චන්ද්‍රිකාගේ බල වියරුව

October 29, 2026
Publication:
The former president's speech to the SLFP power board at Attanagalla has caused a great argument. According to her the government in power is not an SLFP government but a UNP one; it takes revenge not only on her but on the party's supporters at Attanagalla; the story that she is forming a new party is a complete lie; and she is not ready to leave the SLFP or to give up her right to it.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් අත්තනගල්ල ශ්‍රීලනිප බල මණ්ඩලයේදී කරන ලද කතාව මහත් විවාදයට හේතුවී තිබේ. ඇයට අනුව දැන් බලයේ සිටින්නේ ශ්‍රීලනිප ආණ්ඩුවක් නොව, යූඑන්පී ආණ්ඩුවකි. තමාගෙන් පමණක් නොව මේ ආණ්ඩුව අත්තනගල්ලේ ශ්‍රීලනි පාක්ෂිකයින්ගෙන් ද පළිගනී. තමන් අලුත් පක්ෂයක් හදන්නට යන බව කියන කතාව අමූලික බොරුවකි. ශ්‍රීලනිප අත්හැර යන්නට හෝ ඊට තිබෙන අයිතිය අත්හරින්නට තමන් සූදානම් නැත.

තමන්ට අවුරුදු 12ක් රට පාලනය කිරීමේ අයිතිය තිබුණ ද ඉන් අවුරුද්දක් පැහැර ගැනීම නිසා තමන්ට රට පාලනය කරන්නට ඉඩ ලැබුණේ අවුරුදු 11ක් පමණය. ඉතිරි අවුරුද්ද ද තමන්ට රට පාලනය කරන්නට ලැබුණේ නම් ශ්‍රී ලංකාවට සුඛිත මුදිත රටක් බවට පත්වන්නට ඉඩ තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ කැත විදියට තමන්ගෙන් පළිගන්නා විට තමන්ගෙන් උදව් පදව් ලබා ගත් සියලු දෙනා නිශ්ශබ්දව බලා සිටියහ. දැන් තමන්ට උදව්වට සිටින්නේ එක් පත්තරකාරයෙකු පමණය. තමන් ඒ කිසිවක් නිසා පසුබට නොවන බවත්, දෛවඥයෙකු පළකර තිබෙන අනාවැකියක් අනුව තමන් අප්‍රේල්වලදී නැවත මේ රටේ රජවන බවත් කී ඇය ඒ දෛවඥයා තම පුතු අනතුරකට ලක්වන බවට අනාවැකියක් පළ කළ බවත් එය වළකා ගැනීම සඳහා බෝධි පූජා කළත් අනතුර වළකා ගැනීමට නොහැකි වූ බවත් තමන්ට රජකම ලැබීමෙන් පසු තමන්ට දැන් කෙණෙහිලිකම් කරන අයට හොඳ පාඩමක් උගන්වන බවත්, ඇය වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර තිබේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැන් සිටින්නේ බල උන්මාදයෙන් වියරු වැටෙන්නට ආසන්න තත්ත්වයකය. මෙය බලය අහිමි වූ ඕනෑම පුද්ගලයෙකුට වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. ඇයට බලය අහිමි වූයේ අනපේක්ෂිත ආකාරයටය. තවත් අවුරුද්දක කාලයක් පමණක් නොව ඉන්පසුත් හොඳින් හෝ නරකින් බලයේ රැඳී සිටීම ඇගේ අපේක්ෂාව වී තිබුණි. ඇගේ ඒ අපේක්ෂා බිඳ වැටුණේ එතෙක් තම ආරක්ෂකයා ලෙස ක්‍රියා කළ අගවිනිසුරු හරහට යෑම නිසාය.

තමාට ජනාධිපතිකම අහිමිවීමටත් වඩා ඇගේ කෝපයට හේතුවී තිබෙන්නේ ජනාධිපතිකමට මහින්ද රාජපක්ෂ තේරී පත්වීමය. තමන්ට වඩා ඉතා පහළ තැනක සිටි මේ මිනිසා රටේ රජවී රජකමේ සිටි තමා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබීම ඇගේ කෝපයට හේතුවී තිබේ. රාජ්‍ය නායකත්වය උදුරා ගැනීමෙන් නොනැවතී සිය පවුලේ බූදලයක්ව පැවති පක්ෂයේ අයිතිය ද උදුරා ගැනීම ඇගේ ඉමහත් කෝපයට හේතුවී තිබෙන බව පෙනේ.

