අධි ආරක්ෂිත වාහන ආශ්රයෙන් මතුවී තිබෙන ප්රශ්නවලට ජනාධිපතිනිය පිළිතුරු දි ඇති බැවින් ඒ ගැන මින් මතු කරුණු විමසීමක් නොවිය යුතු බවත්, ජනාධිපතිනියට එරෙහිව කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනයකට පරීක්ෂණ කළ නොහැකි බවත්, පසුගිය සතියේ ජනාධිපතිනිය වෙනුවෙන් ජනාධිපතිනියගේ මාධ්ය ප්රකාශකයා නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබුණි.
මෙවැනි ක්රමයක් තිබිය හැක්කේ ඒකාධිපති රාජ්ය ආණ්ඩු ක්රමයක පමණ ය. මේ රට ජනාධිපතිනියගේ නින්දමගමක් නොවේ. රටේ රාජ්ය නායිකාව වශයෙන් ව්යවස්ථාවෙන් ඇයට කොතරම් බලතල ලැබී ඇතත්, ඇය මහජනයා පත්කළ රාජ්ය නායිකාවක වේ නම්, රාජ්ය පාලනයට අදාළ ඇගේ සියලු කටයුතුවලදි විනිවිදභාවය පිළිබඳ මූලධර්මය ඇයට ද අදාළ විය යුතු ය.
අධි ආරක්ෂිත වාහන මිලදි ගැනීම ආශ්රයෙන් ඇයට එල්ල වී තිබෙන චෝදනාව නො වැදගත් හෝ අති සරල චෝදනාවක් ලෙස සැලකිය නො හැකි ය. ඇය එම විවාදය ආරම්භයේදි පුන පුනා කීවේ අධි ආරක්ෂිත වාහන ඕනෑම මොහොතක මිලදි ගැනීමේ හැකියාවක් නැති බවත්, හැමවිටම අවශ්යතාවන්ට ගැලපෙන ලෙස ඒවා නිෂ්පාදනය කරවා ගත යුතු බවත් ය. එහෙත් ඇය අලුත් ම අලුත් වාහන ලෙස ගෙන්වා ඇත්තේ පාවිච්චි කළ පරණ වාහන ය. පාවිච්චි කළ පරණ වාහනවලට ගෙවා ඇත්තේ අලුත් වාහන සඳහා ගෙවන මිල නම්, ඒ ගනුදෙනුව කළ කවුරුන් නිසා හෝ වගකිවයුතු හොරකමක් සිදුවී ඇත. ඇය මේ සියලු වාහන සඳහා වියදම් කොට ඇත්තේ ඇගේ පෞද්ගලික බූදලයෙන් නම් එය වෙනම ප්රශ්නයකි. එහෙත් ඒ සියලු ගෙවීම් කර ඇත්තේ මහජන මුදලින් නම්, ඒ ගැන ප්රශ්න කිරිමේ අයිතියක් මහජනයාට තිබිය යුතු ය.
එම දූෂිත ගනුදෙනුවේ තිබෙන එකම බරපතල වැරැද්ද එය පමණක් නොවේ. ඇයට වාහන මිලදි ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙන්කර තිබුණේ රුපියල් මිලියන 68ක් පමණ ය. එහෙත් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ඇය මෙම වාහන මිලදි ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 2500කට ආසන්න මුදලක් වැය කර තිබේ. එය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ සියලු පිළිගත් මූලධර්මවලට පටහැනිවන අතර, එය රාජ්ය පාලනයේදි දෝෂාභියෝගාත්මක වැරදි ගණයට වැටෙන වරදකි. එතරම් බරපතල වරදකට පවා දඬුවමක් නැතිනම් දූෂණ වැරදි පිළිබඳව ඊට වඩා පහළින් සිටින අය පසුපස එලවීම අපරාධයකි.
ආණ්ඩුව සාමය නාමයෙන් හෝ වෙනත් ඕනෑම දෙයක නාමයෙන් මේ වරදට එරෙහිව ක්රියා නොකරයි නම්, එහි තේරුම වනු ඇත්තේ තමන්ට ද එවැනි වැරදි කිරීමට ඉඩක් තබාගැනීම පිණිස එසේ කරන බව නොවේ ද?