ඉංග්රීසි භාෂා දැනුම සඳහා රටට අවශ්ය ඉංග්රීසි ගුරුවරුන් බිහිකිරීම වහාම කළ නොහැකිය. ජාත්යන්තර පාසල්වලින් ලබාගත හැකි වැඩි වැටුප් හේතු කොට ගෙන, දැනට පාසල් පද්ධතියේ සිටින හොඳ ඉංග්රීසි ගුරුවරුන් ද ජාත්යන්තර පාසල්වලට එකතුවෙමින් සිටිති. මේ අභියෝගය ජයගත හැකි හොඳම ක්රමය බමුණු කුලයක් ඇති කිරීම සඳහා බිහිවී තිබෙන ජාත්යන්තර පාසල් ක්රමය උපරීම මට්ටමෙන් ජාතික අවශ්යතාවන් සඳහා ද, ප්රයෝජනයට ගැනීමය. අපොස උසස් පෙළ සමත්වූවන් සඳහා අවශ්ය ඉංග්රීසි දැනුම හා මූලික පරිගණක දැනුම ලබාදෙන පාඨමාලාවන් සඳහා හොඳ මිලක් ලැබෙන්නේ නම්, ජාත්යන්තර පාසල් සිය ආදායම් තර කර ගැනීම සඳහා එවැනි වැඩපිළිවෙළකට එකතුවනු නොඅනුමානය. ඒ මගින් පුහුණු ඉංග්රීසි ගුරුවරුන් නැතිකමේ අඩුව පිරීමසා ගත හැකි අතර, උසස් පෙළ සමත් වූවන්ට ඉංග්රීසි භාෂාව සඳහා ගැලපෙන වඩා හොඳ පරිසරයක් තුළ ඉංග්රීසි භාෂාව ඉගෙන ගත හැකි තත්ත්වයක් ද, ඇති කළ හැකිය.
එවැනි වැඩපිළිවෙළක් මගින් විශ්ව විද්යාලවලට තේරි පත්වන ශිෂ්යයන්ට සේ ම විශ්ව විද්යාලවලට තේරි පත් නොවීම නිසා රැකියා වෙළෙඳ පොළට හෝ වෙනත් විකල්ප අධ්යාපනයකට යොමුවීමට සිදුවන තරුණ පිරිසකට ද වඩා හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඒ ඕනෑම ක්රියාවලියකට අනුගතවීමට අවශ්ය පුලුවන්කම ලැබෙනු ඇත්තේය.
විජේවීර කෙනකු මුල් කොටගෙන දකුණේ සිංහල තරුණ පරපුර කෙරෙන් කැරළි දෙකක් ඇතිවීම කෙරෙහිත්, ප්රභාකරන් කෙනෙකු මුල් කොටගෙන උතුරේ දෙමළ තරුණ පරපුර කෙරෙන් වෙනම රාජ්යයක් සඳහා වන සන්නද්ධ ව්යාපාරයක් මතුවීම කෙරෙහිත් බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්රතිපත්තිය බලපෑවේය. සිංහල පමණක් ප්රතිපත්තිය කෙටිකාලීන වශයෙන් සිංහල ජනතාවට ඇති අධ්යාපනික හා රැකී රක්ෂා ඉඩ ප්රස්ථා පුළුල් කිරීමට හේතු වුවත්, දිර්ඝකාලීන අර්ථයෙන් එය සිංහල තරුණ පරපුර සිංහල භාෂාවට පමණක් සීමා කිරීම තුළ නවීන රක්ෂා වෙළෙඳ පොළට අනුගතවීමට තිබෙන හැකියාව සීමා කළේය. ඒ ආශ්රයෙන් සිංහල තරුණ පරපුර කෙරෙන් මතුවූ අසහනය ඔවුන් අතරින්කැරළි දෙකක් මතු කිරීමට බලපෑවේය. සිංහල පමණක් ප්රතිපත්තිය දෙමළ ජනතාව අතර ඇති කිරීමට හේතුවූ අසහනය වෙනම රාජ්යයක් සඳහා කරන අරගලයක් දක්වා ඔවුන් තල්ලුකළේය.
