අන්තර්ජාලයේ පවත්වාගෙන යන වෙබ් අඩවිවලටද අන් ජනමාධ්‍යවලට බලපාන ආචාර ධර්ම හා නීති බලපෑ යුතු බවට තර්ක කැරෙන ලිපි දෙකක් මීට පෙර රාවයේ පළවිය. ඕනෑම මාධ්‍යයක් මගින් කැරෙන වාර්තාකරණයක් සත්‍ය කරුණු මත පදනම් විය යුතු බවත්, ව්‍යාජ කරුණු මත කැරෙන වාර්තාකරණයන්හිදී ඒ මගින් අගතියට පත්වන්නන්ට නීතිය මගින් සහන ලබාගැනීමේ අයිතියක් තිබිය යුතු බවත් අන්තර්ජාල මාධ්‍යයට පමණක් එම සම්ප්‍රදායෙන් පරිබාහිරව ක්‍රියාකිරීමේ නිදහසක් තිබිය යුතු නැති බවත් එම ලිපි දෙකෙන්ම මා ඉදිරියට ගෙනා ප්‍රධාන මතය වීයැ”යි කිව හැකිය.
නාලක ගුණවර්ධන පසුගිය රාවයට “සයිබර් අවකාශයට කරගසන්නට පෙර” යන හිසින් ලියන ලද ලිපිය මා ඉහත කී ලිපි දෙකෙන් මතු කළ මතවාදය ද සැලකිල්ලට ගෙන ලියන ලද ලිපියක් ලෙස සැලකිය හැකිය. අන්තර්ජාල විෂය පිළිබඳව නාලක ගුණවර්ධනට තිබෙන දැනුම පිළිබඳව මට වාදයක් නැත. මා ද ඔහුගේ කොලම ආසාවෙන් කියවන්නකු ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහු එම ලිපියෙන් අන්තර්ජාල භාවිතයේ නිදහස පිළිබඳව දෙන පණිවුඩය වැරදිය.
ඔහු කියන්නේ අන්තර්ජාල මාධ්‍ය මෙතෙක් පැවති මාධ්‍යවලට වඩා අහසට පොළොව මෙන් වෙනස් බවය. ඒ නිසා අනෙක් මාධ්‍ය කෙරෙහි බලපාන නීති හා සම්ප්‍රදායයන් අන්තර්ජාලයට වලංගු නැති බවය. ඒ නිසා එය ලොකු අලුත් අත්දැකීමක් ලෙස සලකා එය සමග ජීවත්වීමට අප හුරු පුරුදු විය යුතු බවය. ඔහු එය පාලකයන්ට එරෙහිව පාවිච්චි කළ හැකි ප්‍රබල අවියක් යන කරුණට සීමාවී මා වල්බූරු නිදහස ලෙස විස්තර කරන තත්ත්වයෙන් මනුෂ්‍ය ශිෂ්ටාචාරයට විය හැකි හානිය මුළුමනින් නොසලකා හැර තිබෙන බවද කිව හැකිය.
ඔහු සිය තීසිසය ගොඩනගා තිබෙන ආකාරය සලකා බැලීම වැදගත්ය.
පත්තර හා සඟරාවලට සීමාවී තිබූ ලෝකයට 19 වැනි සියවසේදී ඡායාරූප ශිල්පය හා සිනමාව එකතු වූ බවත්, ඉන්පසු 20 වැනි සියවසේදී රේඩියෝව, රූපවාහිනිය හා වීඩියෝව එකතු වූ බවත් ඒ සියලු මාධ්‍ය ප්‍රධාන ප්‍රවාහයේ නීති හා සම්ප්‍රදායයන්ට ඉක්මනින් අනුගත වූ බවත් ඒ ආකාරයටම අන්තර්ජාලයත් ඒ දේ ම කළයුතුයැ“යි තර්ක කිරීම සාධාරණ නොවන බවත් ඔහු කියයි.
මෙම මාධ්‍ය වර්ග දෙක අතර තිබෙන මහා වෙනස පැහැදිලි කිරීම සඳහා ඔහු ලස්සන උපමිතියක්ද ඉදිරිපත් කරයි.
