තවමත් දේශපාලන චෙස් ලෑල්ලේ ඉත්තන්ගේ පිහිටුම සැකසී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවන ලෙසය. එක්සත් ජාතික පක්ෂය සේ ම ජවිපෙ සිටින්නේ ද ආරක්ෂාව සඳහා සටන් කරන තැනක මිස පහරදිය හැකි තැනක නොවේ. තමන් ආණ්ඩුවට පහර දෙන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කරන බව පෙන්වන්නට ජවිපෙට අවශ්‍ය වී ඇතත්, ආණ්ඩුවේ පැවැත්ම අහෝසි වන ආකාරයට පහර දෙන තැනකට යෑමේ හැකියාවක් තාමත් ජවිපෙට නැත.
මැතිවරණයකට යාමෙන් තමන්ට දැන් තිබෙන ප්‍රතිඵලය ලබාගත නොහැකි බව ජවිපෙ දනී. මැතිවරණයක් මගහැර තම තත්ත්වය ශක්තිමත් කරගැනීම ජවිපෙ උපාය මාර්ගය වී තිබේ.
එජාපයට ද උපරිම වැර යොදා ආණ්ඩුවට පහර දෙන තැනකට යෑමේ හැකියාවක් නැත. තාමත් ජනාධිපතිවරයා සිංහල මහ ජනතාව අතර පිරිහීමට ලක්වී නැති බව එජාප දනී. අනෙක් අතට අවශ්‍ය ඕනෑම මොහොතක තමන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එකතු කරගැනීමේ හැකියාවක් ආණ්ඩුවට ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා දනී. එවැනි කඩා ගැනීමකට ඉඩක් නොලැබෙන ලෙස ජනාධිපතිවරයා සමග උපරිම සහෝයගයකින් ක්‍රියාකිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී තිබේ. ප්රභාකරන් ඉන්නේ ද ආරක්ෂාව සඳහා සටන් කරන තැනකය. දේශපාලන චිත්රයේ මහා වෙනසක් ඇති කිරීමට හේතුවන මහා විනාශයක් ඇති කිරීමට දරන ලද හැම උත්සාහයක්ම අසාර්ථක විය. එහෙත් තමන් සතු සමහර භූමි ප්‍රදේශ අත්හරිමින් තවදුරටත් ගරිල්ලා යුද්ධයකට මාරුවීමේ හැකියාව එල්ටීටීඊය සතුය.
දේශපාලන චිත්රයේ ඉක්මන් වෙනසක් ඇති කිරීමට වැඩිම උනන්දුවක් දක්වන දේශපාලන චරිතය බවට පත්ව ඇත්තේ චන්ද්‍රිකාය. ශ්‍රීලනිප පදනම් කොටගෙන දේශපාලන ගරිල්ලා යුද්ධයක යෙදෙමින් ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් පරාජය කොට තමන් දේශපාලන තලයේ අහිමි වී ඇති පිළිගැනීම නැවත ලබාගැනීම ඇගේ අරමුණ වී තිබේ. එහෙත් තාමත් එවැනි මෙහෙයුමකට අවශ්‍ය වාසිදායක වටපිටාවක් ඇයට ද නැත. ජනවාර්ගික අර්බුදය ද තාමත් ශ්‍රී ලංකාවේ දේශපාලනය අධිනිශ්මනය කරන සාධකය ලෙස ක්‍රියා කරමින් පවතී.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනු ඇත්තේ එම අර්බුදය ජයගැනීමට ආණ්ඩුවට තිබෙන හැකියාව හා නොහැකියාව මතය.
