයක් අවශ්ය වූවා ද විය යුතුය.
එම දුරකතන පණිවුඩයෙන් පසුව රෝහණ කුමාර කතා කර ඇති අන් අය මෙසේය.
11.30-13 034-50084 (මෙම දුරකතන අංකය පානදුරේ පී.එන්. ප්රනාන්දු යන නමට ඇති දුරකතනයකි. රෝහණ කුමාරට තිබුණු සම්බන්ධය කුමක්ද යන්න නොපැහැදිලිය.)
12.42-51 නැවත ලක්ෂ්මී කුසුමලතාට ගත කර ඇති කාලය ඒකක 02කි.
13.05-14 නැවත ලක්ෂ්මී කුසුමලතාට ගත කර ඇති කාලය ඒකක 01කි.
16.50-16 077-365765 (නිෂාන් මුතුක්රිෂ්ණ/ අධිකරණ ඇමතිවරයාගේසම්බන්ධීකරණ ලේකම්) ගත කර ඇති කාලය ඒකක 01කි.
16.51-08 556836 (විදේශ නියුක්ති කාර්යාංශයේ නීති අංශය) ගත කර තිබෙන කාලය ඒකක 01යි.
16-54-12 077-763434 (?) කාලය ඒකක 01යි
18.35-10 ලක්ෂ්මී කුසුමලතාට ඒකක 02යි
18.40-36 884315 (ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්නට, රෝහණ කුමාරගේනඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සේ ම ලක්ෂ්මී කුසුමලතාගේ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ ද ජයම්පති වික්රමරත්න මහතාය. රෝහණ කුමාර අගවිනිසුරුට සම්බන්ධ කර තිබුණේ ද ඒ මහතාය.) ගත කර තිබෙන කාලය ඒකක 01යි.
19.22-26 695364 අගවිනිසුරුගේ නිල නිවසට ගත කර තිබෙන කාලය
ඒකක 01යි.
19.25-58 අගවිනිසුරුගේ නිල නිවසට කාලය ඒකක 01යි.
19-49-18 771 (?) කාලය ඒකක 01යි.
20.12-34 034-50084 (රෝහණ කුමාරගේ බිරිඳ හා දරුවන් පදිංචි වී සිටි පොකුණුවිට නිවස.) කාලය ඒකක 01යි.
20.16-49 071-795841 (?) ඒකක 02යි.
20.30-20 077-355777 (නීතිඥ කිංග්ස්ලි රණවක) කාලය ඒකක 04යි.
21.01-06 077-365765 (අධිකරණ ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්)
කාලය ඒකක 01යි.
14.54-06 422142 අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ දුරකතනයට 2001 මාර්තු 08 වැනි දින කතා කර ඇති අතර, ඒ සඳහා ගත කර තිබෙන කාලය ඒකක 03කි.
14. රංජිත් බණ්ඩාර විජේකෝන් කෙරෙහි බලපෑ දේපළ ආරාවුලේ විස්තර මෙසේය:
(අ) රංජිත් බණ්ඩාර විජේකෝන් කලක් රියදුරකු වශයෙන් ස්විට්සර්ලන්තයේ ද, ලක්ෂ්මී කුසුමලතා කලක් ගෘහ සේවිකාවක් ලෙස ඉතාලියේ ද සේවය කර තිබේ. මේ දෙදෙනා අතර එතරදි ප්රේම සම්බන්ධයක් ඇතිවී ඇත්තේ 1987දිය. දෙදෙනා ශ්රී ලංකාවට පැමිණ විවාහ වී ඇත්තේ 1990 ඔක්තෝබර් 25 වැනිදාය. ඉන්පසු දෙදෙනා සිය අරමුදල් යොදා හෝටල් ව්යාපාරයක් ආරම්භ කිරීම සඳහා මහනුවර ශ්රී සංඝරාජ මාවතෙන් රූඩ් 1යි පර්චස් 10ක ඉඩමක් මිලදි ගෙන දැන් තිබෙන කිංග්ස් පාර්ක් හෝටලය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අවශ්ය අතිරේක වියදම් වශයෙන් රුපියල් ලක්ෂ 338ක මුදලක් එම ඉඩම උගස් කොට ලංකා බැංකුවෙන් ලබාගෙන තිබේ.