අසල්වැසි ඉන්දියාවේ දේශපාලන ගමන් මග ශ්රී ලංකාවේ දේශපාලන ගමන් මගට වඩා ජාතිකවාදි ස්වරූපයක් ගත්තත්, ඉන්දියානු දේශපාලන නායකයන්ට අපේ රටේ දේශපාලන නායකයන්ට නොතිබුණු ඉදිරි දෑක්මක් තිබුණේය. ඔවුහු අපේ රටේ නායකයන් මෙන් එවේලේ ලබන දේශපාලන වාසි සලකා සිය රටේ ජනතාව ජාතික භාෂාවන්ට පමණක් සීමා කොට තබන ප්රතිපත්තියක් අනුගමනය නොකළහ. ඉංග්රීසි භාෂාවේ ආධිපත්යය විසින් ජාතික භාෂාවන් ඇද දමා තිබූ නින්දිත තත්ත්වයට එරෙහිව ජාතික භාෂාවන්ට ගෞරවනීය පිළිගැනීමක් ලබාදිම පිණිස එම භාෂාවන් නගා සිටුවීම පිණිස ක්රියා කරන අතර, ජාත්යන්තර භාෂාවක් වශයෙන් ඉංග්රීසි භාෂාවට ලැබෙන වැදගත්කම ප්රතික්ෂේප නොකරමින් ඉංග්රීසි භාෂාව උසස් අධ්යාපනයේ භාෂාව ලෙස තබා ගත්හ.
එහෙත් අපේ රටේ නායකයන්ට ඒ ගැන තිබුණු දැනීම ඉතාමත් පටු විය. ඉංග්රීසි භාෂාවට ලැබී තිබුණු ආධිපත්යය විසින් පීඩාවට පත්කර තිබුණේ සිංහල බහුතර ජනතාව භාවිතා කළ සිංහල භාෂාව පමණක් නොව, දෙමළ මුස්ලිම් සුළුතර ජනතාව භාවිතා කළ දෙමළ භාෂාව ද පීඩාවට පත්කර තිබුණේය. බහුතර සිංහල ජනතාව ජීවත් වන ප්රදේශවල සිංහල භාෂාවෙන්ද, දෙමළ හා මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්රදේශවල දෙමළ භාෂාවෙන් ද කටයුතු කිරීමට අවශ්ය තත්ත්වයක් නිර්මාණය කරදෙමින් තවදුරටත් ජාත්යන්තර භාෂාවක් වශයෙන් ඉංග්රීසි භාෂාවට ලැබෙන වැදගත්කම තේරුම් ගනිමින් ඉංග්රීසි භාෂාව උසස් අධ්යාපනයේ භාෂාව ලෙස තවදුරටත් තිබෙන්නට ඉඩ හරිමින් ගම්බද සිංහල දෙමළ ජනයාට ඉංග්රීසි භාෂාව හැදෑරිමට අවශ්ය පහසුකම් ලබාදෙන තත්ත්වයක් ඇති කළේ නම් රටට ලැබෙන ප්රතිඵලය ඉතාමත් ප්රශස්ථ වන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ වෙනුවට යොදා ගත් සිංහල පමණක් ප්රතිපත්තිය මුළු රටේම අනාගතය අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය.
තවදුරටත් මේ තත්ත්වය වර්ධනය වන්නට ඉඩ නොදි වෙනසක් ඇති කරගැනීම අවශ්ය වුවත්, එය කළයුතුව ඇත්තේ ඉතාමත් කල්පනාකාරි ආකාරයටය. වෙනසක් සඳහා හිතුවක්කාරි ක්රියාපිළිවෙතක් අනුගමනය කළහොත් ඒ නිසා ඇතිවිය හැකි ප්රතිඵල වඩා විනාශකාරි විය හැකිය.
