කලක් පෙනය හංගාගෙන සිටි ජනාධිපතිනිය දැන් නිතර දෙවේලේ පෙනය පුප්පන තත්ත්වයකට පත්ව සිටින්නීය. විස දත් ඇති බව නොසලකා හැපින්න සමග සෙල්ලම් කරමින් සිටි අගමැතිවරයා ද හැපින්නගේ පෙනය පිප්පිල්ල ඉදිරියේ තුෂ්නිම්භූත තත්ත්වයකට පත්ව ඇගේ විස දත් ගලවන ක්රමයක් ගැන කල්පනා කරන තැනකට පත්ව සිටින්නේ ය.
ජනාධිපතිනිය සමග කරන ගනුදෙනුවේ දි අගමැතිවරයා මනා ඉදිරි දැක්මක් ඇතිව ක්රියාකර තිබෙන බවක් පෙනෙන්නට නැත. මහජන වරමකට ලැබෙන අති විශාල බලය ගැන හොඳ අවබෝධයකින් ක්රියා නොකිරීම අගමැතිවරයා කෙරෙන් ප්රකාශ වී තිබෙන ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැකි ය.
ජනාධිපතිනියට තිබුණේ ව්යවස්ථාවෙන් ලැබුණු නෛතික බලයක් පමණ ය. එහෙත් ජනවරමේ බලය ලැබී තිබුණේ අගමැතිවරයාට ය. ජනවරමකට ලැබෙන බලය අති විශාල වුවත් ජනවරමේ බලය ස්ථිතික බලයක් වන්නේ නැත. මහජන උද්යෝගය හා විශ්වාසය බිඳ වැටෙන ප්රමාණයට ජනවරමට ලැබෙන බලය ද ව්යර්ථ වේ.
තමන්ට ලැබී තිබෙන ජනවරමේ බලය කාලය විසින් වාෂ්ප කිරීමට නියමිත බව තේරුම් ගනිමින් ඒ වරමට ලැබෙන බලය උච්චතම තත්ත්වයක තිබෙන අවස්ථාවක එනම් බලයට පැමිණ වහාම ජනාධිපතිනිය සමග රාජ්ය බලය බෙදි යා යුතු ආකාරය පිළිබඳව එකගතාවක් ඇති කර ගැනීම පිණිස සාකච්ඡාවකට ගියේ නම් අගමැතිවරයාට ලැබී තිබෙන ජනවරම ව්යවස්ථාවෙන් තමන්ට ලැබී තිබෙන බලයට වඩා බලවත් බව තේරුම් ගනිමින් සහජීවනයක් සඳහා අවශ්ය කොන්දේසි පිළිබඳව ජනාධිපතිනිය සමග සාර්ථක එකගතාවයක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබෙන්නට ඉඩ තිබුණි.
ජනාධිපතිනියට ව්යවස්ථාපිත බලයක් ලැබී තිබුණු බව සැබෑ ය. එහෙත් රට ආණ්ඩු කරන්නට ජනවරමක් ලැබී තිබුණේ අගමැතිවරයාට ය. ව්යවස්ථාපිත බලය හා ජනවරම අතර පරස්පරයක් තිබුණු තත්ත්වයක් තුළ ජනාධිපතිනියට තිබුණු ව්යවස්ථාපිත බලය තමන්ට ලැබී තිබුණු ජනවරම ඉදිරියට ගෙනයාමට බාධාවක් නොවන ලෙස වෙනස් කරවා ගැනීමේ වගකීම පැවරී තිබුණේ අගමැතිවරයාට ය. ව්යවස්ථාව අනුව හැම වැදගත් පත් කිරීමක් කරනු ලබන තැනැත්තා ජනාධිපති වුවත් රට ආණ්ඩු කිරීමට ජන වරමක් ලැබී තිබෙන්නේ තමාට වන නිසා තමාට අවශ්ය හැම පත්කිරීමක් සඳහා ම අනුමැතිය ලබාදෙන ප්රතිපත්තියක් අනුගමනය කරන්නට ජනාධිපතිනිය සූදානම් දැයි ඇගෙන් විමසා දැනගත යුතුව තිබුණේ ජනවරමේ බලය උපරිම තත්ත්වයක තිබූ බලයට පැමිණි ආරම්භක අවස්ථාවේ දි ය.
එහෙත් අලුත් දේශපාලන තත්ත්වයක් ඉදිරියේ අලුතින් ඇති කරගත යුතු ක්රීඩාවේ කොන්දේසි පිළිබඳව එකගතාවක් ඇති කර ගැනීමේ උත්සාහයක් අගමැතිවරයා කෙරෙන් ප්රකාශ නොවී ය. ඒ වෙනුවට සිදුවූයේ ජනාධිපතිනියට රිසි ලෙස තමාට ව්යවස්ථාවෙන් ලැබී තිබෙන බලය රිසි ලෙස පාවිච්චි කරන්නට ඉඩහැර බලා සිටින ප්රතිපත්තියකි.
