කිරි කළයට ගොම දැමීම

March 13, 2011
Publication:
The prime minister told parliament during the emergency debate that the intelligence services had information about training at three secret camps in Tamil Nadu, aimed at killing Indian leaders and re-establishing the LTTE in Sri Lanka. If there is no true basis for it, Ivan replies, talk of that kind can do the country real harm — it can discourage the foreign investment Sri Lanka is hoping for.

ඉන්දීය රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමේ අරමුණ ඇතිව හා ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය නැවත ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිව තමිල්නාඩුවේ රහසිගත ස්ථාන තුනක ඇති කඳවුරුවල පුහුණු කිරීම් සිදුකැරෙන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා හදිසි නීති විවාදයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට දක්වන ලද ක්ෂණික ප්‍රතිචාරය වූයේ අගමැතිවරයා කියන කතාව අසත්‍යයක් බවත්, එවැන්නක් ගැන ඉන්දීය රජය හෝ බුද්ධි අංශය සඳහනක් කර නැති බවත්, පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීමය. තමිල්නාඩුවේ කොටි කඳවුරු තිබෙන බවට ප්‍රචාරය වී තිබෙන කතාව අසත්‍යයක් බව ඉන්දීය මාධ්‍ය විසින්ද වාර්තා කර තිබෙන බව වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා තිබුණි.

අගමැතිවරයා කර තිබෙන ප්‍රකාශයේ ඇත්ත නැත්ත හරිහැටි කීමේ හැකියාවක් අපට නැතත්, එම ප්‍රකාශය විශ්වාසදායකභාවයක් අප තුළ ඇති කරන්නේ නැත.

එය ඉන්දියාවේ බුද්ධි අංශයෙන් ලංකාවට ලැබුණු තොරතුරක්ද නැත්නම් ලංකාවේ බුද්ධි අංශය විසින්ම සොයාගන්නා ලද තොරතුරක්ද යන්න මතුවන පළමු ප්‍රශ්නයයි. එය ලංකාවේ බුද්ධි අංශය විසින්ම සොයාගත් තොරතුරක් නම් ලංකාවේ බුද්ධි අංශය ඒ ගැන ඉන්දියානු බලධාරීන්ට දැනුම් දුන්නේද? එය ඉන්දියානු බුද්ධි අංශය සොයා ගත් තොරතුරක් නම් එම කඳවුරුවල පුහුණුවන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දියාව මේ දක්වා ක්‍රියා නොකළේ ඇයිද යන ප්‍රශ්නයද මතුවන්නේය.

මෙය සත්‍ය පදනමක් ඇති කතාවක් නොවේ නම් එවැනි කතා ශ්‍රී ලංකාවට හානිදායී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බවද කිව යුතුය. එවැනි කතා ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තු වන විදේශ ආයෝජනයන් අධෛර්යමත් කළ හැකිය. වෙනත් ආකාරවලින්ද රටට හානිදායී ලෙස බලපෑ හැකිය.

වගකීමෙන් තොරව කෙරෙන දේවල් හා ප්‍රකාශ නිසා දැනටත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට බරපතළ හානි සිදුවී තිබෙන බවද කිව යුතුය.

ලෝක ක්‍රිකට් තරගය සඳහා ගායනා කිරීමට සකස් කළ ප්‍රතිකණ්ඩායම් අවමානයට ලක් කරන නොහොබිනා ගීතයක ඉංග්‍රීසි පරිවර්තනය වෙබි අඩවිවල පළවීම නිසා ලංකාවට සිදුවී තිබෙන අවමානයේ තරම සුළුපටු නැත. ඉන්පසු මහේල ජයවර්ධන පගාව ගෙන ඇති බවට පළවූ කතාවක් බීබීසී ලෝක සේවාව සිය ප්‍රධාන ප්‍රවෘත්තියක් වශයෙන් පළ කළේය. එයින් ද රටට සිදුවූ අපකීර්තියද සුළුපටු නැත. ප්‍රභාකරන්ගේ මවගේ සොහොන මත වෙඩි තමා මරා දැමූ බල්ලන් තිදෙනකුගේ සිරුරු තැබීමද ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ හොඳ නම කැත කළ තවත් සිද්ධියකි. ඊනිව්ස් කාර්යාලයට පහරදීමද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ අවමානයට ලක් කළ තවත් සිද්ධියකි.

ශ්‍රී ලංකාවේ හොඳ නම කෙළසන්නට හා ශ්‍රී ලංකාවට පහර දෙන්නට බලා සිටින ජාත්‍යන්තර බලවේග ද සිටින්නේය. ඒ අතර එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ප්‍රධානය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ හොඳ නම වැඩියෙන්ම කෙළෙසමින් තිබෙන්නේ බාහිර සතුරු බලවේගයන් අතින් නොව, අභ්‍යන්තර මිතුරු බලවේගයන් අතිනි. රට මවමින් තිබෙන්නේ රටේ හොඳ නම පතුරුවන ප්‍රවෘත්ති නොව, රටේ හොඳ නම කෙළෙසන ප්‍රවෘත්තිය. මෙය රටේ වගකිවයුතු සියලුදෙනාගේ අවධානයට යොමුවිය යුතු ඉතා අවාසනාවන්ත හා ඛේදජනක තත්ත්වයක් බව කිව යුතුය.

එල්ටීටීඊය පරාජය කිරීම රට අවමානයට ලක්විය යුතු හේතුවක් නොව, රටේ ඉදිරි ගමනට අවශ්‍යව තිබූ සද්ක්‍රියාවකි. එම ජයග්‍රහණයට උරදුන් සියලුදෙනාට රටේ ගෞරවය හිමිවිය යුතුය. එහෙත් එල්ටීටීඊයේ අන්තවාදී වැඩපිළිවෙළ හා රටේ දෙමළ ප්‍රශ්නය අතර ඍජු සම්බන්ධයක් තිබුණි. එල්ටීටීඊය පරාජය කිරීම යුක්තිසහගත වුවත් ඒ ක්‍රියාව තුළ දෙමළ ජනතාවගේ සිත් පෑරීමක්ද සිදුවිය. ඔවුන්ගේ තුවාල වී තිබෙන සිත් පැසවන්නට ඉඩ නොදීමේ යුතුකමක් හා වගකීමක් පාලක පක්ෂයට, විරුද්ධ පක්ෂයට පමණක් නොව මහජනතාවටද ඇත්තේය. ආණ්ඩුව දෙමළ ජනතාවගේ යහපත සඳහා බොහෝ දේ සිදුකර තිබේ. එහෙත් සිදුකර තිබෙන හොඳ දේවල් සියල්ලට ලැබෙන වටිනාකම එක පුංචි දෙයකින් නැතිවිය හැකිය. කිරි කළයක් විනාශ කිරීමට එක ගොම බිඳුවක් ප්‍රමාණවත්ය. එම සරල සත්‍යය තේරුම් ගැනීමෙන් පමණක් වුවත් එවැනි වැරදි නැවත නැවත ඇතිවීම වැළැක්විය හැකිය.