(ආ) රංජිත් බණ්ඩාර විජේකෝන්, ද කිංග්ස් පාර්ක් හොටෙල් ඇන්ඩ් ට්රැවල්ස් ප්රයිවට් ලිමිටඩ් යන ව්යාපාරයේ කළමනාකරණ අධ්යක්ෂ හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ අතර, මෙම හෝටල් ව්යාපාරයේ සම කොටස්කරුවෙකු වූ ඔහුගේ බිරිඳ ලක්ෂ්මී කුසුමලතා ද එම ව්යාපාරයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක වූවාය.
(ඇ) මේ දෙදෙනාගේ පවුල් ජීවිතයේ ඇතිවන ආරාවුල් හේතු කොටගෙන රංජිත් බණ්ඩාර විජේකෝන් පළමු විවාහය නීත්යනුකූලව ශූන්ය කිරීමකින් තොරව ගම්පොළ එල්ලාවල අංක 332 දරන ස්ථානයේ පදිංචි ක්ලෝඩියා මේරී රිස් නමැති කාන්තාව සමග 1995 මැයි 08 වැනිදා විවාහ වී පොදු පෙරමුණු ආණ්ඩුවේ අනුග්රහය ඇතිව පේරාදෙණිය උද්භිද උද්යානයේ ආපන ශාලාවේ කළමනාකාරිත්වය තමන් වෙත ලබාගනිමින් එම ව්යාපාරය පවත්වාගෙන යන අතර කිංග්ස් පාර්ක් හෝටල් ව්යාපාරයේ සම කොටස්කරුවකු ලෙස එම ව්යාපාරයට තිබෙන හිමිකම් වෙනුවෙන් ද පෙනී සිටියේය.
(ඈ) මේ වෙන්වීමෙන් පසු කිංග්ස් පාර්ක් හෝටලයේ කළමනාකාරිත්වය තමන් අත තබාගැනීමට රංජිත් බණ්ඩාර විජේකෝන් උත්සාහ කරන විට රංජිත් බණ්ඩාර විජේකෝන් එම ව්යාපාරයෙන් ඉවත් කොට ව්යාපාරයේ ආධිපත්යය තමන් අතට ගැනීම සඳහා ලක්ෂ්මී කුසුමලතා ද උත්සාහ දරන තත්ත්වයක් තුළ මේ දෙදෙනා එකිනෙකාට එරෙහිව වෛරසහගත ආකල්පයකින් යුතුව එකිනෙකාට එරෙහිව නඩු පවරන තත්ත්වයකට තල්ලුවී තිබේ.
15. මහනුවර මහේස්ත්රාත් අධිකරණය, දිසා අධිකරණය හා මහාධිකරණය ඉදිරියේ මේ දෙදෙනා එකිනෙකාට එරෙහිව නඩු ගණනාවක් පවරා තිබූ අතර එම නඩුවල අංක මෙසේය:
1. B/46299/98
2. B/46694/98
3. B/46505/98
4. 47036/961
5. 4896/D
6. L/18524
7. L/12102
8. 12008 X
16. මේ දේපළ ආරාවුලේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන ලක්ෂ්මී කුසුමලතා සමග අගවිනිසුරුවරයාගේ සමීපයෙකු ලෙස ක්රියා කරන රෝහණ කුමාර සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේ මෙසේය:
(ආ) ලක්ෂ්මී කුසුමලතාගේ පැමිණිල්ලක් මත මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානයාධිපතිවරයා රංජිත් බණ්ඩාර විජේකෝන්ට එරෙහිව ඔහු නීත්යනුකූල බිරිඳගෙන් වෙන් නොවී බහුවිවාහයක් කරගැනීමේ චෝදනාව මත මහනුවර මහේස්ත්රාත් අධිකරණය ඉදිරියේ චෝදනා පත්රයක් ගොනු කරන ලද අතර (47036/96) විත්තිකරු එදින තමන්ට එරෙහිව ඉදිරිපත්වූ චෝදනා දෙකට වරද පිළිගත්තේය.
(ආ) මහේස්ත්රාත්වරිය පෙර වැරදි වාර්තාවක් කැඳවා ඇගිලි සලකුණු ලබාගෙන දඬුවම් කිරීම 1996.06.24 වැනි දිනට නියම කොට රුපියල් 1000ක මුදල් ඇපයක් මත විත්තිකරු මුදා හැරියේය.
