එජාප බැරී බැරී රෝගයට පිළියමක් සොයාගත යුතුය

November 12, 2000
Publication:
Ivan likens the UNP's dealings with the People's Alliance government to a hereditary serf's timidity before his lord. Though the Elections Commissioner, religious leaders, PAFFREL, the election-violence monitors and EU observers found the October 2000 poll unfair, the UNP chose to 'let bygones be bygones' and filed half-hearted petitions. He recalls, from Prins Gunasekera's book, how Sirimavo Bandaranaike withdrew as petitioner against the 1982 referendum, leaving Rohana Wijeweera to file, and asks why the UNP stayed silent on Sarath N. Silva's appointment and on the 1999 presidential poll.

රටේ තිබෙන විශාලතම විපක්ෂය වන එජාපය පොදු පෙරමුණු ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් තිබෙන ආකාරය ප්‍රවේණිදාසයකු රදළ ස්වාමියකු සමග ගනුදෙනු කරන ආකාරයට සමානය. රදළ ස්වාමියකු ඉදිරියේ ප්‍රවේණිදාසයා කෙරෙන් පළවන හැසිරිම බයාදු සහගතය. ස්වාමියා දාසයාගේ බිරීඳ හෝ දියණය ග්‍රහණයට ගත්තත්, දාසයා එය ඉවසා ගෙන සිටිනවා විනා ඊට විරෝධය පළකරන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පාලක පක්ෂයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළකට යොමුවූ පමණකින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ බිඳ වැටීමක් නොවන්නේය. බිඳ වැටීමක් ඇතිවන්නේ පාලක පක්ෂයක් ගෙන යන එවැනි ක්‍රියාමාර්ගයක් ඉදිරියේ විරුද්ධ පක්ෂය ඊට එරෙහිව බලවත් ලෙස නැගී නොසිට බයාදු පිළිවෙතක් අනුගමනය කරයි නම් පමණය. අනෙක් අතට පාලක පක්ෂයක් ක්‍රියාවට නගන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළකට එරෙහිව විරුද්ධ පක්ෂයක් සාර්ථක ලෙස නැගී සිටීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ උද්දිපනයක් හා පුනර්ජීවයක් ඇති කිරීමට හේතුවන්නේය.

එහෙත් පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ඉතා බලවත් හා සාර්ථක ලෙස නැගී සිටීමක් කරනවා වෙනුවට එජාපය යොමුවී සිටිනුයේ රු ™රු ගානා බයාදු පිළිවෙතකටය. එවැනි පිළිවෙතක් පොදු පෙරමුණේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන් මග පරාජය කිරීමට හේතුවනවා වෙනුවට ගමන් මග ශක්තිමත් කරමින් තහවුරු කිරීමටත් ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ අත්තිවාරම බලවත් ලෙස දුර්වල කිරීමටත් හේතුවන්නේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි එජාපය සිය පක්ෂ යන්ත්‍රයේ හැම දැති රෝදයක්ම ක්‍රියාකරන තත්ත්වයකට පත්කරමින් පක්ෂය බලවත් ක්‍රියාකාරි තත්ත්වයකට යොමු කිරිමෙන් තොරවම තරගයේ ජයග්‍රහණය අපේක්ෂා කළේය. එහිදී මේ පක්ෂ දෙකින් එකක්වත් තනිව ආණ්ඩුවක් පිහිටුවිය හැකි තත්ත්වයක් දිනාගත හැකි මට්ටමක නොසිටියේය. දෙපක්ෂයම සිටියේ ළග ළග තරගයකය. යාන්තම් හොම්බ ඉදිරියට දමා ගන්නේ කව්ද යන්න තීන්දු කරන තරගයක් විය. පොදු පෙරමුණ රාජ්‍ය බලය උපයෝගී කරගනිමින් මුළු රට පුරාම නොවූවත් ඡන්ද කොට්ඨාශ කිසියම් ප්‍රමාණයක උපරිම මට්ටමකින් බලහත්කාරය හා දූෂණය යොදාගන්නා තත්ත්වයක් තුළ තරගයෙන් යාන්තම් හොම්බ ඉදිරියට දමා ගැනීමේ හැකියාව තමන් වෙත දිනාගැනීමට සමත් විය.

