හොඳ සීයකට
පසුගිය සතියේ ලියන්නට සිතාගෙන සිටියේ ගාන්ධි ගැනය. එහෙත් ලියන්නට සිදුවී ඇත්තේ ගාන්ධි ගැන කතා කිරීම තරම්ම වැදගත් වෙනත් මාතෘකාවක් පිළිබඳවය. ශ්‍රී ලංකාවට ගාන්ධි අදාළ ද නැද්ද යන ප්රශ්නය පිළිබඳව විචාරකයන් ගණනාවක් අදහස් ප්‍රකාශ කර තිබුණි. ඒ අදහස් කියවූ පසු ශ්‍රී ලංකාවට ඇති ගාන්ධිගේ අදාළතාව ගැන ලිවිය යුතුයැයි කල්පනා කළෙමි. එහෙත් ඒ අතරතුර එල්මෝ පෙරේරා සමග දුරකතන සංවාදයක යෙදීමට මට සිදුවිය. ඔහු වෘත්තීයවේදී සංගමයේ නව සභාපතිවරයාය. ශ්‍රී ලංකාවේ මාගේ ගෞරවයට හේතුවී සිටින පුද්ගල නාමලේඛනයට එල්මෝ ගේ නම ද ඇතුළත්ය. මාගේ “නොනිමි අරගලය” පොත පුදනු ලැබූ පුද්ගලයන් සිව්දෙනාගේ නම් අතර, එල්මෝගේ නම ද ඇතුළත්ය. එල්මෝ පෙරේරා හිටපු මිනුම්පතිවරයෙකි. හිතට එකඟව ක්‍රියා කිරීම නිසා නීතිඥකම අත්හිටුවනු ලැබූ නීතිඥයෙකි. හැමදාමත් සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් ප්රතිලාභ අපේක්ෂාවෙන් තොරව ක්‍රියා කළ නිර්භීත හා හිත හොඳ මිනිසෙකි. ඔහු නීතිඥ වෘත්තියේ යෙදී සිටි කාලයේදී සාමාන්‍ය මිනිසුන්ගේ නඩු හබ වෙනුවෙන් පෙනී සිටියේ නොමිලේය. ඔහු නීතිඥයකු ලෙස සේවය කරන අතර, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ද නිර්භීතව පෙනී සිටියේය. ඔහුගේ නීතිඥකම අත්හිටුවීම කෙරෙහි අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔහු කරන ලද අරගලය බලපෑවේය. ඔහුගේ නීතිඥකම අත්හිටවූ විට ඔහු ඒ ගැන හඬා වැළපුණේ නැත. ඒ වෙනුවට ඔහු හැමවිටම කීවේ දැන් දිනපතා උසාවි යෑමට අවශ්‍ය නැති නිසා රටේ පොදු යහපත වෙනුවෙන් සම්පූර්ණ කාලය මිඩංගු කිරීමේ හැකියාව තමන්ට ලැබී ඇති බවය. වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිකමට තරග කොට ජයගැනීමෙන් පසු විද්වත් වෘත්තීයවේදින්ගේ සංගමය රටේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රධාන පෙළේ ආයතනයක් බවට පත්කිරීමට ඔහු උපරිම ශක්තිය යොදා වැඩ කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
මාර්ක් ප්‍රනාන්දු
මෙවර විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප්‍රනාන්දු මහතාය. ඔහු හිටපු අගවිනිසුරුවරයෙකු වන එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතාගේ පුතාය. එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා මා ද විත්තිකරුවකු ව සිටි අප්‍රේල් කැරැල්ලේ මහා නඩුව විභාග කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ සභාපතිවරයාය. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව නියෝජනය කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පස්දෙනාටම ඉතා සියුම් ලෙස දේවල් දැකීමේ හා විවරණය කිරීමේ හැකියාවක් තිබුණා සේ ම ඔවුන් අප්‍රේල් නඩු, විභාග කළේ ද කැරැල්ලේ සමාජ වටපිටාව ද සැලකිල්ලට ගනිමිනි. 78 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාර්යට මාර්ක් ප්‍රනාන්දු මහතා ද දායක වූ බව මා අසා තිබේ. එම ව්‍යවස්ථාවට පැරණි ව්‍යවස්ථාවට ඇතුළත් නොවූ යහපත් අංග තිබුණ ද එය හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය නොහැකිය. එය රටේ වුවමනාවන්ට වඩා ජේ.ආර්. ජයවර්ධනගේ වුවමනාවන් සැලකිල්ලට ගනිමින් පාලකයාට පරම බලය ලබාදෙන ආකාරයට සකස් කෙරුණු ව්‍යවස්ථාවක් යන්න මගේ පිළිගැනීම වේ. එම ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව මට මාර්ක් ප්‍රනාන්දු මහතා පිළිබඳව විවේචනයක් තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් ඔහු ඉටු කරන ලද කාර්ය භාරය අසමසම වේය යන්න මගේ පිළිගැනීමයි. ඔහු ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී මානව හිමිකම් විෂය පථය පළල් කොට ගැඹුරු කළේය. විනිශ්චයකාරවරයෙකු වශයෙන් ඔහු කෙරෙන් පළවූ වැදගත්ම ලක්ෂණය වූයේ පාලකයා පුරවැසි නිදහස සීමාකරන්නට දරන උත්සාහයන්හිදී පාලකයාගේ අත්තනෝමතික බලය සීමා කිරීමට හේතු වන ලෙස නඩු තීන්දු දීමට ඔහු දක්වන ලද උනන්දුවයි.