(ඇ) කවර හේතුවක් නිසා හෝ විනිසුරුවරිය නඩුව කලින් නියම කළ දිනයට කැඳවනවා වෙනුවට ඊට පෙර දිනයක් වූ 1996 මැයි 29 වැනි දිනට නිල කාමරයට කැඳවා ඇගිලි සලකුණු ලබාගැනීමකින් තොරව හා පෙර වැරදි වාර්තාවක් කැඳවීමෙන් තොරව රුපියල් 1500ක දඩයක් නියම කොට විත්තිකරු මුදා හැරියේය.
(ඈ) විනිසුරුවරියගේ මේ ක්රියාකලාපය ලක්ෂ්මී කුසුමලතාගේ සැකයට හේතුවූ අතර, විනිසුරුවරිය රංජිත් බණ්ඩාර විජේකෝන්ගෙන් ලබාගත් පගාවක් මත එසේ කළේය යන්න ඇගේ මතය වී සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසු මේ විනිසුරුවරිය අගවිනිසුරුවරයාගේ දැඩි විරෝධයට හේතුවී සිටින කෙනෙකු බව දැනගන්නට ලැබී උසාවි සේවකයකු ලවා මැල්කම් ද සිල්වා නමින් 1999 මැයි 1 වැනිදා පෙත්සමක් ලියවා එය අගවිනිසුරුවරයා වෙත යැවීය (පෙත්සම පැ-2 වශයෙන් සලකුණු කර ඇත.)
(ඉ) අගවිනිසුරුවරයා මේ පෙත්සමේ මූලික පරික්ෂණය භාර කළේ රෝහණ කුමාරටය. රෝහණ කුමාර ලක්ෂ්මී සමග සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේ එහිදිය.
17. ලක්ෂ්මී කුසුමලතාට පොලිසියේ සමහර උසස් නිලධාරින් සමග සමීප සම්බන්ධයක් තිබුණේය. එහෙත් ඇයට අධිකරණය සමග සම්බන්ධයක් නොතිබුණ. රෝහණ කුමාර ඒ අඩුව සැපුරුවේය.
(අ) රෝහණ කුමාර ද වෙනත් අය ඉදිරියේ සේ ම ඇය ඉදිරියේ ද පෙනී සිටින්නට ඇත්තේ අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප ඔහුගේ ලේකම්වරයෙකු ලෙසය. ඊට අතිරේකව මහනුවර අධිකරණයේ විනිසුරුවරුන්ට තමන්ට ඇති සම්බන්ධකම් ද ඔහු ඇයට ප්රදර්ශනය කරන්නට ඇතැයි සිතිය හැකිය.
(ආ) රෝහණ කුමාරට මහනුවර දිසා විනිසුරු අයි.එම්. අබේරත්න මහතා සමගත්, දැන් අතිරේක දිසා විනිසුරු ලෙස ක්රියා කරන හා එකල මහනුවර මහේස්ත්රාත්වරයෙකු ලෙස ක්රියා කළ ලියොන් සෙනෙවිරත්න මහතා සමගත්, කලක් තෙල්දෙණියේ මහේස්ත්රාත්වරයා වශයෙන් ක්රියා කොට ඇති මහනුවර මහේස්ත්රාත්වරයෙකු ලෙස ක්රියා කරන සී.වී. රාජපක්ෂ මහතා සමගත් මහනුවර අතිරේක මහේස්ත්රාත් ප්රදිප් හෙට්ටිආරච්චි මහතා සමගත් සමීප හිතවත්කමක් තිබුණ. අධිකරණ සේවකයන්ගෙන් දැනගන්නට ලැබී තිබෙන කරුණු අනුව රෝහණ කුමාර මේ විනිසුරුවරුන් හමුවීමට නිතර නිතර පැමිණෙන්නේය. ඔවුන් සමග භෝජන සංග්රහවලට සහාභාගි වුයේය. විවිධ ගමන් බිමන් ගියේය. රෝහණ කුමාර ලක්ෂ්මී කුසුමලතාට සම්බන්ධ නිවසක් ප්රදිප් හෙට්ටිආරච්චි මහතාට ලබාදි ඇතත්, එය නොමිලේම ලබාදිම හේතු කොටගෙන එම නිවස ලබාගැනීම ඒ මහතා ප්රතික්ෂේප කර තිබේ.