මුද්‍රිත ජනමාධ්‍ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මහා සාගරයටත් සමාන කරන ඔහු අන්තර්ජාල මාධ්‍ය සමකරන්නේ අභ්‍යවකාශයටය. මෙම දැවැන්ත ප්‍රවාහයේ වෙනස්කම පෙන්වා දෙන අතර පැරණි ප්‍රවාහයට බලපාන නීති හා සම්ප්‍රදායයන් ඊට වලංගු නැති බව පෙන්නුම් කිරීම සඳහා යොදා ගන්නේ ගුරුත්වාකර්ෂණයේ තර්කයයි. සාගරයට හා ගොඩබිමට ගුරුත්වාකර්ෂණය වලංගුය. එහෙත් අභ්‍යවකාශයට එය වලංගු නැත. ඔහුගේ උපමිතිය ලස්සනය. එහෙත් ඔහු එම ලස්සන රෝසමල් යහනාවේ තබාගෙන අප රැගෙන යන්නේ ලස්සන තැනකට නොව, අවලස්සන අරාජිකවාදයකටය. අන්තර්ජාල අරාජිකත්වය ඉතාමත් සුවිශේෂ අවස්ථාවක් ලෙස සලකා එය විඳින්නට, ඉවසන්නට හා ඒ සමග ජීවත් වන්නට හුරු පුරුදු වන ලෙස ඔහු අපෙන් ඉල්ලා සිටියි.
බලයේ විවිධ අවස්ථා හා ප්‍රභේද ගැන හොඳම විශ්ලේෂණය කර තිබෙන්නේ බර්ට්‍රන්ඩ් රසල්ය. බරපතළ සීමාසහිතකම් තිබියදීත් දේශපාලන බලයේ ශීලාචාරම ප්‍රභේදය ලෙස ඔහු දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඔහුට අනුව ඒකාධිපති තත්ත්වයන් ඉතාමත් නරකය. එහෙත් ඒකාධිපති තත්ත්වයකටත් වඩා අරාජකවාදී තත්ත්වයක් බියකරුය. අරාජික තත්ත්වයන් වළකා ගැනීම සඳහා, ඒකාධිපති තත්ත්වයකට වුවද පක්ෂවීමේ වරදක් රසල් දකින්නේ නැත.
නිදහස නිරපේක්ෂ නැත. මට මහපාරේ බස්තමක් වන වනා යෑමේ නිදහස තිබෙන්නේය. එහෙත් එය පාරේ යන වෙනත් අයගේ ඇඟවල වැදෙන ලෙස වන වන යෑමේ නිදහසක් මට නැත. මා නිදහසේ එම සරල සීමාවට ගරු නොකරන තරමේ නිදහස්කාමියකු වේ නම් මා සිටිය යුත්තේ නිදහස් සමාජයේ නොව හිරගෙදරක හෝ මානසික රෝහලකය.
ඒ කොන්දේසිය අදහස් පළකිරීමේ නිදහසටද අදාළය. හැම කෙනකුටම අදහස් පළකිරීමේ නිදහස තිබිය යුතුය. එහෙත් අනුන් නින්දාවට හා අපහාසයට ලක්කිරීමේ නිදහසක් තිබිය යුතු නැත. ඒ කොන්දේසිය සියලු ජනමාධ්‍යවලටද අදාළය. සයිබර් අවකාශයේ පළකැරෙන මාධ්‍යවලටද අදාළය. ව්‍යතිරේකයක් තිබෙන එකම තැන නින්දාව හෝ අපහාසය කෙරෙහි බලපාන කරුණු සත්‍ය නම් එය නීති විරෝධී ගණයට වැටෙන අපහාසයන් හෝ නින්දාවක් ලෙස නොසැලකීමය. ලෝකයේ ක්‍රියාත්මක වන අපහාස නීතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපහාස නීතියට සමානය. අපහාස නීතිය අනුව අපහාසයක් ලෙස සැලකෙන්නේ සත්‍ය පදනමකින් තොරව කැරෙන වාර්තාකරණයන් හා අදහස් ප්‍රකාශයන්ය.
නාලක සිය ලිපියේ එකම තැනක තොරතුරු එකතු කිරීමේදී හා බෙදාහැරීමේදී සදාචාරමය රාමුවක් තුළ එය කළයුතු බව පිළිගනී. එහෙත් විග්‍රහයන් හා මත දැක්වීම්වලදී එසේ විය යුතු නැති බව ඔහු කියයි. එහෙත් ඒ පළමු පිළිගැනීම පවා ඔහු කරන්නේ ලාවටය. වැඩි බරක් තබා තිබෙන්නේ අන්තර්ජාලයේ අරාජකත්වය යුක්තිසහගත කිරීම සඳහාය. අපහාස නීතිය අදාළවන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයට පමණක් නොවේ. විග්‍රහයක් හා මත දැක්වීම්වලටද එය අදාළය.