සාධාරණ හේතුවක් නොමැතිව පළාත් සභා ඡන්ද කල් දැමූ අවස්ථාවක ඊට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් දෙකක් සලකා බැලූ ඔහු පළාත් සභා ඡන්ද පවත්වන්නට නියෝග කළේය. එහෙත් ප්‍රතිඵලය වශයෙන් පවත්වන ලද වයඹ පළාත් සභා මැතිවරණය කලඑළියේ කරන ලද ඡන්ද මංකොල්ලයක් බවට පත්වූ පසු ඉන්පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලදී ද එයට සිදුවූ දේම සිදුවිය හැකි බව ප්‍රකාශ කරමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වළකන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් දෙකක් සලකා බැලූ ඔහු ඉදිරි පළාත් සභා මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා ගන්නට යන පියවර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට හා පොලිස්පතිවරයාට නියෝග කළේය. ඒ සමග පැවති අනෙක් පළාත් සභා මැතිවරණ නිදහස හා සාධාරණ තත්ත්වයකින් පැවතීම කෙරෙහි එම නඩු තීන්දු බලපෑවේය. ජනාධිපතිවරයෙකු ධුර කාලයේ සිටියදී කරන ලද වැරදිවලට එරෙහිව ධුර කාලය අවසන්වීමෙන් පසු නඩු පැවරිය හැකිය යන අර්ථකථනය දෙන ලද්දේ ද ඔහු විසිනි. එහෙත් ඔහුගේ ස්වාධීන ක්‍රියාකාරීත්වය පාලකයන්ගේ සතුටට හේතු නොවීය. අගවිනිසුරු ධුරය දැරඋ ජී.පී. ද එස්. සිල්වා මහතා විශ්‍රාම යෑමෙන් පසු ඇතිව තිබූ එම පුරප්පාඩුව පිරවිය යුතුව තිබුණේ මාර්ක් ප්‍රනාන්දු මහතාගෙන් වුවත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ අවස්ථාව ඔහුට නොදී ඒ වෙනුවට සරත් නන්ද සිල්වා මහතා එම ධුරයට ගෙනාවේ මාර්ක් ප්‍රනාන්දු මහතා විධායකයේ අතකොලුවක් ලෙස යොදා ගත නොහැකි බව තේරුම් ගත් නිසාය. අවසානයේ මාර්ක් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යායුතු වයස සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම ගියේය.
විද්වත් වෘත්තිකයන්ගේ සංවත්සරය අමතා කතා කරමින් මාර්ක් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් දිනාගත හැකිවනු ඇත්තේ මහජන ව්‍යාපාරයකින් පමණක් බවත්, යුක්තියට සංවේදී හොඳ අවංක මිනිසුන් 100ක් එකට එකතු කළ හැකි නම් සාර්ථක මහජන ව්‍යාපාරයකට මුලපිරිය හැකිවනු ඇති බවත්ය. එල්මෝ පෙරේරා සමග කෙරුණු දීර්ඝ දුරකතන සංවාදයේ තේමාව වූයේ මාර්ක් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද එම ප්‍රකාශය හා ඊට අනුබද්ධ කාරණාය. එල්මෝ පෙරේරා මහතාට ඒ ගැන මා සමග සාකච්ඡා කරන්නට අවශ්‍ය වූයේ සමහර විට ඒ සමාන අදහසක් මා විසින් ද ඊට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබුණු නිසාය.
