ඔක්තෝබර්වලදි පොදු පෙරමුණු ආණ්ඩුව විරුද්ධ පක්ෂෂයේද එකගත්වය ඇතිව සියලු දේශපාලකයන් භීතියට පත් කිරීමට හේතුවන පනත් දෙකක් සම්මත කළේය. 1994 ඔක්තෝබර් 27 වැනිදා සම්මත කරන ලද එක් පනතකින් අල්ලස් හා දූෂණ වෝදනා විමර්ශන කොමිසම පිහිටුවන ලද අතර අනෙක් පනතෙන් එතෙක් පැවති අල්ලස් පනතට, වඩා ශක්තිමත් දත් ලබා දුන්නේය. එයට ඇතුළත් එක් වගන්තියකින් දූෂණය නමින් අලුත් අපරාධ වරදක් හඳුන්වාදෙන ලදි. අනෙක් වගන්තියෙන් රජයේ සේවකයන් සඳහා අර්ථ නිරූපනයක් ලබා දුන්නේය. ඒ අනුව රජයේ නිලධාරින්ට අතිරේකව පාර්ලිමේන්තුවේ කථානායක, කැබිනට් අමතිවරුන්, පළාත්සභා ඇමතිවරු හා ආණ්ඩුවට 50% කට වඩා කොටස් හිමි සමාගම්වල නිලධාරින් රජයේ සේවකයින් ලෙස අර්ථ නිරූපනය කෙරිණ. දූෂණය නමැති වරදට චෝදනා එල්ල කිරිමේ හැකියාව ලැබෙන්නේ ඔවුන්ට එරෙහිවය. දූෂණය ලෙස අර්ථ දැක්වුණේ රජයට අයථා හෝ නීති විරෝධී අලාභයක් කිරිමේ චේතනාවෙන් නැතහොත් නීති විරෝධී ලාභයක් හා වාසියක් ලබා ගැනීමේ හා ලබාදිමේ අරමුණින් කෙරෙන වැරදිය. මේ ගණයට වැටෙන වරදක් සඳහා දඬුවම අවුරුදු 10 ක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂෂයක දඩයක් හෝ ඒ දඬුවම් දෙකමය.
ඒ සමග වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන වැරදි සම්බන්ධයෙන් ක්රියාකිරිමේ බලය පැවරුනේද මෙම කොමිසන් සභාවටය.
මෙය දූෂිතයින් කකුල් වෙව්ලන තරම් භීතියකට පත්කරන බලගතු නීතියක් වුවත් මේ නීතිය ඇති කිරිමෙන් පසුත් දූෂණයට සම්බන්ධ වැරදි වැඩි වූවා මිස අඩු වූයේ නැත. අල්ලස් හෝ දූෂණ වැරදි පිළිබඳ කොමිෂන් සභාවද පුංචි මිනිසුන් පිටුපස හඹා ගිය බවක් පෙනෙන්නට තිබුණා මිස වඩා බරපතල වැරදි කරන තෝරුන් හා මෝරුන් පිටුපස හඹාගිය බවක් පෙනෙන්නට නැත.
අල්ලස් හා දූෂණ වැරදිවලට එරෙහිව ඉතා බලවත් නීතියක් නීතිගත වී තිබියදිත් අල්ලස් හා දූෂණ වැරදි පාලනය කළ නොහැකි වූයේ ඇයි?. බැලු බැල්මට නීතිය ඉතා බලවත් වුවත් එය රටේ පවත්නා අල්ලස් හෝ දූෂණ වැරදි මර්දනය කිරීම සඳහා ක්රියා කරන තත්ත්වයක් ඇති නොවීම කෙරෙහි වැදගත් සාධක ගණනාවක් බලපෑවේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට ජනාධිපතිනිය විසින් සාමාජිකයන් පත් කළ යුතුව තිබුණේ ව්යවස්ථා සභාවේ නිර්දේශය මත වුවත් එකල ව්යවස්ථා සභාවක් නොතිබූ තත්ත්වයක් තුළ කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කිරිමේ හිතුවක්කාරි බලයක් ජනාධිපතිනියට ලැබී තිබුණි.
