එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සරණාගත කඳවුරු පිළිබඳව CNN ප්‍රවෘත්ති සේවයට කරන ලද ප්‍රකාශය නරකය. ඔහු එහිදී කීවේ තමා ලෝකයේ විවිධ රටවල සරණාගත කඳවුරු දැක ඇතත්, ශ්‍රී ලංකාවේ තරම් නරක තත්ත්වයක පවතින සරණාගත කඳවුරු මීට පෙර කොහේදිවත් දැක නැති බවය. ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවේදී පළ කළ ඒකාබද්ධ ප්‍රකාශය නරක නැතත්, ඉන්පසු කළ ප්‍රකාශය නරකය. ඒ දිනයේම ස්වීඩනයේ විරුද්ධ පක්ෂ නායකයා ද එම කඳවුරු බලන්නට ගියමුත් ඔහු ඒ ගැන දරන මතය මූන්ගේ ප්‍රකාශය තරම් ගොරහැඩි නැත. අවතැන්වූවන් තුන් ලක්ෂයකට පහසුකම් දී ඔවුන් බලාගැනීම සරල හෝ පහසු නැත. කඳවුරුවල අඩුපාඩුකම් ඇතත්, ඒවාහි තත්ත්වය දවසින් දවස හොඳ අතට හැරෙමින් තිබෙනවා මිස, නරක අතට හැරෙමින් තිබෙන තත්ත්වයක් නොපවතී. සාපේක්ෂ වශයෙන් නරකම තත්ත්වයක පවතින බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ යුද්ධය අවසාන දිනවල පැමිණි අය පදිංචි කර තිබෙන කඳවුරුය.
කඳවුරු සංකීර්ණයට පැමිණෙන වාහන සඳහා පනවා තිබෙන සීමා ආශ්‍රයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විවිධ ආයතන පමණක් වාහන 40ක් සඳහා අවසර ඉල්ලා තිබෙන අතර, අනෙකුත් සියලු විවිධ සංවිධාන විසින් අවසර ඉල්ලා තිබෙන වාහන සංඛ්‍යාව 300කටත් වැඩිය. දැනට කඳවුරු සංකීර්ණයට ඇතුළුවීමට අවසරය දී ඇත්තේ ආහාර, ජලය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන එන වාහනවලට පමණය. කඳවුරු සංකීර්ණයට දිනකට ඇතුළු වී පිටවන අවසර ඇති වාහන සංඛ්‍යාව පමණක් 150ක් පමණ වේ. යන එන වාහන නිසා මතුවී තිබෙන දූවිලි ප්‍රශ්නය කඳවුරුවල සිටින අවතැන්වූවන්ගේ ද විරෝධයට හේතුවී තිබේ. කඳවුරු සංකීර්ණය තුළ ඇති පාරවල් පස් පාරවල්ය. කඳවුරුවල සිටින්නන්ගේ බහුතරය කාන්තාවන් වන අතර, කුඩා ළමුන්ගේ සංඛ්‍යාව 30,000ක් පමණ වේ. ළමුන් අතර දෙමාපියන් අහිමි ළමෝ 300ක් පමණ සිටිති.
ඉක්මන් ප්‍රතිකාර ලබාගත යුතු අධික මන්දපෝෂිත තත්ත්වයකින් පෙළෙන ළමුන් 1000ක් පමණ සිටින බවද කියනු ලැබේ. කඳවුරු තුළ වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ හිඟයක් ද පවතී. කඳවුරු සංකීර්ණය සඳහා 300ක පමණ වෛද්‍යවරුන් පිරිසක් අවශ්‍යව ඇතත්, දැන් සිටින්නේ 50කටත් අඩු වෛද්‍ය පිරිසකි. වැසිකිළි පහසුකම් පිළිබඳ ප්‍රශ්නය ද උග්‍ර තත්ත්වයක පවතී. පුද්ගලයන් 12කට එක වැසිකිළියක් අවශ්‍ය වුවද දැන් තිබෙන්නේ 150කට එකක් තරම් වන වැසිකිළි සංඛ්‍යාවකි. කුඩා ළමුන් බලා ගැනීම සඳහා යොදාගෙන තිබෙන කාර්ය මණ්ඩලයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරිය හා වෛද්‍යවරයකු වන ඇගේ ස්වාමි පුරුෂයා ද ඇතුළත්ය. උයා දෙන කෑම පැකට් ක්‍රමය වෙනුවට දැන් වියළි ආහාර දී ඒවා පිසගැනීම සඳහා පොදු මුළුතැන් ගෙවල් ඉදිකෙරෙමින් පවතී. එවැනි මුළුතැන් ගෙවල් 50ක් පමණ දැනටමත් ඉදිකර තිබෙන අතර, පිසිනු ලැබූ ආහාර දෙන්නේ පොදු මුළුතැන් ගෙවල් ක්‍රමයක් ක්‍රියාත්මක නොවන කඳවුරුවල පමණය.