හොඳ මිනිසුන් සියය
මා පළ කළ මතය වූයේ පසුගිය කාලය තුළ විවිධ තලවල යුක්තිය වෙනුවෙන් සටන් කළ අවංකභාවය ගැන යහපත් වාර්තාවක් ඇති සිය දෙනෙකු එකට එකතු කළ හැකි නම් ඒ සියලු දෙනා න්‍යෂ්ටිය කරගනිමින් දේශපාලන ක්‍රමය වෙනස් කර ගැනීමේ අරමුණින් ක්‍රියා කරන ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපහසු නොවනු ඇති බවය.
මා එල්මෝ සමග කතා කළේ එම සියදෙනාගේ ප්රශ්නය ගැනය. මාර්ක් ප්රනා්නදු එම සියදෙනාගෙන් කෙනෙකු වෙන්නට කැමතිදැයි ඔහුගෙන් අසා දැනගන්නා ලෙසත්, ඊට ඔහු ඔව් කියන්නේ නම් ඉතිරි අනුනව දෙනා අපට සොයාගත හැකි බවත් මම කියා සිටියෙමි. මෙම ප්රශ්නය ප්‍රසිද්ධියේ මතු කළ පුද්ගලයා ඔහු බැවින් ඒ ගැන නැවත ඔහුගෙන් විමසීම අවශ්‍ය නොවන බව ද, අප එම අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්නේ නම් ඔහු ද එහි පංගුකාරයෙකු වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
එල්මෝගේ අපේක්ෂාව වී ඇත්තේ ඒ සිය දෙනාගෙන් කිසියම් පිරිසක් විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගමයෙන්ම සොයා ගැනීමය. ඔහු වැඩ කරන සිමොග් ව්‍යාපාරය තුළ එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සුදුසු කිසියම් පිරිසක් සිටින බව මම දනිමි. ඔවුන් බොහෝ දෙනෙකු අනුන්ගේ ධනයෙන් නොව තමන්ගේ ධනයෙන් වැඩ කරන අය වෙති. එම ව්‍යාපාරයට ආවේණික මට පෙනෙන සීමාවන් වන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය බොහෝ දුරට මැදි වයසේ හෝ විශ්‍රාම ගිය වෘත්තීවේදීන්ට සීමාවීම, ප්‍රමාණවත් තරමින් තරුණ තරුණියන්ගෙන් කාන්තාවන්ගෙන් තොර බව හා ඉංග්‍රීසි භාෂාව වැඩ කරන භාෂාව බවට පත් කරගෙන තිබීමයි. රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් කාන්තාවන් වන අතර, ජනගහනයේ තරුණ අනුපාතිකය ද ඉහළ අගයක් ගෙන තිබේ. තරුණ හා කාන්තා ලේ නොමැතිව වැඩිහිටි පුරුෂයන්ගේ ලේවලින් පමණක් මහජන ව්‍යාපාරයක් පැවතිය නොහැකිය. අනෙක් අතට ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවූ ව්‍යාපාරයකට සාර්ථක මහජන ව්‍යාපාරයක් බවට පත්විය නොහැකිය. සිංහල භාෂාවට හා දෙමළ භාෂාවට බර තබා ක්‍රියා කරන තැනකට යා යුතුය.
දේශපාලන ක්‍රමය
දේශපාලන ක්රමයේ මූලික වෙනසක් දිනාගැනීම සඳහා ගොඩනගන ස්වාධීන මහජන ව්‍යාපාරයක් පිළිබඳව මා දරන අදහස් මෙසේය.
ශ්‍රී ලංකාවට අංක එකට අවශ්‍යව ඇත්තේ දේශපාලන ක්රමයේ මූලික වෙනසකි. ඇයි? තිබෙන දේශපාලන ක්‍රමය කරගසාගෙන ශ්‍රී ලංකාවට එක අඩියක්වත් පෙරට යා නොහැකි නිසාය. තිබෙන දේශපාලන ක්‍රමය තුළ පාලකයා වෙනස් කිරීමෙන් රටට යහපතක් වන්නේ නැත. පසුගිය දශක තුන තුළ විටින් විට පාලක පක්ෂය වෙනස් කර ඇතත්, බලයට එන මොනම පාලකයෙක්වත් සිය පූර්වගාමියාට වෙනස් යහපත් පාලනයක් පවත්වාගෙන යෑමට සමත් වී නැත.
තිබෙන ක්‍රමය වෙනස් කරනවා මිස එය ප්‍රතිසංස්කරණය කළ නොහැකිය. තිබෙන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරමට ජරාජීර්ණ වී වී ඇති බව එහි තේරුමයි. 17 වැනි සංශෝධනය දක්වා තවම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන එන ලද මොනම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක්වත් සාර්ථක නොවීමෙන් ඒ බව සනාථ වේ.