බලය අනවශ්‍ය ලෙස කරට ගෙන ජීවත් වූ රාජ්‍ය නායකයකුට බලය නැතිව ජීවත්වීම අමාරුය. ඇයට ඇති තරම් ධනය ඇතත්, බලය ධනය නොවන නිසා බලයේ සිටියදී අයථා ලෙස උපයා ගත් අතිවිශාල ධනයෙන් පමණක් ඇයට තෘප්තිමත් වීමේ හැකියාව නැත. බණ්ඩාරනායකලාට හිමි තැන රාජපක්ෂලා හිමි කරගෙන සිටින තත්ත්වය ඉදිරියේ ඉවසා නිහඬව බලා සිටීමේ හැකියාවක් ඇයට නැත. වෙන කවර දෙයක් නැතත්, සිය පවුලේ අයිතිය යටතේ පැවති පක්ෂයේ අයිතිය නැවත තමන් වෙත හිමිකර ගැනීමට සටන් කිරීම ඇගේ අධිෂ්ඨානය වී තිබේ.

නායකත්වයේ පැවැත්ම රැඳී ඇත්තේ අනුගාමික සමූහයා පොළඹවා ගැනීමේ හැකියාව මතය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලක් රටේ හා ශ්‍රීලනිපයේ නායිකාව වුවත්, අද රටේ නායකත්වය හා පක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා අතට පත්වී තිබෙන තත්ත්වයක් තුළ නැවත ශ්‍රීලනිප තුළින් බලවත් අනුගාමික පිරිසක් සොයා ගැනීම පහසු ක්‍රියාවක් වන්නේ නැත. තමා නැවත අප්‍රේල්වලදී රජවන බව ඇයට කියන්නට සිදුවී ඇත්තේ රටට හා පක්ෂයට නායකයකු සිටින තත්ත්වයක් යටතේ පක්ෂ අභ්‍යන්තරයෙන් අනුගාමික පිරිසක් පොළඹවා ගත හැකි පහසුම ක්‍රමය එය වන නිසාය.

නැවත අප්‍රේල්වලදී රජවන බවට චන්ද්‍රිකා කියන කතාව විකෘති මනසකින් සිටින පුද්ගලයෙකුට හැර ප්‍රකෘති මනසකින් සිටින පුද්ගලයෙකුට කිව නොහැකි කතාවකි. කවර හේතුවක් නිසාවත් කෙටි කාලයක් තුළ රජවීමේ හැකියාවක් චන්ද්‍රිකාට නැත. ඇය තමන්ට හිමි ධුර කාල දෙක සම්පූර්ණ කර ඇති අතර, මේ අතර කාලය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කුමක් සිදුවුවත්, ව්‍යවස්ථානුකූලව රාජ්‍ය නායකයා වීමේ හැකියාව චන්ද්‍රිකාට නැත. රට අරාජිකත්වයට පත්ව විදේශ රටක් රට ආක්‍රමණය කොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිකමෙන් පළවා හැර ආක්‍රමණිකයා විසින් රූකඩ පාලකයකු රටේ පාලනයට පත් කරන අවස්ථාවක් ඇතිවී ආක්‍රමණිකයා ඒ පුරප්පාඩුව සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තෝරාපත් කර ගන්නේ නම් පමණක් ඇයට නැවත රජවිය හැකිය. ඒ හැර කෙටිකාලීන වශයෙන් රජවීමේ අන් කිසිම මගක් ඇයට නැත.

යුනෙස්කෝ තනතුර අහිමිවීම

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට යුනෙස්කෝ තනතුර අහිමි වූයේ තමන් අප්‍රේල්වලදී රජ වන බවට වහසි බස් කියමින් සිටි අවස්ථාවකදීය.

