එස්.බී.ට එරෙහිව දෙන ලද ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවට විරුද්ධ පක්ෂ එකහඬින් විරුද්ධය. ආණ්ඩු පක්ෂය ඊට එකහඬින් පක්ෂය. ආණ්ඩු පක්ෂය තුළ සිටියත්, තමන් ඔවුන්ට වෙනස් බව කියන ජනතා විමුක්ති පෙරමුණ දරන්නේද ජනාධිපතිනිය ප්රකාශ කරන අදහස්වලට සමාන අදහස්ය. එය උත්තරිතර ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව දෙන ලද තීන්දුවක් බව ජනාධිපතිනිය සේම ඔවුන් ද කියයි. උසාවියට අපහාස කළ පළමු අවස්ථාවේදි එස්.බී.ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටි අය දැන් ඊට විරුද්ධ බවද ඔවුහු කියති.
එස්.බී.ගේ පළමු අපහාසය කරළියට ආවේ පොදු පෙරමුණු ආණ්ඩුව බලහත්කාරි ආකාරයකින් ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කරළියට ගෙන ඒමට සැලසුම් කර තිබූ අවස්ථාවකය. තමන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථාව නීතිගත කිරීමට අධිකරණ බාධාවක් ලෙස ක්රියාකරයි නම් අධිකරණය කලකට වසා දමා හෝ ඒ දේ කරන බව ඔහු කියා සිටියේය.
පොදු පෙරමුණ ක්රියාවට නගන්නට සූදානම් කර තිබූ එම වැඩපිළිවෙළ සමාජ කැමැත්ත නොසලකා ක්රියාවට නගන්නට සූදානම් කර තිබූ (දැන් කරන්නට යන්නේද එයම නොවේද?) බලහත්කාරී වැඩපිළිවෙළක් විය. ඊට එරෙහිව හඬනැගූ බලවේග අතර ජනතා විමුක්ති පෙරමුණද පෙරමුණ ද සිටියේය. එම බලහත්කාරී වැඩපිළිවෙළේ එදා සේනාධි නායකයා ලෙස ක්රියා කළේ එස්.බී. ය. වර්තමානයේ එස්.බී. ගේ කාරිය කරට ගෙන සිටින්නේ එදා එස්.බී. ට එරෙහිව හඬ නැගූ විමල් වීරවංශය.
බලහත්කාරි ආකාරයකින් ඇති කරගන්නට යන ආණ්ඩුක්රම ව්යවස්ථාවට බාධා කරන්නේ නම් තමන් උසාවි වසා හෝ ඒ දේ කරනවා යැයි කරන ප්රකාශයක්, බලු තීන්දුවක් යැයි කියන ප්රකාශයකට වඩා බරපතළය. එදා ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා හැර අන් සියලු දෙනාම එම ප්රකාශයට එරෙහිව නැගී සිටියේ එහි ඇති බරපතළකම සලකාය. ඒ අවස්ථාවේදි එස්.බී. ආරක්ෂා කිරීම සිය දේශපාලන යුතුකමක් ලෙස සැලකූ අගවිනිසුරුවරයා එදා ඔහු කොන්දේසි විරහිතව ආරක්ෂා කළේය. එහිදි එස්.බී. ට දඬුවම් කළයුතුයි කියන මතයක් විරුද්ධ පක්ෂ වෙතින් ප්රකාශ වූ බව සත්යයකි. එහෙත් කිසිවෙක් ඔහුට දිය යුතු දඬුවම කුමක්දැයි ප්රකාශ කළේ නැත.
ඊළග සිද්ධිය ඇතිවන්නේ පොදු පෙරමුණට “වීරයෙකු” වූ මේ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයට එකතුවීමෙන් “ද්රෝහියෙකු” වීමෙන් පසුවය. අනෙක් අතට විරුද්ධ පක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණේ කොටස්කරුවකු බවට පත්වීමෙන් පසුවය.
ඔහු ඊළග මතය ප්රකාශය කරන්නේ ජනාධිපතිනිය, ආරක්ෂාව පිළිබඳව තමන්ට පැවරී තිබෙන බලය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසීමට අදාළවය. මේ මත විමසීම කරනු ලබන්නේ ජනාධිපතිනිය විසින්ම තමන් වෙත ලබාදෙන ලද ආරක්ෂක අමාත්යාංශය නැවත ලබාගැනීමේ අරමුණින් බව එස්.බී. පමණක් නොව, මුළු රටම ද දැන සිටියේය. එය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව අස්ථාවර කිරීමේ අරමුණින් කරන දෙයක් බව ද ඔවුන් දැන සිටියේය. එම මත විමසීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දෙන්න යන තීරණය කුමක්විය හැකිද යන්නද ඔවුන් දැන සිටියේය. එස්.බී. තමන්ගේ බලු තීන්දු කතාව කරළියට ගත්තේ ඊට අදාළවය.
එස්.බී. ගේ පළමු ප්රකාශය තරම් දෙවැනි ප්රකාශය බරපතළ නැත. පළමු ප්රකාශයේදි එස්.බී.ට දඬුවම් කිරීමේ බලය ශ්රේෂ්ඨාධිකරණයට තිබුණද එහිදි පවා එස්.බී. බරපතළ වැඩ ඇතිව අවුරුදු දෙකක සිරදඬුවමක් පැමිණවීමේ බලයක් ශ්රේෂ්ඨාධිකරණයට තිබුණේ නැත.
අදහස් පළකිරීමේ නිදහස සියලු දෙනා සතු අයිතියකි. එහෙත් ඒ අයිතිය සාමාන්ය ජනයාට වඩා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතුය. ඔවුන්ට පාර්ලිමේන්තු වරප්රසාද නමැති විශේෂ ආවරණයක් ලබාදි ඇත්තේ ද කිසිදු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ අදහස් පළකිරීමේ අයිතිය මහජන මන්ත්රීවරුන් සතුවිය යුතුය යන සංකල්පයේ පිහිටාය.
අධිකරණයේ වැරදි සිදුවන විට ඒවා විවේචනය කිරීමේ අයිතිය මහජනයා සතුය. අධිකරණයක් කිසියම් දේශපාලන ව්යාපාරයක අතකොලුවක් ලෙස ක්රියාකරයි නම්, ප්රතිපක්ෂ කෙරෙන් එම අධිකරණයට පහර එල්ල වන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. දේශපාලන ව්යාපාරයක අතකොලුවක් ලෙස ක්රියාකරන අධිකරණයකට තමන් විවේචනය කරන ප්රතිපක්ෂ දේශපාලකයන්ට දඬුවම් කිරීමේ අයිතියක් තිබිය නොහැකිය.