ජේවීපී මාවත
ජනතා විමුක්ති පෙරමුණේ ආකල්පය වී ඇත්තේ ආණ්ඩුව දෙවැනි කැරැල්ලේදී තමන් අනුකම්පා විරහිතව මර්දනය කළා සේ එල්ටීටීඊය ද අනුකම්පා විරහිතව මර්දනය කළ යුතු බවය. තමන් සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්තියට වෙනස් ප්‍රතිපත්තියක් එල්ටීටීඊය සම්බන්ධයෙන් අනුගමනය කිරීම ගැන ජේවීපීය තුළ කණස්සල්ලක් ඇති කිරීමට හේතුවේ නම් එය අස්වාභාවික නැත. එහෙත් ආණ්ඩුවට එදා සිංහල ජේවීපීය සාර්ථක ලෙස මර්දනය කළ හැකි වූයේ ජේවීපී සිංහල තරුණ කැරැල්ලට එරෙහිව යොදා ගැනීමට සිංහල හමුදාවක් සිටි නිසාය. එම සිංහල කැරැල්ල මර්දනය කිරීමට දෙමළ හමුදාවක් යොදා ගන්නට සිදුවී නම් උතුරේ මෙන් අද දක්වා හම්බන්තොට පාලනය ජේවීපීය අත තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට මෙන් ප්රභාකරන්ගේ දෙමළ කැරැල්ල මර්දනය කිරීමට ආණ්ඩුවට යොදා ගන්නට සිදුවී තිබෙන්නේ දෙමළ හමුදාවක් වෙනුවට සිංහල හමුදාවකි. ප්රභාකරන්ට අල්ලා ගෙන සිටීමට හැකිවී තිබීම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවක් වී ඇත්තේ ද එයයි.
යූඑන්පී මාවත
රනිල් වික්‍රමසිංහ මහතාගේ සාම වැඩපිළිවෙළ තමන්ට පූර්ණ බලය නැති අවස්ථාවක පූර්ණ බලය ලැබෙන තෙක් අල්ලාගෙන සිටීමට දියත් කරන ලද දේශපාලන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. එය අවිවේචනාත්මක ලෙස එල්ටීටීඊයේ තෘප්තියට හේතුවන ලෙස සකස් කරන ලද එකඟතා ගිවිසුමක් ලෙස ද සැලකිය හැකිය. එහෙත් ඓතිහාසික අර්ථයෙන් එම එකඟතා ගිවිසුම යුදමය වශයෙන් එල්ටීටීඊය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතු නොවීය. යුද්ධමය අර්ථයෙන් ජයග්‍රහණයේ උච්චතම තත්ත්වයක සිටි එල්ටීටීඊය සමග ඒ මොහොතේ ඊට වෙනස් එකඟතාවක් ඇති කරගැනීමට ද ඉඩක් නොතිබුණි.
රනිල් වික්‍රමසිංහ සමහර අංශවලදී ඉතාමත් දුර්වල නායකයකු වුවද සාම වැඩපිළිවෙළට අදාළව තීන්දු ගැනීමේදී ඉතාමත් ශක්තිමත් භූමිකාවක් රඟපෑ බව ද කිව යුතුය. ඔහු දකුණේ දැඩි මතධාරීන්ගෙන් එල්ල වන විරෝධය නොසලකා එල්ටීටීඊයට එරෙහිව පනවා තිබුණු තහනම ඉවත් කළේය. ඔවුන්ගෙන් එල්ල වුණ බලපෑම් නොසලකා සටන් විරාම ගිවිසුමක් ඇති කර ගත්තේය.
සාම වැඩපිළිවෙළට ලැබුණු අතිවිශාල ජාත්‍යන්තර සහාය මත ජනාධිපතිවරණය තෙක් බලය අල්ලා ගෙන ඉඳිමින් ජනාධිපතිවරණය ජයගැනීම ඔහුගේ සාම වැඩපිළිවෙළේ උපාය මාර්ගික අරමුණ වී යැයි කිව හැකිය. එහෙත් ඔහු ඒ පිළිබඳව ඇති කරගෙන තිබූ දේශපාලන තක්සේරුව නිවැරදි නොවීය. ජනාධිපතිවරණය තෙක් බලය අල්ලා ගෙන සිටීමට ඔහුට නොහැකි විය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉතාමත් සටකපට ආකාරයකින් ජවිපෙ සමග එකතු වී ඔහුට කොකා පෙන්නුවා පමණක් නොව, සාර්ථක ලෙස ඔහුගේ පාලනය බිඳ දැමීමට ද සමත් විය. අවසානයේදී ජනාධිපතිවරණයේ දී ද එල්ටීටීඊය හරහට යෑම නිසා ජනාධිපතිවරණය පරාජය වී දේශපාලන තලයේ කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටුණේය.