රජයේ සේවකයා යන අර්ථ නිරූපනයට කථානායක හා කැබිනට් ඇමතිවරුන් ඇතුළත් කර තිබුණද ජනාධිපති ඊට ඇතුළත් කර නොතිබුණි. මේ නිසා නීතිය කෙරෙහි බියකින් තොරව දූෂණ වැරදි කිරිමේ විශේෂ අයිතියක් ජනපතිනිය මේ පනතෙන් තමන් වෙත ලබාගෙන තිබුණේය. දැන් මතු වී තිබෙන වාහන අර්බුදයෙන් පමණක් වුවත් පෙනී යන්නේ රටේ රාජ්ය නායිකාව පවා අංක එකේ හෙරක් වන බව නොවේද?.
ඇය ආරක්ෂෂාවට මුවා වී 2000 වසර සඳහා අධි ආරක්ෂෂිත හා අධි සුඛෝපභෝගී වාහන 48 ක් මිලදි ගත්තාය. ඉන් 13 ක් ගණන් පියවිය නොහැකි අතුරුදහන් තත්ත්වයක පවතී. සියලුම බී.එම්.ඩබලියු වාහන අලුත් වාහන ලෙස මිලදි ගෙන ඇතත් ඒවා ඔස්ට්රේලියාවේ පැවති ඔලිම්පික් උළෙල සඳහා පාවිච්චියට ගනු ලැබූ පරණ වාහන බව තහවුරු වී තිබේ. වඩාත්ම භයානක දේ වනුයේ එම වසර සඳහා ජනාධිපතිනියට වාහන මිලදි ගැනීමට අය වැය ලේඛනයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 63 ක් වී තිබියදි මේ මිලදි ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වැඩිපුර රුපියල් මිලියන 2337 ක් වැය කර තිබීමය.
රටේ රාජ්ය නායිකාවකට කෝටි ගණනින් රටේ පොදු දේපළ වංචා කිරිමේ වුවමනාවක් වී නම් එවැනි නායිකාවක් අල්ලස් හෝ දූෂණ වැරදි සොයා බැලීම සඳහා ඇති කොමිසමට ඉතාමත් සුදුසු පුද්ගල පිරිසක් පත් කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ වෙනුවට ඇය වැනි දූෂිත නායිකාවකගෙන් අපේක්ෂෂා කළ හැකිවනු ඇත්තේ තමන් කැමති සීමිත රාමුවක තමන්ට අවශ්ය ලෙස ක්රියා කරන කොමිසමකි. ජනාධිපතිනිය තමන් ළග සේවය කරන ලේකම්වරියකගේ ස්වාමි පුරුෂයකු කොමිසමට පත්කරගන්නට ඇත්තේද කොමිසම තමන්ගේ අභිමතය පිණිස ක්රියා කරන තත්ත්වයක තබා ගැනීම පිණිස විය යුතුය. විවාදයට හේතු වූ රියෙන්සි අර්සකුලරත්න වැනි පුද්ගලයකු කොමිසමේ අධ්යක්ෂෂ ජනරාල් ධූරයට පත්කිරීම කෙරෙහිද එම සාධකය බලපෑවා විය යුතුය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විධායකයේ දේශපාලන අතකොලුවක් ලෙස ක්රියා කළා මිස තමන්ට ලැබෙන පැමිණිලිවලදි ගෞරවයට හේතු වන පිළිවෙතක් අනුගමනය කිරීමට සමත් වී නැත. චැනල් 9 පැමිණිල්ල කොමිසමේ අපක්ෂෂපාතී භාවය උරගා බැලුනු ප්රධාන අවස්ථාවකි. එම සිද්ධියට චෝදනා එල්ල වී තිබුණේ ජනාධිපති මාධ්ය උපදේශක සනත් ගුණතිලකට එරෙහිවය. සමස්ත ගනුදෙනුවට ජනාධිපතිනියද පැටලී සිටියාය. මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරිපත් වූ කේරඩිට් කාඩ් පැමිණිල්ලේදිද කොමිසම ක්රියා කළේ ජනාධිපතිනියට සමීප එම ඇමතිවරයා කොන්දේසි විරහිතව ආරක්ෂෂා කරන පිළිවෙතකි. ඇමතිවරයෙකු විදේශීය ගමන් බිමන්වලදි මුදල් ලබා ගත යුතු නීත්යනුකූල ආකාරයක් පවතී. තම අමාත්යංශය යටතට වැටෙන විවිධ ආයතනවලින් මුදල් ලබා ගැනීමේ අයිතියක් ඇමතිවරුන්ට නැත. එහෙත් ආණ්ඩු