චන්ද්‍රිකාට ලැබුණු යුනෙස්කෝ තනතුරට එරෙහිව විරෝධය පළ කරන ව්‍යාපාරයක් සංවිධානය කරන ලද්දේ රාවය පුවත්පත විසින්ය. ඇයට එම තනතුර ලැබුණු වහාම එයට විරෝධය පළ කොට රාවය විසින් යුනෙස්කෝවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත විරෝධය පළ කරන පෙත්සමක් ලියා යවන ලද අතර, මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සංවිධානවලින් ද ඇයට ලැබී තිබෙන පත්වීමට එරෙහිව විරෝධය පළ කරන ලෙස ඉල්ලා සිටින ලදි. ඒ අනුව එම පත්කිරීමට විරෝධය පළ කරන පෙත්සම් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් ද යුරෝපීය රටවලින් ද යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලැබුණි.

ශ්‍රී ලංකාවේ නම් රාජ්‍ය නායකයා කරන වැරදි සහගත පත්කිරීමකදී ඊට එරෙහිව කොතරම් විරෝධය පළ කළත්, පත් කිරීම වෙනස් කරන්නේ නැත. එවැනි පත්කිරීමකට එරෙහිව අධිකරණය ඉදිරියට ගිය ද යුක්තිය ඉටුකර ගැනීමට ඉඩක් ඇත්තේම නැති තරම්ය.

ශ්‍රී ලංකාවෙන් බැහැරව පිළිගත් ආයතනවල සමස්ත තත්ත්වය ඊට වෙනස් බව යුනෙස්කෝව චන්ද්‍රිකා සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් පැහැදිලිව පෙන්නුම් කරයි. සාධාරණ හේතු තිබෙන අවස්ථාවකදී ඒ හේතු පෙන්වා සංවිධානාත්මක සුළු පිරිසකට වුවද එවැනි පත්කිරීමක් අවලංගු කරවාගත හැකිය. එහිදී පුද්ගලයාගේ තරාතිරම වැදගත් නැත. වැදගත්වන්නේ ඉදිරිපත් කෙරෙන චෝදනාවල ස්වභාවයයි.

යුනෙස්කෝව චන්ද්‍රිකා පිළිබඳ ප්‍රශ්නයේදී එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ නිර්දේශය මත කරන ලද පත්කිරීමක් ලෙස සලකා කොන්දේසි විරහිතව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේ නම් යුනෙස්කෝවට තිබෙන පිළිගැනීම හීන කිරීමට එය හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් යුනෙස්කෝව එහිදී තමන්ගේ ආයතනය ආක්‍රමණය කරන පිළිකාවක් බවට පත් වන්නට ඉඩ තිබුණු චන්ද්‍රිකා මුහුදට විසි කොට සිය ගෞරවය ආරක්ෂා කර ගත්තේය.

මෙම ධර්මතාව චන්ද්‍රිකාට පමණක් අදාළ නැත. බලය අයථා ලෙස පාවිච්චි කරන, මානව හිමිකම් උල්ලංඝනය කරන සියලු දූෂිත බලපුළුවන්කාරයන්ට මෙම ධර්මතාව අදාළය. එවැනි අයට ශ්‍රී ලංකාව තුළ නීතියේ අභියෝගයකින් තොරව නිදහසේ බඩ පිනුම් ගැසීමේ හැකියාවක් ඇතත්, ශ්‍රී ලංකාවෙන් පිටස්තරව එසේ කිරීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකාවේදී ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන නීතිය විදේශ රටකදී ක්‍රියාත්මක විය හැකිය.

ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව වත්කම් බැරකම් පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඇගේ ධුර කාලය අවසන්වීමෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන පැමිණිල්ලක් මගින් මම ඉල්ලා සිටියෙමි. එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට බලපෑ වැදගත් හේතු ගණනාවක් තිබුණි. වත්කම් බැරකම් නීතිය අනුව එය ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයකුගේ වත්කම් බැරකම් ප්‍රකාශයක පිටපතක් ඕනෑම පුරවැසියකුට ඉල්ලා සිටිය හැකිය. නියමිත ගාස්තුව ලබාගෙන ඉල්ලුම්කරුට ඔහු ඉල්ලා සිටින පුද්ගලයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් අදාළ බලධාරියා ලබාදිය යුතුය. එය නීතිමය බැඳීමකි. එසේ නොකිරීම නීතියෙන් දඬුවම් කළ හැකි වරදකි.