තිබෙන දේශපාලන ක්‍රමය වෙනුවට විකල්ප දේශපාලන ක්‍රමයක් අවශ්‍ය වී ඇත්තේ තිබෙන දේශපාලන ක්‍රමය අන්ත දූෂිත හා අකාර්යක්ෂම නිසාත්, පුරවැසියන් පීඩාවට පත්කිරීමෙන් නොනැවතී වර්ගය, ආගම, භාෂාව හා උස් පහත් භේද මත ජාතිය කැබලි කිරීමට හේතුවී තිබෙන නිසාත්ය.
තිබෙන දේශපාලන ක්‍රමය වෙනුවට රටට අවශ්‍ය වී ඇත්තේ දූෂිතභාවයට හා අකාර්යක්ෂමතාවට ඉඩ නොදෙන පුරවැසියන්ගෙන් ලබා ගන්නා බදු වෙනුවෙන් කාර්යක්ෂමනාමෙන් හා ගුණාත්මක අගයෙන් අනූන පොදු සේවාවන් සහතික කරන, වර්ගය, ආගම, භාෂාව හා උසස් පහත් භේදය මත කැබලි වී තිබෙන ජාතිය එකට ඒකරාශී කරන, පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා දේශපාලන ක්රමයකි.
ඒ ඉලක්කය, තිබෙන දේශපාලන පක්ෂයකින් දිනාගත නොහැකිය. කිසිම දේශපාලන පක්ෂයක් තිබෙන දේශපාලන ක්‍රමය වෙනුවට අර්ථවත් විකල්ප දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් පෙනී නොසිටී. තිබෙන දේශපාලන ක්රමයේ කොටස්කරුවන් වශයෙන් තිබෙන ක්‍රමය ආරක්ෂා කරනවා හැරුණු විට නව ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් ද ඒවාට නැත.
එහි තේරුම මහජන ව්‍යාපාරය තිබෙන, දේශපාලන පක්ෂවලට විකල්පයක් වශයෙන් ගොඩනගන දේශපාලන ව්‍යාපාරයක් විය යුතු බව නොවේ. එය දේශපාලන බලය සඳහා තරග කරන හෝ කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට සක්ක ගහන ව්‍යාපාරයක් නොවිය යුතුය.
ජනතාව දැනුවත් කොට නව දේශපාලන ක්‍රමයක් වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටින තැනකට ගෙන ඒම එහි අරමුණ විය යුතුය. ඒ සඳහා මහජන ව්‍යාපාරයේ නායකයන් හා ක්‍රියාධරයන් පළමු කොට තමන් අභ්‍යන්තරික වශයෙන් වෙනස්වෙමින් ඊළඟට සමාජ පරිකල්පනය වෙනස් කරන තැනකට යන ව්‍යාපාරයක් විය යුතුය. තමන් සමාජ ගරුක හා නීති ගරුකවෙමින් සමාජය ද සමාජ ගරුක හා නීති ගරුක කරන ව්‍යාපාරයක් විය යුතුය.
ශ්‍රී ලංකා සමාජය අද සිටින ඓතිහාසික තත්ත්වයන් තුළ සමාජ පරිකල්පනයේ මහා වෙනසක් ඇති කිරීමට දීර්ඝ වසර ගණනක් යන්නේ නැත. මීට වසර දහයකට පෙර ඒ අරමුණ සපුරා ගන්නට ගියේ නම් සමහරවිට ඒ සඳහා වසර දහයක් පමණ ගතවන්නට ඉඩ තිබුණි. එහෙත් මේ වන විට ශ්‍රී ලංකා සමාජය අත්දැකීමෙන් ඉගෙන ගත් සමාජයක් බවට පත්ව තිබේ. දේශපාලන ක්‍රමය හා දේශපාලනඥයන් ගැන සමාජයට ඇත්තේ විශාල කලකිරීමකි. සමාජය සිටින්නේ දේශපාලන ක්රමයේ දූෂිත බව, අකාර්යක්ෂම බව හා පරිපීඩකභාවය අත්දැකීමෙන් යම් පමණකට හෝ තේරුම් ගෙන සිටින තත්ත්වයකය. ඇප කැපවීමකින් ක්‍රියා කරන ප්‍රඥාවන්ත කණ්ඩායමක සාමූහික උත්සාහයකින් සමාජ පරිකල්පනය වෙනස් කළ හැකි තැනකය.
මෙම විෂයේදී අපට උගත හැකි අත්හදා බැලීම් දෙකක් ඇතැයි සිතමි. මා නොදන්නා තවත් එවැනි අත්හදා බැලීම් තිබිය හැකිය.