පෙරලියක් අත ළග එන බව පෙනෙන විට දේශපාලන පිල් මාරුවක් සඳහා කොමිසමේ අධ්යක්ෂෂ ජනරාල්වරයා එතෙක් සගවාගෙන තිබුණු පැමිණිල්ල මංගල සමරවීරට එරෙහිව ක්රියාත්මක කරන තත්ත්වයකට පත් කළේය. ඉතාමත් බාල ආකාරයකින්, බලයට පත් වීමට නියමිතව සිටි පක්ෂෂය සතුටු කරන ප්රතිපත්තියක් තුළ සිය අනාගතය තහවුරු කිරීම එහි අරමුණ විය. පොදු පෙරමුණු ආණ්ඩුව 2001 මැතිවරණයේදි රාජ්ය සම්පත් අයුතු ලෙස යොදා ගැනීමට එරෙහිව පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන යටතේ මානව හිමිකම් ආයතනය කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ඔවුන්ගේ ස්වාධීනත්වය උරගා බැලීමට ලක් කෙරුණු තුන්වැනි සිද්ධිය විය. එහිදි කොමිසම පැමිණිල්ලට අදාළව පරික්ෂෂණයක් ආරම්භ කරනවා වෙනුවට පැමිණිලිකරු වෙත දැනුම් දෙන ලද්දේ පැමිණිල්ලේ සඳහන් කරුණු දූෂණය පිළිබඳව අර්ථ නිරූපණයට ඇතුළත් නොවන බවය. ඉන්පසු මානව හිමිකම් ආයතනය කොමිසමේ එම තීරණයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට ගියේය. පැමිණිල්ල ගැන පරීක්ෂෂණයක් ආරම්භ කිරීමට කොමිසම එකග වූයේ එහිදිය.
නීතියෙන් නියම කර ඇති කොමිසමේ සාමාජික සංයුතියේද බරපතල සීමාවන් පවතී. එම නීතියට අනුව කොමිෂන් සභාව සාමාජිකයන් තුන්දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර ඔවුන් අතරින් සාමාජිකයන් දෙදෙනෙකු විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත විය යුතුය.
ඉතිරි සාමාජිකයා අපරාධ විමර්ශනය හා නීතිය ක්රියාත්මක කිරීමට අදාළ පුළුල් පළපුරුද්දක් ඇති පුද්ගලයකු විය යුතුය. දැන් තිබෙන කොමිෂමේ සාමාජිකයන් තිදෙනාම විශ්රාමිකයෝය. අල්ලස් හෝ දූෂණ මර්දනයේදි එය යහපත් තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණ පළපුරුද්දට බර තබා තිබෙන ප්රමාණයද ඕනාවට වඩා වැඩිය. සාමාජික සංයුතිය පහක් දක්වා පුළුල් කොට සාමාජිකයන් අයත් වන විෂය පථයන් මීට වඩා විවිධ කළේ නම් (එයට මූල්ය අක්රමිකතා විෂය පිළිබඳ අවබෝධයක් ඇති ගණකාධිකාරිවරයෙකු ඇතුළත් කර ගත හැකිය) හා කොමිසමට පත්කරනු ලබන සියලු දෙනා අනවශ්ය තරමින් වයසට නොගිය කාර්යක්ෂෂම ලෙස වැඩ කළ හැකි වයස් මට්ටමක ඇති අය තෝරා ගත්තේ නම් කොමිසමේ ක්රියාකාරිත්වය වඩාත් ප්රශස්ත වන්නට ඉඩ තිබුණ. කොමිසමට අධිකරණ කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති අයකු අවශ්ය නම් විශ්රාම ගිය විනිසුරුවරයෙකු වෙනුවට සේවයේ යෙදි සිටින විනිසුරුවරයෙකු පත් කළ හැකිය. අපරාධ පරික්ෂෂණ පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයෙකු තෝරා ගැනීමේදිද විශ්රාම ගිය පොලිස් නිලධාරියෙකු තෝරා ගන්නවාට වඩා විශ්රාම යාමට අවුරුදු පහක කාලසීමාවක් ඇති පොලිස් සේවයේ නිරත පොලිස් නිලධාරියෙකු පත්කරන පිළිවෙතක් වඩා යහපත් විය හැකිය.