ඇතිවූ එම තත්ත්වයට එරෙහිව අවශ්‍ය හැම මට්ටමකින්ම උපරිම මට්ටමෙන් ක්‍රියාකරන සටන්කාමී තැනකට යනවා වෙනුවට “ගිය දේ ගියාවේ” ඉදිරියටවත් ඒ වැරදි ඇති නොවන තැනකට වැඩ කරමු”යි කියන නියාලු තැනකට එජාපය යොමු වූයේය. අනාගතයේ එවැනි වැරදි ඇති නොවන තත්ත්වයක් ඇති කළහැකි වනු ඇත්තේ සිදුවූ වැරදි තහවුරුවීමට ඉඩදිමෙන් නොව, එම වැරදි තහවුරුවීමට ඉඩ නොදිම පිණිස උපරිම ශක්තිය යොදා ක්‍රියා කරන තත්ත්වයකට යොමුවීමෙනි. දකුණු අප්‍රිකාවේ සුදු කළු දෙපාර්ශවය එකගතාවකට ආවේ අතීතයේ සිදුවූ සියලු වැරදි අමතක කොට නොව, දෙපාර්ශවයටම බලපාන ආකාරයට සිදුවූ සහාසිකකම් සොයා බලන සත්‍ය කොමිසමක් ඇති කිරීම ඔස්සේය. සිදුවූ පැරණ වැරදි අමතක නොකොට ඒ ගැන සොයා බැලීමකට යා යුත්තේ වෛරය පවත්වාගෙන යාම සඳහා නොව එවැනි සොයා බැලීමකින් තොරව අනාගතය පිළිබඳ අව්‍යාජ එකගත්වයක් ඇති කරගත නොහැකි නිසාය.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරිමේදි සිදුවූ මැතිවරණ දූෂණවල පරිමාවට ගැලපෙන දෑඩි පිළිවෙතක් පවත්වාගෙන යාමට මැතිවරණ කොමසාරිස්වරයා අසමත් වුවද පැවති මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා පවා පිළිගත්තේය. වෙන කවරදාකවත් නොවූ ආකාරයට රටේ ආගමික නායකයෝ ද ඒ බව ප්‍රකාශ කළෝය. දේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන දෙකෙන් එකක් වන පැෆරල් සංවිධානය ප්‍රකාශ කළේ මැතිවරණ කොට්ඨාශ 22ක (ගලගෙදර, හාරීස්පත්තුව, පාතදුම්බර, උඩුදුම්බර, තෙල්දෙණය, හේවාහැට, යටිනුවර, උඩුනුවර, නාවලපිටිය, කලාවැව, කැකිරාව, ආනමඩුව, නාත්තණ්ඩිය, අරණායක, රඹුක්කන, කටාන, මිනුවන්ගොඩ, හගුරන්කෙත, වලපනේ, හිරීයාල, නිකවැරටිය හා වාරීයපොළ, ඡන්ද ඉතාමත් දූෂිත තත්ත්වයක පැවති බවත්, ඒවාහි ප්‍රතිඵල අවලංගු කළ යුතු බවත්ය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය ඡන්ද කොට්ඨාශ 17ක් නම් කරමින් ඒවාහි පැවති මැතිවරණ ඉතාමත්ම දූෂිත බව ප්‍රකාශ කරමින් එම මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා පමණක් නොව, එම මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵල අවලංගු නොකිරීම ගැන දැන් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන ක්‍රියාමාර්ගයකට ද යොමුවී සිටී. යුරෝපා සංගමයේ නිරික්ෂණ කණ්ඩායම සිය වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත්තේ ද දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 2%ක තත්ත්වය ඉතාමත් නරක බවත්, 8.3%ක තත්ත්වය නරක බවත්ය. මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉතාමත් නරක ගණයට වැටෙන අනුපාතිකය 7.7%ක් වනවිට, නරක ගණයට වැටෙන අනුපාතිකය 19.2%කි.

ඇතිවූ මැතිවරණ දූෂණ පිළිබඳව ආගමික නායකයන් හා දේශීය, විදේශීය මැතිවරණ නිරික්ෂණ ආයතනවලට තිබෙන කැක්කුමවත් එජාපයට තිබෙන බවක් පෙනෙන්නට නැත. සිදුවූ මැතිවරණ දූෂණවලට එරෙහිව බලවත් මහජන උද්ඝෝෂණයකට යනවාට අතිරේකව අධිකරණය ඉදිරියට යමින් බලවත් ලෙස අභියෝග කිරිමේ වගකීමක් එජාපයට තිබුණත්, එජාපය සිය සිය නඩු පැවරිම් කර ඇත්තේ ද කරන්නන් වාලේ මිස ඒ පිළිබඳව ඇති කරගත් බලවත් හැගීමකින් යුතුව බව පෙනෙන්නට නැත.