එහි අවසාන ප්රතිඵලය වූයේ කැබිනට් මණ්ඩලය හා වෙනත් පත්කිරිම් ගණනාවක දි හැර පොලිස්පති, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, හමුදා ප්රධානීන්, සමහර කොමිෂන් සභාවල ප්රධානීන් වෙනස් කළ නොහැකි ජනාධිපතිනිය කැමති පිරිසක් ඒ තනතුරුවල තබාගත හැකි පසුබිමක් නිර්මාණය වීම ය.
රට ආණ්ඩු කිරීමේ බලය යන්නෙන් ආණ්ඩු පාලනයක් සඳහා අවශ්ය සියලු බලතල අදහස් වේ. ආණ්ඩු ප්රතිපත්තිවල මුල් උල්පත විය යුත්තේ අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලයයි. තානාපති සේවයේ නුසුදුසු අය සිටී නම් එය වෙනස් කිරීමේ බලයක් නැති ආණ්ඩුවකට විදේශීය ප්රතිපත්තිවල උල්පත ලෙස ක්රියාකළ නොහැකි ය. දැන් ක්රියාවට නගා ඇති සාම වැඩ පිළිවෙළ ද ජනාධිපතිනියගේ වැඩ පිළිවෙළක් නොව නව ආණ්ඩුවේ වැඩ පිළිවෙළකි. ඒ වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට ඊට සුදුසු හමුදා නායකයින් පිරිසක් අවශ්ය නම් අවශ්ය කරන ඒ වෙනස්කම් ඇතිකර ගැනීමේ බලය ආණ්ඩුවට තිබිය යුතු ය.
එහෙත් අගමැතිවරයා මෙම කේන්ද්රීය ගැටලු වලට අත නොතබා ඒ වෙනුවට වටාපිටාව අත ගාමින් සිටියේ ය. ජනාධිපතිනිය ද පෙනය හංගාගෙන අගමැතිවරයාට සීනි බෝල දි ඔහු සංතෝස කරන ප්රතිපත්තියක් අනුගමනය කළා ය. විස දත ගලවනවා නම් ගැලවිය යුතුව තිබුණේ නයා සිහි නැති තත්වයක සිටි අවස්ථාවේ දි ය. එහෙත් අගමැතිවරයා එසේ නොකොට තමන්ගේ පදනම දුර්වල වන්නට ඉඩහැර නයාට ශක්තිමත් වන්නට ඉඩ දුන්නේ ය. දැන් නයා කීකරු වන්නට සූදානම් නැත. මහජන වරමේ බලය වාෂ්ප වෙමින් තිබෙන තත්ත්වයක් ඉදිරියේ නයා කීකරු කර ගැනීමට අගමැතිවරයාට තිබෙන හැකියාව ද සීමාසහිත වෙමින් පවතී.
චන්ද්රිකා රාජ්ය පාලනය ගැන දන්නේ නැතත් බලය රැක ගැනීමේ කලාව ගැන දන්නී ය
දැන් ජනාධිපතිනිය ගයමින් සිටින සින්දුව වී ඇත්තේ ජනාධිපතිනිය වශයෙන් තමාට තිබෙන ව්යවස්ථාපිත බලය අනුව කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට තමා ගැන පරික්ෂෂණයක නිරත වීමට නීතිමය අයිතියක් නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ද තමාට හැර වෙනත් කිසිවකුට නැති බවත් ය.
ජනාධිපතිනිය සිටියේ තමාට එරෙහිව ආරම්භ කර ඇති පරික්ෂෂණවලට මුහුණ දිය නොහැකි තැනක ය. පරික්ෂෂණ ක්රියාවලිය නිදහසේ ඉදිරියට ගලා යන්නට ඉඩ දුනහොත් තමාගේ නාමය හෙරක් ලෙස ඉතිහාසයට එකතු වීමෙන් නොනැවතී තමාගේ පරම්පරාවේ කිසිවකුට ද දේශපාලනයට ආ නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් තිබෙන බව ද ඇය දැන සිටියා ය. ඇයට මුලින් අවශ්ය වී තිබුණේ ඒ පරික්ෂෂණ ක්රියාවලිය නතර කර ගැනීම පමණ ය. එහෙත් දැන් ඇය ඒ සඳහා පින්සෙන්ඩු වන ප්රතිපත්තියකට නොගොස් ඒ ගැන ද බලය පෙන්වන ප්රතිපත්තියකට මාරු වී සිටී. ආරක්ෂෂාව පිළිබඳ කාරණාවල දි ටෙන්ඩර් ප්රතිපත්තියකට යාම අත්යවශ්ය නොවන බව ඔප්පු කිරීම සඳහා කලක් ඇගේ වෛරයට හේතු වී සිටි ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ (මාර්ක් ප්රනාන්දු) තීන්දුවක්ද උපුටා දක්වන තත්වයකට පත්ව සිටින්නී ය. අධි ආරක්ෂෂිත වාහන සම්බන්ධයෙන් ඇයට එල්ල වී තිබෙන බරපතලම චෝදනාව වී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව වාහන මිල දි ගෙන ඇත්තේය යන චෝදනාව නොවේ. එම සමස්ත චෝදනාව තුළ තිබෙන අතුරු චෝදනාවක් පමණ ය. එම අපචාරය ඇතුළත් ලොකුම චෝදනාව වනුයේ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිනියටම වාහන මිල දි ගැනීම සඳහා රුපියල් මිලියන 63ක් වෙන් කොට තිබිය දි පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වාහන මිල දි ගැනීම සඳහා රුපියල් මිලියන 2445ක් වැය කළේ කෙසේද යන්න ය. එය ජනාධිපතිනියට එරෙහිව එල්ල කළ හැකි බලවත්ම චෝදනාවක් වුවත් එම ව්යවස්ථා විරෝධී තත්කඩිකමට හවුල් වූ මහා භාණ්ඩාගාර ලේකම්වරයා (ජයසුන්දර) මෙම ආණ්ඩුව විසින් ම ආරක්ෂෂා කරන තත්ත්වයක් ඉදිරියේ ජනාධිපතිනියට එරෙහිව පමණක් පියවර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට තිබිය නොහැකි ය.