මහින්ද මාවත
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජේවීපී මාවතට හා යූඑන්පී මාවතට වෙනස් තුන්වැනි මාවතක ගමන් ගනිමින් සිටින බව පෙනේ. එය ජේවීපී මාවතේ සමහර තෝරාගත් අංග හා යූඑන්පී මාවතේ සමහර තෝරාගත් අංග එකට ඒකරාශි කළ මාවතක් ලෙස ද සැලකිය හැකිය.
ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට වෙනස්ව සිංහල මහ ජාතියේ විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කරගනිමින් ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දෙන දුෂ්කර උත්සාහයක නිරත වී සිටින බව පෙනේ.
ඔහු රනිල් වික්‍රමසිංහ මෙන් උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ නිජබිම් ප්‍රදේශ ලෙස පිළිගන්නේ නැත. සටන් විරාම ගිවිසුම ඒ තිබෙන ආකාරයෙන් පිළිගන්නේ ද නැත. ජාත්‍යන්තර ප්‍රජාවන් පනවන නියමයන් ඒ ආකාරයෙන් පිළිගන්නේ ද නැත. එල්ටීටීඊයට ලැබී තිබෙන ආධිපත්‍යය ඒ ආකාරයෙන්ම පිළිගන්නේ ද නැත. එහෙත් ජනවාර්ගික අර්බුදයක් ඇති බව හා ඊට දේශපාලන විසඳුමක් දිය යුතු බව පිළිගනී.
ඒ මගින් ජනාධිපතිවරයා ජේ.වී.පී. ස්ථාවරය එක්තරා ප්‍රමාණයකට පිළිගෙන තවත් ප්‍රමාණයකට ප්‍රතික්ෂේප කරයි. යූඑන්පී ස්ථාවරය ද එක්තරා ප්‍රමාණයකට පිළිගෙන තවත් ප්‍රමාණයකට ප්‍රතික්ෂේප කරයි. එසේම එල්ටීටීඊ ඇතුළු දෙමළ දේශපාලන පක්ෂවල ස්ථාවරය ද එක්තරා ප්‍රමාණයකට පිළිගෙන තවත් ප්‍රමාණයකට ප්‍රතික්ෂේප කරයි. ඒ මගින් මේ සියලු දෙනාට එකඟවීමට ඉඩක් දී තිබෙන අතර, අවශ්‍ය නම් එකඟ නොවී සිටීමට ද ඉඩක් දී තිබේ.
උපාය මාර්ගයේ වලංගු අවලංගුභාවය
සිංහල මහ ජාතියේ සතුටට හේතුවන ලෙස එල්ටීටීඊය යුදමය වශයෙන් බෙලහීන කොට ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම ජනාධිපතිවරයාගේ දේශපාලන උපාය මාර්ගය වී තිබෙන බව පෙනේ.
පළාත පදනම් කොටගත් බලය බෙදාහැරීමක් ලබාදෙනු ඇතත්, උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ නිජබිම ලෙස හෝ එම පළාත් දෙක ඒකාබද්ධ කළ තනි පාලන ඒකකයක් ලෙස නොපිළිගනු ඇති බව ද පෙනේනනට තිබේ.
එල්ටීටීඊය යුදමය වශයෙන් බෙලහීන කිරීම ඉලක්ක කොටගත් සීමිත මෙහෙයුමක් දෙමළ ජනතාව භාරගනු ඇත්තේ කෙසේද? එවැනි මෙහෙයුමක් එල්ටීටීඊයට ඇති දෙමළ පිළිගැනීම දුර්වල කිරීමට හේතුවේද? නැතිනම් ශක්තිමත් කිරීමට හේතුවේද? එවැනි වැඩපිළිවෙළක් කෙරෙහි ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව දක්වනු ඇති ප්‍රතිචාරය කුමක්ද?
