වඩා බිහිසුණු ත්රස්තවාදියාද? නැත්නම් මදුරුවාද? ත්රස්තවාදයෙන් හා රාජ්ය ත්රස්තවාදයෙන් පිරිහී සිටින රටක් වශයෙන් අප ඊට දෙන පිළිතුර වනු ඇත්තේ ත්රස්තවාදය යන්නයි. මදුරු උවදුර මැඩීමට රුපියල් ලක්ෂ ගණනකටත් වැදගත්කමක් නොලැබී ත්රස්තවාදය පරාජය කිරීම පිණිස වසරකට රුපියල් කෝටි දහස් ගණනක් වැය කරමින් සිටින්නේ ඒ නිසාය. ත්රස්තවාදයට එරෙහිව නවීන රොකට් ලෝන්චර් යොදාගන්නාවිට මදුරු උවදුරට එරෙහිව ප්රාථමික මැලතීන් පිළියමවත් නොයොදන්නේ ද ඒ නිසාය.
එහෙත් ඇත්ත යථාර්ථය ත්රස්තවාදය බිහිසුණු වුවත්, මදුරු උවදුර වඩා බිහිසුණු විය හැකි බවය. 1989-90 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ ක්රියාවට නගන ලද කැරැල්ල පසුබිමේ ත්රස්තවාදය හා රාජ්ය ත්රස්තවාදය නිසා මරණයට පත්වූ අයගේ සංඛ්යාව 60,000ක් පමණ විය හැකිය. අවුරුදු 16ක කාලයක් තුළ උතුරු නැගෙනහිර යුද්ධය නිසා මරණයට පත්වූ අයගේ සංඛ්යාව ද තවමත් ලක්ෂය ඉක්මවා නැත. එහෙත් 1934-35 වසරවල රටේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් පමණක් මරණයට පත්ව ඇති අයගේ සංඛ්යාව ලක්ෂයක් පමණ වන බවට ගණන් බලා තිබේ. එහිදී රටේ ජනගහනයෙන් හැම දෙදෙනකුගෙන්ම කෙනෙකුට මැලේරියා වැළඳුන අතර, ජනගහනයෙන් හැම දහදෙනාගෙන් කෙනෙකුම මරණයට පත්විය. 1935 වසරේදි කුරුණෑගල දිස්ත්රික්කයේ පමණක් මැලේරියාවෙන් සිදුවූ මරණ සංඛ්යාව 27735ක් වූ අතර, එම වසරේදි කෑගල්ල දිස්ත්රික්කයේ ඇතිවූ මරණ සංඛ්යාව 12955ක් විය. වෙරළබඩ ප්රදේශවලට පමණක් සීමාවිය හැකිව තිබුණු සමසමාජ ව්යාපාරය සබගරමුවට රැගෙන ගියේ ද මදුරුවාය. රුවන්වැල්ලට මුළුමණින් පිටස්තරයකු වන ආචාර්ය එන්.එම්. පෙරේරාට 1936දි ප්රදේශයේ වැඩවසම් ්ය ලෙස ක්රියාකළ ඇඩ්ලින් මොලමුරේ ආර්යාව පරාජය කොට රාජ්ය මන්ත්රණ සභාවට තේරි පත්වීමට හැකිවූයේ ද මදුරුවා නිසාය. එන්..එම්.ට සෙලිනා නමින් වන පෙම්වතියක් හමුවන්නේ ද මදුරු උවදුරේ ප්රතිඵලයක් ලෙසය. එකල සබරගමුව පළාත වෙළාගෙන තිබුණු මැලේරියා උවදුරට එරෙහිව ඉංග්රීසි ආණ්ඩුවටවත් නොතිබුණු දියුණු සහනාධාර වැඩපිළිවෙළක් සමසමාජ ව්යාපාරයට තිබුණේය. මැලේරියා රෝගයට ගොදුරුව එය ජයගැනීමට අවශ්ය ශක්තිය නැති ජනතාවට බව්රිල් සමග පරිප්පු කවන ලද්දේ සමසමාජ ව්යාපාරයයි. ඒ අනුව නගරයට පමණක් සීමාවී තිබුණු බව්රිල් ගමට ගෙන ගියේ ද සමසමාජ ව්යාපාරයයි. ආචාර්ය එන්.එම්. පෙරේරාට රුවන්වැල්ලේ ජනතාවට පරිප්පු මහතා යන නම පටබැන්දේ ද ඒ නිසාය.
1934-35 වසරේදි ඇතිවූ මැලේරියාවසංගතය නිසා සිදුවූ විනාශය සැලකිල්ලට ගනිමින් වියළි කලාපයේ සිංහල ශිෂ්ටාචාරය බිඳ වැටීම කෙරෙහි ද පරසතුරු ආක්රමණවලට අතිරේකව මැලේරියාමදුරුවා ද බලපාන්නට ඇති බව බී.ඩබ්. ෆාමර් නිගමනය කරයි.