කොමිෂන් සභා හතරක් ඇති කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව කෙරෙන බයාදු කතා බහවලින් පමණක් බිඳ වැටී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ පුනර්ජීවයක් ඇති කළ නොහැකිය. ඒ සඳහා දරන ඕනෑම උත්සාහයක් ආරම්භ විය යුත්තේ පසුගිය මැතිවරණයේ සිදුවූ දූෂණ ඉලක්ක කොටගෙනය. කොමිෂන් සභා හතරක් ඉල්ලා සිටිනවාට අතිරේක වශයෙන් පසුගිය මැතිවරණයේදි සිදුවූ ඡන්ද දූෂණ පිළිබඳව සොයා බැලීමට සාධාරණ හා පිළිගත හැකි පරික්ෂණයක් ඉල්ලා සිටියේ නම්, කොමිෂන් සභා හතරක් වෙනුවෙන් කරන ලද ඉල්ලීමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් එවැනි ඕනෑම ඉල්ලීමකට බලවත් බවක් ලැබෙනුයේ ඒ ඉල්ලීම් පසුබිමේ බලවත් මහජන ක්‍රියාකාරිත්වයක් ද පවතී නම් පමණය. එහෙත් එජාපය සිය ඉල්ලීම් නායක මට්ටමෙන් කෙරෙන චාටු කතාබහවලින් ඔබ්බට ගිය බලවත් මහජන ව්‍යාපාරයක් බවට පත් නොකළේය.

අධිකරණයෙන් ලැබෙන තීන්දු කුමක් වුවත් ඉතාමත් දූෂිත තත්ත්වයක පැවති මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵලවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් බලවත් ලෙස අභියෝග කිරිමේ වගකීමක් එජාපයට තිබුණේය. එහෙත් මොන යම් හේතුවක් නිසා හෝ එවැනි ක්‍රියාමාර්ගයක් සඳහා පවා එජාපය කෙරෙන් උනන්දුවක් පළ නොවීය. එජාපයේ මේ හැසිරිම 82 දූෂිත ජනමත විචාරණයේ ප්‍රතිඵල ඉදිරියේ ශ්‍රීලනිපය කෙරෙන් ප්‍රකාශ වූ හැසිරිමට මුළුමණින්ම සමානය. 82 ජනමතවිචාරණයේ ප්‍රතිඵලවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාම පිළිබඳව සැගවුණු තොරතුරු ඇතුළත් විස්තරයක් ප්‍රින්ස් ගුණසේකර විසින් ලියා පළකොට ඇති “Lost Generation” නමැති කෘතියට ඇතුළත්ය. ඊට අනුව එම ප්‍රතිඵලයට එරෙහිව නඩු පැවරිමට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට අවශ්‍ය වී ඒ ගැන ප්‍රින්ස් ගුණසේකර සමග සාකච්ඡා කළේය. අතිරේක සාක්ෂි නැතිව වුවත් මැතිවරණ නිලධාරින්ගේ කාර්ය සටහන්වලින් පමණක් වුවත්, නඩුව සනාථ කළහැකි වනු ඇතිය යන්න ෆීලික්ස්ගේ මතය වී තිබේ. පෙත්සමට බලවත් පෙනුමක් ලබාදිම සඳහා ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය පෙත්සමේ පෙත්සම්කරු බවට පත්කර ගැනීමට ෆීලික්ස්ට අවශ්‍ය වී ඔහු ඒ ගැන බණ්ඩාරනායක මැතිනිය සමග සාකච්ඡා කළේය. පෙත්සමේ පෙත්සම්කරුවීමට බණ්ඩාරනායක මැතිනිය මුළු හදවතින් එකග විය. එහෙත් පෙත්සම සකස් කර අවසානයේදි කිසියම් අභිරහස් හේතුවක් නිසා බණ්ඩාරනායක මැතිනිය පෙත්සම්කරුවීම අවසාන මොහොතේදි ප්‍රතික්ෂේප කළාය. රෝහණ විජේවීර එම පෙත්සමේ පෙත්සම්කරු බවට පත්කර ගැනීමට සිදුවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එජාපයට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර 06කින් දිර්ඝ කරගැනීමට හේතුවූ ජනමත විචාරණයේ ප්‍රතිඵලය ශූන්‍ය කරගැනීමට ශක්‍යතාවක් තිබුණු පෙත්සමක පෙත්සම්කරුවීමට අවසාන මොහොතේදි බණ්ඩාරනායක මැතිනිය ප්‍රතික්ෂේප කළේ ඇයිද යන්න ෆීලික්ස්ට තේරුම් ගත නොහැකි අභිරහසක් වූ බව ප්‍රින්ස් ගුණසේකර ප්‍රකාශ කරයි. එවැනි අභිරහස් හේතු එජාපය කෙරෙන් ප්‍රකාශ වී ඇති හැසිරිම් කෙරෙන් ද බලපානවා විය හැකිය.

ජනාධිපතිනිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා ලාභී තත්ත්වයක සිටි පුද්ගලයකු අග්‍රවිනිශ්චයකාර ධුරයට ගෙනාවේ වයඹ මැතිවරණ දූෂණවලට එරෙහිව කැබිනට් ඇමතිවරුන් පස්දෙනකුට ද චෝදනා එල්ල කෙරෙන ආකාරයේ නඩු කිහිපයක් අධිකරණය ඉදිරියේ ගොනු කොට තිබුණු අවස්ථාවකය. පුරප්පාඩුවීමට නියමිතව තිබුණු අග්‍රවිනිශ්චයකාර ධුරයට සරත් සිල්වා මහතා පත් නොකරන ලෙස පොදු පෙරමුණට සම්බන්ධ ප්‍රමුඛ නීතිඥවරයකු ජනාධිපතිනිය හමුවී ඉල්ලා සිටි අවස්ථාවක තමන්ගේ කැබිනට් ඇමතිවරුන් පස්දෙනකුගේ ප්‍රජා අයිතිය අහිමිවිය හැකි තත්ත්වයක් ඇති බවත්, ඒ ගැන නොසලකා සිටීමේ හැකියාවක් තමන්ට නැති බවත් ජනාධිපතිනිය ප්‍රකාශ කරන ලද බවද එකල ප්‍රකට කරුණක්ව තිබුණේය. සරත් සිල්වා මහතාගේ පත්කිරීම පිටුපස තිබූ දේශපාලන අරමුණ තේරුම් ගැනීමට අසීරු නොවූවත් එම පත්කිරීම ඉදිරියේ එජාපය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඇයි ද යන්න තේරුම් ගැනීම දුෂ්කරය. ඉන්පසු ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරිමෙන් පසුව තරග බිමේ සිටි තවත් තරගකාරීයක් ලෙස ජනාධිපතිනිය වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තර පුද්ගලයකු පත්කළ අවස්ථාවේදිත් එජාපය එම පිළිවෙත අනුමත කරන පිළිවෙතක් අනුගමනය කළේ ඇයි ද යන්න තේරුම් ගැනීම දුෂ්කරය. ඉන්පසුව ජනාධිපතිවරණයේදී පිටස්තර මුද්‍රණාලයකින් මුද්‍රණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා යම්කිසි විශාල තොගයක් පාවිච්චි කර ඇති බවට පිළිගත හැකි සාධක තිබියදිත් හා මැතිවරණයේදි භාවිත කෙරුණු සියලු ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමසාරිස්වරයා භාරයේ තිබියදිත් එම නිශ්චිත කරුණු මුල් කොටගෙන අධිකරණය ඉදිරියේ නඩු පවරන තත්ත්වයකට නොගියේ ඇයිද යන්න සේ ම පාර්ලිමේන්තු මැතිවරණයේදි ඉතාමත් දූෂිත තත්ත්වයක පැවති මැතිවරණ කොට්ඨාශවල ප්‍රතිඵලවලට අභියෝගයක් කරන තත්ත්වයකට නොගියේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය.

1977න් පසු බලයට පැමිණ හැම පාලක පක්ෂයක්මත් විරුද්ධ පක්ෂය අනියම් ලෙස පාලනය කිරීමට ඉතා සියුම් විවිධ ක්‍රම යොදා ගත්තේය. බණ්ඩාරනායක මැතිනිය ජනමත විචාරණයේ පෙත්සම්කරුවීම අවසාන මොහොතේ ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි සමහරවිට බලපාන්නට ඇත්තේ එවැනි හේතුවක් විය හැකිය. දැන් එජාපය කෙරෙන් ප්‍රකාශ වෙමින් තිබෙන බයාදු හැසිරිම කෙරෙහි ද එවැනි ම හේතු බලපෑවා විය හැකිය.