කහපටි ව්‍යාපාරය
පළමු අත්හදා බැලීම වයඹ පළාත් සභා මැතිවරණ කොල්ලයෙන් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් දිනාගැනීම සඳහා දියත් කෙරුණු කහපටි ව්‍යාපාරය වන අතර, දෙවැනි අත්හදා බැලීම ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් දිනාගැනීම සඳහා දියත් කෙරුණු ව්‍යාපාරයයි. පළමු අත්හදා බැලීම සීමිත අරමුණක් දිනාගැනීම වෙනුවෙන් දියත් කෙරුණු මහජන ව්‍යාපාරයක් වන අතර, දෙවැනි අත්හදා බැලීම ඊට වඩා විශාල අරමුණක් දිනාගැනීම වෙනුවෙන් වෘත්තීයවේදීන් පිරිසක් විසින් දියත් කළ ව්‍යාපාරයක් විය.
පළමු අත්හදා බැලීමේදී සුදුසු න්‍යෂ්ටියක් ගොඩනගා ගැනීම සඳහා හය මාසයක තරම් කාලයක් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් සමග සාකච්ඡා කරන තැනකට යන්නට සිදුවිය. පළමුවෙන් අපගේ අරමුණ වූයේ රටේ සිදුවන වැරදිවලදී නොබියව ඒවා වැරදි බව කියන ස්ථාවරයක් සඳහා ඒ සියලු දෙනා එකඟ කරගැනීමය. තෝරාගත් වෘත්තීය සමිති ගණනාවක් හා බහුජන සංවිධාන ගණනාවක් අතර ඒ සඳහා දීර්ඝ සාකච්ඡාවලියක් සිදුවිය. එකට වැඩ කිරීම සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දීර්ඝ ලෙස වාද විවාද කරන්නට සිදුවිය. ඉන්පසු තෝරාගත් එක් අරමුණක් වෙනුවෙන් ශක්තිය යොමු කිරීමට සාකච්ඡා සිදුවිය. වයඹ පළාත් සභා ඡන්ද කොල්ලය ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක තබාගැනීමේ වැදගත්කම ඉස්මතු වී තිබුණු තත්ත්වයක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා මහජන ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය විය. මහජන කැමැත්ත මහජනයාට සංකේතාත්මකව ප්‍රදර්ශනය කළ හැකි ක්‍රමයක් තිබිය යුතු බව මගේ මතය විය. මහජනයා තුළ නරක තිබිය හැකි වුවත්, ඔවුන් ස්වභාවයෙන් හොඳ බවත් යුක්තියට ගරු කරන බවත් යුක්තියට ඇති පක්ෂපාතීත්වය අහිංසක ලෙස ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබා දෙතොත් ඔවුන් එය ප්‍රදර්ශනය කිරීමට බිය නොවනු ඇති බවත්, මගේ මතය වූ අතර, ගොඩනගා ගෙන තිබූ ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයේ නියෝජිතයන් වැඩි පිරිසක් ඒ මතය පිළිගත්තේය. එහෙත් ඒ සඳහා යොදා ගත යුතු ක්‍රමය පිළිබඳව පැහැදිලි අදහසක් අපට නොතිබුණි. එය ඇඟේ හෝ ඇඳුමේ පළඳින සංකේතාත්මක දෙයක් විය යුතු බව ඒ පිළිබඳව අප දරන ලද මතය විය. අප තෝරා ගත් පාට වූයේ කහපාටය. කහපාට තෝරාගත්තේ එය දේශපාලන පක්ෂයක වර්ණයක් නොවීම හා සියලු ආගම්වලට කහපාට කෙරෙහි ඇති බැඳීම ද සැලකිල්ලට ගනිමින් අවසානයේදී තෝරාගත යුතු සුදුසුම සංකේතය කහ පටියක් බව අපට කියා දුන්නේ වෙළෙඳ ප්රචාරක දැන්වීම්කරුවකු විසිනි. අප එකහෙළා එම අදහස පිළිගත්තෙමු.
දශ ලක්ෂයේ ඉලක්කය
අප අපේක්ෂා කරන ඉලක්කය ද එහිදී සාකච්ඡාවට ලක්විය. අපේ ඉලක්කය අඩුම වශයෙන් දශ ලක්ෂයක් විය යුතු බව මගේ මතය විය. මා එම ඉලක්කය ප්‍රකාශ කළ විට සාකච්ඡා සභාවේ සිටි අත්දැකීම් ඇති ගෞරවයට හේතුවූ පුද්ගලයෙක් සාකච්ඡා සභාවෙන් පිටවී ගියේය. මගේ ඉලක්කය කවදාවත් සපුරාගත නොහැකි මනෝරාජික ඉලක්කයක් බව ඔහු සභාවෙන් පිටවී ගිය පසු තවත් අයෙකු සමග ප්‍රකාශ කර තිබුණි. අපට වැඩිම වුවහොත් සපුරාගත හැකි ඉලක්කය 5000කට වැඩි නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.