මම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග මෙම නීතිය ගැන කතා කර ඇත්තෙමි. 1994 මැතිවරණ ප්‍රකාශයට එම නීතිය පිළිබඳ විශේෂ පොරොන්දුවක් ඇතුළත් වූයේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ඉන්පසු ඇය බලයට පත්වීමෙන් පසුව එක වතාවක් නොව අවස්ථා ගණනාවකදීම ඇගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඇයට ද යවන පිටපතක් සහිතව ඇගේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියෙමි. ඒ හැම ඉල්ලීමක්ම කරන ලද්දේ ලියාපදිංචි තැපෑලෙනි. රටේ පවතින වත්කම් බැරකම් නීතිය අනුව ජනාධිපතිවරුන් ද ජනාධිපති මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් ලෙස ද, පක්ෂයේ නිලයක් හොබවන පුද්ගලයෙකු වශයෙන් ද වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටී.

ජනාධිපතිවරණ මැතිවරණ පෙත්සම්වලදී සේ ම වත්කම් බැරකම් නීතියේ භාවිතයේදී ද ජනාධිපතිවරයෙකුට මුක්තියේ අයිතිය බලනොපායි. වත්කම් බැරකම් නීතිය එවැනි වැදගත් ප්‍රතිපාදන සහිතව සංශෝධනය කෙරුණේ 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසුව හා විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමෙන් බොහෝ කලකට පසුවය. නැතිනම් විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් පසුවය. භාවිතයේදී ප්‍රායෝගිකභාවයක් ලැබී නැතත්, එවැනි විප්ලවකාරී නීතියකට ඉඩදීම ගැන ප්‍රේමදාස ජනාධිපතිවරයාට ජාතියේ ගෞරව ප්‍රණාම හිමිවිය යුතුය.

ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඇගේ හා ඇය යටතේ සිටින ඇමතිවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලිපි ගොනුවක් මා ළඟ තිබුණි. එය ඉතාමත් විධිමත් ලෙස පවත්වාගෙන ගිය ලිපි ගොනුවක් ලෙස සැලකිය හැකිය. මා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට එරෙහිව වත්කම් බැරකම් පරීක්ෂණයක් ඉල්ලා පැමිණිලි කළේ එම ලිපිගොනුව ද ඇතුළත් වන ආකාරයටය. මා එම පැමිණිල්ල කොමිසම වෙත ඉදිරිපත් කරන ලද්දේ කොමිසම කෙරෙහි ඇති කරගත් විශ්වාසයකින් නොව, කොමිසමේ අවංකභාවය පරීක්ෂාවට ලක් කිරීමේ අරමුණිනි. එය මම කොමිසම පිළිබඳව කරන ලද පළමු අත්හදා බැලීම නොවන අතර, දෙවැනි අත්හදා බැලීම විය. ලැබුණු ප්‍රතිඵලය පළමු අත්හදා බැලීම වෙනුවෙන් ලැබුණු ප්‍රතිඵලයට සමාන විය.

