වාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම ශ්රී ලංකාවේ පැවැත්ම සඳහා අත්යවශ්ය කොන්දේසියකි. එය පොදුවේ රටේ පැවැත්ම සඳහා පමණක් නොව, සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනවර්ගවල පැවැත්ම සඳහා ද නැතුව ම බැරි කොන්දේසියකි.
දෙමළ තරුණ පරපුර කැරලිකාර මගකට යොමුවුණේ සුළු ජාතියක් වන තමන් මත පටවන ලද සිංහල මහ ජාතියේ අධිපත්යයක් හා ඒ යටතේ තමන්ට විඳින්නට සිදුවූ මදිපුංචිකම් පිළිබඳව ඇති කරගත් විශ්වාසයක් ඔස්සේ ය. දැන් දෙමළ කැරලිකාර ව්යාපාරය සමග සාමකාමී එකගත්වයක් ඇති කරගන්නා ක්රියාමාර්ගයක් තුළ උතුරු-නැගෙනහිර ප්රදේශවල දෙමළ ජාතිය මහ ජාතිය බවට පත්වී තමන්ට මදිපුංචිකම් කරනු ඇතැයි කියන බියක් නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර වර්ධනය වෙමින් පවතී.
දිග්ගැසුණු සිංහල දෙමළ අර්බුදයකින් පසුව දෙමළ මුස්ලිම් අර්බුදයක් මතුවේ නම්, එය සියලු දෙනාගේ විනාශයට මිස රටේ හෝ කිසිවකුගේ යහපතට හේතුවිය නො හැකි ය. දෙමළ ආධිපත්යයක් හා ඒ යටතේ මදිපුංචිකම් වලට ගොදුරුවීමට ඉඩක් ඇති බවට නැගෙනහිර මුස්ලිම් ජනතාව අතර බියක් ඇති නොවීමට වග බලාගැනීම දෙමළ නායකයන්ගේ වගකීමකි. එහිදි අලුත් අර්බුදයකට හේතු නොවන ලෙස ඉවසීමෙන් හා ඥානාන්විතව ක්රියා කිරිමේ වගකීමක් මුස්ලිම් නායකයන්ට ද ඇත්තේ ය.
තිබෙන අර්බුදය සංකීර්ණ ය. එය තව තවත් අවුල් කිරීම පහසු ය. එහෙත් අවුල ලිහාගැනීම මිස, එය තව තව අවුල් කිරීම කිසිම ජාතියකගේ වාසියට හේතුවන්නේ නැත. මේ තීරණාත්මක අවස්ථාවේදි ඇවිලෙන ගින්නට පිදුරු දැමීමෙන් වැළකී සිටීමේ වගකීමක් විරුද්ධ පක්ෂවලට ද ඇත්තේ ය. මිනිසුන් ඇන කොටා ගන්නා තත්ත්වයකට රට යොමු කිරීම බලය අල්ලා ගැනීම සඳහා තිබෙන හොඳම මාර්ගය විය නො හැකි ය. කෙටි කාලීන ලාභ අපේක්ෂාවෙන් සිටී නම් කරන එවැනි ක්රියා මගින් විය හැකි එකම දේ තව තවත් රට විනාශවීම පමණ ය.