අවසානයේ තෝරා ගත් දේශපාලන නායකයන් පිරිසක් උත්සව ශාලාවකට කැඳවා කහපටි ව්‍යාපාරය දියත් කළෙමු. එම උළෙලට ආණ්ඩු පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද, එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ද, ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් වීරවංශ මහතා ද සහභාගි වූහ. අපේ අරමුණ ප්‍රසිද්ධියේ පැහැදිලි කොට දී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවෙන බවට කහපටියක් පැළඳ ගැනීමෙන් සපථ කරන ලෙස දේශපාලන නායකයන්ගෙන් අපි ඉල්ලා සිටියෙමු. ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයේ පිරිසක් දේශපාලන නායකයන්ගේ අත්වල කහපටි පැළඳ වූ පසු එම දේශපාලන නායකයන් උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිස්වල අත්වල කහපටි පැළඳවීය. ජනමාධ්‍යය එම උත්සවයට හොඳ ආවරණයක් ලබාදෙන ලදි. ක්‍රමයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක අවශ්‍යතාව වෙනුවෙන් මහජනතාව කහපටි පළඳින තැනකට ගියේය. පූජනීය ස්ථානවල කහපටි පළඳවන ව්‍යාපාර ක්‍රියාත්මක විය. පෞද්ගලික රූපවාහිනි ආයතනවල නිවේදකයෝ කහපටි පැළඳ ගෙන වැඩසටහන් කළහ. ක්‍රම ක්‍රමයෙන් කහපටි සංකල්පය සමාජගත වෙමින් කහපටියක් පැළඳගෙන සිටීම සමාජ මෝස්තරයක් බවට පත්විය. කහපටි ව්‍යාපාරයේ ජනප්‍රියතාව උච්චතම තැනකට ගෙනාවේ සුසන්තිකාය. ඇය කහපටියක් පැළඳගෙන මුළු ලෝකයට පෙනෙන ලෙස ඇගේ ඔලිම්පික් ඉසව්වට දිව්වාය. ඇගේ එම ක්‍රියාව ජනාධිපතිනියගේ හා ක්‍රීඩා ඇමතිවරයාගේ කෝපයට හේතුවී ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමෙන් පසුත්, ඇයට ශ්‍රී ලංකාවේ නිල උත්සවයක් ලබාදීම ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය. ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය ඇය කටුනායක ගුවන් තොටුපළේදී භාරගෙන ඇයට විකල්ප පිළිගැනීමේ උත්සවයක් ලබා දුන්නේය. ඇය පිළිගැනීමට මග දෙපස රැස්වූ දස දහස් ගණන් මහජනතාවට ඇය කහපටි බෙදා දුන්නාය.
කහපටි ව්‍යාපාරය ආරම්භයේ එහි එදිනෙදා කටයුතු සිදු කෙරුණේ සාමාජිකයන්ගේ සාක්කුවල තිබෙන මුදල්වලිනි. එය විදේශ ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් නොවීය. එය ජනප්‍රිය වන විට ආධාර ගලා ආ අතර, ලැබෙන බොහෝ ආධාර ලබා ගත්තේ මුදලින් නොව ද්‍රව්‍යයෙනි. අවසානයේ අපේක්ෂා කළ ඉලක්කය අභිබවා යෑමට අපට හැකිවිය.
සාධාරණ හා යුක්තිසහගත අවශ්‍යතාවක් වෙනුවෙන් සරල ලෙස හා අහිංසක ලෙස දායකවීමට අවස්ථාවක් මහජනතාවට ලබා දුන් විට මහජනතාව ඊට ක්‍රියාකාරී ලෙස දායක කරගැනීම දුෂ්කර නොවන බව ඉන් පෙනී යයි. අරමුණ පැහැදිලි විය යුතුවා සේ ම, ප්‍රබල ද විය යුතුය. මහජනතාවට දායක වීම සඳහා එක ආකාරයක් නොව ආකාර සිය ගණනක් තිබිය යුතුය.
ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක්
දිනගැනීමේ ව්‍යාපාරය
ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් වෙනුවෙන් වන ව්‍යවස්ථා සංශෝධනයක් දිනාගැනීම සඳහා දියත් කෙරුණු වැඩපිළිවෙළ ඊට වෙනස් ආකාරයට දියත් කෙරුණු ව්‍යාපාරයක් විය. ව්‍යාපාරයේ නිර්මාතෘ ලෙස ක්‍රියා කළේ එල්මෝ පෙරේරා ප්රමුඛ විද්වත් වෘත්තීයවේදීන් පිරිසකි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ මහජනයා එකඟ කරවා ගැනීම නොව දේශපාලන පක්ෂ එකඟ කරවා ගැනීමය. ඒ සඳහා ඔවුහු ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කළේය. එම කෙටුම්පතට දේශපාලන පක්ෂ එකඟ කරවා ගැනීමේ උත්සාහයක නිරත වූහ. අවසානයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම එජාපය කරට ගත්තේය. එම පක්ෂය තමන්ට ලැබුණු මුල් කෙටුම්පත වෙනුවට නව කෙටුම්පතක් සිය නීතිඥයන් ලවා සකස් කළේය. එහිදී පැරණි කෙටුම්පතේ එන වැදගත් මූලධර්ම ගණනාවක් විකෘති කොට තිබුණි. රාවය ඒ ගැන ප්‍රසිද්ධ විවේචනයක යෙදුණේය. එක්සත් ජාතික පක්ෂය විද්වත් වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජිත කණ්ඩායමක් සමග සාකච්ඡා කොට අලුත් කෙටුම්පතක් නැවත සකස් කළේය. එහි විකෘති වී තිබුණේ ව්‍යවස්ථා සභාවට නියෝජිතයන් පත් කෙරෙන මූලධර්මය පමණය. මේ අතර වාරයේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ තිබුණු බහුතර බලයක් අහිමි වන තත්ත්වයක් ඇතිවිය. එම අර්බුදය සිය වාසියට හරවා ගැනීම පිණිස ජවිපෙ ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩුවක් ඇති කරගැනීම සඳහා එකඟතාවක් ඇති කර ගත්තේය. පරිවාස ආණ්ඩුවක් සඳහා ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි අතර ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් සඳහා වන යෝජනා ඇතුළත් කෙටුම්පත ප්‍රධාන කොන්දේසියක් විය. අවසානයේ විශාල විකෘති කිරීම් මධ්‍යයේ වුවත්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඒකමතිකව හොඳ සීයකට… 9 පිටුවෙන්
සම්මත වී එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුශාංගික කොටසක් බවට පත්විය. පාර්ලිමේන්තුවෙන් පිටස්තර පිරිසක් සැලසුම් කොට නීතිගත කෙරුණු පළමු ව්‍යවස්ථා සංශෝධනය එය විය. මේ වන විට සියලු දේශපාලන පක්ෂ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් එකට එකතු වී එම ව්‍යවස්ථා සංශෝධනය මළ ව්‍යවස්ථා සංශෝධනයක් බවට පත් කර ඇතත්, පරමාර්ථ අවංක නම් ඒ සඳහා වන බලවත් උත්සාහයක් ද ඇති නම් ව්‍යවස්ථා සංශෝධනයක් පවා දිනාගැනීමට බැරිකමක් නැති බව ඉන් පෙන්නුම් කරයි.
මා හිතන අන්දමට විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කෙටුම්පතක් සකස් කිරීමේ කාර්යය තෝරාගත් වෘත්තීයවේදීන් සුළු පිරිසකට සීමා නොකොට එය මහජනයා සම්බන්ධ කරගන්නා මහජන ව්‍යාපාරයක් බවට පත්කර ගත්තේ නම්, වඩා පරිපූර්ණ කෙටුම්පතක් සකස් කරගැනීමට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම එය දේශපාලකයන්ට මරා දැමිය නොහැකි දෙයක් බවට පත්කර ගන්නට ද ඉඩ තිබුණේය.
පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික සාකච්ඡාව
මෙම අත්දැකීම් දෙකට වඩා සරල විය හැකි වුවත්, සාකච්ඡාවට ලක් කළ යුතු තුන්වැනි අත්දැකීමක් ද තිබේ. කහපටි ව්‍යාපාරයෙන් පසුව ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානය දේශපාලන ක්‍රමය වෙනස් කර ගැනීම සඳහා අවශ්‍ය මූලධර්ම පිළිබඳව දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කරගැනීමේ උත්සාහයක නිරත විය. ඒ සඳහා වන සර්ව පාක්ෂික සමුළුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවක පැවැත්වීමට හැකිවිය. එම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් ද, එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ නියෝජිත පිරිසක් ද, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයන් ද සහභාගි විය.
