අපි ජයගත්තෙමු. එය ප්‍රමාණවත් ද?

May 31, 2009
Publication:
Twenty-nine of the forty-seven members of the Human Rights Council in Geneva voted with Sri Lanka and twelve against, which Ivan counts an important victory in the international argument. Some violation of rights is unavoidable in any war and more so against a terrorist movement; but the victory has created a humanitarian problem the country cannot solve without the world's help, and on that question it should speak with one voice.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳව පැවති විශේෂ සැසියේදී කවුන්සිලයේ සාමාජික රටවල් 47න් රටවල් 29ක් ශ්‍රී ලංකාවට පක්ෂපාතව ඡන්දය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව පිළිබඳව මතුවී තිබෙන විවාදයේදී ශ්‍රී ලංකාව ලබාගත් ඉතා වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එම යෝජනාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ රටවල් 12ක් පමණය. රටවල් 06ක් ඡන්දයෙන් වැළකී සිටියේය. මේ ආරාවුලේදී බටහිර රටවල්වල ප්‍රවේශය අගතිගාමී විය. ඕනෑම යුද්ධයක් තුළ එය කවර රටක සිදුවුවද කිසියම් ප්‍රමාණයක මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීම නොවැළැක්විය හැකිය. ඊටත් වඩා ත්‍රස්තවාදී ව්‍යාපාරයකට එරෙහිව කරන යුද්ධයකදී එය එසේ සිදුවන්නේය. මෙම ප්‍රශ්නයේදී වඩා වැදගත් කොට සැලකිල්ලට ගත යුතුව තිබුණේ ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී සංවිධානය වශයෙන් එල්ටීටීඊයෙන් ශ්‍රී ලංකාවට, අසල්වැසි රටවලට හා ලෝකයට එල්ල වී තිබුණු තර්ජනයේ ප්‍රමාණයයි.

එවැනි ව්‍යාපාරයක් මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකාව සමත්වීම ගැන වැඩියෙන්ම සංතෝෂ විය යුතුව තිබුණේ ද ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය වශයෙන් යුද්ධ ප්‍රකාශ කර තිබෙන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය. එහෙත් ඒ ගැන සංතෝෂ වෙනවා වෙනුවට ඊට අඩු වැදගත්කමක් ඇති ප්‍රශ්න අල්ලාගෙන බටහිර රටවල් ශ්‍රී ලංකාවට කෙණහිලිකම් කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කිසිසේත්ම යුක්තිසහගතවන්නේ නැත. අප එම රටවලින් එල්ල වන අයුතු බලපෑම්වලට යට නොවිය යුතුය. ඒ සමග ඔවුන් සමග තිබෙන සම්බන්ධතා අපට මුළුමනින් කපා හැරිය නොහැකි බවද අප අමතක නොකළ යුතුය. අප නිපදවන අපනයන භාණ්ඩවල ප්‍රධාන ගැනුම්කරුවා වන්නේ ඔවුන්ය. ඒ නිසා අපට ඔවුන්ගෙන් මුළුමනින් වෙන්විය නොහැකි අතර, ඔවුන්ගෙන් එල්ල වන අනිසි බලපෑම්වලට යට නොවී තවදුරටත් ඔවුන් සමග සුහද ලෙස ගනුදෙනු කරන තැනක අප සිටිය යුතුය. මෙම විවාදයේදී රටක් වශයෙන් අප සිටින්නේ සාධාරණ තැනක හා අප රට සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සාධාරණ නොවන බව තර්කානුකූලව ඔවුන්ට පෙන්වා දීමට රටක් වශයෙන් අප සමත් විය යුතුය.

රටක් වශයෙන් මේ මොහොතේ අප ඉන්නේ රටේ ස්වාධිපත්‍යයට, භෞමික අඛණ්ඩතාවට හා සාමකාමී යහපැවැත්මට එල්ල වී තිබුණු දැවැන්ත අභියෝගයක් ජයගනු ලැබූ ජයග්‍රාහී තත්ත්වයකය. එහෙත් ඒ ජයග්‍රහණය විසින් ඉක්මණින් විසඳාගත යුතුව තිබෙන අවතැන්වූවන් පිළිබඳ මහා මානුෂික ප්‍රශ්නයක් ඇති කර තිබෙන බව ද අප අමතක නොකළ යුතුය. අපට එම ප්‍රශ්නය ජයගැනීමට ලෝක ආධාර අත්‍යවශ්‍යය. අප රටක් වශයෙන් අපගේ ස්වාධිපත්‍යය ආරක්ෂා කරගනිමින් රට මුහුණ දී තිබෙන අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය ජයගැනීම සඳහා උපරිම වශයෙන් ලෝක ආධාර ලබාගත යුතුය. ජාතික වැදගත්කමක් ඇති මේ ප්‍රශ්නයේදී රට බෙදී දෙතුන් පැත්තකට අදින තැනකට නොයා යුතුය. මුළු රටම එක්සත්ව එක හඬකින් කතා කරන තැනකට යා යුතුය. ආණ්ඩුව විරුද්ධ පක්ෂයට පීඩා කරන තැනට නොයා යුතු අතර, විරුද්ධ පක්ෂය ද මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව යටි උගුල් අදින තැනකට නොයා යුතුය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා විවර වී තිබෙන අලුත් අවකාශ රට ගොඩනැගීම සඳහා උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. කොටස් වෙළෙඳපොළේ ඇතිවී තිබෙන නව වර්ධනය රටේ ඉදිරි ගමනට ලැබී තිබෙන යහපත් සංඥාවකි. විදේශ ආයෝජනයන් වර්ධනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහාත් මෙම අවකාශය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත යුතුය. දේශපාලනඥයන්ට ආරක්ෂාව ලබාදීම සඳහා දරන අතිරේක වියදම් ක්‍රමානුකූලව අඩු කළ යුතුය. අතිරේක හමුදා දරන වියදම් ද ක්‍රමානුකූලව අඩු කොට කපාහැරිය හැකිය. ආයෝජකයන් දිරිමත් කරන පරිසරයක් ඉක්මණින් ඇති කළ යුතුය. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි තවදුරටත් මේ රටේ මහ ජාතියක් මිස, සුළු ජාතීන් නැතැ”යි කියන අදහස ප්‍රායෝගික කළ යුතුය. රාජ්‍ය සේවයට දෙමළ භාෂාවෙන් වැඩ කළ හැකි පිරිස අන්තර්ග්‍රහණය කරගනිමින් දෙමළ භාෂාව කතා කරන ජනතාවට රජයේ ආයතනවලදී දෙමළ භාෂාවෙන් ද ගනුදෙනු කළ හැකි වටාපිටාවක් ඇති කළ යුතුය.

සමගිසම්පන්න, සමෘද්ධිමත්, දැහැමි, නීතිගරුක, විනයගරුක ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් ඇති කරගැනීම ඒ සියල්ලෙහි අවසාන අරමුණ විය යුතුය.

Editors Note

The special session of the United Nations Human Rights Council on Sri Lanka was held in
Geneva on 26 and 27 May 2009.