අන්තෝජටා බහිජටා තත්ත්වයක්

October 5, 2003
Publication:
Ivan argues that anti-government and nationalist forces are converging: after the SLFP–JVP alliance talks collapsed, pro-alliance elements in the SLFP are pushing the President back towards the JVP, which now demands through Wimal Weerawansa that the SLFP drop devolution. He likens her position to her father's after the Bandaranaike–Chelvanayakam pact, notes the JVP's drift from the red flag to the lion flag, and blames Ranil Wickremesinghe for ceding public debate on reform to nationalists, risking an independent North and a bloodstained South.

රටේ ආණ්ඩු විරෝධී බලවේගයන් හා ජාතිවාදි බලවේගයන් එකට ගොනුවෙමින් එක්ව ක්‍රියා කරන තත්ත්වයක් ගොඩනැගෙමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ හා පොදු පෙරමුණ අතර ඇති කරගන්නට ගිය සන්ධානයේ බිඳ වැටීමක් ඇති වුවද ඒ සමග ආණ්ඩු පක්ෂෂය හා පොදු පෙරමුණ අතර සමීපතාවක් ඇති නොවීම හේතු කොට ගෙන ශ්‍රීලනිප තුළ සන්ධානයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින අය බලවත් වෙමින් ඔවුන්ගෙන් එල්ලවන බලපෑම් ඉදිරියේ ජනාධිපතිනිය ඉදිරියට තැබූ අඩිය ආපස්සට ගන්නා තැනකට තල්ලු වෙමින් සිටින බවක් පෙනී යයි.

මොන තරම් මතභේද තිබුණත් ඒවා නොසලකා ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානයක් ඇති කර ගත යුතුය යන්න ශ්‍රීලනිප තුළ සිටින, විවිධ හේතු නිසා ඉක්මන් ආණ්ඩු පෙරළියක් බලාපොරොත්තු වන අයගේ අපේක්ෂෂාව වී තිබේ. පසුව ඇතිවිය හැකි දේවල් ඔවුන්ට වැදගත් නැත. ජවිපෙ සමග සන්ධානයක් ඇති කර ගැනීම මගින් ඉක්මණින් ආණ්ඩුව පරාජය කොට තමන් අතට බලය ලබා ගත හැකි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ උපාය මාර්ගය වූයේ ද, ශ්‍රීලනිප යේ ශක්තියට සිය ක්‍රියාකාරිත්වය එකතු කරන ක්‍රියාමාර්ගයක් මගින් ආණ්ඩුව පරාජය කොට ඉන් පසු ගොඩ නැගෙන සන්ධාන ආණ්ඩුවේ තෝන්ලණුව තමන් අතේ තබා ගැනීමය.

ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වී ආණ්ඩුව පරාජය කළ හැකි වුවත් ඒ නිසා ඇතිවිය හැකි අවසාන ප්‍රතිඵලය බිහිසුණු විය හැකි බව ජනාධිපතිනිය දන්නේ ය. විරුද්ධ පක්ෂෂය ක්‍රියාකාරි තත්ත්වයක තබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සඳහා තමා කතා කරන අතර ස්ථිර සන්ධානයක් ඇති කර ගැනීමෙන් වැළකී සිටීම ඇගේ උපායමාර්ගය විය. ජනාධිපතිනිය තමන් මුළා කරමින් සිටින බව තේරුම් ගත් වහාම ජවිපෙ කළේ සන්ධාන සාකච්ඡා අවසන් කිරීමය. ශ්‍රීලනිපය තුළ සිටින සන්ධානයට පක්ෂෂපාත බලවේගයන් ජනාධිපතිනියට එරෙහිව නැගී සිටින තත්ත්වයකට තල්ලුවී යනු ඇතැයි ඔවුන් දැන සිටියා විය යුතුය.

ජවිපෙ සිය සාමාජිකයන්ගේ මනස් සකස් කර තිබුණේ සන්ධානගත වැඩපිළිවෙළක් සඳහාය. එය ඔවුන්ට එතරම් හුරු දෙයක් නොවූ නිසාම ඒ සඳහා අවශ්‍ය මානසිකත්වයක් ඇති කිරීම සඳහා තමන්ගේ සමස්ත වැඩ පිළිවෙළ ඒ අරමුණ වටා ගොනු කරමින් සමස්ත ක්‍රියාකාරිත්වයම ඒ අරමුණ වෙනුවෙන් යොමු කිරීමට සිදුවිය. එහෙත් සන්ධානය බිඳ වැටීම සන්ධානයක් අපේක්ෂෂාවෙන් සිටි සාමාජිකයින් තුළ පසුබැසීමක් මිස ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වූයේ නැත. ඒ තත්ත්වය ඉදිරියේ පසුබෑමක් ඇති නොවීම පිණිස කෙසේ හෝ නැවත සන්ධානය ඇතිකරගත යුතු බව තේරුම් ගනිමින් සන්ධානයට එරෙහිව ගිය ජනාධිපතිනියට පහර දෙන පිළිවෙතකින් වැළකී ශ්‍රීලනි පාක්ෂෂිකයින්ගේ විශ්වාසයට හේතු වන මටසිළුටු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