වියළි කලාපය ජන ශූන්ය තත්ත්වයකට පත්කිරීම කෙරෙහිත් සිංහලයන් හා වෙන් කරන සිය බල ප්රදේශයක් ලෙස පැවති මෙම දෙවර්ගයා වෙසෙන ප්රදේශ අතර අඩක් ජන ශූන්ය භූමි භාගයක් ඇති කිරිමෙහිලාත් මැලේරියාව බලපාන්නට ඇති බව ෆාමර්ගේ නිරික්ෂණය වී තිබේ.
විශාල සමාගම් වියළි කලාපයට යවා මහා පරිමාණයේ වී ගොවිතැන් ක්රමයක් ඇති කිරීම මගින් වතුකරයට අවශ්ය සහල් එකල සමාගම් ලවා නිපදවා ගැනීමට දෙවන ලෝක යුද්ධයේ දි ඉංග්රීසි ආණ්ඩුව දරන ලද දෑවැන්ත ප්රයත්නය ව්යර්ථ කරන ලද්දේ ද මදුරුවා විසිනි. මදුරුවාගෙන් එල්ල වී තිබූ අභියෝගයට එරෙහිව මදුරු උවදුර වර්ධනය කිරීම සඳහා දරන ලද අතිවිශාල ප්රයත්නයක් හා මදුරු මර්දනය නොකඩවා පවත්වාගෙන යන සංවිධානාත්මක වැඩපිළිවෙළක් බවට හැරවීම නිසා මැලේරියාවෙන් එල්ල වන අභියෝගය මුළුමණින් ජයගන්නා තත්ත්වයක් දිනාගැනීමට හැකිවිය. යුද්ධයෙන් පසු අවුරුදුවලදි ශ්රී ලංකාවේ මරණ අනුපාතිකයේ කැපී පෙනෙන පහළ මට්ටමකට බලපෑ ප්රධාන සාධකය වූයේ ද සාර්ථකව ඉදිරියට ගෙන ගිය මැලේරියා මර්දන ව්යාපාරයයි. 1935දි මරණ අනුපාතිකය දාහකට 35ක් වූ අතර, 1946දි එය 20.3 දක්වා පහත වැටී, 1970දි එය 8 දක්වා තවදුරටත් ශීඝ්ර පහත වැටීමකට හේතුවිය. මරණ අනුපාතිකයේ ඇතිවූ මෙම ශීඝ්ර පහළ වැටීම ජනවිනාස වංශ කතාවට ඇතුළත් වී ඇත්තේ ඉතාමත් විප්ලවකාරි සිද්ධි දාමයක් ලෙසය.
40 දශකය වනවිට රටේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි සංඛ්යාවක් ගොදුරු කොටගෙන තිබුණු මැලේරියා රෝගය 60 දශකය වනවිට නොසැලකිය යුතු තරම් පහත් තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය මෙසේය.
මදුරුවා ආශ්රයෙන් මතුවී තිබුණු දැවැන්ත අභියෝගය ජයගැනීමට හැකිවීමෙන් පසුව මදුරුවන් මර්දනය කිරීමට රාජ්ය මට්ටමින් ගෙනයමින් තිබුණු මර්දන වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙන යනවා වෙනුවට 80 දශකය වනවිට එය අතහැර දමමින් මදුරු මර්දනය මහජනයා සතු හෝ මදුරු දගර සමාගම් සතු වගකීමක් බවට පත් කිරීම නිසා දැන් නැවත යටපත්වී තිබුණු එම මදුරු අභියෝගය නැවත ශීඝ්ර ලෙස හිස ඔසවමින් පවතී. මදුරුවන් ආශ්රයෙන් ඇතිවන විවිධ ලෙඩ රෝග ශීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන අතර, එම රෝග ආශ්රයෙන් සිදුවන මරණ සංඛ්යාවේ ද ඉහළ නැගීමක් පවතී. මදුරුවන් ආශ්රයෙන් විවිධ රෝගවලට ගොදුරුවන්නන්ගේ ප්රමාණය හා ඒ නිසා සිදුවන මරණ සංඛ්යාවට අදාළ දත්ත ලබාගැනීම ඉතා අසීරුය. වසංගත රෝග මර්දන අංශවල සේ ම සෞඛ්ය දෙපාර්තමේන්තුව ද ඒ පිළිබඳව රටේ පවතින සැබෑ තත්ත්වය මහජනතාව දෑනගන්නවාට කැමති නැති බවක් පෙනෙන්නට තිබේ. එහෙත් මැලේරියා රෝගීන්ගේ වර්ධනයට අදාළ මේ දත්ත වලින් පමණක් වුවත් පෙනෙන්නේ යටපත් වී තිබූ මදුරු උවදුර බලවත් ලෙස වර්ධනය වෙමින් තිබෙන බවය.