(ඇ) මේ අනුව අගවිනිසුරුවරයාට ඉතාමත් සමීප සම්බන්ධකමක් ඇති හා තමන්ගේ නඩු අසන විනිසුරුවරුන්ට සමීප සම්බන්ධයක් ඇති රෝහණ කුමාර තමන් ගලවා ගැනීම සඳහා පහළ වූ වීරයෙකු ලෙස ලක්ෂ්මී කුසුමලතාට පෙනෙන්නට ඇති බවට සැකයක් නැත. අනෙක් අතට රෝහණ කුමාර වැනි වංචාකාරයෙකුට ද මෙම කාන්තාව පෙනෙන්නට ඇත්තේ කදිම ඉල්ලමක් ලෙසය. ඇය මැද පාන්තික පෙනුමක් ඇති රූමත් කාන්තාවක් වූවා සේ ම ඇය විශාල හෝටල් ව්යාපාරයකට ද හිමිකම් කීවාය. ඇගෙන් ලැබුණු විශේෂ සැලකිලි නිසා රෝහණ කුමාර ඇය තමන්ගේ අනියම් බිරිඳ බවට පත්කර ගත්තා සේ ම, ඇගේ හෝටලය ද තමන් නිතර යන එන ප්රධාන නැවතුම් පොළක් බවට පත්කර ගත්තේය.
18. රංජිත් බණ්ඩාර විජේකෝන් හා ඔහුගේ බිරිඳ සමග තිබුණු දේපළ ආරාවුල නිරාකරණය කරගැනීමට තිබෙන කෙටිම මග රංජිත් බණ්ඩාර විජේකෝන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ද ඝාතනය කිරීම වේ යැයි ඔවුන් දෙදෙනා කල්පනා කරන්නට ඇත. තමන්ට අධිකරණයේ ඉහළම තැන සමග තිබෙන සම්බන්ධය මතත්, විවිධ විනිසුරුවරුන් හා පොලිසියේ සමහර උසස් නිලධාරින් සමග තිබුණු සම්බන්ධකම් මතත් මේ ඝාතන ක්රියාව තමන් කිසිවකු කරදරේ නොවැටෙන ආකාරයට සම්පූර්ණ කරගත හැකිවනු ඇතැයි රෝහණ කුමාරගේ ද අපේක්ෂාව වන්නට ඇත.
එහෙත් අපේක්ෂා කළ ආකාරයටම හැම දෙයක්ම සිදු නොවූයේය. ඝාතනය කළ හැකිවූයේ රංජිත් බණ්ඩාර විජේකෝන් පමණය. ක්ලෝඩියා රිස්ට වෙඩි තැබූවත් එය සාර්ථක නොවීය. වෙඩි තැබීම සඳහා යොදා ගන්නා පුද්ගලයින්ට අපහසුවකින් තොරව පළා යාමට හැකි වනු ඇතැයි කල්පනා කරන්නට ඇතත්, ඒ අපේක්ෂාව ද ඉටු නොවීය.
19. රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය කළ නුපුල් කුමාර, රෝහණ කුමාරගේ සමීපයකු බව තහවුරු කෙරෙන සාක්ෂි මෙසේය:
(අ) නුපුල් කුමාර අංගොඩ, රුවන්පුර, 48/7 ඒ දරන ස්ථානයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු වෘත්තීය මංකොල්ලකරුවෙකි. කඩුවෙල කොමර්ෂල් බැංකුවෙන් රුපියල් ලක්ෂ 15ක් මංකොල්ලකෑමේ සිද්ධියක් මත නුපුල් කුමාර හා තවත් දෙදෙනෙකු (ආර්.පී. වජිර කුමාර හා දිප්ති ප්රසන්න හෙවත් ප්රීති ප්රසන්න) 2000 ජනවාරි 19 වැනි දින මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
(ආ) රෝහණ කුමාරට මේ නුපුල් කුමාර සමග සමීප සම්බන්ධයක් තිබුණු අතර, මේ තිදෙනා නිදහස් කරවා ගැනීම සඳහා ඔහු මිරීහාන පොලිසියට බලපෑම් කිරීමට උත්සාහ කළේය. ඔහු මිරිහාන පොලිසියට ගොස් එම පරික්ෂණය භාරව ක්රියා කළ කේ.එස්. දර්ශන නමැති උප පොලිස් පරික්ෂකවරයා හමුවී තමන් හමුවීම පිණිස අගවිනිසුරුගේ නිල නිවසට එන ලෙස ඔහුට ආරාධනා කොට ඔහු නිල නිවසට පැමිණි පසු අත්අඩංගුවේ සිටින්නේ පොදු පෙරමුණේ ආධාරකරුවන් තිදෙනෙකු බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ. උප පොලිස් පරික්ෂකවරයා ඊට නොකැමති වූ විට රුපියල් ලක්ෂ 05ක මුදලක් ගෙන ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. උප පොලිස් පරික්ෂකවරයා ඊට ද එකග වී නැති අතර, ඔහු එම සිද්ධිය පොලිසියේ ප්රධානීන් වෙත පැමිණිලිකොට තිබේ.