දැන් ජනාධිපතිනිය ඉන්නේ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් පසුව සිය පියා ඇද වැටී සිටි තත්ත්වයට සමාන තත්ත්වයකය. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක කළේ තමන් ඇති කරගෙන තිබූ විශ්වාසයට පටහැනිව බලය ලබා ගැනීමේ අරමුණ ජය ගැනීම සඳහා සිංහල ජාතිවාදි බලවේගයන් ට එකතු වෙමින් එහි ප්‍රධාන ප්‍රකාශකයා බවට පත්වීමය. එහෙත් බලය ලබා ගැනීමෙන් පසුව මුහුණ දෙන්නට සිදුවූ ප්‍රශ්න ඉදිරියේ තමන් තුළ වූ පැරණ විශ්වාසයන්ට අනුව යමින් චෙල්වනායගම් සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. එහෙත් ඊට එරෙහිව තමන් විසින්ම පෝෂණය කළ ජාතිවාදි බලවේගයන් වෙතින් එල්ල වූ පීඩනය ඉදිරියේ ගිවිසුම ඉරා දමන තැනකට ගියේය.

ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කරගන්නා සන්ධානයක් නිසා ඇතිවිය හැකි විනාශය පිළිබඳව ජනාධිපතිනියට අවබෝධයක් ඇතත් දැන් ඇය සිටින්නේ අකමැත්තෙන් සන්ධානයට යන තැනක මිස ඊට එරෙහිව යා හැකි තැනක නොවේ.

දැන් ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ කියන්නේ බලය බෙදා හැරිම පිළිබඳව ශ්‍රීලනිප දරන අදහස වෙනස් කළ යුතු බවත් ඒ හැර තමන් වෙනත් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරන බවත් ය. ඉන් කියන්නේ අප සමග එකතු වීමට අවශ්‍ය නම් තමන් තරමටම ශ්‍රීලනිප ජාතිවාදි විය යුතු බවය.

ජවිපෙ තුළ හැමදාමත් මාක්ස්වාදි සළුපිළිවලින් වසා ගත් ජාතිවාදි නැඹුරුවක් තිබුණි. එහෙත් ඔවුන් නාමධාරි අන්ත ජාතිවාදි පුද්ගලයින් සමග එකට වැඩ කරන තත්ත්වයකට නොගියේ ය. සිරිල් මැතිව් දේශනාකළ ඇතැම් දෙමළ විරෝධී උසිගැන්වීම් සිරිල් මැතිව්ගේ නම නොමැතිව සිය දේශපාලන පන්තිවලට ඇතුළත් කරගත්තත් කිසිවිටෙක ඔහු සමග එකට වැඩ කරන තත්ත්වයකට නොගියේ ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නැඹුරුව ඊට වෙනස්ය. ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින නාමධාරි පුද්ගලයන් සමග පවා එකට ක්‍රියා කරන තත්ත්වයකට දැන් ඔවුන් යොමු වෙමින් සිටී. දැන් ඔවුන් තමන්ට හුරු පුරුදු රතු ධජය අතහැර සිංහ කොඩිය අතට ගන්නා තැනකට යොමු වී සිටී.

සමාජ බලවේගයන් පාලනය කිරීමට ආණ්ඩුවට තිබුණු හැකියාව ක්‍රමයෙන් ගිලිහී යමින් පවතී. රාජ්‍යයේ ඇති කරන ප්‍රතිසංස්කරණ පිළිබඳව බලවත් සංවාදයකට යාමෙන් තොරවම තමන්ට ජයග්‍රාහි ලෙස ඉදිරියට යා හැකි වනු ඇතැයි රනිල් වික්‍රමසිංහගේ තක්සේරුව වී තිබුණි. විරුද්ධවාදින් කෙතරම් පෙළපාලි ගියත් අපේ ක්‍රියාකාරකම් කිසිවක් නතර කරන්නට නොහැකි වූවා සේ ම ඉදිරියේ ඇතිවන දේවල් ද එසේ ම සිදුවනු ඇති බව අගමැතිගේ අපේක්ෂෂාව වූ බව පෙනෙන්නට තිබේ. ඒ මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහජන මතය සකස් කිරිමේ ඒකාධිකාරි අයිතිය ජාතිවාදි බලවේගයන්ට බාර දි නිහඬව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජනාධිපතිවරණයත් සමග ජනාධිපතිනිය අවලංගු වන නිසා ඇති කළ යුතුව තිබෙන ප්‍රතිසංස්කරණ දැන්ම කතා නොකළ යුතු යැයි අගමැතිවරයාගේ ආකල්පය වූ බව පෙනේ. ඒ නිසා දැන් රටේ කටයුතු සිදුවෙමින් පවතින්නේ රටේ ජාතිවාදි බලවේගයන්ගේ ගමන්මග ශක්තිමත් කෙරෙන ආකාරයටය. ඒ තත්ත්වය ආණ්ඩුවේ පැවැත්ම පමණක් නොව සමස්ත සාම වැඩ පිළිවෙලම අවුල් ජාලාවකට ඇද දමන තත්ත්වයක් ඇති කිරිමේ අනතුරක් පවතී. ආණ්ඩු පෙරළියක් ඇතිකරන ප්‍රතිඵලය විය හැක්කේ දෙමළ ජනතාවගේ වාර්ගික අවුල විසඳ ගැනීමට ඔවුන්ට ද අවස්ථාවක් ලැබී දකුණ උතුරක් වන තත්ත්වයකට ඇද වැටීමය. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ස්වාධීන උතුරක් ඇති වී ලේ ගලන දකුණක් ඇති වීමය