සියලු මිනිසුන්ද ඔවුන්ගේ සියලු ක්‍රියාකාරකම්ද නීතියට යටත්ය. නූතන ශිෂ්ටාචාරය ආරම්භවන්නේ එතැනිනි. නීතිය නොසලකා ක්‍රියාකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. මිනිසකු තවත් මිනිසකුට අසාධාරණයක් හෝ අගතියක් ඇති කරන අවස්ථාවලදී අසාධාරණයට හෝ අගතියට පත්වන පුද්ගලයාට නීතියේ පිහිට ලබාගැනීමේ අයිතියක් තිබෙන්නේය. තිබිය යුත්තේය. පටු අර්ථයෙන් නීතියේ පාලනය යන්නෙන් අදහස් වන්නේද එයයි. එය සාමාන්‍ය මිනිසුන්ට පමණක් නොව අසාමාන්‍ය මිනිසුන්ටද අදාළය. විද්‍යාඥයකුට වුවත් ඔහුට තිබෙන විශේෂ දැනුම ප්‍රයෝජනයට ගෙන අපරාධ කිරීමේ අයිතියක් තිබිය යුතු නැත. සයිබර් අවකාශය පාවිච්චි කරන්නන් අභ්‍යවකාශයේ ජීවත් වන විශේෂ සත්ව කොට්ඨාසයක් වන්නේ නැත. ඔවුහු ද අප අතර ජීවත් වන සාමාන්‍ය මනුෂ්‍යයෝය. ඔවුන් සයිබර් අවකාශය නීති විරෝධී දේවල් කිරීම පිණිස පාවිච්චි කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා ක්‍රමයක් නැතිනම් ක්‍රමයක් ඇති කරගත යුතුය.
ඒකාධිපති පාලකයන්ට එරෙහිව සටන් කිරීමට තිබෙන ඉඩ පමණක් සලකා අන්තර්ජාලය නීතියට යටත් නැති තත්ත්වයක තිබෙන්න ඉඩ හරිමු නම් එයින් සමාජයට විය හැකි විනාශය දැවැන්තය. අන්තර්ජාලය නීතියට යටත් තත්ත්වයකට ගැනීමෙන් ඒකාධිපති පාලකයන්ට එරෙහිව මිනිසුන්ට සටන් කිරීමට තිබෙන ඉඩ අහෝසිවන්නේ නැත. ස්වයං වාරණයක් පවත්වාගෙන යන ජනමාධ්‍ය හැමදාමත් හැම රටකම තිබෙන්නේය. ඉතාමත් දරදඬු පාලනයක් තුළ පවා ඊට වෙනස්ව ක්‍රියාකරන ජනමාධ්‍ය ද හැම රටකම පාහේ ඇත්තේය.
අන්තර්ජාලය ඇති කර තිබෙන අවකාශය ඉතා විශාල හා විප්ලවකාරි වුවත් එය නීතියට යටත් තත්ත්වයකට පත්කිරීමට බැරිකමක් නැත. බැංකු ක්‍රමයක් ඇතිවූ ආරම්භක යුගයේදී කළු සල්ලිකාරයෝද ඔවුන්ගේ ධනය බැංකුවල තැන්පත් කළෝය. කළු සල්ලිවලට එරෙහිව නීති ඇතිවූ විට කළු සල්ලිකාරයෝ බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් බොහෝ දුරට වැළකී සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළෝය. බැංකු ගිණුම්වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැංකු බැඳී සිටියද බදු එකතු කරන ආයතන කරන ඉල්ලීමකදී හෝ උසාවි නියෝගයකදී ගිණුම් හිමියන්ගේ තොරතුරු ලබාදීමට බැංකු නීතියෙන් බැඳී සිටින්නේය.
අන්තර්ජාලයද දැවැන්ත ව්‍යාපාරයකි. සයිබර් අවකාශයට හිමිකම් කියන විශාල සමාගම් ඇත්තේය. අන්තර්ජාලය විවිධ ආකාරවලින් පාවිච්චි කරන්නන් කරන්නේ යාහූ, ගූගල්, ට්විටර් වැනි සමාගම් ලබාදෙන පහසුකම් ප්‍රයෝජනයට ගැනීම පමණය. බැංකුකරුවන් සේ ම එම සමාගම් ද තමන්ගෙන් පහසුකම් ලබාගන්නා අය ගැන දන්නෙහිය. බැංකුකරුවන්ට තැන්පතුකරුවන්ගේ තැන්පතු පිිළිබඳ විස්තර රහසක් නොවන්නා සේ ම මෙම අන්තර්ජාල සමාගම්වලද ඔවුන්ගේ ගබඩාවල අනුන් ගබඩාකොට ඇති තොරතුරු රහසක් නොවන්නේය. මෙම සමාගම් හිමිකරුවන් ජීවත් වන්නේද අභ්‍යවකාශයේ නොව අපේ ලෝකයේ අප සමගය. ඒ නිසා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නීතියට යටත් තත්ත්වයකට ගැනීමට බැරිකමක් නැත.