වත්කම් හා බැරකම් නීතිය යටතේ සිදුවන වැරදි සම්බන්ධයෙන් ක්රියා කිරිමේ බලය පවරා ඇත්තේද මෙම කොමිසමටය. එහෙත් ඒ බලය පවරා දිම සඳහා යොදා ගෙන තිබෙන ක්රමය බලවත් සැකයක් ඇති කිරීමට හේතුවේ. ඕනෑම නීතියක ඊට යොදා ඇති ප්රස්ථාවනාව (Preamble) ඉතා වැදගත් කොට සැලකේ. මේ නීතියට ඇතුළත් කොට ඇත්තේ 1975 අංක දරන වත්කම් හා බැරකම් නීතිය මිස 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් නීතිය නොවේ. 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් නීතිය ඉතාමත් සීමිත තැනක හිර කළ දත් නැති නීතියකි. විෂය පථය පුළුල් කොට ඊට දත් ලබාදි ඇත්තේ එම පනතට 1988 දි ඉදිරිපත් කරන ලද අංක 71 දරන සංශෝධනයෙනි. එහෙත් අල්ලස් හෝ දූෂණ කොමිසමේ නීතිය අනුව 1975 අංක 01 දරන වත්කම් නීතිය අනුව මිස 1988 අංක 74 දරන පනතින් සංශෝධිත නීතිය අනුව ක්රියාකිරිමේ හැකියාවක් නැත. මෙය වැරදිමකින් සිදුවූවක්ද නැත්නම් 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත බෙලහීන කිරිමේ කූට අරමුණින් කරන ලද්දක් ද යන්න පැහැදිලි නැත.
බල පිරමීඩයේ මුදුනත සිදුවන දූෂණ මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි නීති අතර 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්රකාශ පනත බලවත්ම නීතිය ලෙස සැලකිය හැකිය.
1. එම නීතිය අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනත, 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත, 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසුම් පනත 1981 අංක 20 දරන පළාත් පාලන ඡන්ද විමසුම් පනත යන පනත් යටතේ පවත්වනු ලබන මැතිවරණවලට තරග කරන අපේක්ෂෂකයන් සියලු දෙනාද තේරි පත් වීම හා මන්ත්රීවරුන් සියලු දෙනාද
2. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විනිශ්චයකාරවරුන් හා රජයේ නිලධාරින්ද
3. අමාත්ය මණ්ඩලය විසින් පත් කරනු ලැබූ රජයේ නිලධාරීන්ද
4. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලැබූ අධිකරණ නිලධාරින් හා උපලේඛන ගත රජයේ නිලධාරින් ද
5. අමාත්ය මණ්ඩල හා දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරින්ද
6. පළාත් පාලන ආයතනවල මාණ්ඩලික නිලධාරින්ද
7. වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි කරන ලද වෘත්තීය සමිතිවල විධායක නිලධාරින්ද
8. ලියා පදිංචි දේශපාලන පක්ෂෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයින්ද
9. ප්රවෘත්ති පත්රවල අයිතිකරුවන්, කර්තෘවරුන් හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද
10. රජයට වැඩි කොටස් හිමිකම් ඇති 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගම්වල සභාපතිවරුන්, ඇමතිවරු හා මාණ්ඩලික නිලධාරින්ද ඒ සියලුදෙනාගේ බිරීඳ හා දරුවන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ විස්තර ඇතුළත් ප්රකාශයක් වාර්ෂිකව අදාළ බලධාරීයා වෙත ඉදිරිපත් කළ යුතුය.