හැම රාජ්‍ය නායකයකුම කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ස්ථානවලට සුදුසුකම් නොබලා පක්ෂපාතීත්වය මත පුද්ගලයන් පත් කරන ක්‍රමයක් රටේ පවතී. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද එවැනි කේන්ද්‍රීය වැදගත්කමක් ඇති ස්ථානයකි. ඊට පුද්ගලයින් පත්කිරීමේදී සැලකිල්ලට ගැනුණේ ද සුදුසුකම් නොව දේශපාලන පක්ෂග්‍රාහිත්වයයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන විෂය මට අප්‍රසන්න අත්දැකීම් ඇති එකකි. එය ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්කරන්නට පෙර එය තිබුණේ දෙපාර්තමේන්තුවක් වශයෙනි. නෙළුම් ගමගේ මහත්මිය එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් සිටියදී මට අත් දකින්නට ලැබුණු අපූරු අත්දැකීමක් මෙසේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පත් ගිලිමින් සිටි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙකු ඕස්ට්‍රේලියානු සමාගමකින් එම සමාගම නිපදවන කොන්ක්‍රීට් සිල්පර සඳහා අල්ලස් ඉල්ලා සිටීමේ පුවතක් මම පුවත්පත මගින් හෙළිදරව් කළෙමි. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට ජනාධිපති විජේතුංග සමගත්, නීතිපති තිලක් මාරපන සමගත් සමීප මිත්‍රත්වයක් තිබුණි. මා එම පුවත පළ කරන අවස්ථාව වන විටත් අල්ලස් කොමසාරිස්වරිය මෙම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. දුම්රිය සාමාන්‍යා ධිකාරිවරයාට ඔහු පිළිබඳව මා පළ කළ පුවත සම්බන්ධයෙන් මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පැවරුමක් කිරීමට අවශ්‍ය වුවත්, අල්ලස් දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව ආරම්භ කර තිබූ වත්කම් පරීක්ෂණය ඊට බාධාවක් වී තිබුණි. ඔහු ජනාධිපති විජේතුංග මහතාගෙන් ද නීතිපතිගෙන් ද ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපති විජේතුංග මහතා අල්ලස් කොමසාරිස්වරියට දුරකතනයෙන් කතා කොට වත්කම් පරීක්ෂණයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිදොස් වූ බවට සටහනක් තබමින් අදාළ පරීක්ෂණ ලිපිගොනුව වසා දමන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම නොහොබිනා ඉල්ලීම අල්ලස් කොමසාරිස්වරියගේ පුදුමයට හේතුවිය. ඉන්පසු නීතිපති තිලක් මාරපන ද ඇයට දුරකතනයෙන් කතා කොට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට එරෙහිව පවත්වාගෙන යන වත්කම් පරීක්ෂණයෙන් ඔහු නිදොස් කොට පරීක්ෂණ ලිපිගොනුව වසා දමන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේය. එය ජනාධිපතිවරයාගේ අභිමතය බව ද ඇයට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා විසින් ද, නීතිපතිවරයා විසින් ද කරන ලද මෙම නොහොබිනා ඉල්ලීම ඇය පරීක්ෂණ ලිපිගොනුවේ සටහන් කොට තැබුවාය. ඇය ඒ ගැන පරීක්ෂණ ලිපිගොනුවේ සටහනක් තබා ඇති බව ජනාධිපතිවරයාට දැනගන්නට ලැබීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි නෙළුම් ගමගේ මහත්මිය සිය තනතුරෙන් ඉවත් කොට තනතුරට පිටස්තරයකු පත් කොට මට එරෙහිව නීතිපති මගින් සාපරාධී අපහාස නඩුවක් පැවරුවේය. මට එරෙහිව මහාධිකරණයේ ගොනු කරන ලද එම නඩුව අසන ලද්දේ පසු කලකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම යාමත් සමග අධිකරණයේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ සී. විග්නේශ්වරන් විනිසුරුවරයාය. ඒ වන විට නෙළුම් ගමගේ මහත්මියගේ අත්සන සහිතව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ පරීක්ෂණ ලිපිගොනුවට තබන ලද සටහනේ පිටපතක් ලබාගැනීමට මා සමත් වී තිබුණු අතර, මාගේ නීතිඥවරයා (සුරන්ජිත් හේවාමාන්න) එම පිටපත විනිසුරුවරයා අතට දී දේවල් සිදුවී තිබෙන ආකාරය විස්තර කරදී මේ නඩුව ඉදිරියට ගෙන යන්නේ නම් ජනාධිපතිගේත් නීතිපතිගේත් ක්‍රියාකාරීත්වය හෙළිදරව් කරන්නට සිදුවන බව දැනුම් දුන්නේය. ඉන්පසු විනිසුරුවරයා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ නඩුවට පෙනී සිටි නීතිඥයා තමන් වෙත කැඳවා කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මට එරෙහිව ඉදිරිපත් කර තිබුණු අධි චෝදනා පත්‍රය ඉවත් කරගැනීමට එකඟ විය.