අපොස උසස් පෙළ සිසුන්ට ඉංග්රීසි භාෂාව අනිවාර්ය කිරීම යහපත්ය. එහෙත් එය ඵලදායක වනු ඇත්තේ උසස් පෙළ අධ්යාපනයේ යෙදි සිටින සියලු පාසල්වල සිසුන්ට සුදුසු පුහුණුකරුවන් පිරිසක් ලබාදිමේ හැකියාවක් ඇත් නම් පමණය. නැත්නම් ඉන් සිදුවනු ඇත්තේ ඔවුන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් ඇතිවීමය.
මීට අතිරේකව උසස් පෙළ විද්යා විෂය ධාරාවේ අධ්යාපනය ලබන සියලු සිසුන්ට තමන් කැමති නම් ඉංග්රීසි මාධ්යයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට 2001 සිට ක්රියාත්මක වන පරිදි ඉඩ ලබාදි ඇතත්, එය ද ඒ සඳහා අවශ්ය තත්ත්වයන් සම්පූර්ණ කිරිමෙන් තොරව ගෙන ඇති හිතුවක්කාරි පියවරක් වන බව ද පෙනී යයි. උසස් පෙළ විද්යා විෂය ධාරාවේ විෂයයන් උගන්වන පාසල් 560ක මේ වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට නියමිතය. එහෙත් ඒ වැඩපිළිවෙළ සාර්ථක වනු ඇත්තේ ඉංග්රීසි මාධ්යයෙන් විභාගයට පෙනී සිටීමට උනන්දුවක් දක්වන ශිෂ්යයන්ට ඉංග්රීසි මාධ්යයෙන් එසේ කිරීමට අවශ්ය හැකියාවක් හා ඔවුන්ට ඉංග්රීසි මාධ්යයට මාරුවීමට අවශ්ය සුදුසු ගුරුවරුන් පිරිසක් ලබාදිය හැකි තත්ත්වයක් ඇත් නම් පමණය. මේ වැඩපිළිවෙළ ක්රියාවට නැංවීමට අවශ්ය පාසල් 560 සඳහා විද්යා විෂයය ධාරවට අවශ්ය සියලු විෂයයන් සඳහා හා ඒ සියලු පාසල් සඳහා ඉංග්රීසි මාධ්යයෙන් හරීයාකාරව ඉගැන්විය හැකි හා ඒ සඳහා සුදුසු ගුරුවරුන් ලබාදිය නොහැකි නම්, මේ වැඩපිළිවෙළ අවසානයේ තිබුණ අවුල්සහගත තත්ත්වය ලිහිල් කරනවා වෙනුවට තව තවත් අවුල් කිරීමට හේතුවනු නොඅනුමානය. ඉංග්රීසි මාධ්යය අනිවාර්ය නොවන නිසා සිංහල මාධ්යයෙන් උගන්වන ගුරුවරුන්ට අතිරේකව ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීමට අවශ්ය කරන ගුරුවරුන්ගේ සංඛ්යාව 2800කි. ඒ සියලු දෙනා ඉංග්රීසි මාධ්යයෙන් විද්යා විෂයය ධාරාවට ඇතුළත් විෂයයන් ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීමට හැකි අය විය යුතුය. එවැනි පිරිසක් ලබාදිමේ හැකියාවක් තිබේද?