ව්යවස්ථා සංශෝධනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ආණ්ඩු පක්ෂෂයට තිබෙන බලය යන කේන්ද්රීය ප්රශ්න දෙක ගැන ජනාධිපතිනිය කියන්නේ විධායක ජනාධිපති ක්රමය මුළුමණන් වෙනස් කරන ව්යවස්ථා සංශෝධනයකට මිස කෑලි සංශෝධනයකට සහාය නොදෙන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට බලය ඇත්තේ තමන්ට පමණක් බවත් වෙනත් කෙනෙකු ඒ සඳහා දරන උත්සාහයට තමන් ඉඩ නොදෙන බවත් ය.
මෙම කේන්ද්රීය ප්රශ්න දෙක සම්බන්ධයෙන් අගමැතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂෂය තොත්ත බබාලා කණ්ඩායමක් ලෙස ක්රියාකරමින් සිටින විට ජනාධිපතිනිය ඉතාමත් දක්ෂෂ හා සටකපට ආකාරයකින් ක්රියාකරමින් සිටින බව ද දැකිය හැකි ය.
මුළු විධායක ජනාධිපති ක්රමයම වෙනස් කිරීමට ජනාධිපතිනිය කැමැත්ත ප්රකාශ කර තිබෙන අවස්ථාවක අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඊට එකග වී මතු වී තිබෙන අර්බුදය විසඳ නොගන්නේ ඇයිද යන ප්රශ්නයත් විධායක ජනාධිපති ක්රමයට කැමති නැති ජනතාව අතර සේ ම මේ අර්බුදය ගැන උනන්දුවකින් බලා සිටින ජනතාව තුළ ද ඇතිවන්නේ ය. එය ඉතාමත් හොඳ ගැහැණු ගැටයකි.
විධායක ජනාධිපති ක්රමය මුළුමණන් අහෝසි කිරීමට නම් අලුත් ව්යවස්ථාවකට යා යුතුවේ. එය සතියකින් දෙකකින් කළ හැක්කක් නොව කිසියම් දිර්ඝ කාලයක් ගතවන ක්රියාවකි. ජනාධිපතිනියට අවශ්ය වී ඇත්තේ ද කාලය කා දමන ක්රියාවකි. පාර්ලිමේන්තුවේ වසරේ කාලය සම්පූර්ණ වීමත් සමග තමාගේ තත්ත්වය වඩා ශක්තිමත් වන බව ඇය දනී. ආණ්ඩුව එය උගුලක් බව තේරුම් ගෙන ඇතත් ඊට මහජනයාගේ විශ්වාසයට හේතුවන ශක්තිමත් පිළිතුරක් දිමට ආණ්ඩුව සමත් වී නැත.
පාර්ලිමේන්තුවට අවශ්ය නම් සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය. එය ව්යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන පැහැදිලි බලයකි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා යෝජනාවක් බල සහිත වීම සඳහා ජනාධිපතිනිය ඊට අත්සන් තැබිය යුතු ය. පාර්ලිමේන්තුව සම්මත කරගන්නා එවැනි යෝජනාවකට අත්සන් තැබීමෙන් වැළකී සිටීමේ හැකියාවක් ජනාධිපතිනියට නැතත් හිතුවක්කාරි ජනාධිපතිවරයකුට අවශ්ය නම් අත්සන් තැබීමෙන් වැළකී සිටිය හැකි ය. එවිට යුක්තිය ඉටුකරවා ගැනීමට අර්ථ නිරූපණයක් ලබාගැනීමට යන්නට වන්නේ ශ්රේෂ්ඨාධිකරණයට ය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා මගින් ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය පාලනය කරන තත්ත්වයක් ඉදිරියේ එහිදිත් ආණ්ඩුවට සිදුවනු ඇත්තේ හිස් අතින් ආපසු එන්නට ය.