එල්ටීටීඊ නායකයන් ලෙස හඳුනාගනු ලැබූ අය සඳහා ද නායකයන් නොවන එහෙත් ක්‍රියාධරයන් ලෙස හඳුනාගත් අය සඳහා ද වෙනම කඳවුරු සංකීර්ණ දෙකක් පවත්වාගෙන යයි. හඳුනාගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් කඳවුරු පාලනය ආරක්ෂක හමුදා අත තිබිය යුතු බව ආරක්ෂක හමුදාවල මතය වී තිබේ. දැනට දින කිහිපයකට ඉහතදී අවතැන්වූවන් අතර සිටි මුහුදු කොටි සංවිධානයේ තුන්වැනියා හා හතරවැනියා හඳුනාගෙන තිබේ. කඳවුරුවල ඉඩ වැඩි කොට කූඩාරම් අතර පවතින පරතරය වැඩි කිරීම සඳහා කඳවුරු සංකීර්ණය සඳහා දැනට ප්‍රයෝජනයට ගෙන තිබෙන අක්කර 1000ට තවත් අක්කර 500ක් එකතු කිරීම සඳහා ක්‍රියාකරමින් පවතී. විවිධ කොන්ත්‍රාත්කරුවන්ට අයථා ලෙස ගසාකෑමට ලැබී තිබෙන ඉඩකඩ අවම කළ යුතුය. අවතැන්වූවන්ගේ ආහාර අවතැන්වූවන්ටම පිසගැනීමට අවශ්‍ය පොදු මුළුතැන්ගෙවල් ක්‍රමයක් ලබාදීමෙන් ආහාරවල තත්ත්වය වැඩි දියුණු කළ හැකිය.
වැසිකිළි පහසුකම් පුළුල් කළ යුතුය. වෛද්‍යවරුන්ගේ හිඟයට ද පිළියමක් සොයාගත යුතුය. මෙවැනි කඳවුරුවල ජීවත්වන අයට මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරම දේ වනුයේ දවසේ කාලය ගත කිරීමට ප්‍රයෝජනවත් දේවල් නැතිකමය. කියවීමට පොත්පත් ලබාදිය හැකි අතර, ගෘහස්ථ ක්‍රීඩා සඳහා පහසුකම් ලබාදිය යුතුය. වෘත්තීය පුහුණුවීම්වලට උනන්දුවන්නන් පුහුණු කරන ක්‍රමයක් ඇති කළ හැකිය. ඇතුළත සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා සාධාරණ මිලකට අවතැන්වූවන්ගේ ශ්‍රමය ලබාගන්නා ක්‍රමයක් ඇති කළ හැකිය. අවතැන්වූවන් අතර වඩුවන්, මේසන්වරුන්, විදුලි කාර්මිකයන් වැනි අය සිටිය හැකිය. අප්‍රේල් කැරැල්ලේ සිරකරුවන් රඳවා තබා ගනු ලැබූ සමහර නිදහස් කඳවුරුවල ගොවිතැන් කොට උපයන ආදායම් ඔවුන් අතට පත් කරන ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර, ඒ මගින් සාර්ථක හා ආර්ථික වශයෙන් ඵලදායී ගොවිපළවල් ක්‍රමයක් ඇතිවිය.
එවැනි ක්‍රම ද අත්හදා බැලිය හැකිය. නැගෙනහිර අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය සාර්ථක ලෙස ජයගැනීමට ආණ්ඩුව සමත් විය. නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ සියලු මහා මාර්ග ප්‍රතිසංස්කරණය කරන ලද අතර, අලුතෙන් ධීවර වරායන් දෙකක් ඉදිකර තිබේ. කුඹුරු අක්කර 130,000ක් අලුතෙන් වගා කරන ලද අතර, නව වාරිමාර්ග ක්‍රම සඳහා ද සැලසුම් සකස් කර තිබේ. අවතැන්වූවන් වැඩි පිරිසක් වඩා හොඳ නිවාසවල පදිංචි කර තිබෙන අතර, එල්ටීටීඊ පාලන යටතේ පැවති ප්‍රදේශවල ඉදිකළ නිවාසවලට විදුලි බලය හා ජල පහසුකම් ද ලබාදී තිබේ. නැගෙනහිර සංවර්ධන වැඩපිළිවෙල ජයගැනීමේ ගෞරවය ලැබිය යුත්තේ බැසිල් රාජපක්ෂටය. සහෝදර සමාගමේ සහෝදරයන් දක්ෂ වැඩකාරයන් වීම රාජපක්ෂ ආණ්ඩුවට ශක්තිය ලබාදෙන වැදගත් උල්පතක් වී තිබේ. උතුරේ අවතැන්වූවන් පිළිබඳ ප්‍රශ්නය නැගෙනහිර ප්‍රශ්නයට වඩා විශාල වුවත්, එම ප්‍රශ්නය ද සාර්ථක ලෙස ජයගත යුතුව තිබේ.
උතුරු සංවර්ධනයට අවශ්‍ය සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කාර්ය සාධක බලකායකට එකම දෙමළ ජාතිකයකුවත් ඇතුළත් නොවීම ආශ්‍රයෙන් මතුවී තිබුණු විවේචනයට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් දෙමළ ජාතිකයන් දෙදෙනෙකු ඊට ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය ද ප්‍රශස්ත තීරණයක් ලෙස සැලකිය හැකිය. හඳුනාගැනීමේ ක්‍රියාවලිය අවසන්වීමෙන් පසුව යුද හමුදාවට කඳවුරු සංකීර්ණයේ ආරක්ෂාව භාරදී, අභ්‍යන්තර පාලනය පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව ඒ සඳහා ඇති කරන නව ආයතනයකට බාරදීමෙන් මෙම කඳවුරුවල තත්ත්වය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල තත්ත්වයකට ගෙනයා හැකිය.