අපේ රටේ පාසල්වල ඉංග්රීසි විෂයයට ලැබී තිබෙන ප්රතිඵල ඉතා පහත්ය. 1995 සාමාන්ය පෙළ විභාගයේ දි ඉංග්රීසි විෂයය අසමත්වූවන්ගේ ප්රතිශතය 64%ක මට්ටමක පවතී. අධ්යාපන කොට්ඨාශ 31කින් සාමාන්ය තත්ත්වයට වඩා ඉහළින් සිටිනුයේ දිස්ත්රික්ක 10ක් පමණය. දිස්ත්රික්ක 21ක්ම සිටිනුයේ සාමාන්ය තත්ත්වයටත් වඩා නරක තත්ත්වයකය. යාපනේ දිස්ත්රික්කයේ අසමත්වූවන්ගේ අනුපාතිකය 87.36%කි. මොනරාගල 79.50%කි. අම්පාර 79.22%කි. නිකවැරටිය 78.63%කි. තංගල්ල 75.21%කි. පොළොන්නරුව 74.92%කි. අනුරාධපුරය 73.32%කි. රත්නපුරය 71.22%කි. මාතලේ 70.77%කි. ත්රිකුණාමලය 70.75%කි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විෂයයක් වශයෙන් පවා ඉංග්රීසි භාෂාව පිළිබඳව රටේ පවත්නා තත්ත්වයේ තරමය. මේ තත්ත්වය කෙරෙහි ඉංග්රීසි භාෂාව ඉගැන්වීමට සුදුසුකම් ඇති පුහුණු ගුරුවරුන් නැතිකමේ ප්රශ්නය ද බලපා ඇති බවට සැකයක් තිබිය නොහැකිය.
රටේ පාසල් 10312ක් ඇතත් පුහුණු ඉංග්රීසි ගුරුවරුන් සිටින්නේ 9790ක් පමණය. උපාධිධාරී හෝ පුහුණු ගණත ගුරුවරුන් ඉන්නේ 8380ක් පමණය. උපාධිධාරි හෝ පුහුණු විද්යා ගුරුවරුන් සිටින්නේ 11907ක් පමණය. මෙවැනි දුර්වල පසුබිමක් ඉදිරියේ උසස් පෙළ විද්යා විෂය ධාරාවට සම්බන්ධ පාසල් 560ක කැමති ශිෂ්යයන්ට 2001 විභාගයට ඉංග්රීසි මාධ්යයෙන් අධ්යාපනය ලබා දෙන තත්ත්වයක් ඇති කරගැනීමට යන්නේ නම්, එය තිබෙන අවුල් තවත් උග්ර කිරීමට මිස, සමනය කිරීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය.
මීට වඩා අත්හදා බැලීමක් වශයෙන් ඉංග්රීසි මාධ්යයෙන් විද්යා විෂයය ධාරාවේ උසස් පෙළ ඉගෙනීමට උනන්දුවක් ඇති හා ඒ සඳහා අවශ්ය සුදුසුකම් ඇති පිරිසකට සීමා කළහැකි ආකාරයට ආදර්ශ පාසල් කිහිපයක් ආරම්භ කිරීම ඵලදායකය. පන්ති කාමර 14-15 අතර ගණනකට සීමා වන ලෙස එවැනි විශේෂ පාසල් 5ක් වුවත්, සුදුසු ගුරු පිරිසක් යොදා ගනිමින් ආරම්භ කළ හැකි නම්, වඩා ව්යාප්ත ක්රමයක් සඳහා අවශ්ය අත්දෑකීම් ලබාගැනීමට හැකිවනු ඇති අතර, එවැනි වැඩපිළිවෙළක් ක්රමයෙන් ව්යාප්ත කිරීමට අවශ්ය සුදුසු ගුරු පිරිසක් පුහුණු කිරීමට ද හැකිවන්නේය.
පාසල් 560ක එවැනි වැඩපිළිවෙළක් සඳහා ගණතය හා විද්යා විෂයයන් ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීමට හැකි ගුරු පිරිසක් සොයා ගත නොහැකිය. එක් පාසලක් සඳහා ගුරුවරුන් ලැබෙන්නේ විෂයයන් කීපයක් සඳහා පමණක් නම්, එවැනි වැඩපිළිවෙළකට මාරුවන ශිෂ්යයන් අල්ලපු අත්තත්, පයගහපු අත්තත් නැති තැනකට ඇද වැටෙන්නේය. ඊට වඩා ආරම්භයේදි ඉංග්රීසි මාධ්යයයට මාරුවීමට සූදානම් හා සුදුසුකම් ඇති ශිෂ්යයන් හඳුනාගනිමින් ඒ සියලු දෙනා ආදර්ශ පාසල් කිහිපයකට ගොනු කොට සුදුසු ගුරුවරුන් පිරිසක් මගින් ඔවුන්ට අධ්යාපනය ලබාදිම වඩා ඵලදායකය.