මේ නීතිය යටතට ගැනෙන ඕනෑම පුද්ගලයෙකු වත්කම් හා බැරකම් ප්රකාශයක් නියමිත ගාස්තු ගෙවා අදාළ බලධාරීයාගෙන් ලබා ගැනීමේ අයිතිය මහජනයා සතුය.
වත්කම් හා බැරකම් ප්රකාශයට ඇත්ත තොරතුරු ඇතුළත් නොකිරීම, තොරතුරු වසන් කිරීම හෝ තොරතුරු විකෘති කිරිම බරපතල සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
මෙය ඉතාමත් බලවත් නීතියක් වුවත් එය ක්රියාත්මක වෙමින් තිබුණේ අංග විකල ආකාරයටය. මේ නීතිය යටතේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිමට බැඳී සිටි රාජ්ය සේවකයන්ගෙන් එම ප්රකාශ ලබාගන්නා තත්ත්වයක් ක්රියාත්මක වුවත් දේශපාලනඥයන් හා දේශපාලන පත්වීම් ලාභීන් සඳහා එය නිසි ලෙස ක්රියාත්මක නොවීය. ඡන්ද අපේක්ෂෂකයින් ලියාපදිංචි දේශපාලන පක්ෂෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයන්ගෙන්, වෘත්තීය සමිති නායකයන්ගෙන් හා පුවත්පත් ප්රකාශකයන්ගෙන් වත්කම් බැරකම් ප්රකාශ ලබා ගැනීමක් සිදු නොවීය. අනෙක් අතට වත්කම් බැරකම් ප්රකාශ නීතිය යටතට වැටෙන පුද්ගලයින්ගේ ප්රකාශ වල පිටපත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන අයට නීතියෙන් නියම කර ඇති පරීදි එම ප්රකාශවල පිටපත් ලබාගැනීමේ හැකියාවක්ද නොතිබුණි.
මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කර ගැනීම සඳහා රාවයට දිගින් දිගටම කෑගසන්නට සිදුවූ අතර එම කෑ ගැසීම් කිසියම් ප්රමාණයකට ඵලදායී වෙනසක් ඇති කිරීමටද හේතු විය.
එහෙත් මේ විෂයෙහි පෙනෙන්නට තිබෙන විෂමතා බොහෝය. සමහර දේශපාලකයින් නීතියෙන් නියම කර ඇති නිසා සිය වත්කම් බැරකම් ප්රකාශ ලබාදෙන පිළිවෙතක් අනුගමනය කරමින් සිටියත් බොහෝ අය විධිමත් ලෙස තොරතුරු ඇතුළත් කරන බවක් පෙනෙන්නට නැත.
සමහර අය හිතාමතාම සමහර වැදගත් තොරතුරු ඇතුළත් කිරිමෙන් වැළකී සිටින ආකාරයක්ද දැකිය හැකිය.
මේ විෂයෙහිලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ හැකිව තිබෙන දේ බොහෝය. ඒ සඳහා පළමු කොට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතෙහි ඇති අඬුලූහුඬුකම් නිවැරදි කළ යුතුය. එම නීතිය යටතේ කොමිසම විමර්ශනයක් ආරම්භ කළ හැක්කේ පැමිණිල්ලක් ඇතොත් පමණය. ජනමාධ්ය කරන හෙළිදරව් කිරිම් නිසා හෝ අන් ආකාරවලින් දැනගන්නට තිබෙන කරුණු අනුව බරපතල දූෂණයක් සිදුවී තිබෙන බව සිදුවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙන අවස්ථාවක වුවත් කොමිසමට ඒ සඳහා විමර්ශනයක් ආරම්භ කළ නොහැකිය. කොමිසම සඳහා පනවා තිබෙන එම සීමාව ඉවත් කළ යුතුය. පැමිණිල්ලක් ලැබෙන අවස්ථාවලදි පමණක් නොව පැමිණිල්ලක් නැතිව වුවත් බරපතල වරදක් සිදුවී තිබෙන බව, සිදුවෙමින් තිබෙන බව පෙනෙන අවස්ථාවක විමර්ශනයක් ආරම්භ කිරිමේ බලය කොමිසමට ලැබිය යුතුය.