20. මේ සිද්ධියෙන් පසුව රෝහණ කුමාර අධිකරණයට තමන්ට තිබෙන සම්බන්ධකම් ප්රයෝජනයට ගනිමින් තමන්ට අවනත නොවූ උප පොලිස් පරික්ෂකවරයාට පාඩමක් ඉගැන්වීම සඳහා අත්අඩංගුවට ගෙන ගංගොඩවිල උසාවිය මගින් (110/2000) ඇප මත මුදා හැර සිටි එම සැකකරුවන් තිදෙනා වෙනුවෙන් සිය නීතිඥයන් ලවා මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය. ීක්ෂFඍක්ෂ 43රැ2000 නුපුල් කුමාර වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සමේ අංකය වන අතර, 40/2000 හා 44/2000 අනෙක් දෙදෙනා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු පෙත්සම්වල අංකයි. 2001 පෙබරවාරී 19 වැනිදා විභාගයට ගැනුණු මෙම පෙත්සම් තුන විභාග වූයේ ද රෝහණ කුමාරගේ සමීප හිතවතා ලෙස සැලකුණු අගවිනිසුරු ප්රමුඛ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූයේ ද රෝහණ කුමාරගේ නඩු වෙනුවෙන් පෙනී සිටි හා රෝහණ කුමාර ලක්ෂ්මී කුසුමලතා සමග සම්බන්ධයක් ඇති කරගැනීමෙන් පසුව ලක්ෂ්මී කුසුමලතාගේ නඩු වෙනුවෙන් ද පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න මහතාය. ප්රියන්ත පෙරේරා මහතා හා ශිරාණ බණ්ඩාරනායක මහත්මිය ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සෙසු විනිසුරුවරුන් විය.
(අ) මිරීහාන පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ජී.ඩබ්ලිව්.ඩී. සිල්වා මහතා ද, මිරීහාන පොලිසියේ ස්ථාන භාර නිලධාරීයා වෙනුවෙන් නීතිඥ එන්. රණවක ආරච්චි මහතා ද පෙනී සිටියේය. පෙත්සම් තුනේ ලේඛනගත නීතිඥයා වශයෙන් එම්.බී.එස්. වීරකෝන් මහතාගේ නම සඳහන් කර තිබුණත්, තමා මෙම පෙත්සම්වල ලේඛනගත නීතිඥයා නොවන බවත්, තමාගේ අත්සන ලෙස යොදා තිබෙන අත්සන් ද ව්යාජ අත්සන් බව කියා වීරකෝන් මහතා ලියන ලද ලිපියක් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් නඩුව ආරම්භයේදි විනිසුරු මඬුල්ල වෙත ඉදිරිපත් කළේය. ශ්රේෂ්ඨාධිකරණයට වංචාවක් සිදු කර ඇති බව පෙනෙන්නට තිබියදි අගවිනිසුරුවරයා කළේ එය අත්වැරැද්දක් විය හැකි බව ප්රකාශ කරමින් පෙත්සම් තුන නිෂ්ප්රභා කිරීමය. මෙය මේ පිරිස එක කල්ලියක් ලෙස ක්රියා කර ඇති බව පෙන්නුම් කිරීම සඳහා දෑක්විය හැකි බලවත් සාක්ෂියකි.
(ආ) එහිදි නුපුල් කුමාර වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම කෙටුම්පත් කර තිබෙන ආකාරය ද බලවත් සැකයක් ඇති කිරීමට හේතු වේ. පෙත්සම්කරුගේ පසුබිම් තොරතුරු කිසිවක් ඊට ඇතුළත් කොට නැත.
(ඇ) පැ 3 වශයෙන් ලේඛනගත නීතිඥයා ලෙස පෙත්සම්වල එම්.බී.එස්. වීරකෝන්ගේ නම සඳහන් වී තිබුණත්, මෙම පෙත්සම් වෙනුවෙන් උසාවි හා පෙරකලාසි ගාස්තු ගෙවා තිබුණේ නීතිඥ ගැස්ටන් ජයකොඩි නමටය. ජනාධිපති නීතිඥ ජයම්පති වික්රමරත්න සේ ම, නීතිඥ ගැස්ටන් ජයකොඩි ද අගවිනිසුරුවරයාට සේ ම රෝහණ කුමාරට ද ඉතාමත් සමීපය.