වාර්ෂිකව උසස් පෙළ සමත් වන 35,000 ඉලක්ක කොට, ඔවුන්ට එදිනෙදා කටයුතු සඳහා අවශ්ය ඉංග්රීසි භාෂා දැනුමක් හා පරිගණක දැනුමක් ලබාදෙන වැඩපිළිවෙළක් දියත් කිරීම ජාතික වශයෙන් ගත් කල වඩා ඵලදායකය. උසස් පෙළ සමත් වන 35,000න් විශ්ව විද්යාලවලට ඇතුළත් වීමේ හැකියාව ලැබෙන්නේ 8000ක් පමණ වන පිරිසකටය. ඒ අයට ද විභාග ප්රතිඵල මට්ටමෙන් පසු විශ්ව විද්යාලවලට ඇතුළත්වීම සඳහා වසරක් තරම් කාලයක් නිකරුණේ සිටීමට සිදුවේ. විශ්ව විද්යාලවලට ඇතුල්වීමට ඉඩ නොලැබෙන අන් අයට ද, රැකියාවක් හෝ විකල්ප අධ්යාපන මාර්ගයක් සොයා ගැනීමට කිසියම් කාලයක් නිකරුණේ ගතකිරීමට සිදුවේ.
මේ සියලුදෙනා ඉලක්ක කොට, සතියේ දිනවල දිනකට පැය හතරක් තරම් කාලයක් ඇතුළත් වන ලෙස මාස 8ක තරම් කාලයක් සඳහා ඉංග්රීසි භාෂාව හා පරිගණකදැනුම ලබාදෙන වැඩපිළිවෙළක් ඇති කළ හැකිය. එය විශ්ව විද්යාල වලට ඇතුල්වීමට නියමිත අයට පමණක් අනිවාර්ය කළහැකි අතර, අනෙක් අයට ද ඔවුන් කැමති නම් පමණක් සහභාගී කරවා ගත හැකිය.
ඉංග්රීසි පොතපත කියවීමට අවශ්ය දැනුම, සාමාන්ය ලිවීමේ හැකියාව හා එක්තරා ප්රමාණයකට කතා කිරිමේ දැනුම ඇතුළුව මූලික පරිගණක දැනුම ලබාදිම ඉලක්ක කරගත හැකිය. එවිට, ආත්ම විශ්වාසයකින් යුතුව විශ්ව විද්යාලවලට යාමේ හැකියාවක් එම ශිෂ්යයන්ට ලැබෙන අතර, විශ්ව විද්යාලවලට නොතේරෙන අයට ද ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා වෙළෙඳ පොළට එකතුවීමේ හෝ විකල්ප මාර්ගවලින් තවදුරටත් උසස් අධ්යාපනය ලබාගැනීමේ හැකියාව පහසු කරයි.
