අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පෙනී යන්නේ යුද්ධයේ අවසානයක් දැකීම එතරම් ම සරල හෝ පහසු නොවන බව ය. මරාගෙන මැරෙන පහරදීම් එල්ල කිරීමට එල්ටීටීඊයට තිබුණු හැකියාව තවමත් සිඳී ගොස් නැති බව ය.
ඔවුන් කොළඹට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසුව එල්ටීටීඊයට කොළඹ නගරයේ විනාශකාරී පහරදීම්වලට ඉඩක් නැති තත්ත්වයක් පවත්වාගෙන යෑමට ආරක්ෂක හමුදා සමත් විය. ඉන්පසු නැගෙනහිර සමහර ප්‍රදේශවල ඔවුන් පවත්වාගෙන ගිය විවෘත ආධිපත්‍යය ද අහෝසි කොට ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ගේ බලප්‍රදේශයට කොටු කිරීමට ද සමත් ව තිබුණි. මෙම කාලය තුළ එල්ටීටීඊ නැව් ගණනාවකට ද පහර දී විනාශ කරනු ලැබී ය. ඒ සියල්ල ඔවුන්ගේ අවාසියට හේතුවන ලෙස සිදුව තිබියදීත් අනුරාධපුර ගුවන් හමුදා මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කොට දැවැන්ත හානියක් ඇති කිරීමට ඔවුහු සමත් වූහ. එයින් පෙන්නුම් කෙරෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගරිල්ලා යුද්ධයක් අවසන් කිරීම සරල හෝ පහසු නොවන බව ය.
දේශපාලන දෘෂ්ටි කෝණයකින් ප්‍රශ්නය දෙස බලන විට පෙනී යනුයේ ආණ්ඩුව හා ආණ්ඩුවේ ආරක්ෂක හමුදා එල්ටීටීඊයට එරෙහිව දැඩි හා අනුකම්පා විරහිත යුද්ධයක නිරතවුවත්, එල්ටීටීඊය දෙමළ ජනතාවගෙන් වෙන් කොට ඔවුන් තනි කරන උපාය මාර්ගයක් එම යුද ව්‍යාපාරය තුළ නොවුණු බවය. මොනම ත්‍රස්තවාදයකටවත් ඉඩදිය යුතු නැත. එහෙත් ත්‍රස්තවාදයට බලපා තිබෙන සමාජ, දේශපාලන හේතු නොසලකා ත්‍රස්තවාදයට පහර දෙන පිළිවෙතක් ප්‍රශස්ථ නැත. ත්‍රස්තවාදයට බිය විය යුතු හෝ දණ නැමිය යුතු නැතත්, ඒ කෙරෙහි බලපා තිබෙන සමාජ ආර්ථික හා දේශපාලන හේතු නො සලකා ත්‍රස්තවාදය පරාජය කරන වැඩපිළිවෙලක් සාර්ථක විය නො හැකි ය.
නැගෙනහිර ජයගැනීමෙන් පසුව හෝ ආණ්ඩුව ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි හා සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරමින් ආයුධ අතහැර ප්‍රධාන ධාරාවට එකතු වන ලෙස එල්ටීටීඊයට බල කරන තැනකට ගියේ නම් හා සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කර තිබියදීත් එල්ටීටීඊය හිතුවක්කාරී වී නම් ඒ සමග ඔවුන්ට එරෙහිව නැවත ආරම්භ කරන යුද්ධයක් ඉතාමත් සාධාරණ යුද්ධයක් වන්නට ඉඩ තිබුණා සේ ම, එවැනි යුද්ධයකට අවශ්‍ය ආශිර්වාදය දෙමළ ජනතාවගෙන් ද ලැබෙන්නට ඉඩ තිබුණි.
ත්‍රස්තවාදය මුලින් උපුටා දැමිය යුතු වුවත්, රටේ දෙමළ ජනතාව මුලින් උපුටා දැමිය යුතු නැත. අප ඔවුන් ආරක්ෂා කළ යුතු ය. ඔවුන්ට දුක්ගැනවිලි ඇත් නම් ඒවාට විසඳුම් ලබා දෙන තැනකට අප යා යුතු ය.
දැන් අප කළ යුත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානය අත් නොහැර පළමු කොට දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාදෙන තැනකට යාම ය.
ඉන්දුනීසියාව අචේ ආරාවුල විසඳා ගත් ආකාරය අපට ආදර්ශයට ගත හැකි ය. අචේ ප්‍රාන්තයට සීමිත ස්වාධිපත්‍යයක් ලබා දෙන ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව එකඟ විය. ඒ සඳහා ගරිල්ලන් කොටස් වශයෙන් හතර වතාවකට ආයුධ අත්හැරීමට එකඟ වූ අතර, අර්බුදයෙන් පසු අචේ ප්‍රාන්තයට යොදා තිබුණු අතිරේක ආරක්ෂක බලකායක් කොටස් වශයෙන් හතර වතාවක දී ඉවත් කරගනිමින් අචේ ප්‍රාන්තය තුළ ආරක්ෂක හමුදාවල පැවතුණ අර්බුදය පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට එකඟ විය. අචේ ගරිල්ලන් සිය ආයුධවලින් 25% ක් පළමු වටයේ බාර දුන් අතර, අචේ ප්‍රාන්තයේ සිටි අතිරේක ආරක්ෂක භටයන්ගෙන් 25%ක් ආණ්ඩුව ඉවත් කර ගත්තේ ය. හතරවන වටය වන විට ගරිල්ලන් සියලු දෙනා ආණ්ඩුවට බාර දී නිරායුධ තත්ත්වයක පැවති අතර, ආරක්ෂක හමුදා ද සියලු අතිරේක හමුදා ඉවත් කරගනිමින් අචේ ප්‍රාන්තයේ ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරීත්වය අර්බුදයට පෙර පැවති සාමාන්‍ය තත්ත්වයට ගෙන ආවේ ය. දැන් ඒ ප්‍රාන්තයේ යුද ගැටුම් නැත. ගරිල්ලන් ප්‍රධාන ධාරාවට එකතු වූ දේශපාලන ව්‍යාපාරයක් බවට පත්විය.
එවැනි විසඳුමක් අප රටට ද හොඳින් ගැලපේ. අප ඉලක්ක කරගත යුත්තේ ද එවැනි විසඳුමකි. එවැනි විසඳුමකට සිංහල මිනිසුන්ට හෝ දෙමළ මිනිසුන්ට විරුද්ධවීමේ හැකියාවක් නැත. •