නුපුල් කුමාරගේ පෙත්සම පෑ 3 වශයෙන් ද, තමන් එම පෙත්සම් තුනේ ලේඛනගත නීතිඥයා නොවන බව ප්රකාශ කරමින් විත්තියේ නීතිඥයාට නීතිඥ එම්.බී.එස්. වීරකෝන් එවන ලද ලිපිය පැ. 3 ් වශයෙන් ලකුණු කරමි.
21. අගවිනිසුරුවරයා යටපත් කළ මෙම වංචාව මිරීහාන පොලිසියේ උප පොලිස් පරික්ෂක කේ.එස්. දර්ශන වංචා විමර්ශන බියුරෝවට පැමිණිලි කළේය. ෂඍරැ312රැ2001 එම පැමිණිල්ලේ අංකයයි.
22. අගවිනිසුරු සරත් සිල්වා මහතා රෝහණ කුමාර දරුණු අපරාධයන්ට හා වංචාවන්ට සම්බන්ධ පුද්ගලයෙකු බව දැන දැනම ඔහු සමීපව ඇසුරු කිරිමෙන් නොනැවතී විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයේ සේවයට යොදා ගැනීම මගින් විනිසුරුවරුන් දෑන හඳුනාගනිමින් ඔවුන් කෙරෙහි බලපා හැකි තත්ත්වයක් ගොඩ නගා ගැනීමට මෙම අපරාධකරුවාට ඉඩ ලබාදි ඇති අතර, ඒ මගින් ඇති කර ගන්නා බලය සිය අපරාධ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා යොදා ගෙන ඇති බවත්, එහිදි පවා මේ අපරාධකරුවාට අවශ්ය රැකවරණය ලබාදිමට අගවිනිසුරුවරයා ක්රියා කර ඇති බවත් ඒ මගින් අධිකරණ සේවයේ ඉහළම තනතුර උසුලන අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ඒ මගින් අධිකරණය කෙරෙහි විශාල අවමානයක් ඇති කිරීම සඳහා ක්රියා කර ඇති බව ප්රකාශ කරන පැමිණිලිකරු මේ පැමිණිල්ල පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කොට වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීම සඳහා නොපමාව ක්රියා කරන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටී.
4. මල්වත්ත ඝාතන පරික්ෂණයේදි පේරාදෙණිය පොලිසිය රෝහණ කුමාරගේ වෛවාහක නිවාස වූ පොකුණුවිට නිවස පරික්ෂා කොට අත්අඩංගුවට ගන්නා ලද ඡායාරූපයක පිටපතක් (එය අගවිනිසුරුවරයා රෝහණ කුමාර සමග එකට ගන්නා ලද ඡායාරූපයකි.) පෑ 4 වශයෙන් සලකුණු කරමි.
(අ) අගවිනිසුරුවරයා රෝහණ කුමාරගේ ජංගම දුරකතනයට කතා කරන තරම් සම්බන්ධයක් තිබූ බව තහවුරු කරන අගවිනිසුරුවරයාගේ දුරකතනයේ බිල්පත් පෑ 5 වශයෙන් සලකුණු කරමි.
5. ජාතික සංවර්ධන බැංකුවට සින්න වී තිබූ ඇගළුම් කම්හලකින් ලක්ෂ 11ක් වටිනා යන්ත්රෝපකරණ වංක හා සාවද්ය ලෙස ඉවත් කොට විකිණීමේ සිද්ධියට අදාළව සරත් නන්ද සිල්වා නීතිපති වී සිටියදි ඉදිරිපත් කරන ලද අධි චෝදනා පත්රයක පිටපත පෑ 6 වශයෙන් සලකුණු කරමි. අගවිනිසුරුවරයා මේ පුද්ගලයාගේ පසුබිම දැන සිටි බව එයින් තහවුරු වේ.
අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන මේ පැමිණිල්ල ගැන පාර්ලිමේන්තුව පරික්ෂණයට යන්නේ ද යන්න මා වෙත දැනුම් දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙයට,
…………………………………………….
වික්ටර් අයිවන්
කර්තෘ – රාවය