එවැනි මෙහෙයුමකින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි වෙතොත්, එය සිංහල ජනතාවගේ සංතෝෂයට හේතුවනු ඇතිවා සේ ම, දෙමළ ජනතාව මත පවත්නා එල්ටීටීඊ ආධිපත්‍යය දුර්වල කිරීමට ද හේතුවනු ඇත. එහෙත් අනෙක් අතට එවැනි මෙහෙයුමක් දෙමළ ජනතාවට අතිරේක පීඩා ඇති කිරීමට හේතුවීමෙන් නොනැවතී ලබන ප්‍රතිඵලය අසාර්ථක වුවහොත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අවුල් ජාලාවකට පත් කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.
අනෙක් අතට උතුරු නැගෙනහිර වෙන් කොට බලය බෙදාහැරෙන වැඩපිළිවෙළක් මධ්‍යස්ථ දෙමළ ජනතාව බාරගනු ඇත්තේ කෙසේද? ඉන්දු ලංකා ගිවිසුමට ඇතුළත් කොන්දේසිවලට පටහැනිව යන එවැනි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරනු ඇති පිළිවෙත කුමක්ද? එවැනි වැඩපිළිවෙළකට ජාත්‍යන්තර ප්‍රජාව දක්වන ප්‍රතිචාරය කුමක් විය හැකිද? එවැනි විසඳුමක් බාරගැනීම එල්ටීටීඊය ප්‍රතික්ෂේප කළහොත් ඊළඟට විය හැක්කේ කුමක්ද?
මිථ්‍යාව හා යථාර්ථය
ජනවාර්ගික අර්බුදය රටේ ගමන් මග අධිනිශ්චය කරන ප්‍රධාන සාධකය ලෙස ක්‍රියා කරයි. මේ අර්බුදය විසඳුමකින් තොරව කුණුවන තත්ත්වයකට පත්වීම කෙරෙහි මහා ජාතික අගතිය සේම සුළු ජාතික මිත්‍යා විශ්වාස ද බලපා තිබේ.
සිංහල අගතිය දෙමළ ජනයා සිය ආරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවිය. එහිදී දෙමළ ජනයා තෝරාගත් සටන් මාර්ගය හා ඇති කරගත් ඉලක්ක කෙරෙහි මනෝරාජික මිථ්‍යාවන් බලපා තිබෙනවා පමණක් නොව, එම මිථ්‍යාවන් දෙමළ අරගලය පෝෂණය කරන වැදගත් සාධක ලෙස ද ක්‍රියා කර තිබේ. මුජිබර් රහමන්ගේ බංගලිදේශ අරගලයේදී මෙන් ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් ඇති කරගැනීමට ඉන්දියාවේ සහාය ලැබෙනු ඇතැයි සම්ප්‍රදායික වැඩිහිටි දෙමළ නායකයින් විශ්වාස කළේය. දෙමළ අරගලය වෙනම රාජ්‍යයක් ඉලක්ක කොටගත් අරගලයක් බවට පත්වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අරමුණ දිනාගැනීම සඳහා සන්නද්ධ අරගලයක් අවශ්‍ය වූ අතර, දිනාගැනීමට අරමුණු කරගත් එම රාජ්‍යය වෙනුවෙන් දේශසීමා සහිත භූමි ප්‍රදේශයකට අයිතිවාසිකම් කියන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය විය. දෙමළ ජනයාගේ ඓතිහාසික නිජබිම් පිළිබඳ මතවාදයක් අවශ්‍ය වූයේ ඒ නිසාය.
උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කැමති වූයේ ඉන්දු- ලංකා ගිවිසුම යටතේ එසේ කිරීමට ඉන්දියාව බල කළ නිසාය. දෙමළ නිජබිම් පිළිබඳ දෙමළ දේශපාලනඥයින් තුළ පැවති විශ්වාසයත් හොඳින් කරුණු විභාග කිරීමකින් තොරව ඉන්දියාව පිළිගෙන තිබුණු අතර, එය සාධාරණ දෙමළ අපේක්ෂාවක් ලෙස ඉන්දියාව සැලකීම නිසා එම පළාත් දෙක ඒකාබද්ධ කළ පළාත් ආණ්ඩුවක් ඇති කිරීමට ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම නිසා එසේ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පෙළඹුණු අතර ඒ සඳහා දෙරට ආණ්ඩු ඇති කරගත් එකඟතාව උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ නිජබිම් වේය කියන මිථ්‍යාව ශක්තිමත් කොට පෝෂණය කිරීමට හේතුවිය.