එහිදී සාකච්ඡාවට ලක්වූ කෙටුම්පතට පසුකලක දේශපාලන අර්බුද ඇති කිරීමට හේතුවූ හැම වැදගත් කරුණක්ම ඇතුළත්ව තිබුණි.
ඊට ඇතුළත්ව තිබුණු මූලික කරුණු මෙසේය.
1. විධායක ජනපති ක්‍රමය වෙනස් නොකරන්නේ නම්, විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන තැනකට ගැනීම.
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ජනාධිපතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝගයක් සඳහා දැනට යොදා තිබෙන විධි විධාන ක්රමානුකූල කිරීම.
3. ජනාධිපති ධුරය හැරුණු විට ජනාධිපතිවරයාට වෙනත් ඇමති තනතුරු දැරීමට තිබෙන අයිතිය සීමා කිරීම.
4. මුක්තියේ අයිතිය ප්‍රතිසංවිධානය කිරීම.
5. කැබිනට් මණ්ඩලය තීරණය කිරීමේ බලය තේරී පත්වන අගමැතිවරයාට ලබාදීම.
6. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම.
7. පක්ෂයක තිබිය යුතු අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස තහවුරු වන ආකාරයට පක්ෂ ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම.
මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලට එහිදී කිසිම පක්ෂ නායකයකු විරුද්ධ වූයේ නැත. එහෙත් එම අදහස් ගොනුව තර්කානුකූල අවසානයකට ගෙන යන වැඩපිළිවෙළක් ප්රජාතන්ත්රවාදය සඳහා වන සන්ධානයට නොතිබුණි.
කුමක් කරමුද?
නව දේශපාලන ක්‍රමයක් දිනාගැනීම වෙනුවෙන් දියත් කෙරෙන මහජන ව්‍යාපාරයක එක් ප්‍රධාන අරමුණක් විය යුත්තේ සියලු දෙනාට පිළිගත හැකි සියලු දෙනාගේ ගෞරවයට හේතුවන දේශපාලන ක්‍රමයක් සඳහා දේශපාලන පක්ෂ එකඟ කරවා ගැනීමය. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජනයා සම්බන්ධ කරමින් එම ක්‍රියාවලිය නිවැරදි පීල්ලේ ගමන් කරන තැනක තබාගැනීමය. එම ක්‍රියාවලිය මහජන පරීක්ෂාවට ලක්වන තත්ත්වයක තබාගැනීමය. ඒ ක්‍රියාවලියේදී දේශපාලන නායකයන්ට මහජනතාව රවට්ටන්නට ඉඩ නොදීමය. කොටින්ම හොරකමට, දුෂණයට හා වංචාවට ඉඩක් නැති, අකාර්යක්ෂමතාවට ඉඩක් නැති, බදු ගෙවන පුරවැසි ජනතාවට කාර්යක්ෂම හා ගුණාත්මක අගයෙන් යුතු මහජන සේවාවන් සහතික කරන, මහජනයාට වගකියන පාලන ක්‍රමයක් හා නීතිය හා යුක්තිය රජයන කැබලිවෙමින් තිබෙන ජාතිය එකට ඒකරාශී කරන නව දේශපාලන ක්‍රමයකට අවශ්‍ය නීති සම්පාදන ක්‍රියාවලිය ජයගෙන පරිපූර්ණ තත්ත්වයකට ගැනීමය.
නව ශ්‍රී ලංකාවක් සඳහා සිහින දකින්නන් අතර දකින සිහිනවල වෙනස්කම් තිබිය හැකි වුවත්, ඒ සිහින දකින්නන් සියලු දෙනාට පොදුවේ පිළිගත හැකි සිහිනයක් මවා ගනිමින් එම පොදු සිහිනය සැබෑ කරගැනීම සඳහා කිසියම් කලක් ඇප කැපවී ක්‍රියා කළ හැකි නම්, ඒ සිහිනය සැබෑ කරගැනීමේ හැකියාවක් පවතී.
මෙම ලිපියේ එන අදහස් ගැන පාඨක ඔබට ද අදහස් පළ කළ හැකිය. නිශ්ශබ්දව බලා සිටිනවාට වඩා සංවාදයක යෙදීම ඵලදායකය.
එල්මෝ පෙරේරා එකතු කරන්නට යන සිය දෙනාගෙන් කෙනෙකු වීමට ඔබට සුදුසුකම් තිබේ නම් ඔහුගේ 0777680056 දරන ජංගම දුරකතනයට හෝ නිවසේ 011-2687102 දරන දුරකතනයට කතා කරන්න.•