මහජන දේපළ කොල්ලකෑම තහනම් වන්නේ සාමාන්‍ය පුද්ගලයින්ට පමණය. රාජ්‍ය නායකයාගේ හෙන්චයියන්ට එසේ කිරීම නීති විරෝධී වන්නේ නැත.

ස්වාධීන අල්ලස් කොමිසමක් ඇති කිරීමෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කරන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස ක්‍රියා කළ රියෙන්සි අර්සකුලරත්නය. ඒ පත් කිරීම මාගේ පුදුමයට හේතුවිය. ඔහු එවැනි වගකිවයුතු තනතුරකට සුදුසු අවංක හෝ අල්ලස් හෝ දූෂණ විරෝධී දැඩි ස්ථාවරයක් තිබූ පුද්ගලයෙකු නොවීය. සන්ඩේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංගට එරෙහිව ජනාධිපතිනිය වෙනුවෙන් පවරන ලද නඩුවට පෙනී සිටීම මගින් ඔහු ඇගේ හොඳ නම දිනාගෙන තිබුණි. අර්සකුලරත්න මහතා නින්දාවට ලක් කොට එම තනතුරෙන් පළවා හැරීමෙන් පසු ඇය එම තනතුරට ගෙනාවේ ද දූෂිත පුද්ගලයෙකි. ඇඹෙලිපිටියේදී ඝාතනයට ලක්වූ ළමුන්ගේ ඇටකටු සොයා කෙරුණු සූරියකන්ද මෙහෙයුමේදී අධිකරණ පරීක්ෂණය මෙහෙයවූ මහේස්ත්‍රාත්වරයාය. ඔහු ද ආරම්භයේදී එම කොමිසමට පත්වූ කොමසාරිස්වරුන් ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ආණ්ඩුවේ දේශපාලන හතුරන්ට එරෙහිව ක්‍රියා කරන ආයතනයක් බවට පත්කර ගත්තේය.

එවැනි වටපිටාවක් තුළ මාගේ පැමිණිල්ලට යුක්තිය ඉටුවීමේ හැකියාවක් නොතිබුණි. ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පිළිබඳව කොමිසම වත්කම් පරීක්ෂණයක් ආරම්භ කළේ නම් ඇය වරදකරු කිරීමට ඇය විසින් ප්‍රකාශ කර තිබුණු වත්කම් බැරකම් ප්‍රකාශ දෙක (1994 හා 1999 වත්කම් බැරකම් ප්‍රකාශ) පමණක් වුවත් ප්‍රමාණවත් වන්නට තිබුණි. එම වත්කම් බැරකම් ප්‍රකාශ දෙකේ එන කරුණු අතර ගැලපීමක් නොපවතී. සමහර කාරණා වුවමනාවෙන්ම වසන් කර ඇති බව ද දෙවැනි ප්‍රකාශනයේ පැහැදිලිව දැකිය හැකිය.

ඇගේ නමට හෝ ඇගේ දරුවන්ගේ නමට විදේශ රටක කිසිම දේපළක් නැතැයි කීමේ හැකියාවක් ඇයට තිබේද? තිබෙන්නේ නම් ඒ දේපළ අත්පත් කරගැනීම සඳහා ඇයට ධනය ලැබුණේ කෙසේද?

යුනෙස්කෝවෙන් ලැබුණු තනතුර අහිමිවීමෙන් පමණක් සියල්ල අවසන් වන්නේ නම් ඇය වාසනාවන්තය. ඇයගේ මාෆියාව අතින් ඝාතනයට හෝ හිංසාවට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් එක් පැමිණිල්ලක් හෝ ඇයට එරෙහිව යුරෝපීය අධිකරණයක් වෙත ඉදිරිපත් වුවහොත් ඇයට රජබත් වෙනුවට හිරබත් කන්නට සිදුවන්නට ද බැරිකමක් නැත.