එසේම වත්කම් හා බැරකම් ප්රකාශ නීතිය යටතට ගැනෙන සියලු පුද්ගලයන්ගේ එම ප්රකාශන විමර්ශනයට ලක් කිරිමේ බලය කොමිසමට ලබා දිය යුතුය. මහජනයාට මේ නීතිය යටතට ගැනෙන කවර පුද්ගලයෙකුගේ හෝ වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් අවශ්ය අවස්ථාවක කොමිසම මගින් ලබා ගැනීමේ හැකියාව ලබා දිය යුතුය. ඒ සමග බලධාරින් වෙත ලැබෙන පහසුවෙන් වත්කම් හා බැරකම් ප්රකාශවල පිටපත් කොමිසම වෙත අවශ්යයෙන්ම ලබා දිය යුතු ක්රමයක් ඇති කළ හැකිය. වත්කම් හා බැරකම් ප්රකාශ හොඳින් පුනරික්ෂෂණය කිරිමෙන් පමණක් වුවත් පිරමීඩයේ මුදුනත සිටින දූෂිත පුද්ගලයන් පහසුවෙන් කොටු කරගත හැකිය.
රාජ්ය අංශයේ සිදුවන බරපතල දූෂණ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ඇත්තේ විගණකාධිපතිවරයාටය. එහෙත් දැන් තිබෙන ක්රමය අනුව විගණකාධිපතිවරයා විසින් කරනු ලබන සොයා ගැනීම්වලදි ඉතා බරපතල අවස්ථාවලදි පවා වැරදිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීමක් සිදුවන්නේ නැත. දැන් තිබෙන තත්ත්වය අනුව විගණකාධිපතිවරයා සිය විගණන නිරික්ෂෂණ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරයි. එහෙත් ඒවා ගැන පුළුල්ව සොයා බලන ක්රමයක් නොපවතී. පාර්ලිමේන්තුව වෙත සිය විගණන වාර්තා ඉදිරිපත් කරනවාට අතිරේකව බරපතල දූෂණ වලදි විගණගකාධිපතිවරයා ඒ පිළිබඳ සිය නිරික්ෂෂණ අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු ක්රමයක් ඇති කළ හැකිය. විවිධ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එවැනි බරපතල වැරදිවලට වගකිවයුතු දේශපාලකයන්ට හෝ රාජ්ය නිලධාරින්ට එරෙහිව පහසුවෙන් නීතිය ක්රියාත්මක කළ හැකි අතර එවැනි ක්රමයක් ආරම්භ කිරිමෙන් පමණක් වුවත් රාජ්ය අංශය තුළ සිදුවන දූෂණ බොහෝ දුරට පලනය කළ හැකිය.
ශක්තිමත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමකින් පමණක් වුවත් රාජ්ය මට්ටමේ සිදුවන දූෂණ බොහෝ දුරට පාලනය කළ හැකිය. එහෙත් එවැනි කොමිසමක් ස්වාධීන, ශක්තිමත් හා ඉදිරි දැක්මක් ඇති පුද්ගලයින්ගෙන් සමන්විත විය යුතු අතර බැලු බැල්මට මහජනයාගේ විශ්වාසයට, ගෞරවයට හේතුවන හා දූෂණයට යොමු වී සිටින පුද්ගලයන් තුළ චකිතයක් ඇති කිරීමට හේතුවන පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය. එවැනි කොමිසමක් විධායකයේ සෘජු පාලනයෙන් පිටස්තරව ස්වාධීන තත්ත්වයක තිබිය යුතු අතර ඊට මූල්ය ස්වාධීනත්වයක්ද තිබිය යුතුය. ඔවුන්ට ලැබෙන අති විශාල බලය වැරදි ලෙස පාවිච්චි කිරීමට ඉඩ නොලැබෙන රාමුවක් තිබීම ද අත්යවශ්යය.