උතුරු නැගෙනහිර යන දෙපළාත දෙමළ නිජබිම් බවට ඉදිරිපත් කරන අයිතිවාසිකම තහවුරු කිරීම සඳහා යොදා ගත් ප්‍රධාන තර්කයක් වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව කතා කරන භාෂාව දෙමළ වීමය. ඉන්දු-ලංකා ගිවිසුම තෙක් නැගෙනහිර මුස්ලිම් ජනතාව සලකන ලද්දේ ද උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේම වෙන් නොකළ හැකි කොටසක් වශයෙනි. එහෙත් වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා කෙරෙන දෙමළ අරගලය තුළ නැගෙනහිර මුස්ලිම් ජනතාව වෙනස් අනන්‍යතාවක් සහිත ජනවර්ගයක් ලෙස මතුවී වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වන අරගලයෙන් වෙන්විය. උතුරු පළාතට අතිරේකව මුළු නැගෙනහිර ප්‍රදේශයට අයිතිවාසිකම් කීමට තිබුණු බලවත් හා එකම සාධකය ඒ නිසා අහිමි විය. දැන් පවතින තත්ත්වය තුළ මුස්ලිම් ජනයාගේ එකඟත්වයකින් තොරව මුළු නැගෙනහිර පළාතට අයිතිවාසිකම් කීමේ හැකියාවක් දෙමළ ජනයාට නැත. අනෙත් අතට මීට අතිරේකව උතුරු නැගෙනහිර වශයෙන් දෙමළ ජනයා අතර තිබූ බෙදීම් ද වර්ධනය වී තිබේ.
දැන් පවතින ඓතිහාසික යථාර්ථය තුළ මෙම පළාත් දෙකට එක පළාත් ආණ්ඩුවක් වෙනුවට තිබිය හැක්කේ පළාත් ආණ්ඩු දෙකකි. දෙමළ බහුතරයක් සහිත උතුරු පළාත් ආණ්ඩුව හා ජනවර්ග තුනට බොහෝ දුරට සමාන බලපෑමක් ඇති නැගෙනහිර පළාත් ආණ්ඩුව වශයෙනි.
ජනවාර්ගික ප්‍රශ්නයට කල් පවත්නා විසඳුමක් ඇති කරගත හැකිවනු ඇත්තේ සිංහල ජනතාව තමන් තුළ දෙමළ ජනයා පිළිබඳව පවත්නා අගතිය අත්හරිමින් ඔවුන් සමාන අයිතිවාසිකම් ඇති ජන කණ්ඩායමක් බව පිළිගැනීමෙනි. අනෙක් අතට දෙමළ ජනතාව ද වෙනම රාජ්‍යයක් පිළිබඳ හා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ ඒකකයක් තමන්ට තිබිය යුතුයි කියන මතය අත්හැරිය යුතුය.
මිත්‍යාවන් අරගලයක් සඳහා ජවය ලබාදෙන මහා සාධක බවට පත්වී නැවත එම මිත්‍යාවන් වෙනුවෙන් කෙළවරක් නැති තරමට ජීවිත පූජා කරන තත්ත්වයක් ඇතිවූ විට එවැනි මිත්‍යා අත්හැරීම ද අමාරු දෙයක් බවට පත්වන්නේය. එහෙත් සාධාරණ විසඳුමක් සඳහා මිත්‍යාවන්ගෙන් අත්මිදීම අත්‍යවශ්‍යය. දෙමළ ජනයාට තමන් අතින් බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව සිංහල ජනයා පිළිගත යුතු අතර, එම අසාධාරණය ජයගැනීමට තමන් ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය ද අසාධාරණ බව දෙමළ ජනතාව ද පිළිගත යුතුය. සාධාරණ විසඳුමක් සඳහා අවශ්‍ය ශක්තිමත් වටපිටාවක් ගොඩ නැගෙනු ඇත්තේ එවිටය.