දැනට පාසල් මට්ටමින් පවත්වාගෙන යන පරිගණකඅධ්යාපනයේ ඵලදායක බවක් නොපවතී. රුපියල් කෝටි සිය ගණනක වියදමින් තෝරා ගත් සමහර පාසල් සඳහා පරිගණක යන්ත්ර බෙදා හැර ඇතත්, ඒවා ඵලදායක ලෙස අවශ්ය කටයුතු සඳහා යොදා ගැනීමක් සිදුවන්නේ නැති තරම්ය. මේ ක්රමය වෙනුවට ආරම්භයේ දි උසස් පෙළ සමත් වූවන්ට පරිගණක අධ්යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් ඇති කරන අතර, ඒ පරිගණක නවීනම භාෂා අධ්යාපනය සඳහා ද එක්තරා විශාල ප්රමාණයකට යොදා ගත හැකිය. මේ සඳහා විශේෂ අධ්යාපන ආයතන ක්රමයක් ඇති කළ හැකිවා සේ ම දැනට තිබෙන ඉංග්රීසි ගුරු හිගය නොසලකා රටේ තිබෙන ජාත්යන්තර පාසල් පද්ධතිය ඒ සඳහා යොදා ගැනීම වඩා ඵලදායකය. ඉංග්රීසි භාෂාව හා මූලික පරිගණක දැනුම සඳහා විශේෂ පාඨමාලාවක් සකස් කොට එම පාඨමාලාව පිළිගත් ප්රමිතියකට අනුව පවත්වාගෙන යාමට අවශ්ය පහසුකම් ඇති ආයතනවලට මුදල් ගෙවන පාඨමාලාවක් වශයෙන් පවත්වාගෙන යාමට ඉඩදිය හැකි අතර, උසස් පෙළ සමත් වන සිසුන් සඳහා පමණක්, පාඨමාලා ගාස්තුව ආණ්ඩුව මගින් ගෙවන ක්රමයක් ඇති කළ හැකිය. අට මාසයක පාඨමාලාවක් සඳහා ගෙවිය යුතු ගාස්තුව රු. දස දහසක් ලෙස සැලකුවත්, උසස් පෙළ සමත් වූ ශිෂ්යයන්ට ඉංග්රීසි භාෂා දැනුමක් සමග මූලික පරිගණක දැනුමක් ලබාදිම සඳහා රජයට වසරකට වැය කිරීමට සිදුවනු ඇත්තේ රුපියල් මිලියන 350ක් පමණය. මෙවැනි වැඩසටහනක් සඳහා අවශ්ය කරන එම මුළු මුදලම වුවත්, ජාත්යන්තර ආධාර ආයතනවලින් ලබාගත හැකිය.
ඉංග්රීසි භාෂා දැනුම සඳහා රටට අවශ්ය ඉංග්රීසි ගුරුවරුන් බිහිකිරීම වහාම කළ නොහැකිය. ජාත්යන්තර පාසල්වලින් ලබාගත හැකි වැඩි වැටුප් හේතු කොට ගෙන, දැනට පාසල් පද්ධතියේ සිටින හොඳ ඉංග්රීසි ගුරුවරුන් ද ජාත්යන්තර පාසල්වලට එකතුවෙමින් සිටිති. මේ අභියෝගය ජයගත හැකි හොඳම ක්රමය බමුණු කුලයක් ඇති කිරීම සඳහා බිහිවී තිබෙන ජාත්යන්තර පාසල් ක්රමය උපරීම මට්ටමෙන් ජාතික අවශ්යතාවන් සඳහා ද, ප්රයෝජනයට ගැනීමය. අපොස උසස් පෙළ සමත්වූවන් සඳහා අවශ්ය ඉංග්රීසි දැනුම හා මූලික පරිගණක දැනුම ලබාදෙන පාඨමාලාවන් සඳහා හොඳ මිලක් ලැබෙන්නේ නම්, ජාත්යන්තර පාසල් සිය ආදායම් තර කර ගැනීම සඳහා එවැනි වැඩපිළිවෙළකට එකතුවනු නොඅනුමානය. ඒ මගින් පුහුණු ඉංග්රීසි ගුරුවරුන් නැතිකමේ අඩුව පිරිමසා ගත හැකි අතර, උසස් පෙළ සමත් වූවන්ට ඉංග්රීසි භාෂාව සඳහා ගැලපෙන වඩා හොඳ පරිසරයක් තුළ ඉංග්රීසි භාෂාව ඉගෙන ගත හැකි තත්ත්වයක් ද, ඇති කළ හැකිය.
එවැනි වැඩපිළිවෙළක් මගින් විශ්ව විද්යාලවලට තේරි පත්වන ශිෂ්යයන්ට සේ ම විශ්ව විද්යාලවලට තේරි පත් නොවීම නිසා රැකියා වෙළෙඳ පොළට හෝ වෙනත් විකල්ප අධ්යාපනයකට යොමුවීමට සිදුවන තරුණ පිරිසකට ද වඩා හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඒ ඕනෑම ක්රියාවලියකට අනුගතවීමට අවශ්ය පුලූවන්කම තිබිය යුතුය.