අල්ලස් කොමිසම පණ ගැන්වීම සඳහා එහි සාමාජික සංයුතිය වෙනස් කිරීමට හේතුවන ආකාරයට අධිකරණ ඇමති විජමු ලොකු බණ්ඩාර ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියට ජනපතිනිය තරයේ විරුද්ධ ය. අල්ලස් කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්වරු දෙදෙනා දරන්නේ ද ඒ ගැන ජනාධිපතිනිය දරන මතයම ය.
ස්වාධීන කොමිසන් සභාව විශ්රාමලත් විනිසුරුවරුන්ගෙන් හා නීතිඥයන්ගෙන් පුරවන ක්රියාමාර්ගය ඵලදායී ක්රියාමාර්ගයක් වී නැත. අනෙක් අතට එය වෘත්තීයවේදි අංශවලට කරන නිගාවක් කොට ද සැලකිය හැකි ය. අධිකරණ විෂය ක්ෂේත්රය කුණුවී තිබෙන ප්රමාණය අනුව බලන විට හා ඒ තත්ත්වය ඉදිරියේ රටේ නීතිඥ ප්රජාව දක්වන නිශ්ශබ්දතාව දෙස බලන විට බලයේ සිටින පාලකයන්ට නගුට වනන ප්රතිපත්තියකින් ඔබ්බට ගිය ස්වාධීනතාවක් පෙන්නුම් කිරිමේ ශක්තියක් මේ විෂය සීමාව තුළ සිටින අයට තිබේද යන්න සැකසහිත ය. එවැනි පුද්ගලයන් ස්වල්ප දෙනෙක් ඔවුන් අතර සිටිනවා විය හැකි වුවත්, එය පොදු ධර්මතාවක් කොට සැලකිය නො හැකි ය. අනෙක් අතට නීති විෂයයට සම්බන්ධ අයට පමණක් බර තබන ප්රතිපත්තියක් ඉංජිනේරුවන්, වෛද්යවරුන්, ගණකාධිකාරීවරුන් වැනි වෙනත් වෘත්තිකයන් එවැනි ගරු කටයුතු තනතුරුවලට සුදුසු නැතැයි කියන අදහසක් අනියම් ලෙස මතු කරයි.
මේ විවාදයේදි ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂය සිටින්නේ ද අවංක තැනක නො ව වංක තැනක ය. දෙපක්ෂයට ම අවශ්ය වී ඇත්තේ ස්වාධීන කොමිසන් සභාවල තෝන් ලනුව අනියම් ලෙසකට තමන් අතට ගැනීම මිස, නගුට වැනීමකින් තොරව ස්වාධීනව හා හිතට එකගව ක්රියා කරන පද්ධතියක් ඇති කිරීම නොවේ.
දැන් තිබෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ සාමාජිකයන් තමන් හිතට එකගව ස්වාධීනව ක්රියාකරන පිරිසක් බව ක්රියාවෙන් ඔප්පු කොට නැත. අනෙක් අතට 17 වැනි ව්යවස්ථා සංශෝධනය සම්මත කරගෙන තිබෙන ආකාරයට පැරණි කොමිසන් සභාව අදට වලංගු නොවන අතර, ව්යවස්ථා සභාව එයට අලුතෙන් සාමාජිකයන් පත් කළ යුතු ය. එහෙත් ඒ මූලික ප්රශ්නය ඉදිරියේ ව්යවස්ථා සභාව දක්වා ඇත්තේ නිහඬව බලා සිටින පිළිවෙතකි.
දේශපාලනඥයන් සියලු දෙනාටම අවශ්යව ඇත්තේ තමන් පසුපස නොඑලවා තමන්ගේ සතුරන් පසුපස හා සාමාන්ය මිනිසුන් පසුපස පමණක් එලවන කොමිසන් සභාවකි. අල්ලස් හෝ දූෂණ විෂය සඳහා ස්වාධීනව හා අවංකව ක්රියා කරන කොමිසන් සභාවක් රටේ ඇතොත්, දේශපාලනඥයන් වැඩි පිරිසකට ඉන්න වෙන්නේ හිරගෙවල්වල බව ඔවුන් නො දන්නවා විය නො හැකි ය.
අනෙක් අතට ස්වාධීන කොමිසන් සභා සඳහා පුද්ගලයන් තේරිමේදි උගත්කම හා හොඳනම පමණක් සලකා බැලීම ප්රමාණවත් වන්නේ නැත. ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන දේශපාලන තෙරපුම ඉදිරියේ ස්වාධීනව ක්රියාකිරීමට අවශ්ය ආත්ම ශක්තිය ඇති පිරිසක් එම කොමිසන් සභාවලට පත් නොකළහොත් ස්වාධීන කොමිසන් සභා ඇති කිරිමේ අරමුණ බිඳ වැටෙන්නේ ය.
ස්වාධීන කොමිසන් සභාවලට ද අවශ්ය වනුයේ නෙවිල් සමරකෝන් වැනි අදින මිනිසුන් ය. ඔහුට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමග ළග සම්බන්ධයක් තිබුණි. එහෙත් තනතුරට පත් කළ වහාම ඒ සියලු සම්බන්ධකම් නො සලකා තනතුරේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියේ ය. ඒ නිසා ඇතිවූ ගැටුම්වල ප්රතිඵලයක් ලෙස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන තැනකට එවකට බලයේ සිටි ආණ්ඩුව යොමු වුවත්, ඔහු අභියෝගයට සංසුන්ව මුහුණදෙමින් තනතුරේ ගෞරවය සේ ම, අධිකරණයේ ස්වාධීනත්වය ද ආරක්ෂා කරගත්තා විනා අධිකරණයත්, රටත් අවුල් ජාලාවක් බවට පත් කළේ නැත. ස්වාධීන කොමිසන් සභාවලට පත් කරන සාමාජිකයන්ට උගත්කම පමණක් නොව අදිනකම ද තිබිය යුතු ය.